#දේශ විත්ති

ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්වය

  • චන්දන මාරසිංහ

ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන්නේ වසර ගණනාවක සිට. 1953 දෙසැම්බර් 09 දින ජර්මානු ෆෙඩරල් ජනරජය සමග ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර මිතුදම පවතින්නේ වසර 72කට ආසන්න ව.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මන් ජනාධිපති Ғrank Walter Steinmeierගේ ආරාධනයකට අනුව ජර්මනියේ නිල සංචාරක නිරත වුණාග ඒ, 2025 ජූනි 11 සිට ජූනි 13 දින දක්වා. Berlin Brandenburg ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනියට ළඟා වූ ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ Bellevue මන්දිරයේදී.

රාජ්‍ය ගෞරව සහිත ව පැවති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරු ව ජනාධිපතිවරුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹුණා. දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙන් ම වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳ ව ද එහිදී විශේෂ අවධානය යොමු වුණා. ජර්මන් විදේශ අමාත්‍ය Johann Wadephul සමග සාකච්ඡා කළේ රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල්, ආර්ථික, ආයෝජන හා වෘත්තිය පුහුණු අවස්ථා ආදිය පිළිබඳ ව. දෙරට සහයෝගිතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු වුණා. ජර්මන් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අමාත්‍ය Reem Alabali Radovan හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී කතාබහ සිදුවුණේ ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණදෙන පොදු අභියෝග පිළිබඳ ව. දෙරටේ ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගන්නා ආකාරය සහ වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කර තිබෙනවා. ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ දීර්ඝ ඉතිහාසය සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක්වූ දායකත්වය පිළිබඳ සිය ස්තුතිය පළ කළා. ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ යුරෝපයේ රටවල් සමග වැඩි දායකත්වයක් සහ සම්බන්ධයක් ඇතිකර ගැනීම ශ්‍රී ලංකාව වැනි රටවලට අතිශයින් වැදගත්. වෙනස් වන තත්ත්ව හමුවේ ආර්ථික මෙන් ම ජාත්‍යන්තර ආයතන සමග ගනුදෙනු කරන ආකාරය ද වෙනස් විය යුතුයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හෂාන් විජේසිංහ එම සංචාරය පිළිබඳ දක්වන්නේ මෙවැනි අදහසක්. ඔහුත “රාජ්‍ය තාන්ත්‍රික සංචාර රටකට ඉතා ම වැදගත්. හුදෙකලාව කිසිදු රටකට පවතින්නට බැහැ. ඉන්දියාව, චීනය වැනි රටවල් සමග මෙන් ම යුරෝපය සමග සම්බන්ධතා ඇති කර ගැනීම අතිශය වැදගත්. ජනපතිගේ ජර්මන් සංචාරය ශක්තිමත් දේශපාලන හා ආර්ථික සම්බන්ධතාවකට පදනම දමා ඇති බව සඳහන් කළ යුත්තක්. ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අවශ්‍ය සහය තිබුණොත් පමණයි. දේශපාලන ස්ථාවරත්වය මෙන් ම ආර්ථික ස්ථාවරත්වය එහිදී සලකා බැලෙනවා. දළ දේශීය නිෂ්පාදනය අනුව ඇමරිකාව හා චීනයට පසු විශාලතම ආර්ථිකය හිමිවන්නේ ජර්මනියට. යුරෝපා සංගමයේ රටවල් අතරත් විශාලතම ආර්ථිකය හිමිවන්නේ ජර්මනියට. එවැනි රටකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගත හැකි දායකත්වය සුවිශාලයි. එහිදී අපනයන අවස්ථා පුළුල් කර ගැනීමේ හැකියාව පවතිනවා. වෙළෙඳපොළ වර්ධනය කරගතහොත් එය ජයග්‍රහණයක්.”

සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් මෙන් ම බැහැර චාරිකා මෙහෙයවන්නන් සමග හමුවකට ද ජනාධිපතිවරයා එක්වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා. සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර ගැන ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා. තිරසර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් ව තිබෙනවා. මෙරට ආර්ථිකයට ද ඉහළ දායකත්වයක් ලබාදීමට ඊට හැකියාව පවතිනවා. ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රය විවිධාංගීකරණය මෙන් ම මෙතෙක් සංචාරක ආකර්ෂණයට ලක් නොවූ ප්‍රදේශ පිළිබඳ සොයා බැලීම වැදගත්. චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය වැනි අංශ දියුණු කිරීම ද එහිදී මූලික වනවා. වඩාත් වැදගත් වන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව ගැන හා ආකර්ෂණීය සංචාරක ස්ථාන ගැන දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධාන කිරීම. ඒ ඔස්සේ යුරෝපා කලාපයේ සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගන්නට පුළුවන්. එය සංචාරක අංශයේ ආදායම් වැඩිකර ගැනීමට ද ඉතා වැදගත්. සංචාරක කර්මාන්තයේ මානව සම්පත් සංවර්ධනය, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සහ පරිසරය ආරක්ෂා කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා අදහස් පළ කළා
ශ්‍රී ලංකාවට වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටවල් අතර ජර්මනිය පසු වන්නේ සිව් වැනි ස්ථානයේ. 2024 වසරේ ජර්මන් සංචාරකයන් 136,000ක් මෙරටට පැමිණ තිබෙනවා. 2025 වසරේ මැයි දක්වා සංචාරකයන් 69,000ක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ ව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
දෙරට අතර පවතින සංචාරක කර්මාන්තයේ විභවතා සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හෂාන් විජේසිංහ; “ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගේ වර්ධනයක් පවතිනවා. එය තවදුරටත් වැඩි කර ගත යුතුයි. ජර්මන් සංචාරකයන් මුදල් වියදම් කරනවා. එය රටේ ආර්ථිකයට යහපත් අවස්ථාවක්. සෘජු විදේශ ආයෝජන අවස්ථා ලබා ගත හැකිනම් එය ද ජයග්‍රහණයක්. සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගෙන ඇති සෘජු විදේශ ආයෝජනවලට ජර්මනිය දායක කර ගන්නට පුළුවන්. සංචාරකයන් ගෙන්වීම වැඩිකර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ව නිලධාරින්ට හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සංචාරකයන්ට ලබා දිය හැකි දේ ගැන අවබෝධය ලබා දිය යුතුයි. අධ්‍යාපන අවස්ථා විශේෂයෙන් ශිෂ්‍යත්ව ලබාදීමට ද අවධානය යොමු කළ හැකියි. මෙලෙස සම්බන්ධතා තහවුරු කර ගැනීමෙන් ජර්මනිය ඉලක්ක කර අපනයනය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා.”

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත සංගම් මූලස්ථානයේ පැවති ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙරට ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, දෙරට අතර නව වෙළෙඳ සම්බන්ධතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳ අවධානය යොමු කරමින් අදහස් පළ කළේ වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර සහ ආර්ථික අභියෝග ජය ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව පැහැදිලි කරමින්ග ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ආයෝජන අවස්ථා පිළිබඳ ව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් කරුණු ඉදිරිපත් කළා. Siemens energy, Сontinental ag, GTA වැනි ඉහළ මට්ටමේ ජර්මන් සමාගම් ද ව්‍යාපාරික සංසදයේදී සිය අදහස් ඉදිරිපත් කළේ සංචාරක ව්‍යාපාරය, සැපයුම් හා ප්‍රවාහනය, වෘත්තීය පුහුණුව, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය ආදිය සම්බන්ධයෙන්.

ජර්මන් අධ්‍යයන හුවමාරු, ජර්මන් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ඇතුළු ආයතන ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වන්නේ විවිධ අයුරින්. දිගුකාලීන සංවර්ධන සහයෝගිතාව සහ ද්වීපාර්ශ්වික වැඩසටහන් ඔස්සේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ව ද අවධානය යොමු වී තිබීම ඉතා වැදගත්. ජර්මනිය හා ශ්‍රී ලංකාව සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ ඉන්දු පැසිපික් කලාපය පිළිබඳ ජර්මන් රජයේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ යටතේ. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වැනි අංශවලදී සිවිල් සමාජ ව්‍යාපෘති ගැන දෙරට අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා ජර්මන් ව්‍යාපාරික කවුන්සලය ඔස්සේ ආර්ථික පුනරුදය සඳහා වැඩි අවස්ථා ලබා ගත හැකි වීම සුවිශේෂ කරුණක්. මේ කාරණා නිසි ලෙස කළමනාකරණය කර ගතහොත් ශ්‍රී ලංකාවට වැඩි වරප්‍රසාද හිමිකර ගැනීමේ හැකියාව පවතිනවා. එනම් ද්වීපාර්ශ්වික සාකච්ඡා වැදගත් වන්නේ නිවැරදි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීමෙන්.

ජර්මන්-ශ්‍රී ලංකා මිත්‍රත්වය

සතුන් ගණනය