දකුණු ආසියාවේ දෙවැනි තිරසර සංචාරක ගමනාන්තය
- චන්දන මාරසිංහ
සංචාරක කර්මාන්තය යනු විදේශ විනිමය උපයන ප්‍රධාන මූලාශ්‍රයකි. 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් පමණ වූ ආදායම 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශාධිපති මහාචාර්ය එස්. කේ නාරද්ද ගමගේ පවසන්නේ 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලීයන 04ක් පමණ සංචාරක කර්මාන්තය ආශ්රිත ව ඉපයීමට අපේක්ෂා කරන බවයි. අදහස් දක්වන මහාචාර්යවරයා; “සමස්ත සේවා නියුක්තියෙන් 10%ක් පමණ අයත් වන්නේ සංචාරක කර්මාන්තයට. සෘජු රැකියා ලක්ෂ 05ක් පමණ එහි පවතිනවා. 2028 වසර වන විට රැකියා ලක්ෂ 10ක් පමණ දක්වා වර්ධනය කිරීම සැලැස්ම වී තිබෙනවා. නිෂ්පාදනවලට වෙළෙඳපොළක් සැපයීමට හැකි නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමටත් සංචාරක අංශය ඉවහල් කර ගත හැකියි. ආර්ථිකයක් ඉදිරියට යන විට විවිධ ජාතීන් හා සංස්කෘතික කණ්ඩායම් අතර සුහදත්වය ඇති කිරීමටත් පාරිසරික සංරක්ෂණය හා යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් මේ ක්ෂේත්රය වැදගත්.
පසුගිය කාලයේ වැඩි ම සංචාරක පිරිස පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 150,837කි. රුසියාවෙන් සංචාරකයන් 110,000කට වැඩි පිරිසක් පැමිණ තිබේ. බි්රතාන්යයෙන් පැමිණි පිරිස 80,086කි. බෙල්ජියම, චීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් පදනම් කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇති බව DAILY F T වාර්තා පෙන්වා දෙයි. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි මැයි මාසයේදී වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන්නේ ආසියා පැසිපික් කලාපයෙනි. ඒ, 57.8%කි. යුරෝපයෙන් පැමිණි සංචාරක පිරිස 10.3.කි. මෙරටට පැමිණි දස ලක්ෂය වැනි සංචාරකයා වන්නේ අයර්ලන්ත ජාතික යුවළකි.
සංචාරක ක්ෂේත්රය මෙලෙස යළි ගොඩනැගෙමින් පවතින පසුබිමක ‘පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන‘ යන තේමාව මූලික කරගෙන කොළඹ පැවති (ජූනි 17-21) අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමුවැනි සමුළුවට සමගාමී ව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 21 දින ‘සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය’ දෙවැනි තිරසර සංචාරක කලාපය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සිතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ. පළමු සංචාරක කලාපය ලෙස සැලකෙන්නේ සීගිරිය ආශ්‍රීත කලාපයයි.
බස්නාහිර පළාතේ සංචාරකයන්ට ආකර්ෂණය වන ස්ථාන ගණනාවක් පවතී. විවිධාංගීකරණයට ලක් වූ සංචාරක ගමනාන්ත ලෝකයට හඳුන්වා දිය යුතු බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවා පතිරණ පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු; ‘පාරාදීසයෙන් පාරාදිසේ’ යන්න අපේ තේමා පාඨයයි. ශ්‍රී ලංකාව පාරාදීසයක් නම් එහි පිහිටි තවත් පාරාදීස හඳුන්වා දීම මෙහි අරමුණයි. සංචාරක කර්මාන්තය විවිධාංගීකරණය කිරීමෙන් අලුත් වෙළෙඳපොළ කරා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. 2018 වසරේදී රැම්සා සම්මේලනය කොළඹ නගරය ලොව පළමු තෙත්බිම් අග නගරය (Wetland City) ලෙස නම් කළා. තෙත්බිම් පාරිසරික සංචාරක ක්ෂේත්රයට අවශ්‍ය කරන පරිසරයක්. සංචාරක කලාප ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. කොළඹ නගරය ආශ්රිත නාගරික සංචාරක කලාපය, බොල්ගොඩ විශේෂ සංචාරක කලාපය ඊට නිදසුන්. කොල්ලුපිටිය හන්දියේ සිට දෙහිවල දක්වා රාත්‍රී ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශයක් ලෙස දියුණු කිරීමේ හැකියාව පවතිනවා. කැලණිය පන්සල ආශ්රිත ප්‍රදේශයත් ජාත්‍යන්තර අවධානයට ලක් කළ හැකියි.”
වත්මන් ලෝක ප්‍රවණතාවක් වන්නේ ‘තිරසර සංචාරක සංකල්පය’යි. මූලික වශයෙන් දිගුකාලීන ව පරිසරයට ධනාත්මක බලපෑමක් ඇතිවන ලෙස ක්‍රියා කිරීම මෙහි අරමුණ බව මහාචාර්ය එස් කේ. නාරද්ද ගමගේ පවසන්නේ බොහෝ රටවල මේ සංකල්පය ක්‍රියාත්මක වන බව අවධාරණය කරමිනි. සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය හඳුන්වා දෙන්නේ තිරසර සංචාරක ගමනාන්තයක් ලෙසයි. තිරසර සංචාරක ගමනාන්ත සොයා යාම නව ප්රවණතාවකි. තිරසර සංචාරක කර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර නිර්ණායක සපුරා යුතු බව සභාපති සුගත් හේවාපතිරණ පෙන්වා දෙන කරුණකි. කලාපයේ භූගෝලී පිහිටීම, පරිසරයට හානි නොවන සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, විධිමත් ව කසළ බැහැර කිරීම, පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම, හෝටල් සහ සේවා සපයන ආයතන ප්‍රමිතිගත කිරීම ඒ අතර වැදගත් වේ. තිරසර සංචාරක කලාපයට ගැළපෙන ලෙස ප්‍රජාව පරිවර්තනය වීමත් වැදගත් ය. මේ නිසා සීතාවක අවිස්සාවේල්ල සංචාරක පුරවරයක් වූ පමණින් ගැමි සංස්කෘතියට හානියක් නොවිය යුතු බව සභාපතිවරයා පවසයි.
සංචාරක කර්මාන්තයේදී භෞතික වශයෙන් පරිසරයට එල්ල වන සෘණාත්මක හා ධනාත්මක බලපෑම් මෙන් ම සාමාජීය හා ආර්ථික වශයෙන් ද බලපෑම් ඇති වේ. තිරසර සංකල්පයක් ක්‍රියාත්මක කරන විට ස්වාභාවික සම්පත් සංරක්ෂණය වීම හා හානි අවම කිරීම, බලශක්ති පරිභෝජනයේදී කාර්යක්ෂමතාව උපරිම කිරීම හා පාරිසරික අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. මෙහිදී ආර්ථික තිරසර බව කෙරෙහි ද අවධානය යොමු වීම එනම් අදාළ ප්‍රදේශයේ ජනතාවට ලැබිය යුතු ප්රතිලාභ පුළුල් කිරීම සහ සුභ සාධනය උපරිම වීම වැදගත් බව මහාචාර්යවරයා එස් කේ නාරද්ද ගමගේ සඳහන් කරන කරුණකි.
ස්වාභාවික සෞන්දර්ය සහිත පුරවරයක් ලෙස හඳුන්වා දිය හැකි සීතාවක ප්‍රදේශයේ යළි ගොඩනැගෙමින් පවතින සීතාවක රජමාලිගය, රාමා සිතා පුරාවෘත්තයේ සීතා දේවිය සැඟවූ ගල්ලෙන, කඳු නැගීමේ පහසුකම් පැවතීම දකුණු ආසියාවේ දෙවැනි තිරසර සංචාරක ගමනාන්තය ලෙස ලොව ප්‍රචලිත වීමට සුවිශේෂ ව බලපාන බව සභාපති සුගත් හේවාපතිරණ පෙන්වා දෙයි. එහි සුවිශේෂත්වය පෙන්වා දෙන මහාචාර්යවරයා; “ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන්නේ කොළඹ නගරය. සංචාරකයන් රටට පැමිණි විට දින කිහිපයක් කොළඹ රැඳී සිටිනවා. ඔවුන්ට තිරසර සංචාරක අත්දැකීම් ලබාදීමට මෙය ඉවහල් කර ගත හැකියි. කොළඹ අගනගරය ජෛව විවිධත්වයෙන් මෙන් ම සංස්කෘතික කණ්ඩායම්වලින් පොහොසත්. මේ ඔස්සේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ආර්ථික වශයෙන් බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට ද සංචාරක කර්මාන්තය දායක කර ගත හැකියි. ස්වාභාවික තෙත් බිම්, දුම්රිය සේවාව ඔස්සේ තිරසර සංචාරක කර්මාන්තයට අදාළ කාරණා ඉටු කර ගැනීමට සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය ඉවහල් වෙනවා.”
තිරසර සංචාරක කලාප නම් කිරීමේදී අභියෝග ගණනාවක් පවතින බව ද මහාචාර්යවරයා සඳහන් කරයි. ආර්ථික සංවර්ධනය නිසා ඇති කරන තෙරපුම, පාරිසරික දූෂණය හා අපද්‍රව්‍ය කළමනාකරණය ආශ්රිත ගැටලු මතු විය හැකි වීම, නිවර්තන කලාපයේ පිහිටීම නිසා දේශගුණ විපර්යාස බලපෑම් ඇතිවීමේ හැකියාව, සංචාරක හැසිරීම් රටාව එම අභියෝග කිහිපයකි. මේ තත්ත්ව සඳහා මුහුණ දීමට තිරසර සංචාරක ගමනාන්ත සංකල්පය උපරිම ලෙස යොදාගත හැකි බව මහාචාර්ය එස්. කේ නාරද්ද ගමගේ අවධාරණය කරන්නේ ප්‍රංශය, එංගලන්තය, සිංගප්පූරුව වැනි රටවල තිරසර සංචාරක ගමනාන්ත ඔස්සේ ඒ සඳහා විසඳුම් සොයාගෙන ඇති බව සඳහන් කරමිනි.
පාරිසරික බලපෑම් අවම වන ආකාරයෙන් කර්මාන්ත පවත්වාගෙන යාමත් වැදගත් වන්නේ උසස් මට්ටමේ සංචාරක කලාපයක් ලෙස ප්‍රචලිත වීමට එය ඉවහල් වන නිසයි. මේ සම්බන්ධයෙන් ජනතාවගේ අවබෝධය වැඩි කිරීමත් කළ යුත්තකි. තිරසර සංචාරක කලාපයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීමේදී වැඩි ආකර්ෂණයක් යුරෝපීය සංචාරකයන්ගෙන් ලබාගත යුතු අතර සංචාරකයන් රටට පැමිණීමේදී වියදම් කරන මුදල වැඩිකර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් හඳුන්වාදීමත් ප්රමුඛ අවශ්‍යතාවකි.