#විදේශ විත්ති

චීනයේ ඉදිරිය

  • දිනූෂි ධීරසිංහ – චීන මාධ්‍ය සමූහය

චීනය වත්මන් ලෝකයේ විශාලතම හා බලවත් ම ආර්ථිකයක් හිමි රටක්. එමෙන් ම ලොව විශාලතම වාණිජ හා කාර්මික නිෂ්පාදන බලවතා වන්නේ ද චීනය. තාක්ෂණයේ අසීමිත ශක්‍යතා සහිත ව සුහුරු ලෝකයක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරුවකු ලෙසත් චීනය ප්‍රමුඛ වනවා. ගෝලීය සාමය සහ සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු‍ මානව වර්ගයා සමග හුවමාරු කර ගැනීමේ නව සංවර්ධන සංග්‍රාමයත් චීනය අරඹා තිබෙනවා. එහි ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් මනාව පැහැදිලි කෙරුණු චීන ජාතික සැසිවාර නොබෝදා (මාර්තු 04 සිට මාර්තු 11 දක්වා) සාර්ථක ව අවසන් වුණා.


චීනයට අනන්‍ය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරන මේ චීන ජාතික සැසිවාර වාර්ෂික ව බෙයිජිං නුවරදී පැවැත්වෙනවා. මේ සැසිවාර 2 මහජනතාව දේශපාලන ක්‍රියාවලියට එක්වන චීනයේ අතිශය වැදගත් ක්‍රමවේදය ලෙසටයි සැලකෙන්නේ. මෙවර පැවැත්වුණේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 3 වැනි සැසිවාරය.


පළමු ව ඇරඹුණු චීන මහජන දේශපාලන උපදේශක සභාව (CPPCC) යනු චීනයේ ප්‍රධාන දේශපාලන යාන්ත්‍රණයක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සෙසු දේශපාලන පක්ෂ 8, විවිධ මහජන කණ්ඩායම් මෙන් ම සුළු ජාතීන් හා විවිධ ක්ෂේත්‍රවල නියුතු සාමාජිකයන් 2100කට අධික පිරිසක් මේ සැසියේදී රටේ ප්‍රධාන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.


චීනයේ උත්තරීතර රාජ්‍ය බලායතනය වන්නේ චීන ජාතික මහජන කොංග්‍රසය (NPC). චීනයේ සියලු‍ ජන කණ්ඩායම් නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් 3,000කට ආසන්න පිරිසක් ඊට එක්වනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර සැසියේදී චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං සම්ප්‍රදායානුකූල ව රාජ්‍ය කාරක වාර්තාව ඉදිරිපත් කළා. අවිනිශ්චිත ගෝලීය තත්ත්වය හමුවේ පවා ගෙවී ගිය වසරේ ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බවයි එහිදී ඔහු ප්‍රකාශ කළේ. එනම් 2024 වසරේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම (GDP) යුවාන් ටි්‍රලියන 134.9ක් වූ අතර ආර්ථික වර්ධන අනුපාතය 5 ක්. මෙහි විශේෂත්වය වන්නේ එය ලොව ප්‍රධාන ආර්ථික අතර ප්‍රමුඛස්ථානයක පසුවීම සහ ගෝලීය ආර්ථිකයට 30%ක අඛණ්ඩ දායකත්වයක් ලබාදීම.


2025, චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අවසන් වසර. ඉලක්ක මනාව සපුරා ගනිමින් 15 වැනි පස් අවුරුදු සැලැස්ම සඳහා ශක්තිමත් පදනමක් සකසා ගැනීම මේ වසරේ අපේක්ෂිත අරමුණ වනවා. මේ සඳහා ප්‍රබල ආර්ථික හිමි පළාත්, පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං කියා සිටියා. ඒ, සැසිවාරයට සමගාමී ව පැවති න්‍ස්බටිම පළාත් නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක්වෙමින්. 2025 වසරේ චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධනය 5%ක්. නාගරික විරැකියා අනුපාතය 5.5%ක මට්ටමේ පවත්වා ගනිමින් නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම ද ප්‍රමුඛ ඉලක්ක අතර වනවා.


නවීන සමාජවාදී ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා උසස් තාක්ෂණයෙන් යුත් කාර්මික පද්ධතියක් ගොඩනැඟීම ද චීනයේ තවත් සැලසුමක්. විශේෂයෙන් ජෛව නිෂ්පාදන, ක්වොන්ටම් තාක්ෂණය, රොබෝ හා කෘත්‍රිම බුද්ධිය (AI) මෙන්ම 6G ඇතුළු නැඟී එන කර්මාන්තවල ආයෝජන පුළුල් කර සිය තාක්ෂණික ස්වයංපෝෂිතභාවය සහතික කර ගැනීම එහි ප්‍රධාන පියවරක්.


හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම වර්තමාන ගෝලීය ඉලක්කයක්. ඒ සඳහා සහය වෙමින් කාබන් විමෝචනය හා පරිසර දූෂණය පිටුදැක හරිත පරිවර්තනය කඩිනම් කිරීමට චීන රජය පියවර ගනිමින් සිටිනවා. මේ වනවිට ලොව ප්‍රධානතම විද්‍යුත් වාහන අපනයනකරු බවට පත් ව සිටින්නේත් චීනය. එය අඛණ්ඩ ව පවත්වා ගනිමින් වඩාත් උසස් තත්ත්වයේ විද්‍යුත් වාහන නිෂ්පාදනය කිරීමත් ඔවුන්ගේ අරමුණක්. එපමණක් නොව පිරිසිදු බලශක්ති ප්‍රවේශය සඳහා පහසුකම් අන් රටවල් සමග සහයෝගයෙන් වැඩිදියුණු කිරීමට ද පියවර ගැනෙනවා.


විදේශ වෙළෙඳාමේ වර්ධනය ස්ථාවර ව පවත්වා ගනිමින්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සංවර්ධනයටත් බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික කලාපීය ආර්ථික සහයෝගිතාව අඛණ්ඩ ව ශක්තිමත් කිරීමටත් චීනය මේ වසරේ පියවර ගනු ඇති.


වත්මන් ලෝකය අවිනිශ්චිත හා කැළඹිලි සහගත බවින් පිරී පවතින්නක් බැවින් ගෝලීය නිශ්චිතභාවය අභියෝගයට ලක් ව තිබෙනවා. මේ නිසා ම ලොව බලවත් රාජ්‍යවලින් ඇතැම් තීරණ, ගෝලීය රටාවට එල්ල කරන්නේ සෘජු බලපෑමක්. එවැනි අවස්ථාවක චීනයේ මේ සංවර්ධන නිශ්චිතභාවය අවිනිශ්චිත ලෝකයට තිරසරභාවයේ බලාපොරොත්තු රැගෙන එනු ඇති.

චීනයේ ඉදිරිය

චීනයේ ඉදිරිය