ධන බල පරදා දන බල දිනු දා
මීට වසර 108කට පෙර ඔක්තෝබර් මස 25 දින ලෝක ඉතිහාසයේ අතිශයින් ම වැදගත් ඓතිහාසික සංසිද්ධියක් ඇති වුණා. ඒ, මහාද්වීප දෙකක් පුරා පැතිරුණු ලෝකයේ විශාලතම රට වූ රුසියාවේ සිදු වූ ඔක්තෝබර් විප්ලවය. ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ එම ඓතිහාසික සිද්ධිය අඳුරුවන් කිරීමේ විවිධ ප්‍රයත්න පැවතුණේ හා පවතින්නේ වුව ද මේ වන විට ලෝකයේ පවත්නා සිදුවීම් දෙස බලන විට එහි අත්දැකීම් යළි සැලකිල්ලට ගැනීමේ වැදගත්කම ඉහළ යමින් පවතිනවා.
1917 ඔක්තෝබරයේදී රුසියාවේ මෙන් දුර දිග යන වෙනස්කම්වලට පදනම් දමන ලද ජනතා නැගීටීම්වලින් පාලකයන් පන්නා දැමීම සිදු නොවුණත් පැතිරුණු ජන නැගිටීම් ඔස්සේ බලයේ සිටි පාලකයන් පෙරළා දමා නව පාලනයන් පිහිටුවීම 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට පෙර සිදු වූවා මෙන් ම සැලකිය යුතු තරම් දීර්ඝ කාලයකට පසු ද දැනුදු සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකියි. මේවා විශාලතම ජන සහභාගී නැගීසිටීම්. 1871 පැරිස් කොමියුනය, 1917 රුසියාවේ සාර් බලයෙන් පහ කළ පෙබරවාරි විප්ලවය, 1979 ඉරාන විප්ලවය, 1986 පිලිපීන එඩ්සා විප්ලවය, 2010 ටියුනීසියන් විප්ලවය, 2022 ශ්‍රී ලංකාවේ ජන නැගිටීම, 2025 බංගලි දේශ හා නේපාල ජන නැගිටීම් යනු ජන නැගිටීම්වලින් පාලකයන් පෙරළා දමා නව පාලන පිහිටුවීම පිළිබඳ නිදසුන්. එහෙත් නිරීක්ෂණය කළ හැක්කේ මේ කිසිදු ජයග්‍රාහී ජන නැගිටීමකට රුසියාවේ ඔක්තෝබර් විප්ලවය බඳු විප්ලවීය විපර්යාසයකට මං පෑදිය නොහැකි වූ බව. පාලකයන් වෙනස් වීම හැර ජන අරගලවලින් ඉල්ලා සිටි අත්‍යවශ්‍ය වෙනස්කම් සපුරාලීමට මේ අරගල කිසිවක් සමත් ව නැහැ. විප්ලවයෙන් ඉල්ලා සිටින අතිමූලික වෙනස්කම් රැසක් සාධනය කිරීමට සමත් වූයේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවය හා සමාන විප්ලව මගින් පමණයි. එහෙයින් විශේෂයෙන් ම ඔක්තෝබරයේදී, ඔක්තෝබර් විප්ලවය හා බැඳුණු ක්‍රියාදාමය විමසා බැලීම වැදගත්.
පූර්ව විප්ලවීය රුසියාව පරිපූර්ණ වශයෙන් ම කම්කරුවන්, ගොවියන්, සෙබළුන් ඇතුළු අතිබහුතර ජනතාවගේ මෙන් ම රුසියානු නොවන ජාතීන්ගේ ද සිර ගෙයක් ව පැවතුණා. එහි පාන්, ඉඩම්, සාමය පදනම් ඉල්ලීම් බවට පත් ව තිබූ අතර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඒ හා වෙන් කළ නොහැකි සේ එකට බැඳී තිබුණා. රුසියානු සමාජය පැවතුණේ දරිද්‍රතාවේ, පීඩනයේ, වහල්භාවයේ ඉහළ ම සංකේන්ද්‍රිත භුමියක් ව. එය ලෝකයේ වැඩියෙන් ම වැඩවර්ජනවලින් පිරි, ගොවි නැගිටීම්වලින් හා කැරලිවලින් පිරි, මර්දනයෙන් හා දණ්ඩනවලින් පිරි දේශය බවට ද පත් ව තිබුණා.
පැවති අතිවිෂම හා පීඩාකාරී තත්ත්වයට එරෙහි ව කම්කරුවන් හා ගොවියන් ඇතුළු පීඩිත ජනයා දිගින් දිගට ම අරගල කරන්නට වුණා. මේ අරගලයේ කැපී පෙනෙන වැදගත් ම සංසිද්ධියක් වන්නේ 1917 පෙබරවාරි විප්ලවය. මේ විප්ලවය පැන නගින්නේ රදළ ඉඩම් හිමියන්, පැරණි නිලධාරි තන්ත්‍රය හා ඉහළ මිලිටරි බලයන් නියෝජනය කළ අත්තනෝමතික සාර් පාලනයට එරෙහි ව. විප්ලවයේ පෙරමුණු සටන්කරුවන් වූයේ පහළ ම පන්තිවලට අයත් කම්කරුවන්, ගොවියන් හා සොල්දාදුවන් ඇතුළු පහළ පාන්තික ජනයා. මේ බලවේග දෙක අතර අත්තනෝමතික සාර් පාලනය පෙරළා දමන එනමුත් ඒ වෙනුවට කම්කරුවන්ගේ, ගොවියන්ගේ හා සෙබළුන්ගේ පාලනයක් ඇතිවීමට ඉඩ නොදෙන ධනේශ්වර පාලනයක් ස්ථාපිත කිරීම සඳහා සටන් වැදුණු මහ ධනපති පන්තිය හා ඉඩම්හිමි ධනපති පන්තිය වුණා. 1917 පෙබරවාරි විප්ලවයේදී සිදු වූයේ කම්කරුවන්ගේ, ගොවියන්ගේ හා සෙබළුන්ගේ අරගලයෙන් සාර් පාලනය පෙරළා දැමුව ද කම්කරුවන්ගේ, ගොවියන්ගේ හා සෙබළුන්ගේ ආණ්ඩුවක්වත් තනිකර මහ ධනපති හා ඉඩම් හිමි ධනපති පාන්තික ආණ්ඩුවක්වත් ඇති නොවීම. මේ බලවේග දෙක ම තමන්ගේ ම ආණ්ඩු පිහිටුවා ගැනීමට තරම් ශක්තිමත් වූයේ නැහැ. ප්‍රතිඵලය වූයේ ධනපති හා සුළු ධනපති දෙමුහුන් නිල ආණ්ඩුවක් ඇති වීම හා සෝවියට් සභා නමින් කම්කරුවන්ගේ, ගොවියන්ගේ හා සෙබළුන්ගේ නොනිල ආණ්ඩුවක් ඇතිවීම. ද්විත්ව බලයක් පැන නැගීම.
ද්විත්ව බලය හේතුකොටගෙන කිසිවකුට තනි ව පාලනයක් ගෙන යා නොහැකි වුණා. ඒ අනුව සාර් බලයෙන් පහ කළ පෙබරවාරි විප්ලවයෙන් පසු මහ ධනපති හා ඉඩම් හිමි ධනපති පන්තිය නියෝජනය කළ ඔක්තෝබර්වරුන් හා තෘදොවික්වරුන් ද සෝවියට් සභාවල වැඩි බලය හිමිකරගෙන සිටි මෙන්ෂෙවික්වරුන් හා සමාජවාදී විප්ලවවාදීන් ද එක් ව 1917 මාර්තු 2 දින තාවකාලික ආණ්ඩුවක් පිහිටුවූවා. අභ්‍යන්තර කටයුතු, යුද කටයුතු හා විදේශ කටයුතු යන වැදගත් ඇමති පදවි ඔක්තෝබර්වරුන් හා තෘදොවික්වරුන් අතට ගැනුණු අතර සමාජවාදී විප්ලවවාදීන්ට හා මෙන්ෂෙවික්වරුන්ට ලැබුණේ දෙවැනි පෙළේ ඇමතිකම්. බොල්ෂෙවික්වරුන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවූව ද රුසියාවේ වැඩ කළ බොල්ෂෙවික් නායකයන්ගේ (උදා. කමනෙව්, ස්ටාලින්) ස්ථාවරය වූයේ තාවකාලික ආණ්ඩුවට සහය දිය යුතු ය යන්න. ලෙනින් සිටියේ සහය නොදිය හා සියලු බලය සෝවියට් සභාවලට යන ස්ථාවරයේ.
පෙබරවාරි විප්ලවයේදී සාර් බලයෙන් පහ කර රාජාණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් බලයට පත් වුව ද ආමන්ත්‍රණය කළ යුතු ව තිබූ කිසිදු ප්‍රශ්නයකට එම ආණ්ඩුව ආමන්ත්‍රණය කළේ නැහැ. පැරණි ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිවලින් කැඩුණේ නැහැ. ප්‍රතිඵලය වූයේ පැවති ප්‍රශ්න පැවතියාටත් වඩා උත්සන්න වීම. පොරොන්දු වූ පරිදි යුද්ධයෙන් ඉවත් වූයේ නැහැ. ජූලි මාසයේ දින ගණනාවකදී යුද්ධයෙන් මරුමුවට පත් වූ හා අකර්මණ්‍ය තත්ත්වයට පත් වූ සෙබළුන් ගණන 400,000ක් පමණ වුණා. කම්කරුවන්ට පාන්, සෙබළුන්ට සාමය, ගොවියන්ට ඉඩම් ලැබුණේ නැහැ. සියලු බලය සෝවියට් සභාවලට යන සටන් පාඨය පෙරටු කරගෙන කම්කරුවන්, සෙබළුන් වීදි බසින්නට වුණා. ගොවි ජනයා ඉඩම් ඉල්ලා සටන් බිමට අවතීර්ණ වුණා. විප්ලවීය වඩදිය රැල්ලක් රුසියාව පුරා පැතිරෙන්නට වුණා.
මෙය වැදගත්. 1917 ජූලියේදී විශේෂයෙන් කම්කරුවන්, සෙබළුන් හා නාවිකයන් දහස් ගණනින් නොව දස දහස් ගණන්වලින් වීදි බසිමින් හඬ නැගුවේ “සියලු බලය සෝවියට් සභා අතට” ගන්නට කියා. පෙත්‍රෝග්‍රෑඩ් සෝවියට් සභා මූලස්ථානය පැවති ටෝරිඩ් මාලිගය (රාජ්‍ය ඩූමාව-පාර්ලිමේන්තුව පැවතියේ ද මෙහි) වෙත පැමිණි පෙළපාළිකරුවන් හඬ නැගුවේ එසේ. එහෙත් මේ වන විට සෝවියට් සභා, බලය ගැනීමට සූදානමක් දැක්වූයේ නැහැ. ඒවා මෙන්ෂෙවික්වරුන්ගේ හා සමාජවාදී විප්ලවවාදීන්ගේ මෙහෙවීමෙන් තාවකාලික ආණ්ඩුවේ හවුල්කරුවන් බවට පත් ව තිබුණා. ඒ තත්ත්වය යටතේ සෝවියට් සභාවලට බලය ගියා කියා සාධනීය වෙනසක් ඇති වන්නට හැකි ව තිබුණේ නැහැ. සමාජවාදී විප්ලවවාදී පක්ෂ නායක වික්ටර් චර්නොව් පෙළපාළිකරුවන් අමතා තාවකාලික ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට ඉඩ දිය යුත්තේ මන්දැයි පැහැදිලි කරන්නට ගිය විට එක් පෙළපාළිකරුවක් ඔහුට කියා තිබුණේ “බැල්ලිගෙ පුතෝ බලය උඹලා අතට දුන්නා ම ඒක ගනිල්ලා” කියා ය. ඔහු ව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ගැනුණු අතර මේ වන විට අරාජකවාදී යොමුවකට පත් ව සිටි විප්ලවීය සෙබළුන්ගෙන් ඔහු ව බේරාගෙන ඇත්තේ ට්‍රොට්ස්කි. ට්‍රොට්ස්කි ද ඉල්ලා සිටියේ මේ මොහොතේ තාවකාලික ආණ්ඩුව සමග විවෘත ගැටුමකට නොයා යුතු බව. අනතුරු ව පෙළපාළිකරුවන් ලෙනින්ගෙන් ධනාත්මක පිළිතුරක් ලැබීමේ අපේක්ෂාවෙන් ගියේ බොල්ෂෙවික් මූලස්ථානය කරා. එහෙත් ලෙනින්ගෙන් ද දිරි ගන්වන පිළිතුරක් ලැබුණේ නැහැ. ලෙනින්ගේ අදහස වූයේ අසංවිධිත නැගී සිටීමක් අසාර්ථක වනු ඇත කියා. අනතුරු ව අරාජිකවාදී පෙළඹුකින් ක්‍රියාකාරී වෙමින් සිටි අතෘප්තියට පත් පෙළපාළිකරුවන් සටන් පාඨ කියමින් නගරයේ වීදි පුරා සැරිසරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්ට වුණා. ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව හමුදාව යොදවා පෙළපාළිකරුවන්ට පහර දීම. ඇති වූ ගැටුම්වලදී 700ක් පමණ දෙනා මරුමුවට පත් වූ බව වාර්තා වෙනවා. ලෙනින් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණ අතර ට්‍රොට්ස්කි, කමනෙව් හා ලුනාචාස්කි යන නායකයන් අත්අඩංගුවට ගැනුණා. ලෙනින් හා සිනොවියෙව් රහසිගත ව පින්ලන්තයට යැවුණා. අසංවිධානාත්මක අරාජිකවාදී නැගිටීම පරාජයට පත් වුණා.
ලෙනින් “සියලු බලය සෝවියට් සභාවලට” යන්න ඉදිරිපත් කළේ පළමු ව විප්ලවයේ සාමකාමී වර්ධනයක් පැවති හා යථාවක් බවට පත්කර ගත හැකි ව තිබූ තත්ත්වයක් යටතේ. අනතුරු ව ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය සඳහා වූ සටන් පාඨයකට (a slogan for action) වඩා ප්‍රචාරක සටන් පාඨයක් (A slogan for propaganda) වශයෙන්. සෝවියට් සභාවල බහුතරය බොල්ෂෙවිකයන් ඇතුළු විප්ලවවාදීන් අතට පත් නොවී “සියලු බලය සෝවියට් සභාවලට” යන්න ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය සඳහා වූ සටන් පාඨයක් ලෙස ගත නොහැකිය යනු ලෙනින්ගේ අදහස වුණා.
1917 ජූලි වන විට සෝවියට් සභාවල බලය පැවතියේ ද ධනේශ්වර තාවකාලික ආණ්ඩුවේ හවුල්කරුවන් බවට පත් ව සිටි මෙන්ෂෙවික්වරුන් හා සමාජවාදී විප්ලවවාදීන් අත. ඔවුන් ධනපති පන්තිය අත්හැර බලය ලබා ගැනීමට සූදානම් වුණේ නැහැ. විප්ලවීය පරිවර්තනයකට විරුද්ධ ව සිටියා. මේ වන විට මෙන්ෂෙවික්වරුන් හා සමාජවාදී විප්ලවවාදීන් යටතේ සෝවියට් සභා පත් ව සිටි තත්ත්වය පිළිබඳ ව ලෙනින් පැහැදිලි කළේ “මේ මොහොතේ සෝවියට් සභා හරියට ම මස් මඩුවට දක්කාගෙන ආ බැටළුවෙක් පිහිය යට බෑ ගානවා වගේ” ය කියා.
එහෙත් ඔක්තෝබරය වන විට මුහුකුරා ගිය එවැනි තත්ත්වයක් රුසියාවේ පැන නැගී තිබුණා. සියලු බලය සෝවියට් සභා අතට ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණා. සෝවියට් සභා තුළ විප්ලවාදීන්ගේ බලය වර්ධනය වෙමින් තිබුණා. “සියලු බලය සෝවියට් සභාවලට” යන්න වැඩ කරන ජනයාගේ කම්කරුවන්ගේ, ගොවින්ගේ හා සෙබළුන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා වන ප්‍රායෝගික සටන් පාඨය (slogan for action) බවට පත් ව තිබුණා. අවශ්‍ය වූයේ නිසි මොහොතේ ප්‍රමාද නොවී සෝවියට් සභා අතට බලය ලබා ගැනීමේ තීන්දුව ගැනීම. විප්ලවයක් සඳහා තත්ත්ව මෝරා තිබුණ ද බලය ලබා ගැනීමේ ‘මොහොත’ නිවැරදි ව තීරණය නොකරන්නේනම් විප්ලවය පරාජය විය හැකි ව තිබුණා. ට්‍රොට්ස්කි වැනි නායකයන් පවා නැගිටීමේ තීරණය පැවැත්වීමට නියමිත ව තිබූ සෝවියට් සභා සමුළුව තෙක් නැගිටීම කල් දමන්නට යෝජනා කරද්දී ලෙනින් දැඩි ලෙස කියා සිටියේ තීන්දුව ඒ දක්වා කල් දැමිය නොහැකි බව. නිසි අවස්ථාවේ ගත යුතු තීරණය ගැනුණා. ලේ බිඳක් නොසොල්වා විප්ලවය ජයග්‍රහණය කළා.






