ජාජබ අභියෝගය
- ඩබ්ලිව්. එම් ශාන්තප්‍රිය
2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ලද ජයග්‍රහණයේදී දෙවැනි මනාපය එක් කළ විට ද සියයට 50 ඉක්මවීමට ඔහුට නොහැකි විය. ඇතැම්හු මෙය සියයට 50 ඉක්මවීමට නොහැකි වූ ජයග්‍රහණයැයි ඔච්චම් ස්වරයකින් කතා කළහ. එහෙත් මෙතෙක් පැවති අධිපති බලයට එරෙහි ව නොයෙක් බාධක මැද්දේ පහළ පාන්තික සන්ධානයක් ප්‍රථමවරට ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි හෙයින් එය සුවිශේෂ සංසිද්ධියක් ලෙස හඳුන්වන්නට පුළුවන.
ජාජබ ජයග්‍රහණයේ ස්වරූපය ගත් කල පෙනී යන කාරණයක් වන්නේ නාගරික ව එය සැලකිය යුතු ජන ආකර්ෂණයක් ලබා ඇති බවත් නාගරික කම්කරු පාන්තික හා මැද පාන්තික බහුතරයක සහාය ඊට ලැබී ඇති බවත් ය. නිදසුන් ලෙස අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ එකතුව ගත් 623,544ක ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් එනම් ඡන්ද 629,963ක් ලබා තිබුණි. ඒ, මැද කොළඹ, උතුරු කොළඹ හා බටහිර කොළඹ වැනි සාම්ප්‍රදායික එජාප බලකොටු පවතිද්දී ය. ගම්පහ අනුරට ඡන්ද 809,410ක් ලැබෙන විට අනෙක් දෙදෙනාට ලැබී ඇත්තේ ඡන්ද 565,578ක් පමණි. ගාල්ලෙන් අනුරට 366,721ක් ලැබෙන විට අනෙක් දෙදෙනාට ලැබී ඇත්තේ ඡන්ද 296,891කි.
ග්‍රාමීය ව ගත් කල ද බොහෝ ප්‍රදේශවල අනුර ජයගෙන තිබුණත් නාගරික කම්කරු පාන්තික හා මැද පාන්තික සහායට සාපේක්ෂ ව ඊට ලැබී ඇති සහයේ යම් අඩුවක් නිරීක්ෂණය කළ හැකි ය. නිදසුන් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයෙන් අනුර ඡන්ද 140,269ක් ලබන විට රනිල් හා සජිත් දෙදෙනාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 170,156කි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අනුර ඡන්ද 285,944ක් ලබන විට ඔවුන් දෙදෙනා ලැබූ ඡන්ද සංඛ්‍යාව 284,436ක් වෙමින් ආසන්නයට පැමිණ ඇත. එමෙන් ම උතුර, නැගෙනහිර හා කඳුරට හැරුණු විට රටේ අනෙකුත් ප්‍රදේශවල තරුණ ජනයාගේ සහය විශාල වශයෙන් ලැබී ඇත්තේ ජාතික ජන බලවේගයට බව සිතන්නට පුළුවන. එසේ වුව ද ජනවාර්ගික පදනමින් ගත් කල සුළුතර ජාතික ජන කොටස්වල බහුතරයක් අනුර කුමාර දිසානායක කෙරෙහි විශ්වාසයක් තබා නැති බව දැකිය හැකි ය. උතුර, නැගෙනහිර හා කඳුරට ගත් විට දෙමළ හා මුස්ලිම් බහුතර ජනතාවක් සිය සහය විශාල වශයෙන් ලබා දී ඇත්තේ ප්‍රධාන ධනපති අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ දෙදෙනාට බවත් එසේ වීමට හේතු වී ඇත්තේ විශේෂයෙන් ජාජබයේ නියමු පක්ෂය වන ජවිපෙහි අතීත දේශපාලනය ද යන්න සලකා බැලිය යුතු කරුණකි. පීඩිත ජාතීන් සඳහා අල්ලස, දූෂණය පිටු දැකීම හා හොරු ඇල්ලීම යන සටන් පාඨය එතරම් වැදගත් වී නැති බව පෙනේ.
මෙතෙක් මෙරට පාලනය ගෙන යමින් බලය අභ්‍යාස කළ ඉහළ පාන්තික අධිපති බලවේග පරාජයට පත් කළ මෙම ජයග්‍රහණය අවතක්සේරු කළ නොහැකි ය. නොකළ යුතු ය. මෙය සැලකිල්ලට ගත යුත්තේ 2019දී අනුර- ජාජබය ලද 3%ට සාපේක්ෂ ව ය. එම ප්‍රතිශතයට සාපේක්ෂ ව ගත් කල මෙය 1350%කට ආසන්න ව ලද ජයග්‍රහණයකි.
ලද ජයග්‍රහණය සැබෑ ජනතා ජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීම නව පාලනයේ වගකීමකි. එහෙත් මෙම ජයග්‍රහණය ලැබුවා මෙන් එය පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි ය. එයට බාධා කරන සාධක රැසක් බාහිරින් පමණක් නොව එහි අභ්‍යන්තරයේමත් පවතින බව යථාර්ථයකි.
ආණ්ඩුවේ නියමු බලය වන ජාතික ජන බලවේගය මේ වන විට වාමාංශික පක්ෂයක් වන ජවිපෙ හා තවත් විවිධ වර්ගයේ සුළු ධනපති සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් ද පුද්ගලයන් ද ඒකාබද්ධ කර ගත් සුළු හා මැද ධනපති කොටස් සමග සන්ධානගත වූ පහළ පාන්තික දේශපාලන සන්ධානයකි. වමේ අසාර්ථකත්වය නිසා ම මෙතෙක් කල් විකල්පයක් නොමැති ව ධනේශ්වර පක්ෂ පස්සේ ඇදී ගිය කම්කරු පන්තියේ ද ගොවි හා ධීවර ආදී වශයෙන් වන පීඩිත පාන්තික හා සෙසු පීඩිත ජන කොටස්වල (පීඩිත ජාතීන් හැර) ද සැලකිය යුතු ජන සමූහයක් ඒ වටා පෙළ ගැසීමෙන් එහි මෙම ස්වභාවය වෙනස් වන්නේ නැත.
ඒ අනුව ආණ්ඩුවක් වශයෙන් ගත් කල මෙම ආණ්ඩුව එහි පන්ති ස්වභාවයට අනුව පැවති පාලනයන්ට සාපේක්ෂ ව යම් යම් දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා වෙමින් ධනේශ්වර ක්‍රමයට ප්‍රබල අභියෝගයකින් තොර ව පවත්වාගෙන යන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ ආණ්ඩුවක් වනු ඇත. එය ප්‍රාග්ධනයේ ඇතැම් අධිපතීන්ට (මෙතෙක් පාලන බලය දැරූ පාලකයන්ගේ වරප්‍රසාදවලට පාත්‍ර වූ අන්ත දූෂිත ගජ මිතුරු ධනපතීන් වැනි කොටස්වලට) එරෙහි ව (සිංගප්පූරුවේ ලී ක්වාං යූ ආණ්ඩුව මෙන්) යම් යම් පියවර ගනු ඇතැයි සිතිය හැකි වුව ද සමස්තයක් වශයෙන් ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට අත තැබීම මෙම මොහොතේ අතිශය අමාරු කරුණකි.
ඒ අනුව පැවති පාලකයන්ට සාපේක්ෂ ව භාරකාර ආණ්ඩුව දූෂණ, වංචා, නාස්තිය ආදිය නැති කිරීමට, නීතියේ පාලනය ඇති කිරීමට හා කිසියම්දුරකට ජනහිතකාමී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ප්‍රයත්න දරනු ඇත. එහෙත් පරාජයට පත් වූ ප්‍රමුඛ ප්‍රතිගාමී බලවේග එයට කළ හැකි සීමිත කාර්යභාරය පවා ඉටු කිරීමට බාධා කරන නොයෙකුත් අන්දමේ කූඨ උපාමාරු, කුමන්ත්‍රණකාරී ක්‍රියා හා කඩාකප්පල් වැඩ ආදිය කරනු ඇත.
ජනාධිපතිවරණ සටන් බිමේ වැඩියෙන් ම හඬ නැගුණේ අල්ලසට, දූෂණයට, වංචාවලට හා නාස්තියට එරෙහි සටන් පාඨ ය. එම සටන් පාඨ මොනතරම් ජනතා ආකර්ෂණයට පත් ව තිබුණා ද කියතොත් ඒවා හාස්‍යය දනවන අන්දමින් සජබ වේදිකාවේ පවා ද නැගුණු ප්‍රධාන සටන් පාඨ බවට පත් ව තිබුණි. ඉදිරි දැක්මකින් යුත් දේශපාලන විඥානයකින් තොර ව උමතුවෙන් මෙන් ගෝඨාභය රාජපක්ෂ වටා පෙළ ගැසී, ඔහු ව බලයට ගෙන ඒමට ඇප කැප වූ තරුණ ජනයාගෙන් අතිබහුතරයක් ගෝඨාභය වටා පෙළ ගැසුණු පරිද්දෙන් ම අනුර කුමාර දිසානායක වටා ද පෙළ ගැසුණු අයුරු දැකිය හැකි විය.
එපරිද්දෙන් ම ස්ථාපිතයෙන් නොයෙක් වෙනස්කම්වලට පාත්‍ර වූ හමුදා හා පොලිස් නිලධාරීන් වැන්නන් ද රාජ්‍ය නිලධරයේ බොහෝ දෙනා ද ගජ මිතුරු වරප්‍රසාදවලට අහිමි ව වෙනස්කම්වලට පාත්‍ර ව විවිධ පීඩාවලට ලක් වූ ව්‍යාපාරිකයන් වැන්නන් ද ඇතුළු එවැනි බොහෝ දෙනා ජාජබ වටා තොග වශයෙන් පෙළ ගැසුණේ ඉදිරි දැක්මකින් යුත් දේශපාලන විඥානයකින් නොව බොහෝ සෙයින් තමන්ගේ ම වූ විවිධාකාර වූ ආත්මීය අරමුණු සාධනය කර ගැනීම සඳහා විය හැකි ය. මොවුන් අතර පොදු උවමනා සහිත පුද්ගලයන් නොවූවා යයි අපි නොකියමු. එහෙත් ඉන් සැලකිය යුතු පිරිසක් එසේ යැයි කියන්නට අපට නොහැකි ය. සාපේක්ෂ වශයෙන් විනයගත පක්ෂයක් වූ ජවිපෙන් පවා එවැනි පුද්ගලයන් තොග ගණනින් බිහි වූ බව රහසක් නොවේ.
ආණ්ඩුවට පරිපාලනයේදී සිදු වනු ඇත්තේ බොහෝදුරට මෙවැනි නිලධාරීන් මත යැපීමට ය. එය දැනටමත් පෙන්නුම් කරමින් තිබේ. ආණ්ඩුවට තමන් මුහුණදෙන තත්ත්වය අතික්‍රමණය කිරීම පහසු නැත. මෙය තාවකාලික භාරකාර ආණ්ඩුවක් වන බව අපි පිළිගත යුත්තෙමු. පවතින තත්ත්වය යටතේ බලාත්මක ආණ්ඩුවක් වන්නට ජනාධිපති බලය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ද නැතිව ම බැරි කොන්දේසියකි. ඊළඟ මහා මැතිවරණයෙන් ජාජබයට පාර්ලිමේන්තු බලය ද හිමි වනු ඇත. එහෙත් එය කොතරම් බලාත්මක වූවක් වනු ඇද්දැයි අපට කිව නොහැකි ය. ජනතා බහුතරයක් එම බලය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. කාලයක් ඔවුන්ට ඉඩ දිය යුතු බව ද අපි කියා සිටිමු.
කෙසේ වුව ද ජනාධිපතිවරණය ජයගත් පමණින් හා පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් පමණින් සැබෑ ජනතා ආණ්ඩුවක් ලැබෙනු ඇතැයි සිතතොත් එය බරපතළ වරද්දා ගැනීමක් පමණක් වනු ඇති බව පැවසිය යුතු ය. ඒ සඳහා සක්‍රීය, දැනුවත්, සංවිධිත මහජන බලයක් පණ ගැන්වීමට ක්‍රියා කිරීම අවශ්‍ය ය. ජාජබ ආණ්ඩුව සැබෑ මහජන ආණ්ඩුවක් බවට පත් වීමට නම් එවැනි මහජන බලයක් බල ගැන්වීමට ක්‍රියා කළ යුතු ය. එසේ නොවන්නේ නම් ජාජබය ද මෙතෙක් පැවති ආණ්ඩු ලැයිස්තුවේ තවත් එක් ආණ්ඩුවක් පමණක් වනු ඇත.