ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ ආර්ථික අර්බුදය
2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකා රජය විසින් එදිනට පෙර ගන්නා ලද නොපියවා ඇති විදේශ ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ප්‍රකාශයට පත් කරන ලදි. එය රටක් බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් යැයි කිව හැක්කේ ශ්‍රී ලංකාව සමග කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය ගණුදෙනු බොහොමයක් ඒ හේතුවෙන් නැවතීමට ඉඩ තිබූ බැවිනි. ණය නොගෙවීම පිළිබඳ ප්‍රකාශය නිසා විදේශ රටවල් ශ්‍රී ලංකාවට ණය ලබාදීම නවතා දමන ලදි. ගිවිසගෙන ඇති සමහර ණය මුදල්වල ඉතිරි වාරික ශ්‍රී ලංකාවට ලබාදීම ද අත්හිටුවන ලදි. සමහර රටවල් ශ්‍රී ලංකාවේ බැංකුවල ණයවර ලිපි පිළිගැනීම ආදිය ද නවතා දමන ලදි. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රී ලංකාවේ බොහෝ මූල්‍ය කටයුතු අවහිර වන්නාවුත්, අන්තර්ජාතික ගණුදෙනුවලදී සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේදී විවිධ අවහිරතාවයන් ඇති වන්නා වූත් තත්ත්වයකට රට මුහුණ දෙමින් සිටියේය.
එක් අතකින් ඒ ආකාරයේ පසුබැස්මකට රට මුහුණදෙමින් සිටියදී සාර්ව ආර්ථික කටයුතු කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ද, රටේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ගැටළු රැසකට මුහුණදීමට සිදුවිය. එය වැඩි වශයෙන් ම ප්‍රදර්ශනය වූයේ විනිමය අනුපාත සහ ගෙවුම් ශේෂ තත්ත්වයන් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වු අතර, එය ඩොලරයකට රුපියල් 370 දක්වා අවප්‍රමාණය වූයේය. රටට ලැබෙන සංචාරක ආදායම අහිමිවීම, විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීම වැනි ගැටළු ද ඇති විය.
2019 අප්‍රේල් මස සිදුවු පාස්කු ප්‍රහාරයේ සිට ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් විවිධාකාරයේ ගැටළුවලට මුහුණදීමට සිදුවිය. රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය විශාල ලෙස අඩුවීම, ආයෝජන සහ අනෙකුත් කටයුතුවල පසුබැසීමක් ඇතිවීම වැනි හේතු නිසා විදේශ විනිමය ලැබීම් පහළ ගිය අතර ආයෝජන සහ විදෙස් ප්‍රදානවල විශාල අඩුවීමක් ද දක්නට ලැබුණි. මේ සියල්ලේ ප්‍රතිඵලය වුයේ ගෙවුම් ශේෂ ගැටළු ඇතිවීමත්, විදේශ සංචිතවල ක්ෂයවීමක් දක්නට ලැබීමත් ය.
2022 වර්ෂයේ අවසන් භාගයේදී විදේශ සංචිත පිරිහීම කෙරෙහි බොහෝ දුරට ඉහත කී කරුණු බලපෑ අතර කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක පැමිණීම විශාල ලෙස අඩුවීම, විදේශ ප්‍රේෂණ අඩුවීම, කෝවිඩ් එන්නත් සහ ඖෂධ සඳහා විදේශ විනිමය විශාල ලෙස වැයවීම ආදී හේතු රැසක ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය අර්බුදය උග්‍ර වන්නට විය. 2019 වසරේ දේශපාලන වෙනස්වීම් වලින් පසු ඇති කරන ලද බදු ප්‍රතිසංස්කරණ වලින් ද අයවැය ලේඛනය කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇතිවු බව පෙනේ. බදු ආදායම අඩුවී අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියේය. මේ සියල්ලේ ප්‍රතිඵලය වුයේ රට විශාල අර්බුදයකට මුහුණදීමත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමත් ය.
විදේශ ණය ආපසු ගෙවීම නැවැත්වීම හේතුවෙන් සාර්ව ආර්ථික කළමනාකරණය බිඳ වැටුන ද ක්‍රම ක්‍රමයෙන් ඒවා කළමනාකරණය කර ගැනීමට රජය විසින් පියවර ගත් බව පෙනේ. උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය නමුත් එය පාලනය කිරීමට රජය විසින් සාර්ව ආර්ථික ප්රතිපත්තිවල වෙනස්කම් ඇති කරනු ලැබීය. ඒ හේතුවෙන් උද්ධමනය පාලනය කිරීම, විනිමය අනුපාත අවප්‍රමාණය වළක්වා ගැනීම, අත්‍යාවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතා සඳහා අරමුදල් රැස් කිරීම ආදී ප්‍රතිපත්ති මගින් සැළකිය යුතු මට්ටමක ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට හැකිවු බව පෙනේ. රජය ඇතිව තිබුණු ගැටළු විසඳාගෙන මුල්‍ය ස්ථාවරභාවය ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සඳහා අයඳුම් කරන ලදි. 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම් ප්රදානය කිරිමට තීරණය කළ අතර ඒ වෙනුවෙන් රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය එකඟ විය. එහි එක් මූලික කොන්දේසියක් වූයේ රජය වහාම රටේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම සඳහා වු විධිමත් ක්‍රියා පිළිවෙතකට යොමුවිය යුතුය යන්නයි. ඒ සඳහා ණය ලබාදුන් රටවල්, ආයතන සහ ආයෝජකයන් සමග ඒකාබද්ධ වැඩපිළිවෙලකට පිවිසිය යුතු බව ශ්‍රී ලංකාව සහ මූල්‍ය අරමුදල අතර ඇතිකරගත් එකඟතාවන්ගේ සඳහන් වේ.
ශ්‍රී ලංකා රජය ක්‍රම 03 කට විදේශ ණය ලබාගෙන තිබුණි. බහුපාර්ශවීය මූල්‍ය ආයතන, ද්විපාර්ශවීය ණය සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ ණය වශයෙනි. ජාත්‍යන්තර බහුපාර්ශවීය මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවට ණය ප්රදානය කර තිබුණේ සංවර්ධනය සඳහා වු මූල්‍ය සහයෝගීතාවය අරමුණු කර ගනිමිනි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් මේ ආකාරයට ණය ලබාගෙන තිබුණි. රජය විදේශ ණය ගෙවීම නවතා දැමීමෙන් පසුව වුවද මෙම ආයතන වලින් ලබාගෙන තිබු ණය ආපසු ගෙවීම නවතා දැමීමක් සිදුවුයේ නැත. ඊට හේතුව ශ්‍රී ලංකාව විසින් ණය නොගෙවීමේ ප්‍රකාශය කළ පසු ශ්‍රී ලංකා රජයට එම ආයතන සමග වු ණය ගෙවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමට උපදෙස් දෙනු ලැබීමයි. ඒ අනුව රජය එම ආයතනවල ණය ගෙවීම නතර කිරීමක් නොකළ අතර ආපසු ගෙවීම් ඒ ආකාරයටම පවත්වාගෙන යන ලදි. එබැවින් ඒ සම්බන්ධ ගැටළුවක් පැවතුණේ නැත.
රජය විසින් ලබාගෙන තිබු මුළු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 ක් විය. එයින් ඩොලර් බිලියන 22.3 ක් සංවර්ධන ආධාර වු අතර ඒවා සපයා තිබුණේ බහුපාර්ශවීය මූල්‍ය ආයතනවලින සහ විවිධ රටවල් විසිනි. බහුපාර්ශවීය මූල්‍ය ආයතන වලින් ඩොලර් බිලියන 11.7 ක් ද, විවිධ රටවලින් ද්විපාර්ශවීය ණය වශයෙන් ඩොලර් බිලියන 10.6 ක්ද ලබාගෙන තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ලබාගෙන තිබු ඩොලර් බිලියන 11.7 ක ණය මුදල ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීම නැවැත්වු අවස්ථාවේදී ද ඉහතින් සඳහන් කළ පරිදි අඛණ්ඩව ගෙවමින් සිටී. එබැවින් එම ණය මුදල් ප්රතිව්යූහගතකිරීමක් සිදු නොවේ. එයට හේතුව එම ණය ලබාගෙන ඇත්තේ ඉතා අඩු පොළී අනුපාත යටතේ වීමත් ඒවා ගෙවීම සඳහා දිගු කාලයක් ලබාදී තිබීමත් ය.
පසුගිය 26 වෙනිදා ප්‍රතිව්‍යූහගත කරන ලද්දේ ද්විපාර්ශවීය ගිවිසුම් යටතේ විවිධ රටවලින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 10.6 ක මුදලය. ඒ අනුව චීනයෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 4.66 ජපානයෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 2.35 සහ ඉන්දියාවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.36 ඇතුළු ඩොලර් බිලියන 10.6 ක ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වු ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මේ දක්වා නොගෙවා තිබු මෙම ණය මුදල් ආපසු ගෙවීම ආරම්භ වන්නේ 2028 වසරේ වන අතර ගෙවා අවසන් කිරීම සඳහා 2042 දක්වා කාලය ලැබී තිබේ.
මෙම ප්‍රතිව්‍යූහගතකරණය හේතුවෙන් ණය ආපසු ගෙවීම සඳහා ඒ ආකාරයට සහන කාලයක් ලැබී ඇති අතර ඒ ඒ රටවල් විසින් පොළී අනුපාත කපා හැරීමක් ද සිදුකර තිබේ. ඒ නිසා එක අතකින් මීට පෙර ශ්‍රී ලංකාවට ගෙවීමට තිබු ණය වාරික සැළකිය යුතු මට්ටමකින් අඩුවන අතර ගෙවීමට ඇති කාලසීමාව දික් කිරීම නිසා රට මත පැටවී තිබු ණය පීඩනය සැළකිය යුතු මට්ටමකින් අඩුවේ. ඒ හේතුවෙන් රටට ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන අතර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.7 ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වු සාකච්ඡා තවමත් පැවැත්වේ. ඒ පිළිබඳව ද ඉතා ඉක්මණින් අවසන් නිගමනවලට එළඹීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට හැකිවීම නිසා ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීම නතර කිරීම හේතුවෙන් නවතා දමන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නැවත ආරම්භ කිරීමට ඉතා ඉක්මණින් අවස්ථාව සැලසෙනු ඇත. රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වී ඇති නිසා රට තුළට ආයෝජන ගලා ඒමද ආරම්භ වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර පුද්ගලික සහ ආයතනික මට්ටමින් සිදුවන වානිජ ගණුදෙනු ද යථා තත්ත්වයට පත්වනු ඇත. එහි ප්‍රතිඵල ආර්ථික වර්ධනය ඉහළ යෑම ඔස්සේ සියළු ජන කොටස්වලට භුක්ති විඳීමට ඉඩ සැලසෙනු ඇත.