ජාත්‍යන්තර දේශපාලනයේ උණුසුම් සටන – ඇමරිකානු ජනධිපතිවරණය
- නිහාල් පීරිස්
ඇමරිකාවේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් උත්සන්න වෙමින් පවතින අතර මේ ජනාධිපතිවරණය ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන කාගේත් විශාල අවධානයක් දිනා ගන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2024 නොවැම්බර් 05 දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ඓතිහාසික සිදුවීමක් සිදු වනු ඇත් ද යන කුතුහලය බොහෝ දෙනා තුළ පවතින්නක්. ඇතැම් විට මෙහිදී ඇමරිකානු ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක එරට ජනාධිපති ධුරයට පත් වීමට ඉඩ තිබෙනවා. ඇය ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්රටික් පක්ෂයෙන් තරග කරන කමලා හැරිස්. වර්තමානයේ එරට උප ජනාධිපති ධුරය දරන්නේ ද ඇය. ජනාධිපතිවරණයේදී ඇය සමග තරග කරන ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වනවා.
මෙවැනි පසුබිමක කාගේත් අවධානය දිනාගෙන සිටින කමලා හැරිස් කලින් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොසිටීම ද විශේෂත්වයක්. ඩිමොක්රටික් පක්ෂයෙන් තරග කිරීමට නියමිත සිටියේ වත්මන් ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න්. එහෙත් මේ වනවිට 81 වැනි වියෙහි පසුවන ඔහු තවත් ධුර කාලයක් දැරීමට තරම් සුදුසු කායික මානසික තත්වයක සිටිනවා ද යන්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල සාකච්ඡාවක් ඇති වුණා.
මේ කාරණය පිළිබඳ කාලයක සිට ම සැක සංකා පැවතුණත් එය වඩාත් උත්සන්න වූයේ මෙයට මාස කිහිපයකට පෙර බයිඩ්න් සහ ට්‍රම්ප් අතර ජනාධිපතිවරණය ඉලක්ක කර පැවැති ප්‍රසිද්ධ විවාදයකින් පසුව. එම විවාදයට බයිඩ්න් මුහුණදුන් ආකාරය ගැන ඔහුගේ ඩිමොක්රටික් පක්ෂයේ ම බොහෝ දෙනාගෙන් විවේචන එල්ල වුණා.. ඔහුගේ දුර්වල කටහඬ සම්බන්ධයෙන් මෙන් ම ඔහු කියූ ඇතැම් කාරණා සහ ලබා දුන් ඇතැම් පිළිතුරු පිළිබඳ ව ද ප්‍රශ්න මතු වුණා. බයිඩ්න්ගේ ඇතැම් ප්‍රකාශ අපැහැදිලි සහ ව්‍යාකූල බවක් ගත් බැව් ද පෙනුණා.
බයිඩ්න් ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බවට ටික කලෙක සිට ඉදිරිපත් වෙමින් තිබූ අදහස් වඩාත් දැඩි ලෙස මතුවන්නට පටන් ගත්තේ මේ විවාදයෙන් පසු. ඒ වනවිට විවිධ ආයතන පවත්වමින් සිටි ජනමත සමීක්ෂණවලින් ද පෙනී ගියේ බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය වීමට ද යම් ඉඩක් ඇති බව.
ඔහුට තරගයෙන් ඉවත් වන මෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවත් බයිඩ්න් මුලින් ඊට වැඩි කැමැත්තක් දැක් වූ බවක් පෙනුණේ නැහැ. එහෙත් පක්ෂයෙන් නැගුණු පීඩනය වැඩි වෙද්දී ජුලි 21 දින ඔහු ජනාධිපති තරගයෙන් ඉවත් වුණා. ඔහු එම අවස්ථාවේ පැවසුවේ පක්ෂය ගැනත් රට ගැනත් සිතා තමා මේ තීරණය ගත් බව.
උප ජනාධිපතිනිය වූ කමලා හැරිස්ට ජනාධිපතිවරණට ඉදිරිපත් වීමට වරම් හිමි වූයේ බයිඩ්න් මේ ආකාරයෙන් තරගයෙන් ඉවත් වීමෙන් පසුව. ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකාව බවට හැරිස් පත් වීමෙන් පසු ජනමත සමීක්ෂණවලින් කලින් පෙන්නුම් කළ තත්වය ද බොහෝදුරට වෙනස් වී ඇති ආකාරයක් දක්නට පුළුවන්. ඒවායින් පෙන්නුම් කරන්නේ ජනාධිපති සටනේ හැරිස් යම්දුරකට ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව.
කමලා දේවි හැරිස් යනු ඇමරිකානු කළු ජාතික කාන්තාවක්. ඇයගේ පියා, ඩොනල්ඩ් ජේ. හැරිස් ජැමයිකානු ජාතිකයකු වන අතර මව, ශ්‍යාමලා ගෝපාලන් ඉන්දියානු කාන්තාවක්. මේ පසුබිම නිසා හැරිස්ට එරට සුළු ජාතිකයන් බහුතරයකගේ ඡන්දය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එමෙන් ම කාන්තාවන් වැඩි දෙනකුගේ ඡන්ද ද ඇයට හිමි වනු ඇති බවට අදහස් පළ වනවා. ට්‍රම්ප් කාන්තාවන් පිළිබඳ දක්වන ආකල්ප දැන් කාලයක සිට ම එරට බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වී ඇති බව නොරහසක්.
හැරිස්ගේ වයස ද ඇයට වාසිදායක තත්ත්වයක් හිමි කර දෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයන් බෙහෙවින් වියපත් අය වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ එරට තරුණ පරපුරේ වැඩි ප්‍රසාදයක් තිබුණේ නැහැ. ට්‍රම්ප්ගේ වයස ද මේ වනවිට අවුරුදු 78ක්. හැරිස් ඔහුට වඩා වයසින් බාල වන්නේ අවුරුදු 19කින්. මේ තත්ත්වය මත ඇමරිකාවේ තරුණ තරුණියන් ද හැරිස්ට ඡන්දය දීමට වැඩි නැඹුරුවක් දක්වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස.
ජනමත සමීක්ෂණ අනුව හැරිස් මේ වනවිට ජනාධිපති තරගයේ මඳ වශයෙන් ඉදිරියෙන් සිටියත් ට්‍රම්ප් ඉතා ප්‍රබල තරගකරුවකු බව අමතක කරන්නට බැහැ. තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ඔහු තවමත් ඉදිරියෙන් සිටිනු දක්නට පුළුවන්. දැනට තිබෙන තත්ත්වය ඕනෑ ම මොහොතක වෙනස් වීමේ හැකියාවක් ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙනවා.
ට්‍රම්ප්ගේ ජීවිතාරක්ෂාවට තර්ජන එල්ල වෙමින් තිබීම ද ජනාධිපතිවරණය පසුබිමේ විශේෂ අවධානයක් යොමු වන කාරණයක්. ඔහු ඝාතනය කිරීමේ උත්සාහයන් බවට සැක කෙරුණු සිදුවීම් දෙකක් ම පසුගිය මාස කිහිපයේ සිදු වුණා. ඉන් පළමුවැන්න සිදු වූයේ ජූලි මාසයේ. ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක වහලය මත සිට තෝමස් කෘක්ස් නැමැති 20 හැවිරිදි තරුණයෙක් ඔහුට වෙඩි තැබුවා. එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප්ගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්. මුහුණ ආසන්නයෙන් ඇදී ගිය වෙඩි උණ්ඩයට ඔහුගේ කනක් තුවාල වූ අතර මේ සිද්ධියෙන් එම ස්ථානයේ සිටි ට්‍රම්ප්ගේ ආධාරකරුවකු මරණයට පත් වුණා. ට්‍රම්ප් වෙත වෙඩි තැබූ කෲක්ස් ද පොලිස් වෙඩි පහරින් මිය ගියා.
ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා දරන ලද මේ උත්සාහයෙන් පසු ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනුණා. එසේ තිබියදීත් පසුගිය සැප්තැම්බර් මාසයේ ද තවත් මෙවැනි ම සිදුවීමක් වුණා. ඒ, ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ඔහුට ම අයත් ගොල්ෆ් ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරමින් සිටියදී. ට්‍රම්ප් ක්‍රීඩා කරමින් සිටි ස්ථානයට යාර 500ක් පමණ දුරින් තිබූ පඳුරකින් ගිනි අවියක් එල්ල වී තිබෙනු ආරක්ෂක නිලධාරියකුට දැක ගන්නට ලැබී තිබුණා. එම අවස්ථාවේ නිලධාරියා වහා ම එම පඳුර වෙත වෙඩි තබා තිබූ අතර එහි සැඟ ව සිටි පුද්ගලයකු එතැනින් ඉවතට දිව ගොස් මෝටර් රියක නැගී පලා යන්නට පටන් ගෙන තිබුණා. ඔහුගේ මෝටර් රියෙහි ඡායාරූපයක් ගත් කෙනෙක් එසැණින් ම එය ආරක්ෂක අංශ වෙත ලබා දීමට පියවර ගත්තා. එම හෝඩුවාව ඔස්සේ යමින් සැකකරු අල්ලා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි රයන් රූත් නමැත්තෙක්. මේ සිද්ධිය ද සැලකෙන්නේ ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා ගන්නා ලද උත්සාහයක් ලෙසින්. මේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන පැවැත්වෙනවා.
ඇමරිකානු ජනාධිපති සටන ඉදිරියට යමින් ඇත්තේ මෙවැනි ආන්දෝලනාත්මක, නාටකීය සිදුවීම් පවතිද්දී. ඉදිරි දිනවල ජනාධිපතිවරණ උණුසුම තව තවත් ඉහළ යනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
නොවැම්බර් 05 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව හෝ සිය ධුරයේ දිවුරුම් දීමට නියමිත ව ඇත්තේ 2025 ජනවාරි 20 දින. ඒ, ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙසින්.