නව පාපන්දු සංස්කෘතියක්
- අනිල් වීරසිංහ
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවති ෆිෆා සිව්කොන් පාපන්දු සුහද තරගාවලියේදී 2-0ක් ලෙස භූතානය පරාජය කරමින් දිගු කලකට පසු තරගාවලිය ජය ගැනීමට මෙරට පාපන්දු ක්‍රීඩකයෝ සමත් වුහ. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමි වූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා ජාත්‍යන්තර සුහද තරගාවලිය පැවැත්වූයේ මධ්‍යම අප්‍රිකාව, පැපුවා නිව්ගිනියාව, භූතානය හා ශ්‍රී ලංකාව යන රටවල් හතරේ සහභාගිත්වයෙනි.
මෙහිදී තරග දෙකකට සහභාගි වූ ශ්‍රී ලංකාව, පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමග පැවති තරගය 0-0 ලෙස ජය පරාජයෙන් තොර ව නිමා කර ගැනීමට සමත් වූ අතර මේ තරගයේදී ද මෙරට ක්‍රීඩකයන්ගේ දස්කම් කැපී පෙනිණි. මෙහි විශේෂත්වය තරගාවලිය නියෝජනය කළ අනෙක් රටවල් තුන ම ජගත් පාපන්දු සම්මේලනයේ රටවල් වර්ගීකරණයට අනුව ජගත් පාපන්දු පිටියේ සිටින රටවල් 210 අතරින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම ය. වර්තමානයේ ශ්‍රී ලංකාව 204 ලෙස වර්ගීකරණය වී සිටින අතර භූතානය අංක 185, පැපුවා නිව්ගීනියාව 166, මධ්‍යම අප්‍රිකාව 128 යන ස්ථානවල පසුවෙයි.
සුහද තරගාවලියක් ලෙස පැවති මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ තරග වැදුණු රටවල් හතර අතරින් රටකට තරග දෙකක් හිමි වී තිබීම ය. මෙහි පළමු වැනි ස්ථානය තමන් සහභාගි වූ තරග දෙක ම ජයගත් මධ්‍යම අප්‍රිකා කණ්ඩායම හිමි කර ගත් අතර තරගයක් ජයගෙන, තරගයක් ජය පරාජයෙන් තොර ව අවසන් කරගත් ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමි විය. ශ්‍රී ලංකාව ලැබූ මේ ජයග්‍රහණය ගැන දෙසතියට අදහස් දැක් වූ කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා; “කණ්ඩායමේ සියල්ලන් ම කණ්ඩායම් හැඟීමෙන් එක් ව ක්‍රීඩා කළා. වසර තුනකට පසුවයි අප මේ ජයග්‍රහණයක් අත්කර ගත්තේ, මිට පෙර රෙස්කෝස් පිටියේ ම 2021 අවුරුද්දේ අප බංග්ලාදේශය පැරැද්දුවා සිව්කොන් තරගාවලියේදී. එහිදී අප අවසන් තරගය දක්වා පැමිණියා, අවසානයේදී දඬුවම් පහර අවස්ථාවේ සි ශේල්ෂ් කණ්ඩායම ඉදිරියේ අප පරාජය වුණා.”
ශ්‍රී ලංකාව මෙවර භූතානය පරාජය කළේ 2013 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. ඉන්පසු 2015 වසරේදී 2018 ජගත් පාපන්දු ශුරතා සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට භූතානය සමත් විය. ඒ වනවිට භූතානය අන්තර්ජාතික ශ්රේණිගතවිම්වල අංක 209 ස්ථානයේ සිටි අතර ශ්‍රී ලංකාව පසු වුවේ 173 ස්ථානයේ ය.
මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ද්විත්ව පුරවැසි තත්ත්වය හිමි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම ය. මේ අතරින් එංගලන්ත-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ඩිලෝන් ද සිල්වා හා ඕස්ටේ්රලියා-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ඔලිවර් ජේම්ස් කෙලාට් භූතානය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාව වාර්තා කළ ගෝල් දෙක ලබා ගැනීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා; “කලින් අපට විදෙස් ක්‍රීඩකයන් සිටියේ 04ක් පමණයි. මෙවර ගෙනා ක්‍රීඩකයන් 14 දෙනාගෙන් 09ක් කණ්ඩායම නියෝජනය කළා. විදෙස් ක්‍රීඩකයන් අපට ශක්තියක්. ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම වටිනවා. තරුණ ක්‍රීඩකයන් වැඩි පිරිසක් සිටින නිසා එම සම්මිශ්‍රණය ඵලදායී වේවි. අප තව ම සිටින්නේ ලෝක තත්ත්වයේ අංක 205 ස්ථානයේ. විදෙස් ක්‍රීඩකයන්ගෙන් තරග ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් එම ස්ථානයෙන් ඉහළට යන්න පුළුවන්.
කණ්ඩායමේ කළමනාකාර හිරාන් රත්නායක දක්වන්නේ මෙවැනි අදහසකි. ඔහු; “විදෙස් රටවල ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩා කරන, මෙරට සම්භවයක් ඇති දක්ෂ ක්‍රීඩකයන් මෙවර කණ්ඩායමට එක් කිරීම අලුත් ව්‍යාපෘතියක්. පාපන්දු සම්මේලනය මෙය ආරම්භ කළේ 2022 වසරේ වුණත් පසුගිය කාලයේ එල්ල වී තිබූ ජගත් තහනම නිසා මෙය සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක කළේ මෙවර තරගාවලියේදී. විශේෂයෙන් කටාර් රාජ්‍යයේ ඇස්පයර් ඇකඩමි ආයතනය මේ සඳහා මග පෙන්වීම කළා. අපට වඩා විදෙස් ක්‍රීඩකයන් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.
මේ වනවිට ලෝක වර්ගීකරණ මට්ටමේ අංක 204 ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ඉදිරියට ගෙන ඒම පිළිබඳ අදහස් දක්වන ඔහු; “පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ මූලික සංකල්පයක් තමයි මේ වසරේ ජගත් වර්ගීකරණයේ 200 සීමාවෙන් 190 ගණන්වලට හෝ අඩු තරමින් 199ටවත් පැමිණීම. මීට පෙර අප කටාර් වැනි මැදපෙරදිග රටවලින් ඉල්ලා සිටියේ මුදල් ආධාර වුණත් මෙවර සභාපතිතුමා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේ තාක්ෂණික සහය.” මෙරට පාපන්දු ක්‍රීඩකයකු ලෙස වසර ගණනක් ක්‍රීඩා කළ මොහොමඩ් ෆසාල් පාපන්දු ක්‍රීඩාවට සමුදිමත් මෙවර තරගාවලියේ සුවිශේෂ කරුණකි.
ඉංග්‍රීසි යටත්විජිත සමයේ පටන් මෙහි ජනප්‍රිය ව පැවති පාපන්දු ක්‍රීඩාව පාලනය සඳහා පාලක මණ්ඩලයක් ලෙස ලංකා පාපන්දු සම්මේලනය (Ceylon Football Association) බිහි වන්නේ 1939 වසරේ ය. 1972 ලංකාව ජනරජයක් වීමෙන් පසු එය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (Sri Lanka Football Federation) ලෙස හැඳින්වෙයි. 1952 වසරේ ජගත් පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රි ලංකාව තම ජගත් පාපන්දු ඉතිහාසයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වන්නේ 1995 සාෆ් රන් කුසලාන ශුරයන් වීම ය. 2006 වසරේ ආසියාතික පාපන්දු සම්මේලන අභියෝගතා අනුශුරතාව දිනාගැනීම ද තවත් විශේෂ ජයග්‍රහණකි. තවමත් තම පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ජගත් පාපන්දු ශුරතාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී නොමැති අතර සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් පමණක් දැනට සෑහීමට පත්වීමට සිදු ව තිබේ.