#විදේශ විත්ති

තුන් වැනි ලෝක යුද්ධයක් ?

  • සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි

ලෝකයට ම ඉතා දරුණු ලෙස බලපෑ හැකි ලෝක යුද්ධයක ගිනිපුපුරු අළු යට දලුලමින් තිබේ. ලෝක නායකයෝ තුන් වැනි ලෝක යුද්ධයක් ඇවිළ යාමට හේතු විය හැකි භූ දේශපාලනික ගිනි පුපුරු නිවා දමන්නට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටිති. එහෙත් ලෝකය ම න්‍යෂ්ටික අනතුරක ගොදුර බවට පත්විමේ දරුණු අවදානම දිනෙන් දින ම ඉහළ යමින් පවති. මේ දරුණු අනතුරුදායක සමය ලෝකය වෙත ළඟා කර දුන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර වසර 45කට පසුව ප්‍රථම වතාවට මුහුණට මුහුණ ඇවිළී ගිය ගැටුමයි.

ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනකු ඇතුළු 12 දෙනකුට මරු කැඳවමින් 2024 අප්‍රේල් 01 දින සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීම මේ ගැටුම ඇරැඹීමට ලද ආසන්නතම ‌පෙළඹවීමයි. මෙයට ප්‍රතිචාර වශයෙන් 2024 අප්‍රේල් 13 දින ඉරානයේ පළිගැනීමේ ප්‍රහාරය දියත් විය. ඉරාන හමුදා ශාඛාවක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය. ඊට ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති සංවිධානය ද එක් වූ බව වාර්තා විය. ප්‍රහාරය ඊශ්‍රායලය අත්පත් කර ගත් ගෝලාන් කඳුකර ප්‍රදේශයට ද එල්ල විය. මේ මෙහෙයුම ‘Operation True Promise’ යන සංකේත නාමයෙන් හඳුන්වා තිබුණි.

ඊශ්‍රායලය මෙහිදී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, අසල්වැසි ජෝර්දානය සහ අනෙකුත් මිත්‍ර ජාතීන්ගේ සහාය ඇති ව මිසයිල සහ ඩ්‍රෝන සියල්ල ම පාහේ සාර්ථක ව මැඩලී ය. 1979දී ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටුවීමෙන් පසු ඉරානය-ඊශ්‍රායලයට එල්ල කළ පළමු සෘජු ප්‍රහාරය අප්‍රේල් 13 කළ මේ ඉතිහාසගත ප්‍රහාරයයි.

ඉරාන ප්‍රහාරයට සුදුසු ප්‍රතිචාරයක් ගැන සලකා බැලීමට ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය අප්‍රේල් 15 දින රැස් විය. අප්‍රේල් 17 දින බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි ව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊශ්‍රායලය ‘තමන්ගේ ම තීරණයක් ගන්නා’ බව ය. ඒ අනුව යමින් අප්‍රේල් 19 දින ඊශ්‍රායලය ඉරාන හමුදා ස්ථාන වෙත ප්‍රතිප්‍රහාර මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කළේ ය.

ඉන් එක් ප්‍රහාරයක් ඉරාන මර්මස්ථානයක් වන ඉස්ෆහාන් අසළට එල්ල විය. ටෙහෙරාන් අගනුවරට සැතපුම් 217ක් දකුණින් පිහිටි ඉස්ෆහාන්හි ඉරානයට අයත් ප්‍රධානතම ගුවන් හමුදා කඳවුරක් ඇති අතර මේ කලාපයේ ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් ද පිහිටා ඇත. ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ වැඩසටහනේ කේන්ද්‍රස්ථානයක් වන නටාන්ස් නගරය ද පිහිටා ඇත්තේ මීට ආසන්න ව ය.

ඊශ්‍රායලයේ සිට එන ‘කුඩා ම ආක්‍රමණයක්’ සඳහා වුව ද ‘දැවැන්ත හා දරුණු’ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණේ මේ අතර ය. ජනාධිපති ඊබ්‍රහිම් රයිසි එරට පැවැති වාර්ෂික හමුදා පෙළපාළියකදී මේ බව කීවේ ය. වෙනදා අධිවේගී මාර්ගයක ප්‍රසිද්ධියේ පැවැති මේ පෙළපාළිය මෙවර ටෙහෙරාන් අගනුවරට උතුරින් පිහිටි සැඟවුණු බැරැක්කයකට සීමා කිරීමට රජය ක්‍රියා කර තිබුණි. රාජ්‍ය රූපවාහිනිය පවා එය පෙර වසරවල මෙන් සජීවී ව විකාශනය කළේ ද නැත.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ ආසියානු සංචාරයක් ද සිදු විය. එය ඇමරිකාව අවුස්සාලීමට සමත් ව තිබුණි. ඉරාන ජනාධිපති පාකිස්තානයේ සහ ශ්‍රි ලංකාවේ නිල සංචාරයක යෙදුණු අතර පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරිණි. දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩි කිරීමට ද ඉන් යෝජනා වී තිබුණි.
2024 වසර මුලදී ඉරානය සහ පාකිස්තානය ගැටුණු අතර ඉරාන ජනාධිපතිවරයා අප්‍රේල් 22 දින පාකිස්තානයට පැමිණ තිබුණේ මේ ගැටුම නිරාකරණය කර දෙපාර්ශ්වය අතර අවබෝධතාව වර්ධනය කර ගනිමින් කලාපයේ සහයෝගිතාව තමන් වෙත දිනා ගැනීමට බව පැහැදිලි විය. ඉරාන ජනාධිපතිවරයා කාශ්මීර ගැටලු‍ව සුබවාදී ව නිමා කර ගැනීමට පාකිස්තානයට අනුබල දීමට ද ඉදිරිපත් ව තිබුණි.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ ශ්‍රී ලංකා ගමන බටහිර ඉවුරේත් ඇමරිකාව හා චීනය, ඉන්දියාව වැනි රටවලත් දැඩි අවධානයට යොමු ව තිබුණි. ආසියා සංචාරයෙන් වැඩියෙන් සිත රිදවාගෙන තිබුණේ ඇමරිකාව ය. ඒ අනුව ඉරානය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව තදබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ ඒ අනතුරු ඇඟවීමෙන් තරවටු කර තිබුණේ ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදු කරන රටවලට සම්බාධකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ය.

මැදපෙරදිග කලාපීය බලවතුන් ලෙස සිය භූමිකාව රැක ගැනීමට ඉරානය මෙන් ම ඊශ්‍රායලය ද එය බිහි වූ දින සිට ම පසමිතුරු ගැටුමකට මුලපුරා සිටී. 1948 මැයි 14 දින යුදෙව් මහජන කවුන්සිලය ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීම ප්‍රකාශයට පත් කළේ ය. එහෙත් ඊශ්‍රායලය වෙන ම රාජ්‍යයක් සේ පිළිනොගත් ඉරානය එය පලස්තීන භූමියේ හටගත් පිළිකාවක් ලෙස සැලකුවේ ය. මේ නිසා ම පලස්තීන විමුක්තිකාමින් වෙත සිය ආධාර උපකාර ලබා දුන්නේ ය. 1985 වසරේ සිට ඉරානය සහ ඊශ්‍රායලය මැදපෙරදිග භූ දේශපාලනයට බෙහෙවින් බලපෑමක් ඇති කළ තිරයෙන් පිටුපස අඛණ්ඩ ගැටුමක නිරත වී සිටියේ ය. ඒ අතර 2006 ලෙබනන් යුද්ධය වැනි ඉරාන සහ ඊශ්‍රායල් හිතවාදී සංවිධාන අතර සෘජු මිලිටරි ගැටුම් ද වාර්තා විය. එහෙත් අතුරු මිලිටරි සංවිධාන වෙනුවට ඉරාන රජයේ හමුදාව ම මුල් වී ප්‍රහාරයකට අත ගැසූ මෑතකාලීන මුල් ම අවස්ථාව වූයේ මෙයයි.

ලොව 14 වැනි ස්ථානයේ සිටින ප්‍රබලතම හමුදාවක් සහිත ඉරානය කිසිවිටෙකත් යුද්ධය සිය රටට කැඳවා ගත්තේ හෝ සෘජු අතපෙවීම් සඳහා සිය ආරක්ෂක හමුදා යොදා ගත්තේ හෝ නැත. ඒ වෙනුවට තමන්ට හිතැති සංවිධාන රැසක් මැදපෙරදිග ව්‍යාප්ත කරවා තිබීම ඔවුන්ගේ උපායශීලි යුද උපක්‍රමය වී තිබේ. ලෙබනනයේ ෂියා ව්‍යාපාරය වන හිස්බුල්ලා, යේමනයේ හවුතිවරු, පලස්තීනයේ හමාස් සහ පලස්තීන ඉස්ලාමිය ජිහාද් කණ්ඩායම, බහරේනයේ අල් අෂ්තාර් කණ්ඩායම වැනි සංවිධාන ඊට අයත් ය. මෑත වසරවලදී ඉරානය සිය අන්‍යෝන්‍ය සතුරන්ට එරෙහි ව වඩාත් ඒකාබද්ධ ‘ප්‍රතිරෝධක අක්ෂයක් (axis of resistance) පිහිටුවීම සඳහා මේ බලවේග අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇති බව විශේෂඥයෝ පවසති.

ප්‍රධාන ලෙස ම මෙබඳු යුද්ධයක් කලාපීය තෙල් ආර්ථිකයට සහ ලෝක වෙළෙඳපොළට අනතුරුදායක ලෙස බලපෑ හැකි ය. ගුවනින් මෙන් ම සාගරයෙන් ද සිදුවන ලොව භාණ්ඩ ප්‍රවාහනය අඩාල වනු ඇත. ලොව ආහාර හිඟය, දුර්භික්ෂය ඒ හා අත්බැඳගත් දූෂණය, කොල්ලය, ලෙඩ රෝග සහ සාපරාධි මරණ ඉහළ යනු නිසැක ය. එය මිනිසා මෙතෙක් මුහුණදුන් අතීත ලෝක යුද්ධ කිසිවෙකටත් අසමාන දැඩිතර විනාශයක් ළඟා කර දෙනු නිසැක ය. ලෝක නායකයන් මේ සටන ඇවිල යාම වළක්වන්නට තැත් දරන්නේ මේ පළවිපාක ගැන මනා පූර්ව දැක්මකිනි.

හමුදා බලය සම්බන්ධ ව ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව ඉරානය 14 වැනි ස්ථානයේ පසුවන අතර ඊශ්‍රායලය 17 වැනි ස්ථානයේ පසු වේ. සන්නද්ධ හමුදා දෙකේ සෘජු සැසඳීමක් ද මේ දර්ශකයට ඇතුළත් කර ඇත. පිරිස් බලය අතින් ඊශ්‍රායලයට වඩා ඉරානය උසස් ය. සක්‍රීය හමුදාව අනුව මැදපෙරදිග විශාලතම සන්නද්ධ හමුදා ව ඉරානය සතු ය. ඉරානයේ මිලිටරි බලකාය ආසන්න වශයෙන් ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින පුද්ගලයන් 587,000කින්, 200,000ක සංචිත සහ පුහුණු පුද්ගලයන්ගෙන් සමන්විත වේ.

ලෝක ආර්ථිකයේ හිස එසැවීමේදී සමාන ගැටලු‍වලට මුහුණපා සිටින හෙයින් ම සම පාක්ෂිකයන් බවට පත් ව සිටින චීනය, ඉන්දියාව මෙන් ම ලොව න්‍යෂ්ටික බලවතා විරුදාවලිය ලත් රුසියාවේ ආධාරය ද ඉරානයට පක්ෂ ව සිටියි. ලොව බලගතු ම හමුදාව දරන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා රාජ්‍ය ද ඇමරිකා හිතවාදී සවුදියේ සහාය ද ඊශ්‍රායලයට පක්ෂපාතී ව සිටියි. න්‍යෂ්ටික බලය අතින් සහ තාක්ෂණික හැකියාව අතින් ඊශ්‍රායලය බලවත් රටක් ලෙස පිළිගත්තත් බටහිර සම්බාධක මැද ඉරානය ද තර්ජනාත්මක මට්ට්මකට සිය න්‍යෂ්ටික බල ගැනිවීම් සිදුකර හමාර බව වාර්තා වේ.

මේ අන්දමට ඉරාන සහ ඊශ්‍රායල ගැටුම දුරදිග ගියහොත් ඊශ්‍රායලයට සිය රටේදී ම සටනකට මුහුණදීමට සිදු වන අතර ම සිය මිත්‍ර ජාතීන් හා එක් ව රටින් පිට පෙරමුණු කිහිපයක යුද්ධ මාලාවකට ද මුහුණදීමට සිදුවනු නියත ය. මෙවැනි ඉවසුම් නොදෙන පීඩාකාරි එක් අඳුරු මොහොතක ඊශ්‍රායලයේ හෝ ඉරානයේ හෝ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයක හෝ අත රතු පැහැති න්‍යෂ්ටික ‌බොත්තම වෙත දිගු විය හැකි ය. ඒ දවසට නොස්ත්‍රදාමුස්, බාබා වන්ගා වැනි ප්‍රකට අනාගත වක්තෘන් පුන පුනා කියා ඇති න්‍යෂ්ටික විනාශය ලොව වෙත ළඟා කරවීමට මේ අර්බුදය හේතුවක් වනු ඇත. මේ අනතුරුදායක අනාගතය පෙර දැකිම හේතුවෙන් ඉරානය හා ගැටුම ගාසා තිරයේ ගැටුම නිමා කරලීමට ලද පූර්ව අනතුරු ඇඟවීම් සංඥාවක් සේ සැලකිමට ඊශ්‍රායලයට බල කෙරෙනු ඇත