#ආර්ථික

ත්‍යාගශීලීත්වයේ ශක්තිය

2025 වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවට හදිසි ආපදා තත්ත්වයක් ඇති කළා. Rebuilding Sri Lanka අරමුදල මඟින් වෙනස් ම වූ වැඩසටහනක් නිර්මාණය වන්නේ දිට්වා සුළි කුණාටුව සමඟ හානියට පත් වූ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සහ ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණ ඇති ව. ශ්‍රී ලංකාවේ මෙයට පෙර ඇති වූ ආපදා තත්ත්වවලදී විවිධ විධි ක්‍රම භාවිත කර තිබුණා. එහිදී විවිධ චොදනා ද එල්ල වී තිබුණා. එම නිසා Rebuilding Sri Lanka අරමුදල යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන එයට වඩා වෙනස් ක්‍රමයකට සැලසුම් කළ යුතු බවට ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණා. මෙයට පෙර ක්‍රියාත්මක වූ වැඩසටහන් සඳහා එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඒවායේ විනිවිදභාවය ප්‍රමාණවත් නොවන බව. මේ නිසා උපරිම විනිවිදභාවයකින් යුතුවයි මෙය ක්‍රියාත්මක වන්නේ. එමෙන් ම 2026 වසර සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද අය වැය වෙනස් කිරීමකින් තොර ව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයාට තිබුණා. දිට්වා සුළි කුණාටුව ඇති වන අවස්ථාව වන විට 2026 වර්ෂය සඳහා අය වැය සම්මත කරගෙනයි තිබුණේ. 2026 වර්ෂයේ අය වැය සම්පාදනය වූ පසුබිම ද සුවිශේෂයි. දැඩි ආර්ථික අර්බුදයකින් පසුව රට බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගැනීමටත් ඉන්පසුව ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇති කරගැනීමටත් රජයට හැකියාව ලැබුණා. 2026 වර්ෂයේ අයවැය සංවර්ධන අය වැයක් ලෙසින් ඉදිරිපත් වූයේ මෙවැනි පසුබිමක. විවිධ පාර්ශ්වවල යෝජනාවක් වූයේ 2026 අය වැය පූර්ණ සංශෝධනයකට ලක්කොට සුළි කුණාටුවෙන් ඇති වූ හානි ප්‍රතිපූර්ණය කළ යුතු බවක්. එහෙත් මේ සඳහා ජනාධිපතිවරයාගේ උපදේශය වූයේ 2026 අය වැය සංශෝධනය කිරීමකින් තොර ව ආපදාවෙන් හානි වූ ක්ෂේත්‍ර තිරසර ලෙසින් නැවත ගොඩනැඟීමත් 2026 සංවර්ධන අයවැය යෝජනා ද එයට සමගාමී ව ක්‍රියාත්මක කිරීමත් කළ යුතු බව. මේ නිසා අත්වෙන වාසිසහගත තත්ත්වය වන්නේ ආර්ථිකයේ හානි වූ ක්ෂේත්‍ර ඇතුළු ව සමස්ත ආර්ථිකය ම ඉහළ තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ලැබීම.

Rebuilding Sri Lanka වැඩසටහන සැලසුම් කිරීමේදී, වෙනත් රටවල් ආපදාවකදී මුහුණදෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂ තත්ත්ව පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ස්වාභාවික ආපදාවකදී ඕනෑ ම රටක ගලවා ගැනීම (Rescue), සහන ලබා දීම (Relief) සහ නැවත ගොඩනැඟීම (Reconstruction) යනුවෙන් අදියර තුනක් ක්‍රියාත්මක වෙනවා. Rebuilding Sri Lanka වැඩසටහන ද ක්‍රියාත්මක වන්නේ මේ අදියර තුන යටතේ.

ගලවා ගැනීමේ අදියරේදී රජය, පවතින යාන්ත්‍රණය යටතේ ක්ෂණික ව ක්‍රියාත්මක වෙමින් ගලවා ගැනීම් සිදු කළා. මෙහිදී පවතින යාන්ත්‍රණයට අමතර ව රජයට හැකියාව ලැබුණා ආපදාවේ බලපෑම අඩු ප්‍රදේශවල ජනතාවගෙන් ඉහළ හානියක් සිදු වූ ප්‍රදේශවලට කඩිනම් සහාය ලබා ගැනීමට. ආපදාව අවස්ථාවේ අඩු හානියක් සහිත ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල වශයෙන් සහ සමූහ වශයෙන් ගොස් ගලවා ගැනීම් ක්ෂණික ව සිදු කළා. මේ සඳහා හේතුව රජය පිළිබඳ ජනතාවගේ තිබූ විශ්වාසයත් ගලවා ගැනීම් බළමුළු ගැන්වීමට රජයට තිබූ හැකියාවත් නිසා.

සහන ලබා දීමේදී ද වෙනස් වූ වැඩපිළිවෙළක් අනුගමනය කළා. එහිදී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සිදු කරන පරිත්‍යාග ශ්‍රී ලංකා රජය මගින් ලබා දීමේ උනන්දුවේ ඉහළ යාමක් දකින්න පුළුවන් වුණා. පෞද්ගලික ව සහන සැලසීමේ කාර්යය වැළැක්වීමට රජය පෙලඹුණේ නැහැ. කෙසේ වුවත් සහන සැලසීමේ අදියරේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහන කළමනාකරණයට රජය මැදිහත් වුණා. උදාහරණ වශයෙන් සහන අවශ්‍ය ප්‍රදේශ, අවශ්‍ය සහනය හෝ පරිත්‍යාග, ආපදාව නිසා හානි සිදු වූ මාර්ග පිළිබඳ තොරතුරු ආදිය රජය කඩිනම් ව සැපයුවා. විදේශීය ආධාර සහ පරිත්‍යාග ගෙන්වා ගැනීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ආධාර කිරීමට බලාපොරොත්තු වන රටවල් පූර්වයෙන් දැනුවත් කර තිබුණා. රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී ඒවා කඩිනමින් සිදු කර ගැනීමට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එය තවමත් වලංගුයි. රජය සිදු කළ මේ නිසි කළමනාකරණය නිසා රාජ්‍ය සහන සැලසීම්වලට අමතර ව පෞද්ගලික අංශයේ සහ විදේශීය අංශයේ ආධාර පරිත්‍යාග අදාළ පාර්ශව වෙත ගලා යාමට අවශ්‍ය තොරතුරු පරිත්‍යාගශීලීන්ට ලබා ගැනීමටත් ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ සහාය ලබා ගැනීමටත් හැකි වුණා. මේ ආධාර හා පරිත්‍යාග ලබා දීමේ ක්‍රියාවලියේදී එයට අදාළ සියලු‍ ම තොරතුරු දත්ත පද්ධතියක් වශයෙන් ගබඩා කරගනිමින් තොරතුරු ගලායාමේ ක්‍රියාවලිය යාවත්කාලීන වීම නිසා කඩිනම් සහන සැලසීමේදී සාමාන්‍යයෙන් සිදුවන අපතේ යාම සහ නාස්තිය අවම කරගැනීමටත් එය විනිවිදභාවයක් සහිත ව සිදු කිරීමටත් රජයට හැකියාව ලැබුණා. 

තුන් වැනි අදියර ලෙස නැවත          ගොඩනැගීම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම අදියර මෙතෙක් ක්‍රියාත්මක වූ තත්ත්වයට වඩා ගුණාත්මක බවින් සහ ඉහළ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහායි Rebuilding Sri Lanka අරමුදල බිහිවන්නේ. ආපදාව නිසා හානියට පත් වූ ක්ෂේත්‍ර පැවති තත්ත්වයට වඩා ගුණාත්මක බවින් සහ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත ව ගොඩනැඟීමයි මෙහි ප්‍රධාන අරමුණ. මෙහිදී විවිධ අමාත්‍යාංවලට අයත් ක්ෂේත්‍රවල සිදු වූ හානි සහ ඒ අනුව එම ක්ෂේත්‍ර පැවති තත්ත්වයට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ව නැවත ගොඩනැඟීම සඳහා විවිධ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වීමට නියමිත ව තිබෙනවා. ඒ, ප්‍රධාන ක්ෂේත්‍ර 08ක මෙවැනි ව්‍යාපෘති 198ක්. කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ ක්ෂේත්‍රවල ස්ව කැමැත්ත අනුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා අනුග්‍රහය දැක්වීමේ අවශ්‍යතාවක් තිබෙනවානම් ඒ සඳහා ඍජු ව ම දායක විය හැකියි. ඒ අනුව ඉදිරියේදී මේ ව්‍යාපෘති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති.

දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ හානිය ඇස්තමේන්තු කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ව එය සිදු කිරීම වැදගත්. එහිදී ශ්‍රී ලංකාව කළ  ඉල්ලීම අනුව ලෝක බැංකුව සිදු කළ කඩිනම් හානි ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් පමණ වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1200ක් පමණ. 2026 වර්ෂයේ අය වැයෙහි සංවර්ධන කටයුතු සඳහා (ප්‍රාග්ධන වියදම්) වෙන්කරන ලද මුදල රුපියල් බිලියන 1380ක්. එයින් අපට අවබෝධ වනවා වසරකදී සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන ලද මුදලට බොහෝ සෙයින් සමාන හානියක් ආපදා තත්ත්වය නිසා සිදු ව ඇති බව. මේ හානි ඇස්තමේන්තුවේ ප්‍රවාහන පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්වලට සිදු වූ හානි, පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වූ හානි, නිවාස, වගාබිම්, සත්ත්ව පාලනය, කර්මාන්ත ආදි ක්ෂේත්‍ර ගණනාවකට සිදු වූ හානි ඇතුළත්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ‘පශ්චාත් ආපදා තක්සේරුකරණයක්’ (Post Disaster Need Assessment) විවිධ ජාත්‍යන්තර සංවිධානවල තාක්ෂණික සහයෝගය ලබා ගනිමින් සිදු කරමින් සිටිනවා. මේ ඇස්තමේන්තු දෙක අතර වෙනස්කම් ඇතිවිය හැකියි. එය ස්වාභාවික තත්ත්වයක්. ගණනය කිරීමේ අරමුණ, ගණනය  කිරීමේ ක්‍රමවේදයේ වෙනස්කම් පැවතීම ඊට හේතු. එම වාර්තාව නුදුරු කාලයේදී ම ලැබේවි. මේ තක්සේරුව සිදු කරමින් පවතින අතරතුරයි විවිධ අමාත්‍යාංශ විවිධ ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් සිටින්නේ.

පුනරාවර්තන වියදම් කළමනාකරණයෙහි උපක්‍රමයක් ලෙස IMҒ සමඟ වූ එකගතාව අනුව අවම වශයෙන් 4.2%ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට බැඳියාවක් පවතිනවා. ඒ අනුව එය දැනටමත් 2026 වර්ෂයේ ප්‍රාග්ධන වියදම් ලෙසින් වෙන් කර තිබෙනවා. ආපදා හානි ඇස්තමේන්තුව ද ඒ හා සමාන මුදලක්. ශ්‍රී ලංකාව IMҒ සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව ඔවුන්ගේ එකඟතාව ද ලබා ගත යුතු ව තිබුණා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව ම මෙවැනි ව්‍යසනයකදී මේ අනුපාතය යම් තරමකින් ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව අමතර මුදලක් ලෙසින් රුපියල් බිලියන 350ක් ප්‍රාග්ධන වියදම් ලෙසිනුත් බිලියන 150ක් වර්තන වියදම් ලෙසිනුත් වෙන් කර තිබෙනවා. ඒ සඳහා IMҒ එකඟතාව ද ලැබී තිබෙනවා. නිවාස වන්දි ලබා දීම ආදිය සිදුවන්නේ වෙන් කරන ලද පුනරාවර්තන වියදම්වලින්. වන්දි ලබා දීමේ වේගය රඳා පවතින්නේ පහළ ම පරිපාලන මට්ටමේ ඒ සඳහා වූ ක්‍රියාවලිය අවසානයේදී. නිවාස ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වැනි කාරණාවලදී වැඩසටහනේ මූලික අරමුණක් වන තිරසර වූ, ඔරොත්තු දෙන නැවත ගොඩනැඟීමක් අපේක්ෂා කරනවා. එය තාක්ෂණික ක්‍රියාවලියක්. එය ක්ෂණික ව කළ හැකි හෝ කළ යුතු දෙයක් හෝ නොව නිවැරදි ව කළ යුත්තක්.

ආපදාවෙන් පසු හානි ප්‍රතිපූර්ණයේදී ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මූල්‍යනය කිරීමේ උපක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. දැනටමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හඳුනාගෙන ඒවායේ අරමුණ (Scope) වෙනස් කිරීමෙන් (Repurpose) එම ව්‍යාපෘති වඩාත් නම්‍යශීලී සහ ඒකාබද්ධතාවකින් යුතු ව ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි පළමු උපක්‍රමය. දෙවැන්න වන්නේ නව ව්‍යාපෘති හඳුනා ගැනීම සහ ඒවා විදේශීය ණය ආධාර මගින් මූල්‍යනය කිරීම (Reallocating). මේ සඳහා දැනටමත් විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් ව තිබෙනවා. තුන් වැනි උපක්‍රමය වන්නේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත පදනම් ව ව්‍යාපෘති මූල්‍යනය කිරීම. මේ අනුව පශ්චාත් ආපදා කළමනාකරණයේ නැතහොත් ආපදා හානි ප්‍රතිපූර්ණයේ තුන් වැනි මූල්‍යන උපක්‍රමය Rebuilding Sri Lanka අරමුදල.

ආපදාවකදී හානි පූර්ණයේ සමස්ත ක්‍රියාවලිය ම පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රතිපූර්ණය කළ නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිපූර්ණය සඳහා සැලකිය යුතු මට්ටමකින් පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. සෑම දායකත්වයක ම පූර්ණ විනිවිදභාවය සහතික කරන, රජයේ අනුමැතියලත් සුරක්ෂිත ද්වාරයක් පවත්වාගෙන යමින්, ජාතික මට්ටමින් අනුමත කරන ලද ප්‍රමුඛතා සහන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කිරීමට පුරවැසියන් සහ සංවිධාන ඒකාබද්ධ කිරීමෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වඩාත් ශක්තිමත් තලයකට ඔසවා තැබීම සඳහා අත්‍යවශ්‍ය සේවා යළි ස්ථාපිත කරමින් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි Rebuilding Sri Lanka වැඩසටහනේ පරමාර්ථය. ඕනෑ ම පරිත්‍යාගශීලියෙකුට මේ සඳහා ඍජු ව ම දායක විය හැකියි, www.rebuldingsrilanka.gov.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ [email protected]  විද්‍යුත් ලිපිනයෙන් හෝ 1800 දුරකතන අංකය සමඟ හෝ සම්බන්ධ වීමෙන්.