ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට අදාළ ඉතිහාසය පිරික්සා බලන විට, එහි ආරම්භක නීතිමය පදනම වන්නේ 1947 මහජන ආරක්ෂක පනත. එය ත්‍රස්තවාදය වැළැක්වීම හෝ ත්රස්තවාදයට විරෝධය පළ කරන නීතියක් හෝ නොව, ජාතික හදිසි අවස්ථාවලදී විධායකයට අතිරේක ව බලයක් ලබාදෙන නීතියක්. මේ පනත භාවිතයෙන් හදිසි නීතියෙන් ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථ දක්වන ලද ක්‍රියා මර්දනය, සංවිධාන තහනම් කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආදිය සිදු කෙරුණා.
1978 සහ 79 කාලයේදී උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල විවිධ සන්නද්ධ ක්‍රියා ආරම්භ වීමත් සමඟ ලංකා ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධාන තහනම් කිරීමේ පනත සම්මත කරමින් මෙරට ප්‍රථම ත්රස්තවාදයට එරෙහි වීමේ පනත හඳුන්වා දුන්නා. ඉක්බිති ව එය අහෝසි කරමින් 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සම්මත කෙරුණා. පසුකාලීන ව එය ස්ථිර නීතියක් බවටයි පත් වුණේ. සාක්ෂි රහිත ව වුව ද අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නඩු පැවරීමකින් තොර ව දිගු කාලයක් රඳවා තබා ගැනීම ආදී දෑ නිසා මානව හිමිකම් සංවිධාන සහ දේශීය, විදේශීය විවිධ පාර්ශ්වවල දැඩි විවේචන ඊට එල්ල වුණා. මේ පනත භාවිත කරමින් විවිධ වධ හිංසා සිදු කිරීම, බලහත්කාරයෙන් කටඋත්තර ගැනීම, ලිංගික අපචාර සිදු කිරීම සම්බන්ධ ව පොලිසියට සහ එවකට පැවති රජයට එල්ල වුණේ චෝදනා. මෙයට එල්ල වූ බරපතළ ම චෝදනාව වූයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් ඇතුළු විරුද්ධ මතධාරීන් මර්දනයට, නිදහස් අදහස් ප්රකාශනයට බාධා කිරීමට පනත යොදාගන්නා බවට. මාධ්‍යවේදී ජේ. එන්. තිස්සනායගම් සහ දේශපාලනඥයෙකු වන අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ ද මේ පනත භාවිත කරමින්.
2015 වසරේදී ජිනීවාහි පැවති මානව හිම්කම් සැසිවාරයේ යෝජනා සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සටහන් කරුණු අනුව අවධාරණය වූයේ මානව හිතවාදී පනතක අවශ්‍යතාව. විවිධ දේශපාලන මත සහ සිවිල් සංවිධානවල මත අනුව මේ පනතේ ප්‍රධානතම ගැටලුව වන්නේ ‘ත්‍රස්තවාදය’ යන්නට ලබා දී ඇති පුළුල් නිර්වචනය.
සුබවාදී කරුණු කොපමණ තිබුණත් ප්‍රායෝගික ක්‍රියාත්මක වීමේ අඩුපාඩු හේතුවෙන් සහ අනිසි දේශපාලන භාවිතය නිසා ඊට විවිධ විවේචන එල්ල වුණා. මෙවැනි පසුබිමක ජාතික ජන බලවේගය ප්රමුඛ වත්මන් රජය විසින් පැවති පනත අහෝසි කර ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත – 2026 (Protection of the State from Terrorism Act, No – 2026) හඳුන්වා දීමට යෝජනා කිරීම ප්රජාතන්ත්රවාදී නීති සංස්කෘතියක ආරම්භයක් ලෙස සැලකිය හැකියි. ඒ අතර එය නැවුම් නීතියක් ද? පැරණි නීතියේ ම තවත් කොටසක් ද? එහි අඩුපාඩු සහ සුබවාදී ලක්ෂණ මොනවා ද? යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුයි.
ඒ අනුව නව පනතේ වාසි කිහිපයක් පවතිනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැවති දැඩි සහ අධිකරණ පාලනයෙන් තොර බලතලවලට සීමා පැනවීමට ගෙන ඇති උත්සාහය නව නීතියේ මූලික ම වාසියක්. සැකකරුවන් දීර්ඝ කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තැබීම, අමාත්‍යවරයාගේ විධායක නියෝග මත නිදහස අහිමි කිරීම වැනි ක්‍රියාමාර්ග සීමා කිරීමට නව නීතියෙන් යෝජනා වී තිබෙනවා. ඒ අනුව ‘නීතියේ ආධිපත්‍යය’ යනාදී නීතිමය සංකල්ප ආරක්ෂා කිරීම සහ 21 වැනි සියවසයට ගැළපෙන නීති රාමුවක් මේ පනතේ දක්නට ලැබෙනවා. නියමිත කාලයක් ඇතුළත සැකකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම, වෛද්‍ය පරීක්ෂාව අනිවාර්ය කිරීම, නීතිඥයන්ට ඇති ප්‍රවේශය සහ ඥාතීන්ට දැනුම්දීම සම්බන්ධ ප්‍රතිපාදන, මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දීම වැනි කරුණු සඳහන් ව තිබීම නව පනත් කෙටුම්පතේ ඇති සාධනීය ලක්ෂණ කිහිපයක්. විවිධ මත අනුව මේ නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක වීමෙන් පසුගිය වකවානුවේ බහුල ව සිදුවුණු වධහිංසා, අයුතු රඳවා ගැනීම්, බලය අනිසි ලෙස භාවිත කිරීම් යනාදිය අවම කිරීමට හෝ තුරන් කිරීමට හෝ හැකියි.
ජනාධිපතිවරයා සතු ව පැවති අසීමිත බලය සීමා කිරීමත් මේ පනතේ වාසියක්. පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයාට තිබූ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ සහ කාලය දීර්ඝ කිරීමේ පුළුල් මෙන් ම අත්ත්නෝමතික බලය නව පනත් කෙටුම්පත යටතේ විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග දක්වා බලය බෙදාහැරීම වැනි සාධනීය පියවර සහිත ව වෙනස් ව තිබෙනවා. ඇතැම් පාර්ශ්ව පවසන පරිදි ස්වාධීන බව සහ ප්‍රායෝගික බව මෙහිදී වඩාත් කැපී පෙනෙන ලකුණු.
නීතිය, තාක්ෂණය, වෝහාරික විද්‍යාව, වෝහාරික මනෝ විද්‍යාව, මස්තු විද්‍යාව, ජාන විද්‍යාව, ඇඟිලි සලකුණු යනාදිය සම්බන්ධ දැනුම සහ විශේෂඥතාව සහිත පුද්ගලයන් ඇතුළත් විශේෂ විමර්ශන ඒකකයක් මේ නව පනතෙන් ස්ථාපිත කිරීම ත්‍රස්ත විමර්ශනය වෘත්තීයමය කිරීමේ උත්සාහයක් ලෙසත් දක්වන්න පුළුවන්. එහෙත් එම ඒකකයේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තු සහ අධිකරණ පාලනය තහවුරු නොකළහොත් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ම නව සංස්කරණයක් පමණක් බවට පත් වීමට ඉඩ තිබෙනවා. මේ සියවසට ගැළපෙන පරිදි නීති රාමුව සකස් කිරීමත් මහජන අදහස් කැඳවීමත් කලින් පැවැති සංවිධාන පමණක් පදනම් කරගත් ත්රස්තවාදයට සීමා නොවී ඩිජිටල් සන්නිවේදනය, අන්තර්ජාල ක්‍රියාකාරකම් ආශ්රිත අවදානම් ගැන ද සලකා බැලීමත් එහි තවත් සාධනීය කරුණු. එහෙත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සුබවාදී බව අත්‍යවශ්‍යයි.
මේ නව පනතේ අවාසි පිළිබඳ ව ද විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. පැරණි පනතේ ඇතැම් බලතල වෙනස් නාමයෙන් අන්තර්ගත වීමේ අවදානම ඔවුන් පෙන්වා දෙන එක් අවාසියක්. අධිකරණ නියෝගයකින් තොර ව පුද්ගලයන් රඳවා තබා ගැනීම, සංවිධාන තහනම් කිරීම හෝ ඇතැම් ක්‍රියාකාරකම් ‘රාජ්‍ය ආරක්ෂාවට තර්ජන’ ලෙස පුළුල් ව අර්ථ දැක්වීමෙන් අනාගතයේදී දේශපාලන විරුද්ධවාදීන් සහ සිවිල් ක්රියාකාරිකයන් මර්දනය කිරීමට අනිසි ලෙස නීතිය භාවිත කිරීමේ අවදානම තිබෙන බවයි මෙයින් කියවෙන්නේ.
‘ත්රස්තවාදයට සහාය දීම’, ‘රාජ්‍ය ආරක්ෂාවට හානිකර තොරතුරු’ සහ ‘ජාතික ආරක්ෂාවට බලපාන ක්‍රියා’ වැනි යෙදුම් පැහැදිලි සීමා නොමැති ව භාවිත කළ හැකි බැවින් විරෝධතා, වෘත්තීය ක්‍රියාකාරකම්, මාධ්‍ය වාර්තා සහ දේශපාලන විවේචන පවා නීතිමය අවදානමට ලක්විය හැකි බවත් ඇතැමුන් පෙන්වා දෙනවා.
මාධ්‍යවේදීන්ගේ සහ නීතිඥයන්ගේ වෘත්තීය රහස්‍යභාවයට ඇති කෙරෙන බලපෑම නව පනතේ අවාසිදායක කරුණක් ලෙස ගෙනහැර දක්වනවා. සම්පාදිත නව නීති යටතේ තොරතුරු වාර්තා කිරීම නොසලකා හැරීම හෝ සන්නිවේදන තොරතුරු ආදිය සඟවා තබා ගැනීම හෝ අපරාධයක් ලෙස වර්ගීකරණය කළ හැකි අතර එය මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් වැනි වෘත්තීය කණ්ඩායම්වලට සදාචාරාත්මක සහ නීතිමය ගැටලු මතු විය හැකි බව ද පැවසෙන්නක්.
ඩිජිටල් නිදහස සහ පුද්ගලිකත්වය ගැන ද ඇතමුන් මත පළ කරනවා. හමුදාවට සහ පොලිසියට ලබා දී ඇති විමර්ශන පිළිබඳ සංකේතාත්මක සන්නිවේදනය සම්බන්ධ විධිවිධාන, ජංගම උපාංග සහ පරිගණකවල පුද්ගලික දත්ත ආරක්ෂාවට බලපාන්නේ සෘජු ව ම. ඇතැමුන් සැක පළකරන්නේ මේ බලතල අනිසි ලෙස භාවිත කිරීමේ අවදානමක් ගැන.
පනත් කෙටුම්පතේ 10 වැනි පරිච්ඡේදයේ විවිධ නියම මඟින් තහනම් නියම නිකුත් කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලතල හිමිවන බවත් පැවසෙනවා. එය ද අවාසිදායක කරුණක් බවයි ඇතැම් පාර්ශ්ව පවසන්නේ. මේ අනුව ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අවලංගු කර නව නීති මාලාවක් හඳුන්වාදීමට දරන උත්සාහය ප්‍රතිපත්තිමය වශයෙන් ධනාත්මක කරුණක් මෙන් ම ත්‍රස්තවාදය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපැහැදිලි අර්ථ දැක්වීම් ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට’ ඇතුළත් වීම යම් අවදානම්සහගත තත්ත්වයක් ද ඇති කරනවා. එහෙත් ඕනෑ ම නීතියක් අත්තනෝමතික ලෙස සම්පාදනයකොට මහජනයා මත පැටවීම වෙනුවට මහජන අදහස්වලට ඉඩ දී සාධනීය වෙනසක් සඳහා විවෘතභාවයක් දැක්වීම ජනතාවාදී රජයක ලක්ෂණයක්. මේ මොහොතේ ඒ සඳහා ඉඩප්රස්ථා විවෘතයි. එබැවින් යෝජිත නව පනතට අදහස් ලබා දී නව යුගයට ගැළපෙන, සාධනීය නීතියක් ලෙස එය ස්ථාපිත කිරීමට සහාය ලබාදීමයි පුරවැසියාගේ වගකීම






