ජන සහභාගිත්වයත් සංවර්ධනයක්


සම්මානිත මහාචාර්ය
කාලිංග ටියුඩර් සිල්වා
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ආදායම් මට්ටම දියුණු කිරීම, ගුණාත්මක වශයෙන් ආයු කාලය වැඩි කිරීම, සමාජ ආයතන ශක්තිමත් කිරීම යනාදී බොහෝ පැතිකඩ පුළුල් අර්ථෙයන් ගත් විට සමාජීය සංවර්ධනයට අයත්. සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ ඵලදායිතාව වැඩි කිරීම, ආදායම් වැඩි කිරීම, වැඩි භාණ්ඩ පරිභෝජනය වැනි ආර්ථික සාධක දියුණු කිරීම පමණක් නොවෙයි ගුණාත්මක ව සංවර්ධනයක් ඇතිවීමත් එහිදී අවශ්‍ය වනවා. සංවර්ධන ක්‍රියාවලියක් වඩාත් සාර්ථක කර ගැනීමටනම් එය සමාජයේ රෝපණය කළ යුතුයි. ඒ සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් පැවතීම වැදගත්. ජන සහභාගිත්වයත් එක්තරා ආකාරයක සංවර්ධනයක්.
ගෝලීය වශයෙන් සලකා බලන විටදී පවා සමාජීය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු ව තිබෙනවා. මුල්කාලීන ව සංවර්ධනය යනුවෙන් සැලකිලිමත් වුණේ හුදු ආර්ථික සංවර්ධනය පිළිබඳ ව පමණයි. එහෙත් වර්තමානය වන විට සංවර්ධනය යන්න වඩාත් පුළුල් අර්ථයකින් හඳුනා ගැනෙනවා. ඒ අතර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගැන, තමන් ජීවත්වන සමාජය හා පරිසරය ගැන තෘප්තිමත් වීමට හැකි වන ආකාරයෙන් ජීවිත ගුණාත්මක කිරීම සමාජීය සංවර්ධනයේදී වැදගත්. අමාත්‍ය සෙන් වරෙකදී මානව සංවර්ධනය ඇගයීමට හැකි මිනුම් දඬු හඳුන්වා දෙමින් සංවර්ධනය යන්න මිනිසුන්ගේ ජීවිතවලට දැනිය යුත්තක් බව පවසා තිබෙනවා. සෞඛ්‍යමය වශයෙන් මිනිස්සුන්ගේ මරණ අනුපාතය අඩුවීම, ආයු කාලය වැඩිවීම, අධ්‍යාපනය සාක්ෂරතාව මෙන් ම ලෝකය පිළිබඳ මිනිසුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම, මිනිසුන්ට තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් හඳුනාගෙන තිබීම, රාජ්‍ය දේපළ විනිවිදභාවයකින් යුතු ව පරිහරණය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය සකස් වීම, ප්‍රජාතන්ත්‍රීකරණය වීම වැනි ගුණාංග රැසක් සමාජීය සංවර්ධනයේදී සලකා බැලෙනවා.
පවතින යැපුම් මානසිකත්වය සංවර්ධනයට ඇති කරන්නේ බාධාවක්. සියල්ල රජය හෝ වෙනත් ආයතන හෝ සංවිධානයකින් හෝ ඉටු කරදෙන තෙක් කල් මැරීම හෙවත් තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් පසෙකලා අනෙකාගෙන් තමාට ලැබිය යුතු දේ පිළිබඳ පමණක් උනන්දු වීම යැපුම් මානසිකත්වය නැතිනම් සහනාධාර මානසිකත්වයේදී සිදුවන්නක්.
ශ්‍රී ලංකාවේ සමාජීය සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් කාලයක් තිස්සේ දියුණු වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව වැනි පහසුකම් අනෙකුත් සංවර්ධිත රටවල නිසියාකාර ව ක්‍රියාත්මක වීමේ සිට ම ශ්‍රී ලංකාවේත් දකින්නට ලැබෙනවා. මේ නිසා සමාජීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් පවතිනවා. දැනට ගැටලුවක් ව පවතින්නේ එය ඉදිරියට ගෙන යාමට මෙතෙක් ක්‍රියා නොකිරීම.
සමාජීය වශයෙන් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති දියත් කළ රටවල් ලෝකයට නොයෙකුත් ආදර්ශ සපයා දී තිබෙනවා. විශේෂයෙන් නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය වැනි ස්කැන්ඩිනේවියානු රටවල් සමාජීය සංවර්ධනය සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙනන්නේ විශේෂ දියුණුවක්. මානව සම්පත් ගුණාත්මක කිරීම, සැමට ප්‍රවේශ විය හැකි ලෙස අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම එම රටවල දැක ගන්නට පුළුවන්. පුරවැසි සමානාත්මතාව අගයන ඉතාමත් දියුණු සමාජ මට්ටමක් පවතින එවැනි රටවල දේශපාලනික ක්ෂේත්‍රයේදී පවා කාන්තාවන් දායකත්වය සපයන්නේ ඉහළ ප්‍රතිශතයකින්. රාජ්‍ය සේවය විධිමත් කිරිම, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම, මනුෂ්‍යත්වයට මුල් තැන දීම, වගකීම සහ වගවීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම යන සියලු ම ක්ෂේත්‍ර සමාජීය සංවර්ධනයේදී ආවරණය කළ යුතු වනවා.