#කලා

ජීවිතයට ආදරය කරන්න

  • නුවන් කුමාර කටුගම්පල
  • රංගිකා අබේසේකර

ශ්‍රි  ලංකාවේ පාසල් වියේ පසුවන දරුවන් සියදිවි නසා ගැනීම පිළිබඳ සාකච්ඡුා පුළුල් වන කම්පන රැල්ලක් ඇතිවෙමින් තිබෙනවා. ලොවට ම ගැටලූවක් ව ඇති සියදිවි නසාගැනීම් පිළිබ`ද කාරණයට විස`දුම් සෙවීමට වෛද්‍ය, උපදේශන, නීති, අධ්‍යාපන, ආරක්ෂක යනාදී ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් මෙන් ම ක‍්‍රියාකාරීන් සහ සමාජ විද්‍යාඥයන් ද වෙහෙසෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි ආයතනත් ස්වේච්ඡුා සංවිධානත් ඊට දක්වන්නේ පුළුල් දායකත්වයක්. ඔවුන්ගේ පර්යේෂණ, ව්‍යාපෘති වාර්තා සහ දත්ත පාදක කර ගනිමින් මනෝවිද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක, සමාජවිද්‍යාත්මක සහ වෙනත් සාධක ඇසුරින් ඒ පිළිබඳ අවබෝධය සමාජගත කරවීමේ කාලීන අවශ්‍යතාව සඳහා යම් දායකත්වයක් දැක්වීමයි මෙවර දෙසතිය කවරයේ කතාවේ අපේක්ෂාව.

කාල මරණ සහ අකාල මරණ යනුවෙන් මරණයක් සිදුවන අවස්ථා තිබෙන්නේ ආකාර දෙකක්. ඒ අතරින් කාල මරණ යනු නිසි වයස් සම්පූර්ණ ව ස්වාභාවික ව සිදුවන මරණ. ලෙඩරෝග සහ හදිසි අනතුරු යනාදිය හේතුවෙන් අනපේක්ෂිත අවස්ථාවල සිදුවන මරණ, ඝාතන සිදුවීම් නිසා සිදුවන මරණ සහ සියදිවි නසා ගැනීම් නිසා සිදුවන මරණ අකාල මරණ ලෙස ගැනෙනවා. මෙසේ සිදුවන අවස්ථා අනුව ආකාර දෙකකටත් සිදුවන විදිය අනුව සිව් ආකාරයකටත් මරණයක් සිදුවිය හැකි බව පෙන්වා දෙන්නේ මනෝ උපදේශකයන්. මේ අතරින් සිය දිවි     නසාගැනීම යනු ජීවත් ව සිටින පුද්ගලයකු විසින් සිදුකළ හැකි බලවත් ම වැරැද්දදක්.

ලෝක තත්ත්වය

ලෝකයේ දළ වශයෙන් වසරකට 726,000කට අධික පිරිසක් සියදිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනාවරණය කරනවා. සියදිවි   නසාගැනීම් වැළැක්වීමේ දිනය ලෙස සෑම වසරක ම සැප්තැම්බර් 10 දින නම් කරනු ලැබ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග එක් ව සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IASP) විසින්. සියදිවි නසා ගැනීම වැළැක්විය හැකි බවට ලෝක ජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ.

2024-2026 ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සඳහා ඔවුන් තේමාව කර ගන්නේ ‘සියදිවි නසාගැනීම් පිළිබඳ ආඛ්‍යානය වෙනස් කිරීම ‍(Changing the narrative on suicide) යන්න. සියදිවි නසාගැනීම් සම්බන්ධ සම්මත වෙනස් කිරීමේ වැදගත්කම සහ සියදිවි නසාගැනීම් සංජානනය කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමයි මෙහි අපේක්ෂාව. එහිදී මානසික සෞඛ්‍යයට ප‍්‍රමුඛත්වය දෙන ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීම, රැකවරණය සඳහා ප‍්‍රවේශය වැඩි කිරීම සහ අවශ්‍යතා ඇති අය සඳහා සහය ලබා දීම එක් කාර්යයක්. සියදිවි නසාගැනීමේ සංකීර්ණතා වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා පර්යේෂණවලට ආයෝජනය කිරීම වැනි තවත් කාර්ය ඊට ඇතුළත්.

මානසික බලපෑම

දිගු කාලයක් යටි සිතේ තැන්පත් ව පවතින ස්වයංව විනාශය ළඟා කර ගැනීමට තිබෙන අපේක්ෂාව සිය දිවි නසා ගැනීමට කෙනකු තුළ බලය උත්පාදනය කරනවා. මනසේ එවැනි වෙනසක් සිදුවිය හැක්කේ කෙනකුගේ අභ්‍යන්තරයේ සිදුවන ප‍්‍රබල කම්පනයකින්. එවැනි කම්පනයකට බලපාන හේතු සාධක ගණනාවක් වනවා. ඒ අතර මූලික වන්නේ තමා සතු සියලූ ම බලාපොරොත්තු සුන් වූ බව සිතීමත් තමාගෙන් කිසිවකුටවත් වැඩක් නැතැයි යන හැඟීමත් තමන්ගේ වටිනාකම නොවැටහීමත් නිසා ඇතිවන ඉච්ඡුාභංගත්වය වැනි කාරණා නිසා හටගන්නා මානසික රෝගී තතත්ව තීව‍්‍ර වීම. එබඳු ව්‍යාධි නිසා අධික වන මානසික අවපීඩනය ඇතිකරන චිත්තවේගයි මිනිසා සියදිවි නසා ගැනීමට මෙහෙයවන්නේ.

ආතතිය, (Stress) කාංසාව, (Anxiety) හිස්ටීරියාව, (Hysteria) භින්නෝන්මාදය, (Schizophrenia) භීතිකාව, (Phobia) සහ විෂාදය, (Depression) වැනි රෝග හටගන්නට පෙර පුද්ගලයන් වෙතින් යම් යම් චර්යාත්මක වෙනස්කම්, ප‍්‍රකාශවල වෙනස්කම් සහ චින්තනමය වෙනස්කම් බාහිරට දිස්වන්නේ කැපී පෙනෙන ආකාරයෙන්. ආතතිය සමග බැඳී එන නොඉවසිලිමත්භාවය, නොසැලකිලිමත්භාවය, නුරුස්නාගතිය, හිසරදය, හදිසි කෝපය, ආවේග කළමනාකරණ දුර්වලතා, ආමාශගත රෝග,     ලිංගික දුර්වලතා, ප‍්‍රතිශක්තිය අඩුවීම, රුධිර පීඩනය වැඩිවීම වැනි රෝග ලක්ෂණ එලෙස පෙන්නුම් කෙරෙනවා. මෙහි සඳහන් අනෙක් බොහෝ රෝගී තත්ත්වවල මූලික ලක්ෂණ ද බොහෝදුරට ඒවාට සමානයි. හිස්ටීරියා තත්ත්වයේදී වෛද්‍ය පරීක්ෂණවලට රෝග ලක්ෂණ ලෙස හසු නොවන හදිසි ශාරීරික අකර්මන්‍යතා, ඇස් පෙනීම දුර්වල වීම, කතා කිරීමට නොහැකි වීම වැනි අසාමාන්‍යතා හටගන්නවා. කාංසාව ඇකි අයකු පෙන්වන්නේ නොසන්සුන් බව, තැති ගැන්ම, කණස්සල්ල, බියසුළු ස්වභාවය, සමබරතාව ගිළිහීම, සන්ත‍්‍රාසය, අධික දහදිය ගැලීම, හිරිය, කරකැවිල්ල, හුස්ම හිරවීම, හෘදයස්පන්දනය වැඩිවීම වැනි ලක්ෂණ. උදාසීනත්වය, අමතකවීම, අධි හෝ ඌන ක‍්‍රියාකාරීත්වය, ගුප්ත හැසිරීම් පෙන්වීම, කතාබහේ දුර්වලතා, ශරීරයේ සංවේදීභාවය අඩු වීම සහ අංශභාගය වැනි තත්ත්වවලට ගොදුරු වීම හිස්ටීරියා රෝගයේදී පෙන්වන ලක්ෂණ. භීතිකාවෙන් පෙළෙන අය දක්වන්නේ අසාමාන්‍ය සබකෝලය, අහේතුක ව දක්වන අධික බියසුළු බව, අවස්ථා මගහැර පලා යාම, සමාජ ආශ‍්‍රයෙන් මිදීම, පිරිස් සමූහයා අතරේදී දහදිය දැමීම, වෙව්ලීම, මුහුණ රතු වීම, බඩ දැවිල්ල, නිතර වැසිකිළි යාමේ අවශ්‍යතා ඇතිවීම, මාංශ පේෂි තද වීම, කරකැවිල්ල, ඔක්කාරය වැනි සංකූලතා සහ හැසිරීම් ලක්ෂණ. කාන්තාවකට නම් කන්‍යාභාවය අහිමිවීම වැනි සමාජ සංස්කෘතික වශයෙන් ආචාරධර්මීය ව සහ හරපද්ධතිමය ලෙස දැඩි ව ප‍්‍රශ්න කරන ජීවවිද්‍යාත්මක කාරණා ද දිවි නසා ගැනීමට හේතුකාරක වන අවස්ථා බහුලයි.

සියදිවි නසාගැනීමේ හැසිරීම් සඳහා බලපාන ජීව විද්‍යාත්මක සාධක අතරට ස්නායු සම්පේ‍්‍රෂක අසමතුලිතතාව (Neurotransmitter Imbalance) ජානමය සාධක, ආතති ප‍්‍රතිචාරය, (Hypothalamic Pituitary Adrenal) ප‍්‍රදාහය, (Inflammation) මොළයේ ව්‍යුහය යනාදිය අයත්. ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාල සිදු කළ අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට ස්නායු සම්ප්‍රේෂක පද්ධතිවල අසාමාන්‍යතා,  විශේෂයෙන් සෙරොටොනින් රසායනිකය (Serotonin) සියදිවි නසාගැනීමේ සිතිවිලි සහ හැසිරීම්වලට දායක වනවා. මනෝභාව හැසිරවීම සම්බන්ධ රසායනික ද්‍රව්‍යයක් වන සෙරොටොනින් අඩුවීම සියදිවි නසාගත් සහ සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන්ගේ වැඩි වශයෙන් දක්නට ලැබෙන බව පර්යේෂකයන් සඳහන් කරනවා. මේ රසායනික අසමතුලිතතාව මානසික අවපීඩනය, ආවේගශීලීත්වය සහ දුර්වල චිත්තවේගී හැසිරීම්වලට හේතු වන්නක්.

මානසික රෝග හෝ සියදිවි නසාගැනීම පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති අයගේ ද සියදිවි නසාගැනීමේ හැඟීම් ඇති වීමේ යම්කිසි අවදානමක් තිබෙනවා. විශේෂයෙන් මනෝභාව හැසිරවීම සහ ආතතියට අදාළ විශේෂ ජාන විකෘතිතා ඔවුන්ට ඇති වී තිබෙන්නට පුළුවන්. හයිපොතලමික් (Hypothalamic&) පිටියුටරි (Pituitary) අධි වෘක්ත (Adrenal) ග‍්‍රන්ථි ශරීරයේ ප‍්‍රතිචාර පාලනය කරනවා. මේ පද්ධතියේ අක‍්‍රමිකතා උත්සන්න වීමෙන් පෙර සාකච්ඡුා කළ බොහෝ මානසික රෝග ලක්ෂණ දිස්වන්නට පුළුවන්. මේ සියල්ල සියදිවි නසාගැනීමේ අවදානම වර්ධනය කරන්නේ නිධන්ගත ආතති තත්ත්වය ඇතිකරමින්.

මේ තත්ත්ව සියදිවි නසා ගැනීමක් දක්වා ප‍්‍රබල නොවී පහසුවෙන් සුව කර ගත හැකි වුවත් ඒවා නොසලකා හැර සිටීමෙන් සිදුවන්නේ ජීවිතය එපා වීම දක්වා තත්ත්වය උග‍්‍ර වීම. සියදිවි නසා ගැනීම සඳහා ප‍්‍රබල ව ම පාදක වන රෝගයක් විෂාදය. විෂාදයේ ලක්ෂණ වන්නේ නිරන්තරයෙන් ම කල්පනා කිරීම, කණස්සලූ බව, නිතර කනගාටුවෙන් පසුවීම, අධික වෙහෙස, ශාරීරික අප‍්‍රාණිකත්වය, අවධානය ගිළිහී යාම, ලිංගික ක‍්‍රියාකාරකම් හීන වීම, ආහාර අරුචිය, බර අඩු වීම, නින්ද නොයාම, අසුබවාදී ව සිතීම, දැකීම සහ කතා කිරීම, හැඬුම්බර වීම, දිවි තොර කර ගැනීමේ අදහස් පහළ වීම යනාදිය. ස්නායු පද්ධතියට සිදුවන හානි නිසා මොළයේ ක‍්‍රියාකාරිත්වය මෙන් ම රුධිර සංසරණයේ අක‍්‍රමිකතා ද ඇතිවනවා. ඒ හේතුකොටගෙන හටගන්නා ඉන්ද්‍රිය මූලික රෝග සහ මතක ශක්තිය දුර්වල වීම යනාදිය නිසා ද පුද්ගලයකු සියදිවි නසා ගන්නට පුළුවන්. ශ‍්‍රී ලංකාවේ විශේෂයෙන් ගැමි ජනයා අතර පවතින හදි හූනියම් වැනි ගුප්තවිද්‍යා පිළිබඳ දැඩි විශ්වාසය හේතුවෙන් ජීවිතය සහ තමා පිළිබඳ මෙන් ම අනුන් පිළිබඳ අවිශ්වාසය, සැකය සහ බිය හටගැනීම නිසා ද කෙනකුට ජීවිතය එපා වන්නට පුළුවන්.

යෞවනය සහ තාරුණ්‍යය

සමාජ වාතාවරණවලට අනුවර්තනය වීමේ දුර්වලතා වයස අවුරුදු 15-29 පමණ වන නව යොවුන් සහ තරුණ වියේ දරුවන්ට පවතින ගැටලූවක්. බොහෝ විට ඊට බලපානු ලබන්නේ දරුවන් කුඩා කලදී නිසි සමාජානුයෝජනය නොවීම. එසේ ම ඔවුන්ට යහපත් සමාජ ජීවිතයක් (Successful Community life) නැතිකම සහ

ශක්තිමත් පුද්ගලික ජීවිතයක් (Successful inner personal life) නිර්මාණය වී නොතිබීම ද ඊට මුල්වනවා. මේ පිළිබඳ ඍජු වගකීම දෙමව්පියන්ට සහ භාරකරුවන්ට පැවරෙන්නක්. සමාජීය ඇවතුම් පැවතුම්, අන්තර් පුද්ගල සහසම්බන්ධතා, සමවයස් කණ්ඩායම් සමග හැසිරීම, රටේ සම්මත නීතිරීති, සංස්කෘතිකමය කාරණා, ස්වයං අවබෝධය, විවිධ පුද්ගල චර්යා වටහා ගැනීම, ගැටුම් නිරාකරණය, ජය පරාජය සම ව භාරගැනීම, පළි නොගැනීමේ චේතනාව, නූතන ලෝක තත්ත්ව ගැන අවබෝධය, සමාජ සංකීර්ණභාවය වටහා ගැනීම වැනි පුද්ගල සංවර්ධන අවශ්‍යතා දරුවකුට නොසපිරෙන්නේ සමාජානුයෝන ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම සහ අධ්‍යාපනය අඩාල වීමෙන්. ඔවුන්ට නැත්තෙ ප‍්‍රශ්න හමුවේ ඔරොත්තු දීමේ හැකියාව. එවිට ඉතා සරල ප‍්‍රශ්නවලින් පවා සිත් තැවුලට පත් ව මානසික ව බිඳවැටීම නිසා සිදුවන ප‍්‍රබල පෞරුෂ හානිය හේතුවෙන් සිය දිවිනසාගැනීම වැනි භයානක වැරදි විසඳුම්වලට එළැඹෙනවා.

පෞරුෂ ගැටලූ මතුවිය හැකි වෙනත් අවස්ථා ද තිබෙනවා. කුඩා කල සිට ම පවුලේ සහ ඉන් බාහිර ව විවිධ තාඩන පීඩන, හිංසන සහ අපයෝජන යනාදී අමිහිරි අත්දැකීම්වලට මුහුණපෑම, අසම්මත චර්යාවල සහ අපචාර ක‍්‍රියාවල ගොදුරු බවට පත් ව සමාජයේ උදහසට, ප‍්‍රතික්ෂේපවීමට සහ දෝෂාරෝපණයට ලක්වීම, පවුල් කඩාකප්පල් වීම නිසා සමාජයේ අවතැන් ව පිළිසරණක් නොමැති තත්ත්වයට පත්වීම, ළමා කාලයේදී ලැබිය යුතු ආදරය, පිළිගැනීම, ආත්මාභිමානය, ගෞරවය පෞද්ගලිකවත් සමාජීයවත් අහිමි වීම, පවුලේ ආර්ථික ප‍්‍රශ්න නිසා මූලික මිනිස් අවශ්‍යතාවත් සම්පූර්ණ කර ගත නොහැකි වීම, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී දරාගත නොහැකි (Sick) තත්ත්වයට පත්වීම, පවුලේ අන් අයගේ අදහස් නොතකා මව්වරුන් සහ බිරින්දෑවරුන් ගෘහසේවය වැනි  රැකියාවලට විදේශගත වී අන් අය නිවෙස් තුළ හුදෙකලා වීම, විවාහක පුද්ගලයන් අනියම් සම්බන්ධතා පැවැත්වීම, දෑවැදි ප‍්‍රශ්න, වැන්දඹු ප‍්‍රශ්න, මුදල් ගනුදෙනු සහ දේපොළ උරුම සම්බන්ධ මතභේද සහ තරහ මරහ දුරදිග යාම නිසා ඇතිවන  වෛරය, වේදනාව වැනි හැඟීම් වර්ධනය වීම, යුද්ධවලදී සතුරාට හසුවීමට වඩා සිය දිවිනසා ගැනීම අභිමානයක්යැයි සිතීම, යුද්ධය වැනි යම් නිශ්චිත අරමුණු උදෙසා මරාගෙන මැරීමට ලැබෙන පුහුණුව අනුව සියදිවි නසා ගැනීම, එය පරිත්‍යාගයක් හෝ වීරක‍්‍රියාවක් ලෙස අර්ථකථනය සහ ඒවා විශ්වාස කිරීම, මාධ්‍ය ප‍්‍රචාරණවලින් හෝ සියදිවි නසා ගන්නා අවස්ථා පුද්ගලික ව නිරීක්ෂණය කිරීමෙන් එවැන්නකට උත්තේජනයක් සහ පෙළඹීමක් ඇති වීම යනාදිය ඊට අයත්.

ශ‍්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සහ ස්වයං හානිය සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලූවක්. 1997 සිට ශ‍්‍රී ලංකාව සියදිවි නසාගැනීම්වල සැලකිය යුතු අඩුවීමක් අත්කර ගෙන ඇතත් අඛණ්ඩ ව වාර්තා වන සියදිවි නසාගැනීම් ගෝලීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගන්නවා. ජාතික පොලිස් සංඛ්‍යාලේඛන මත පදනම් ව 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ සියදිවි  නසාගැනීම් අනුපාතය පුරුෂ 100000:27ක්, ස්ත‍්‍රී 100000:05ක් සහ සමස්ත සියදිවි නසාගැනීම් අනුපාතය 100000:15ක් වනවා. මේ අතරට යොවුන් වියේ සහ තරුණ වියේ පසුවන දරුවන්ගේ සියදිවි නසාගැනීමේ ඉහළ අගය ද ඇතුළත්.

මානසික වශයෙන් දරුවන් දුර්වල වන අවස්ථා හඳුනා ගැනීමට සමාජය දැනුමෙන් සන්නද්ධ නොවීම මේ ප‍්‍රවණතාවට බලපාන මූලික ම කාරණයක්. ඔවුන්  සියතින් තමන්ට හානි කර ගන්නට පෙළඹීම පිටුපස ඇති සංවේදී කාරණා මෙනවාදැයි සමාජය දැන හඳුනාගත යුතු වනවා.

විශේෂයෙන් ම ආදරය, විවාහය සහ ලිංගිකත්වය වැනි දේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පවතින සංස්කෘතික, සමාජීය සහ ප‍්‍රතිපත්තිමය දැඩි බව, විවිධ කාලීන නොවන විශ්වාස, පිළිගැනීම්, අභිචාර විධි, සිරිත්විරිත්, සහ වැඩිහිටි පරපුරේ පවත්නා ගතානුගතික ආකල්ප යනාදිය බලපෑමෙන් ඔවුන්ගේ නිදහස සීමා වනවා. වධබන්ධනවලට ලක්වනවා. එවැනි දේ ඉවසා දරා ගත නොහැකි වීම නිසා තමාගෙන් පළි ගැනීම වැනි දරුණු තීරණ ගැනීමට දරුවන් පෙළඹෙනවා.  පේ‍්‍රමය බිඳවැටීම්, ලිංගික ඊර්ෂ්‍යාව, අත්කර ගැනීමට අපොහොසත් වීම, වැනි හේතු නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය පාදක ව බහුල සියදිවි නසාගැනීම් සංඛ්‍යාවක් වාර්තා වුවත් ඊට ප‍්‍රබල ව බලපාන සාධක තව බොහෝ තිබෙනවා. ආර්ථික, රැකීරක්ෂා, අධ්‍යාපන (විභාග අසමත්වීම් වැනි*, නව සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ ප‍්‍රතිඵල ලෙස පැමිණෙන සියදිවි නසා ගැනීමෙන් අවසන් වන ආකාරයේ අන්තර්ජාල පරිගණක ක‍්‍රීඩාවලට ඇබ්බැහි වීම, ගුරුවරුන්ගේ සහ වෙනත් හිතවත් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිනොගැනීමේ අකීකරු අභිමානයක් ඇතැම් දරුවන්ගේ සිත්වල හට ගැනීම. දරුවන්ගේ ආකල්ප සංවර්ධනයට සහ ඔවුන් තුළ සහකම්පනය ඇතිකිරීමට රටේ වගකිවයුතු අංශ දක්වන අවධානය ප‍්‍රමාණාත්මක නොවීම, සමාජයේ මානුෂීය සබඳතා, ගුරු-ශිෂ්‍ය සම්බන්ධතා දුරස් වීම සහ විෂයමාලා ආවරණයට පමණක් පාසලේ පංති කාමරය සීමා වීම, ආගම, ක‍්‍රීඩාව, සාහිත්‍ය, කලාව වැනි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පාදක විෂය ක්ෂේත‍්‍ර සහ සෞන්දර්යාත්මක භාවිතාවන්ගෙන් ඈත් ව දැනුම සෙවීම අධ්‍යාපනයේ මූලික කාර්යය බවට පත්වීම යනාදිය ඒ අතර වනවා. තමා මුහුණදෙන ප‍්‍රශ්නයට වඩා බරපතළ ප‍්‍රශ්නවලට අනෙක් අය මුහුණදෙන බව නොසිතා ක‍්‍රියා කිරීම සහ තමා මුහුණදෙන්නේ ලෝකයේ තිබෙන බැ?රුම්ම ප‍්‍රශ්නයටය යනාදී වශයෙන් වන හුදෙකලා පීඩිත මානසිකත්වය දරුවන් තුළ ඇති වීම ද ඊට හේතු. යම් කරදරයකට, වරදකට හෝ පරාජයකට මුහුණපෑ දරුවන් සමාජය සැමදා කොන් කර තැබීම, දිගින් දිගට ම පරිභව කිරීම, උසුළුවිසුළු කිරීම, ඔවුන් හිරිහැරයට සහ කරදරයට පත්කිරීම වැනි හේතු නිසා ද යමකුට ජීවිතය එපා වීමට පුළුවන්. අපචාර, අපයෝජන, ගෘහස්ථ හා සමාජ හිංසනවලට ගොදුරු වීම, දූෂණයට ලක්වීම, පාතාල සහ මැර කණ්ඩායම්වල ක‍්‍රියාකාරකම් සඳහා පෙළඹීම යනාදිය නිසා ළමයින් දරුණු වීමත් අනාථ අසරණභාවයට පත්වීමත් ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන් ගෙවන සමාජ ජීවිතය ගත කිරීමට නොහැකි වීමත් නිසා ද ජීවිතය කලකිරෙනවා.

තවත් විශේෂිත කාරණයක් වන්නේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හෝ ලිංගික දිශානතිය ගවේෂණය කරන හෝ ඒ සදහා අරගල කරන යෞවනයන් බොහෝ විට සියදිවි නසාගැනීමේ අවදානම වැඩි පිරිසක් ලෙස හඳුනාගෙන තිබීම. ඒ, ඔවුන් සමාජ අපකීර්තියට, වෙනස් කොට සැලකීම්වලට, ප‍්‍රතික්ෂේප කිරීම්වලට මුහුණපෑම හේතුවෙන්.

සියදිවි නසාගැනීමේ ප‍්‍රවණතා ඇති ඇතැම් යෞවනයන්ගේ මොළයේ ව්‍යුහාත්මක ක‍්‍රියාකාරී වෙනස්කම් පෙන්නුම් කරනවා. ඒ, තීරණ ගැනීම, ආවේග පාලනය, චිත්තවේග හැසිරවීම වැනි අවස්ථාවලදී. මෙහිදී මොළයට ඇති වන බලපෑම නිසා යෞවනයන් ආතතියට සහ චිත්තවේග අක‍්‍රමිකතාවලට ගොඳුරුවීමට ඇත්තේ වැඩි ඉඩක්.

වැඩිහිටියන් ළමයින්ට සවන් නොදීම මෙන් ම කිසිවකු එතරම් මායිම් නොකරන ළමයින් වැඩිහිටියන්ට සවන් දීමෙන් ඈත් වීම ද සැලකිය යුතු ප‍්‍රශ්නයක්.

මේ සම්බන්ධය ගිලිහී යාම සහ ඔවුන් දෙපාර්ශ්වය ම තාක්ෂණයේ වහලූන් බවට පත්වීම නිසා ළමයා ළමයාගේ ලෝකයේත් වැඩිහිටියා වැඩිහිටියාගේ ලෝකයෙත් හුදෙකලා වීම මෙබඳු තත්ත්වයක් ඇතිවීම කෙරෙහි පුළුල් ව බලපා තිබෙනවා.

දැඩි සොම්නස, දැඩි දොම්නස, බිය, කෝපය, ක්ෂණිකාවේගය, ඊර්ෂ්‍යාව,   පළිගැනීමේ චේතනාව, දුක, වියෝව, පසුතැවීම, තනිකම, ලැජ්ජාව, විරහව, හීනමානය, පරාජිත බව, ශාරීරික බෙලහීනතාව, ලෙඩ රෝග නිසා ඇතිවන ඉසිලිය නොහැකි වේදනාව, අහිමිවීම වැනි හැඟීම් සහ මානසික ව්‍යාකූලතා හටගැනීම කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරනවා. එක් එක් පුද්ගලයන්ගේ අඩු වැඩි වශයෙන් පවතින මේ චිත්ත ස්වභාව තේරුම් ගැනීමට අනෙක් අය අසමත්. ඔවුන්ට ඒ ගැන තැකීමක් නැහැ. එවැනි තත්ත්ව අවබෝධ කරගත හැකි අය ද ඒ බව ගැටලූවට මුහුණපා ඇති පුද්ගලයාගේ භාරකරුවන්ට හෝ අදාළ වගකිවයුතු පාර්ශ්ව වෙත ප‍්‍රකාශ කර ඊට පිළියම් යෙදීමට ඉදිරිපත් වන්නේ නැහැ. ඒ නිසා අවසානයේ බොහෝ කිට්ටුවන්තයන් සියදිවි නසාගෙන කනගාටුදායක ලෙස ජීවිතයෙන්ස මුගන්නා අවස්ථා අත්දකින්නට ජීවත් ව සිටින අයට සිදු වනවා. සියදිවි නසා ගැනීම් පිටුපස තිබන ඊට ආබද්ධ අනෙක් ප‍්‍රමුඛ ඛේදවාචකය එය.

පිළියම්

පාසල් කාලය ඉක්ම යන්නට පෙර මනුෂ්‍ය සමාජයේ සංකීර්ණතා, ජීවිතයේ වටිනාකම සහ නීතියේ බලවත්කම අවබෝධ වන ආකාරයේ විෂයයක් පාසල් විෂයමාලාවේ ප‍්‍රමුඛස්ථානයෙහිලා හඳුන්වා දීමෙන් මේ තත්ත්වයට පත්වන දරුවන් සංඛ්‍යාව අඩු කර ගත හැකියි. දරුවන්ගේ ක්ෂණිකාවේග පාලන ශක්‍යතා වර්ධනයට පියවර ගැනීම ද ඒ සඳහා රුකුලක්. විවෘත සහ සරල මනසකින් ගැටලූ, බාධක සහ කම්කටොළු දෙස බැලීමට කුඩා අවධියේ සිට ම චින්තන විප්ලවයක් සිදු කිරීම ද මේ ගැටලූවට විසඳුමක්. නිසි අධීක්ෂණයෙන් යුතු ව වයස් කාණ්ඩවලට ගැළපෙන අත්දැකීම් ලබාගැනීමට සහ කණ්ඩායම් ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීමට ඉඩප‍්‍රස්ථා සැලැස්වීම ඔස්සේ ද මීට පිළියම් සොයා ගන්නට පුළුවන්.

මානසික සෞඛ්‍ය ප‍්‍රතිකාර සඳහා ප‍්‍රවේශ වීමට, මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කිරීමට ඖෂධ සහ චිකිත්සාව උපකාරී වනවා. සංජානන චර්යා චිකිත්සාව (Cognitive behavioral therapy) සහ අපෝහක හැසිරීම් ප‍්‍රතිකාරය (Dialectical behavior therapy) සියදිවි නසාගැනීම පිළිබඳ සිතිවිලි අඩුකිරීමට සමත් සාර්ථක චිකිත්සක ක‍්‍රම බව වෛද්‍ය විද්‍යාත්මක ව තහවුරු කර තිබෙනවා. ආතති කළමනාකරණ සහ ගැටලූ විසඳීමේ ශිල්පීය ක‍්‍රම ඉගැන්වීමත් අයිතිවාසිකම් පිළිබඳ හැඟීම් ඇති කිරීමත් ඊට උපකාරී වන පියවර.

දරුවන්ගේ හැසිරීම් රටාවේ ක්ෂණික ව ඇතිවන පැහැදිලි වෙනස්කම් හඳුනාගැනීමට දෙමව්පියන්, පවුලේ වැඩිහිටියන්, ගුරුවරුන්, ආගමික සහ සමාජීය නායකයන් යනාදී පාර්ශ්වවලට පුහුණුව ලබාදීමෙන් දරුවන්ට ආදරණීය ව සැලකීම සහ පිළිගැනීම ලබාදීමෙන් ද එවැනි හානි වළක්වා ගැනීම පහසු වනවා. එහිදී අදාළ පාර්ශ්ව බලගැන්විය යුත්තේ දරුවන්ගේ කලකිරුණු ආකාරයේ ප‍්‍රකාශ, අමුතු හැසිරීම් සහ ඉඟිකිරීම්, හුදෙකලාව ප‍්‍රියකිරීම්, ආරාවුල් ඇතිකර ගැනීම්, හිතුවක්කාර ලෙස හැසිරීම්, වැඩකිරීම මන්දගාමීවීම්, කළින් නොතිබුණු වෙනස් මිතුරු ඇසුරු කරා යොමුවීම්, මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය යනාදියට යොමු වීම්, ඉගෙනීමෙන් දුරස් වීම්, දෙමව්පියන් සහ කුටුම්භ සාමාජිකයන් නුරුස්නා ස්වභාවයට පත්වීම්, කතාබහ අඩු වැඩි වීම්, නින්දේ වෙනස්කම්, ඉදිරිපත් වීමේ ගැටලූසහගත බව පෙන්වීම්, කොන්වීම්, අධික පසුතැවිලි වීම්, සියලූ දේ ප‍්‍රතික්ෂේප කිරීම්, ආහාර අරුචිය ඇතිවීම්, ශරීරය කෙට්ටු වීම්, මුහුණු කළුවීම් සහ ඇස් යට ගිලීම් වැනි වෙනස්කම් හඳුනාගෙන දරුවන්ට නොදැනෙන ලෙස ඒවාට සංවේදී වී ප‍්‍රතිකර්ම යෙදීම සඳහා දරුවාගේ සිත පළුදු නොවෙන ආකාරයෙන් උපක‍්‍රමික ව උපදේශන සේවා සහ වෛද්‍ය අංශ වෙත යොමුකරවීමට.

වැළැක්වීම

මේ සංකීර්ණ ගැටලූවට බලපාන්නේ මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ සාමාජීය සාධකවල එකතුවක්. මේ හැසිරීම් අවම කිරීම සඳහා මානසික සෞඛ්‍ය ප‍්‍රතිකාර, සමාජ සහයෝගය,  ජීව විද්‍යාත්මක මැදිහත්වීම සහ සියදිවි   නසාගැනීම් වැළැක්වීමේ උපායමාර්ග ඒකාබද්ධ කරමින් පරිපූර්ණ ප‍්‍රවේශයක් අවශ්‍ය කර තිබෙනවා. දැනුවත්භාවය ඇතිකිරීම සහ පූර්ව මැදිහත්වීම් සිදුකිරීම ඔස්සේ ද සියදිවි නසා ගැනීමේ අවදානම අඩු කරන්නට පුළුවන්.

වර්තමානයේ සියදිවි හානිකර ගැනීමට තැත්කරන අවස්ථා සංඛ්‍යාත්මක ව වැඩිවීමක් පෙන්නුම් කළ ද ඔවුන්ගේ ජීවිත හානිවීම් වළක්වා ගන්නා අවස්ථා වර්ධනය වී තිබෙනවා. ඒ, නවීන තාක්ෂණික පණිවුඩ හුවමාරු ක‍්‍රම, ප‍්‍රවාහන සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ භෞතික සහ මානව සම්පත් දියුණු වීම සහ කාර්යක්ෂම වීම නිසා අවදානමට මුහුණදුන් අයට ඉක්මන් ප‍්‍රතිකාර ලබා දී බේරා ගැනීමට ඇති හැකියාව නිසා. මේ බව පවසන්නේ කලපලූවාව, ප‍්‍රජා සවිබලගැන්වීම් පිළිබඳ අධ්‍යයන හා පුහුණු ආයතනයේ  මනෝවිද්‍යා උපදේශක දසනායක ලියනගේ. දිවිනසා ගැනීම් සහ විවිධ හිංසන, අපරාධ, සමාජවිරෝධී ක‍්‍රියා ප‍්‍රවර්ධනය වන ආකාරයේ ප‍්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, රූපවාහිනි සහ ගුවන්විදුලි වැඩසටහන්, සමාජ මාධ්‍ය වැඩසටහන්, පරිගණක ක‍්‍රීඩා යනාදියට නිදහසේ පිවිසීමට දරුවන්ට ඇති අවස්ථා හැකිතාක් මඟහැරවිය යුතු බවත් ඔහු අවධාරණය කරනවා. 

මානසික රෝග ශරීරයේ ස්නායු පද්ධතියට කරන හානි නිසා ශාරීරික සහ මානසික සමබරතාව ගිලිහී යන අතර එවිට පුද්ගලයකු ක්ෂණික තීරණ ගැනීමට පෙළඹෙනවා. අනෙකාගෙන් පළි ගැනීමට දක්වන බිය, චකිතය සහ ලැජ්ජාව නිසා ඇතැමුන්ගේ ක්ෂණික අවසාන තීරණය වන්නේ අන් කිසිවකුගෙන් නොව තමාගෙන් පළි ගැනීම. කෙනකු ඒ තත්ත්වයට පත්වන්නට පෙර ඊට බලපාන හේතු හඳුනාගෙන ඒවා මඟහැරවීම සියදිවි නසා ගැනීම් අවම කර ගැනීමට රුකුලක්. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ම මිනිස් සිතේ අභ්‍යන්තර ශක්ති ප‍්‍රභව ප‍්‍රවර්ධනය කර අවදි කිරීමට ක‍්‍රියාමාර්ග යෙදීමයි සුදුසු. එවිට පුද්ගල යටි සිතේ ඇතිවන අවගමනීය තත්ත්ව, ප‍්‍රගමනීය බවට වෙනස්කරන්නට පුළුවන්. කෙනකුට තමාගේ වටිනාකම ඔහුට හෝ ඇයට හඳුන්වා දෙමින් ධනාත්මක ව අභිපේ‍්‍රරණය කිරීමෙන් මානසික අවපීඩනය උග‍්‍ර රෝග දක්වා වර්ධනය වීම වළක්වා ගත හැකි වනවා. වැඩමුළු, දේශන, ලේඛන, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්, උපදේශන සේවා, ආගමික වැඩසටහන්, අධ්‍යාපන හා මනෝවිද්‍යාත්මක දැනුවත් කිරීම් වැනි ව්‍යාපෘති වැඩිකිරීමෙන් සහ ඒවාට අඛණ්ඩ ව සහභාගි වන පිරිස වැඩි කිරීමෙන් මානසික වියවුල් යම් පාලනයකට නතු කළ හැකියි. ඊට සමගාමී ව වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද? නැද්ද? යන්න සලකා බලා අවශ්‍ය අයට ප‍්‍රතිකාර ලබා දීමටත් ක‍්‍රියා කිරීම වැදගත්. කුඩා අවධියේ පටන් සිත දියුණු කිරීමේ ක‍්‍රියාකාරකම් සහ මනෝ ව්‍යායාම වැනි දේට ද දරුවන් යොමු කිරීමයි සුදුසු. සියදිවි නසා ගැනීම ව ැනි බිහිසුණු අවස්ථාවලට මැදි නොවන, සමාජාවබෝධය සහිත, පුළුල් දැක්මකින් යුත් උසස් පුද්ගලයකු සමාජගත කරවන්නට එවිට හැකි වනවා. අනාගත පරපුර පීඩා පාලනය කරගත හැකි සහ අහිමිවීම් භාරගෙන ඉවසීමෙන් ජීවත්විය හැකි සමබර මිනිසුන් බවට පත් කිරීමේ අනිවාර්ය වගකීම වර්තමාන පරපුර භාරගත්තා වන්නේ එවිට.

ශ‍්‍රී ලංකාව වැනි රටක මානසික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ ජනතාවගේ පිළිගැනීම, අවබෝධය සහ උනන්දුව ඉතා දුර්වල මට්ටමක පවතින්නක්. මානසික ගැටලූවක් යනු ‘පිස්සු’ කියා රෝගයක් ය යන ‘පිස්සු’ ආකල්පය ජන මනැස්වල මුල්බැසගෙන තිබීම එවැනි දුර්වල පිළිගැනීමක් මීට හිමිවන්නට පාදක වී ඇති බවයි පෙනී යන්නේ. බොහෝ මානසික රෝග උපදේශනයෙන් පහසුවෙන් ම විසඳාගත හැකි බව සහ සෑම විට ම රහස්‍යභාවය ආරක්ෂා කරමින් ප‍්‍රතිකාර ලබා ගත හැකි ස්ථාන සහ ක‍්‍රමවේද තිබෙන බව පිළිබඳ ජනතාව නොදැනුවත්. අවසානයේ සියදිවි නසා ගැනීමෙන් කෙළවර වන බිහිසුණු වාතාවරණය දක්වා උත්සන්න රෝගියකු ලෙස දරුවකු නිර්මාණය වන්නේ මෙවැනි වාතාවරණයක. මුල් වකවානුවේ මානසික ගැටලූව හඳුනාගැනීමට සහ පුහු මතවල එල්බගෙන නොසිටීමට සමාජය හුරු කරවීමයි මේ සඳහා ඇති හොඳම විසඳුම. ඊට සාම්ප‍්‍රදායික මාධ්‍ය පමණක් නොවෙයි නව සමාජ මාධ්‍ය වේදිකා පාවිච්චි කිරීමට ද වගකිව යුතු අංශ ආකල්පමය වෙනසට සැදී පැහැදිය යුතු වනවා.

ඉදිරිය

සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා පුළුල් ජාතික උපායමාර්ගයක් ක‍්‍රියාත්මක කිරීම, ‘LIVE LIFE’ අනුගමනය කිරීම වැනි වැඩසටහන් ඔස්සේ 2030 වන විට ගෝලීය සියදිවි නසාගැනීමේ මරණ අනුපාතය 1/3කින් අඩු කිරීම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සහ ම අනෙකුත් කාණ්ඩවල කාර්යමණ්ඩලවල ධාරිතා වර්ධනය සඳහා සහය ලබා දීම, සියදිවි නසාගැනීම් පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සහ දිස්ත‍්‍රික් මට්ටමින් ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (1926) පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන් පුහුණු කිරීම.

මෙතෙක් ශ‍්‍රී ලාංකිකයා අත්දුටු තරගකාරීත්වය, බල උන්මාදය, ගැටුම්, ධන ලෝභය සහ පුහු ආටෝපය මූලික කර ගත් ජීවන රටාව විසින් බහුතරයක් අසරණභාවයට සහ අතරමංවූ තත්ත්වයට පත්වූ රාජ්‍යයක වගඋත්තරකරුවන් වන්නට වත්මන් ළමා සහ තරුණ පරපුරට මෙන් ම වැඩිහිටියන්ට ද සිදු ව තිබෙනවා. දිගින් දිගට ම පවත්වාගෙන ආ රටට සහ සමාජයට නොගැළපෙන පාලන ව්‍යුහවල දේශපාලන සිරකරුවන් වීමේ අනිටු ප‍්‍රතිඵලය ද මේ කතාබහ වන මාතෘකාව උද්ගත වීමට හේතුවක්. ඊට නිසි පිළියම් යෙදීමේ භාර¥ර වගකීම නව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයට පැවරෙන ප‍්‍රමුඛතම කාර්යයක්. මෙවැනි මාකෘකා සමාජ ආර්ථික දේහයේ පිළිල. ඒවා තවදුරටත් කතා කිරීමට අනාගතයේ ඉඩක් නොතැබිය යුතු අතර එවැනි සිද්ධි කේවල සිද්ධි ලෙසවත් වාර්තා නොවන වාතාවරණයකුයි රටේ නිර්මාණය විය යුත්තේ. එවිට දියුණු මිනිසුන් වාසය කරන සමාජයක් පවතින රටක් ලෙස ලෝකය ශ‍්‍රී ලංකාව හඳුනා ගනීවි.

දිගින් දිගට ම පවත්වාගෙන ආ රටට සහ සමාජයට නොගැළපෙන පාලන ව්‍යුහවල දේශපාලන සිරකරුවන් වීමේ අනිටු ප‍්‍රතිඵලය ද මේ කතාබහ වන මාතෘකාව උද්ගත වීමට හේතුවක්. ඊට නිසි පිළියම් යෙදීමේ භාරදූර වගකීම නව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයට පැවරෙන ප‍්‍රමුඛතම කාර්යයක්.