නව ලෝක රටාවක උපත
- මොහාන් සමරනායක
2023 වසර මනුෂ්‍ය සමාජයේ යුග පරිවර්තනයක උපත නිශ්චිත ව සලකුණු කළා. එම වසර, ඉතිහාසයේ අන් ඕනෑ ම කාලවකවානුවක් සේ ම යුද්ධ, අවිගැටුම්, ආණ්ඩු පෙරළි, කුමන්ත්‍රණ, ආර්ථිකයේ නැගීම් සහ වැටීම්, විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය ආදී ලක්ෂණවලින් සලකුණු වූවක්. එහෙත් 2023 වසර ඓතිහාසික ව වැදගත් වන්නේ නව ලෝක රටාවක උපත සිදු ව ඇති බව පැහැදිලි ව පෙනී යන සාක්ෂි දක්නට ලැබෙන නිසා. 1991 දෙසැම්බර් මාසයේදී සෝවියට් දේශය බිඳවැටීමෙන් අනතුරු ව නිර්මාණය වූ ඒකධ්‍රැව ලෝක රටාව නිශ්චිත ව ම අවසන් වන ලකුණු 2023 වසරේදී දක්නට ලැබුණා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් 2023 වසරේ ජූලි මාසයේ 20 දින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් හමුවේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. එය නම් කර තිබුණේ ‘සාමය සඳහා නව න්‍යාය පත්‍රයක්’ (New agenda for peace) යනුවෙන්. මේ ලේඛනයේ මහ ලේකම්වරයා සඳහන් කරනවා “දැන් අපි හැරවුම් ලක්ෂයකට පැමිණ සිටිනවා. පශ්චාත් නිරවි යුද සමය අවසන්. නව ගෝලිය රටාවක් දෙසට ලෝකය පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නව ලෝක රටාවේ සමෝච්ඡ රේඛා තව ම නිර්වචනය වී නැති නමුත් ලොව නායකයන් බහුධ්‍රැව (Multipolar) ලෝක රටාවක් ගැන කතා කරන්නට පටන් අරන්.” යනුවෙන්.
‘පශ්චාත් නිරවි යුද සමය’ යනුවෙන් අදහස් වන්නේ 1991දී සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුව උදා වූ අවධිය. එම යුද සමය අවසන් වී ඇති බව ලෝකයේ ප්‍රධාන පෙළේ දේශපාලන චරිත පසුගිය වකවානුවේ ප්‍රකාශ කළා. ඉන් එක් අයකු ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්. ඔහු 2022 වසර සඳහා සම්පාදනය කළ ‘එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපාය මාර්ගය’ නමැති ලේඛනයේ පෙරවදනේ සඳහන් කරනවා “පශ්චාත් නිරවි යුද සමය ස්ථිර ව ම අවසන්” (The post cold war era is definitely over) යනුවෙන්.
පශ්චාත් නිරවි යුද සමය අවසන්. ඒ වෙනුවට නව ලෝක රටාවක් බිහිවෙමින් තිබෙනවා. ලෝකයේ එක් එක් ජාතීන් අතර ආර්ථික, දේශපාලන, මිලිටරි, සාමාජීය, සංස්කෘතික සබඳතා ජාලයේ හැඩරුව නිර්මාණය වී තිබෙන ආකාරයයි දළ වශයෙන් ලෝක රටාව යන්නෙන් අදහස් කෙරෙන්නේ. මනුෂ්‍ය සමාජයේ මෑත ඉතිහාසයේ එවැනි ලෝක රටා කිහිපයක් ම දක්නට ලැබුණා. 1500 වසර වෙත අප ගමන් කළහොත් පැරණි වැඩවසම් ලෝකය බිඳවැටී නව ලෝක රටාවක් බිහිවීම දක්නට පුළුවන්. එය කෙමෙන් විකාශනය වූවක්. මේ ලෝක රටාවේ ප්‍රධාන ලක්ෂණය වුණේ යටත්විජිත සහිත අධිරාජ්‍ය ගොඩනගා ගත් සහ එහි බලකේන්ද්‍ර සමග සෘජු සම්බන්ධතා ඇති කරගත් රාජ්‍ය අතළොස්සක් ලෝකය ම දේශපාලන, ආර්ථික, මිලිටරි, සාමාජීය, සංස්කෘතික වශයෙන් පාලනය කිරීම. එය දීර්ඝ කාලයක් පැවතුණේ එක ම ආකාරයට නොවෙයි, වෙනස්කම් සහිත ව. 1939දී ආරම්භ වී 1945දී අවසන් වූ දෙවැනි ලෝක සංග්‍රාමය සමග 1500දී ගොඩනැගුණු බටහිර යුරෝපීය ජාතීන් අතළොස්සකගේ ආධිපත්‍යයට නතු වූ ලෝක රටාව බිඳවැටෙන්නට පටන් ගත්තා. යටත්විජිත වශයෙන් පැවැති රටවල් එකිනෙක ස්වාධීනත්වය දිනා ගත්තා. 1980 වන විට ලෝකයේ සෘජු යටත්විජිත කිසිවක් ඉතිරි වී තිබුණේ නැහැ. මෙසේ 1945න් පසු නිර්මාණය වූ නව ලෝක රටාවේ මූලික ලක්ෂණය වුණේ එය කලින් තිබුණු ලෝක රටාව මෙන් බහුධ්‍රැව එකක් නොවී ද්වීධ්‍රැව (Bipolar) ලෝක රටාවක් බවට පත්වීම.
ද්වීධ්‍රැව ලෝක රටාවේදී ලෝකයේ ජාතීන් අතර ආර්ථික, දේශපාලන සබඳතා ජාලය නිශ්චය කළේ එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ධනේෂ්වර නැතහොත් බටහිර ආධිපත්‍යයෙන් යුත් කඳවුර සහ සෝවියට් දේශයේ නායකත්වයෙන් යුත් සමාජවාදී කඳවුර. මේ බල කඳවුරු දෙකට මැදින් 1945න් පසු කාලවකවානුවේදී බිහි වන නව රාජ්‍ය පද්ධතිය ලෝක ඉතිහාසයේ, ලෝක වේදිකාවේ පෙනී සිටියේ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ලෙස. මේ වකවානුව ‘නිරවි යුද්ධ සමය’ ලෙස ද හැඳින්වෙනවා.
‘නිරවි යුද්ධය’ ලෙස හැඳින්වෙන මේ කාලවකවානුව 1980 දශකයේ අගභාගයේදී බර්ලින් තාප්පය බිඳවැටීමත් 1991දී සෝවියට් දේශය බිඳවැටීමත් සමග අවසානයකට පැමිණියා. ඉන් අනතුරු ව බිහි වුණේ බටහිර රාජ්‍යවලට සෑම ක්ෂේත්‍රයක ම තීරක බලය හිමි, ආධිපත්‍යය හිමි ලෝක රටාවක්. පශ්චාත් නිරවි යුද සමයේ ප්‍රධාන ලක්ෂණය වුණේ ලෝකයේ ධනේෂ්වර කඳවුර නිර්දේශිත නව ලිබරල් ආර්ථික මාදිලිය සෑම රටක් ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වැළඳගැනීම. මේ වකවානුවේදී නිරවි යුදසමයේ සිදුනොවුණු ආකාරයේ දරුණු යුද්ධ රාශියක් හටගත්තා. ඒ, 1991දී ප්‍රථම ගල්ෆ් යුද්ධය, 1995දී පැරණි යුගෝස්ලාවියාවට එරෙහි ව සිදුවුණු විවිධ ආක්‍රමණ හා අවිගැටුම්, 2001දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයකොට යටත් කරගැනීම, 2003දී ඉරාකය ආක්‍රමණයකොට යටත් කරගැනීම, 2011දී ලිබියාවේ රාජ්‍ය නායකයා ඝාතනයකොට එය අස්ථාවර රාජ්‍යයක් බවට පත්වීම ආදී වශයෙන්. මේ අවධියේදී ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍ය පද්ධතිය වෙනුවට, බලකඳවුර වෙනුවට නව බලකේන්ද්‍ර කිහිපයක් ඉස්මතු ව, වර්ධනය වන්නට පටන් ගත්තා. එහි පෙරමුණේ සිටින්නේ චීනය සහ රුසියාව. නිරවි යුද සමයේදී සහ පශ්චාත් නිරවි යුද සමයේදී චීනය ලෝකයේ ආර්ථික මිලිටරි බලවතුන් බවට, තාක්ෂණික විද්‍යාත්මක ක්ෂේත්‍රයෙන් බලවතුන් බවට කෙමෙන් වර්ධනය වුණා. 1990දී චීනය ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ සිටියේ පහළ ස්ථානයක. එහෙත් 1990 දශකය අවසන් වන විට චීනය ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට පත් වුණා.
මේ රාජ්‍ය දෙක මුල් වී, විශේෂයෙන් චීනය මුල් වී නව ලෝක රටාවක් ගොඩනැගීමේ ව්‍යාපාරය පැහැදිලි ව ආරම්භ වී තිබෙනවා. දින කිහිපයකට පෙර චීන ජනාධිපති ෂී ජින්පින් තම ආණ්ඩුවේ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවකදී කියා සිටියා චීනය සුපිරි මූල්‍ය බලවතකු බවට පත්වීමට ක්‍රියා කරන බව. ඒ, මූල්‍ය වත්කම් (Financial assets) මුල්කොටගෙන ගොඩනගන ආර්ථිකයක් මත නොවෙයි, සැබෑ වටිනාකම් සහිත මූර්ත ආර්ථිකය පදනම් කරගෙන බව. දැන් චීනයේ නායකත්වයෙන් බටහිර කඳවුරට අභියෝග කරන, එරට ආර්ථික ආධිපත්‍යය, දේශපාලන ඇඟිලිගැසීම් ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් බිහි ව තිබෙනවා. එම කණ්ඩායමයි BRICS යනුවෙන් හැඳින්වෙන්නේ.
BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. 2023 වර්ෂයේදී BRICS කණ්ඩායමට එකතු වූ එක් ප්‍රබල රාජ්‍යයක් වන්නේ ඉරානය. තෙල් සම්පතින් ඉරානය සිටින්නේ 03 වැනි ස්ථානයේ පමණ. මේ නිසා ඉරානය BRICS කණ්ඩායමට එකතු වීම නව ලෝක රටාවක උපත සනාථ කරන සාක්ෂියක්. චීනයේ සහ රුසියාවේ නායකත්වයෙන් යුත් මේ නව ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවහාර මුදල වන ඩොලරයට ලෝක වෙළෙඳාමේදී හිමි ව තිබෙන ආධිපත්‍යය, ප්‍රධානත්වය අභියෝග කරන වැඩපිළිවෙළක් පටන් අරන්, අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනු දේශීය ව්‍යවහාර මුදල්වලින් කරන්නට ඔවුන් ක්‍රියා කරමින් සිටිනවා. මේ ක්‍රියාදාමය හැඳින්වෙන්නේ De-dollarization එනම් ඩොලර්හරණය යනුවෙන්. ඇමරිකාවේ සහ බටහිර යුරෝපීය රටවල ආධිපත්‍යයට යටත්වුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන වෙනුවට නව මූල්‍ය ආයතන පද්ධතියක් ස්ථාපනයට මේ කණ්ඩායම පියවර ගෙන තිබෙනවා. ඊට ප්‍රබල සාක්ෂියක් ආසියානු ආයෝජන හා යටිතල පහසුකම් බැංකුව Shanghai Cooperation ආයතනය. 2023 වසරේදී විශාල ප්‍රගතියක් අත් කරගත්තා ජනාධිපති ෂී ජින්පින්ගේ නව සේද මාර්ග ව්‍යාපෘතිය (Belt and Road).
මැදිහත්වීම, බලහත්කාරකම්, තන්ත්‍ර පෙරළි ව්‍යාපෘති, මානව හිමිකම් ප්‍රයෝජනයට ගනිමින් සෙසු රටවල් පාලනය කිරීමට ගන්නා උත්සාහය, ලෝකයේ ආර්ථික බලය බටහිර ජාතීන් අත තබාගැනීමට දරන උත්සාහය වෙනුවට සහයෝගිතාව, සෑම රටකට ම තමන්ට අභිමත ආර්ථික මාදිලියක් තෝරා ගැනීමට තිබෙන අයිතිය, තාක්ෂණික ප්‍රගතිය බෙදාහදා ගැනීම, අන්තර්ජාතික වෙළෙඳාමේ ඉඩ ප්‍රස්ථා උදා කිරීම, අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම, ආක්‍රමණයෙන් වැළකී සිටීම වැනි මූලධර්ම මතයි මේ නව ලෝක රටාව ගොඩනැගෙමින් තිබෙන්නේ. ඊට සහය පළවන තවත් ලකුණු ගණනාවක් 2023දී දක්නට ලැබුණා.
යුක්රේන් යුද්ධයේදී රුසියාව පරාජය කිරීමට නොහැකිවීම ඇමරිකාවේ මිලිටරි ආධිපත්‍යට එල්ල වූ ප්‍රධාන අභියෝගයක්. එය ඇමරිකාවේ මිලිටරි ආධිපත්‍යය දුබල වෙමින් තිබෙන බවට සාක්ෂියක්. 2023 වසරේ ඔක්තෝබර් 07 දින හමාස් නමැති සටන්කාමී සංවිධානය ඊශ්‍රායලයට කළ ප්‍රහාරය සමග ඊශ්‍රායලය, පලස්තීනයට එරෙහි ව ආරම්භ කළ දැවැන්ත මනුෂ්‍ය ඝාතනය පැහැදිලි කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික මිලිටරි ආධිපත්‍යයට ප්‍රබල ලෙස අභියෝග කිරීමක් පවතින ලෝක රටාව විසින් සිදු කරනු ලබන බව.
ඊශ්‍රායලය නිර්මාණය වන්නේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතාව අනුව. 1986දී පමණ වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් (ඒ වනවිට ඔහු ජනාධිපති නොවෙයි, සෙනෙට් සභිකයෙක්) ප්‍රකාශ කළා ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුණා නම් ඇමරිකාවට මැද පෙරදිග කලාපය නැත්නම් බටහිර ආසියානු කලාපයේ ස්වකීය වුවමනා ආරක්ෂා කරගැනීම සඳහා ඊශ්‍රායලය නිර්මාණය කිරීමට සිදුවන බව. එයින් පැහැදිලි වන්නේ ඊශ්‍රායලය තෙල් සම්පතෙන් පොහොසත් ගල්ෆ් කලාපයේ, මැදපෙරදිග කලාපයේ ඇමරිකාවේ පොලිස් භටයා බව. දැන් එම පොලිස් භටයාගේ කාර්යයට බරපතල තර්ජනයක්, අභියෝගයක් එල්ලවී තිබෙනවා. මේ සටන ව්‍යාප්ත වෙමින් තිබෙන බව දක්නට පුළුවන්. අද එයට ඉරානය, යේමනය, ඉරාකය, සිරියාව සම්බන්ධ වී සිටිනවා. ඊශ්‍රායලය වර්ග සංහාරයක නිරත වී සිටින බවට දකුණු අප්‍රිකාව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණයට පැමිණිලිකොට දැන් ඒ නඩුව විභාග වෙමින් තිබෙනවා. මේ ව්‍යාපෘතියට ලෝකයේ සෙසු රටවල සහයෝගය ලැබී තිබෙනවා. ගාසා ගැටුම පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීම්වලදී එක්සත් ජනපදයේ පාර්ශ්වයට ඡන්දය ප්‍රකාශ කළේ සාමාජිකයන් 193ක් අතරින් 10ක් වැනි ඉතා කුඩා සංඛ්‍යාවක්. තව 30ක් 40ක් පමණ ඡන්දය දීමෙන් වැළකී සිටියා. එහෙත් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගෙන් අතිමහත් බහුතරය සිටින්නේ ඇමරිකාවේ ඊශ්‍රායලය පිළිබඳ ස්ථාවරයට එරෙහි ව. මෙසේ බිහි වන නව ලෝක රටාව නිශ්චිත ව තව ම නිර්වචනය කරන්නට බැහැ. එහි හැඩරුව තව ම තිබෙන්නේ නොපැහැදිලි තත්ත්වයක. එහෙත් මේ ගමන ඉදිරියට සිදු වන බව දක්නට පුළුවන්. එසේ නම් මතු එළඹෙන කාලවකවානුවේදී ලෝකයේ සියලු ජාතීන්ගේ ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණික ගමන් මග මේ ලෝක රටාවේ හැඩගැස්ම අනුව, වර්ධනය අනුව තීරණය වන බව නිගමනය කළ හැකියි.
සාකච්ඡා කළේ – කාංචනා සිරිවර්ධන