කොග්ගල පොත්ගුල නිදහස් මාවතට
- සටහන – නුවන් කුමාර කටුගම්පල
- ඡායාරූප – චමෝද් පෙරේරා
එහි පොත් පන්දහස් තුන්සිය එකොළහකි. ඊට ඔහු ලියූ අත්පිටපත් සහ මුද්‍රිතපොත් සියල්ල ද කියවූ අනෙකුත් පොත්පත් සියල්ල ද අයත් වේ. ඒ, හෙළයේ මහා ගත්කරු, කොග්ගල ප්‍රාඥයා යන විරුදාවලී ලද මාර්ටින් වික්‍රමසිංහ නම් අග්‍රගණ්‍ය ලේඛකයාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ පොත් ය. පොත්වලට අමතර ව ඔහු ලේඛන කාර්යය සඳහා භාවිත කළ උපකරණ ද ඡායාරූප සහ සිතුවම් ආදිය ද සම්මාන සහ සමරු තිළිණ ආදිය ද එහි වේ. එය නම්, ඔහුගේ 134 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් 2024 මැයි මස 29 දින කොළඹ 07 නිදහස් මාවතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ප්‍රතිෂ්ඨාපනය කර විවෘත කරන ලද ‘මාර්ටින් වික්‍රමසිංහ ජනලේඛන එකතුව සහ කෞතුකාගාරය’ය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න අදහස් දක්වමින් “මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාගේ දරුවන් අපට මේ ලබා දුන් ත්‍යාගය විශාල දිරියක්. තවදුරටත් තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් වර්ධනය කරමින් මේ ස්ථානය වැඩිදියුණු කිරීම අපේ කාර්යභාරය. නවීකරණය කරන ලද ජාතික පුස්තකාලයේ සුවිශේෂී ඉඩක මාගේ ධුර කාලයේදී මෙය අරඹන්නට ලැබීම ඉමහත් සතුටක්” යනුවෙන් ප්‍රකාශ කළේය.
1990ට පෙර ජාතික පුස්තකාලයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ පොත්පත් වෙනුවෙන් ම වෙන්වූ සුවිශේෂී ඉඩකඩක් නොතිබිණි. 1990 වසරේදී ඔහුගේ සිය වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් කෘති එකතුව සංරක්ෂණය කිරීම සඳහා පෙළඹී තිබෙන අතර එහි තිබුණාට වඩා වැඩි වපසරියක් සහ පහසුකම් රැසක් මේ නව ස්ථානයේ පවතී.
මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. සුනිල් මෙහිදී කියා සිටියේ මෙය ජාතික පුස්තකාලයට මෙන්ම සමස්ත ජාතියට ම වැදගත් අවස්ථාවක් බව ය. ලෝකයේ ජාතික පුස්තකාල සංකල්පය ස්ථාපිත කර ඇත්තේ කිසියම් රටකට ඉතා වැදගත්යැයි පිළිගන්නා ලේඛක ලේඛිකාවන්ගේ ලේඛන එකතු සංරක්ෂණය කිරීම ප්‍රමුඛ වගකීමක් ලෙස පවරමින් බව ද ඔහු පැවසුවේ ය.
මේ පොත් එකතුව මෙසේ පිළියෙල කිරීමේ වඩාත් වැදගත් ප්‍රතිඵලය වන්නේ වික්‍රමසිංහයන් කියවූ සෑම පොතක් ම කියවන අවස්ථාවේ ඔහු යොදා තිබෙන සජීවී කෙටි සටහන්වලින් ලැබෙන ආදර්ශයයි. එනම් පොතක් කියවීම, පොතක් පරිශීලනය සහ පොතක් ඵලදායී ව භාවිත කිරීම කෙසේ සිදු කළ යුතුදැයි යන ආකල්පය උකහා ගැනීමට අනාගත පරපුරට ලැබෙන සුවිශේෂී අවස්ථාවයි.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය, ගම්පෙරළිය, කළියුගය සහ යුගාන්තය වැනි නිර්මාණවලින් එළිදක්වන ලද සමාජ විපර්යාස වර්තමාන දරුවන්ගේ ඇසට ගෝචර නොවුණත් මා ඇතුළු වැඩිහිටි අයට එය හොඳින් ම අත්දකින්නට ලැබුණු බව ය. එම යුගය පසුවී ඇති බැවින් ඒ පිළිබඳ යම් ඡායාවක් මවා ගැනීමට හැකි වන ලෙස මේ ලේඛන සුරක්ෂිත කර අනාගත පරපුරට භාර දීමේ වගකීම වර්තමානයේ අප සතු බවත් එහි සැඟවී ඇති සැබෑ බුද්ධිය සහ ඥානය උකහා ගන්නට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ සලසමින් නව තාක්ෂණික ලෝකයට යාමේ අභියෝගය භාරගෙන පුස්තකාල සේවා මණ්ඩලය මේ ඉටුකර ඇත්තේ ජාතික යුතුකමක් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ බොහෝ දෙනා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා, කෙටිකතා, සාහිත්‍ය විචාර, විද්‍යාත්මක ලේඛන, සමාජ සහ කලා විචාර, පුවත්පත් ලිපි සහ පර්යේෂණ ග්‍රන්ථ යන සෑම අංශයක ම පොත් කියවා ඔහුගේ ආභාසය වඩාත් පුළුල් ව ලබා ඇත. එය පසුගිය පරම්පරා කිහිපයක ම පොදු අත්දැකීමකි. විශේෂයෙන් මෙරට සිංහල කතා කරන ද්විතීයික අධ්‍යාපනය ලැබූ අයගේ කියවීමේ රුචිය, කලා සාහිත්‍ය රසඥතාව සහ විචාර බුද්ධිය පෝෂණය කිරීමට එදා මෙදා තුර අඛණ්ඩ දායකත්වයක් සැපයීමට ඔහුටත් ඔහුගේ කෘතිවලටත් හැකි විය. එවැනි පිළිගැනීමකට ලක්විය හැකි වෙනත් ලේඛකයකු හෝ ගත් කතුවරයකු නූතන ශ්‍රි ලංකාවේ බිහි වූ බවට නිදසුනක් සොයා ගැනීම අපහසු ය.
‘පොත් කියවා පොත් ලිවීම: මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ආදර්ශය’ මැයෙන් එදින සමරු දේශනය පැවැත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ ය. මහාචාර්යවරයා: “ලංකාවේ යටත්විජිත නූතනත්වයේ වඩාත්ම කල්පවත්නා සබුද්ධික ගමන් මග එළිදරව් කර දුන් බුද්ධිමතා මාර්ටින් වික්‍රමසිංහ මහතා. මෙරට සමාජවාදී, කොමියුනිස්ට්වාදී, මාක්ස්වාදී පක්ෂ බිහිවන්නට පෙර 1910-20 අවධියේත් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ චින්තනයේ එවැනි ලක්ෂණ සහිත අදහස් තිබූ බව ඔහුගේ නිර්මාණ පරික්ෂා කරන විට පෙනී යනවා. එසේ වන්නට ඇත්තේ ඔහු 1920 ගණන් වන විටත් බටහිර, යුරෝපීය සහ ඉන්දියානු සාහිත්‍ය කියවන්නට පුරුදු වී සිටි බැවින් විය යුතුයි.
උසස් අධ්‍යාපනය නොලැබූ පුද්ගලයකු මෙතරම් නිවැරදි ව විද්‍යාත්මක චින්තනය, විද්‍යාත්මක විධික්‍රමය, මානව විද්‍යාත්මක විග්‍රහය වැනි දේවල් විශ්ලේෂණය කරමින් නිර්මාණ කිරීම විශ්වාස කළ නොහැක්කක්. බටහිර විද්‍යාත්මක දර්ශනවාද සේ ම මාක්ස්වාදී පතපොත ද ඔහු හදාරා තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ පොත් එකතුව හඳුනා ගැනීමෙන් අපට ඔහුගේ බුද්ධිමය තත්ත්වයේ වර්ධනය සිතියම්ගත කරන්න පුළුවන්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා උයද ්රු හදම සි වමිඑ ඉහ එයැ රෙසැබාි හදම ්ිදජස්එැ අසඑය (ඔබ කවුදැයි කියා නිශ්චය කරන්නට වන්නේ ඔබ ඇසුරු කරන යාලුවන් කවුදැයි කියා හඳුනාගෙන ය.) යනුවෙන්. ඒ නිසා අපට කියන්න පුළුවන් උයද ්රු හදම සි වමිඑ ඉහ එයැ ඉදදනි හදම ජදකකැජඑ (ඔබ කවුදැයි කියා හඳුනා ගැනීමට තියෙන මග, ඔබ එකතු කරන පොත් මොනවාදැයි කියා හඳුනා ගැනීම) යනුවෙන්.
පොත් එකතුවක් අපේ චරිතයේ කැඩපතක්. මාර්ටින් වික්‍රමසිංහ නිර්මාණ එකතුව එතුමාගේ රසඥතාව, ශාස්ත්‍රීය නැඹුරුව, දාර්ශනික සහ සංකල්පීය සිතීම්වලට බලපෑ මූලාශ්‍ර, එතුමාගේ බුද්ධිමය රුචි අරුචිකම්, කලාත්මක පෞරුෂය, විචාර බුද්ධිය යන මේවා පිළිඹිඹු වන දර්පණතලයක් වගෙයි.
එතුමා ජාත්‍යන්තර පොත් කියවන්නට පටන් ගන්තේ අද වැනි දියුණු මුද්‍රණ තාක්ෂණයක් සහ පත පොත සුලබ නැති කාලයක වීමත් වයස අවුරුදු විසිගණන් වන්නට කළින් වීමත් සිතා ගත නොහැකි කාරණාවක්.
අපට ඔහුගේ බුද්ධිමය අනන්‍යතා හඳුනාගත හැකි වන්නේ එතුමා ලියූ පොත්පත්වලින් සහ එතුමා එකතු කළ පොත්වලින්. ඒ අනුව පෙනී යන විශේෂත්වය වන්නේ එතුමා වෘත්තීය වශයෙන් ග්‍රන්ථ කර්තෘවරයකු වූ බව. අප දන්නා තරමින් ‘ලංකාවේ පළමු වැනි ඉතාම සාර්ථක වෘත්තීය පොත් ලියන්නා’ ඔහු. සාමාන්‍යයෙන් වෘත්තීය ලේඛකයන් ලෙස සලකන්නේ පුවත්පත් කලාවේදීන්. එතුමා ජනමාධ්‍යවේදී වෘත්තිය සම්පූර්ණයෙන්ම නවත්වා ග්‍රන්ථකරණය වෘත්තිය බවට පත්කර ගත්තා. ඔහුගේ වෘත්තීය සාර්ථකත්වය තිබෙන්නේ ශාස්ත්‍රීය හා කලාත්මක වශයෙන් තම කෘතිවලින් පෙන්වූ ස්වීයත්වය සහ නව්‍යතාව රැකගෙන අඛණ්ඩ ව එය පවත්වා ගැනීමට දැක්වූ කැපවීම හා ශක්තිය මතයි.
වික්‍රමසිංහයන්ට පසු පැමිණි සාහිත්‍යධරයන් බහුතර දෙනා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අය. එහෙත් ඔවුන්ගේ ග්‍රන්ථකරණයේ විෂය ප්‍රදේශය සහ බලපෑම එවැනි අධ්‍යාපනයක් නොලැබූ වික්‍රමසිංහයන්ට වඩා පටු සහ සීමිත බව නිරීක්ෂණය වනවා. ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ නිර්මාණකරණයට අදාළ කර ගත් ගැඹුරු සහ විචාරාත්මක අවබෝධයයි. ඔහුගේ ශෛලිය ද ශාස්ත්‍රාලීය පුහුණුව ලැබූවන්ගේ ශෛලියක් නොවෙයි. එය ඊට වඩා නිදහස් වූවක්. ඒ නිදහස එතුමාට ලැබුණේ ඔහු සතු ස්වීයත්ව ගුණයෙන් සහ අව්‍යාජත්වයෙන් (Authenticity).
එතුමාගේ කෙටිකතා, නවකතා, කලා, සාහිත්‍ය සහ සමාජ විචාර සියල්ලක ම එතුමාටම සුවිශේෂ ලෝක දෘෂ්ඨියක් (World View/ Personal Philosophy) ගැබ්වෙනවා. ඒ සියල්ල එකට බැඳ තබන හුය ඔහුගේ ලෝක දෘෂ්ඨියයි. එය 1914දී පළ කළ ඔහුගේ මුල් ම කෘතිය වූ ‘ලීලා’ නවකතාවේ සිට 1973දී පළ කළ එතුමාගේ අවසාන කෘතිය වන ‘බවතරණය’ දක්වා වූ සියලු ෂානරවලට අයත් කෘතිවල අන්තර්ගත ව තිබෙනවා. එය ඔහු විසින් ම හඳුන්වා දී තිබෙන්නේ ‘යථාර්ථ රීතිය’ යනුවෙන්. එය මානුෂවාදී යථාර්ථ රීතියක් (Human Centric Realism) ලෙස හැඳින්විය හැකියි.”
මේ නව පුස්තකාල පරිශ්‍රයේ වැදගත්කම පවතින්නේ තනි තනි පොත රැගෙන ගොස් බැලීමේ සාමාන්‍ය පුස්තකාල පිළිවෙත අනුගමනය නොකිරීම මත ය. එතැනට ගොස් එතැන සිට බලන්නට තිබෙන අවස්ථාව වැදගත් ලෙස ප්‍රයෝජනයට ගනිමින් සංරක්ෂිත පොත් එකතුවේ හිමිකරු වන ලේඛකයාගේ ම ඇසුරේ සිට ඔහු සමග ළඟ සංවාදයක් කිරීමට හැකි ස්ථානීය අගය ප්‍රයෝජනයට ගැනීම මත ය. ලේඛකයකු වශයෙන් එතුමාගේ අනන්‍යතාව හැඩගැසීමට බල පෑ බුද්ධිමය මූලාශ්‍ර සහ බලවේග මොනවාද? යන්න දැන ගැනීමට පහසු වන්නේ ද එවැනි පරිසරයකදී ය.
‘මා දුටු මාර්ටින් වික්‍රමසිංහ: මාර්ටින් වික්‍රමසිංහ ජනලේඛන එකතුව සහ කෞතුකාගාරය’ මැයෙන් මාර්ටින් වික්‍රමසිංහ භාරයේ පරිපාලන ලේකම් සහ ප්‍රවීන ලේඛක දයාපාල ජයනෙත්ති විසින් විශේෂ ආරාධිත දේශනයක් ද පවත්වන ලදී. ඔහු: “වයස අවුරුදු 17 සිට මාර්ටින් වික්‍රමසිංහයන් මේ පොත් ප්‍රවේශම් කළේ දරුවන් රක්ෂා කරන ආකාරයේ සෙනෙහසකින්. මේ පොත් එකක්වත් මග නොහැර කියවා ඇති බව ඔහු කියවන විට යෙදූ පැන්සල් සටහන් සාක්ෂි සපයනවා. විදේශීය රටවල සිට පැමිණෙන නැවියන් ලවා ද උපනිෂද් ග්‍රන්ථ, සංස්කෘත පත පොත, ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවලින් පළවූ ග්‍රන්ථ ගෙන්වා ගැනීමත් ‘ඇපොතිකර්’පොත් සමාගමේ අයිතිකරු වන සුදු ජාතික මහත්මයකු සිය සාප්පුවේ විකිණීම සඳහා ප්‍රදර්ශනයට තබා තිබූ පොත් මිලට නොගෙන, සාප්පුවේ සිට ම කියවීමට අවසර ලබා ගැනීමත් ඔහුගේ කියවීමේ උනන්දුව පෙන්වන නිදසුන්. උසස් විදුහලකින් අධ්‍යාපනය නොලද ඔහු දැනුම ලබාගෙන ඇත්තේ අත්දැකීමෙන් සහ ආශාවෙන් පොත් කියවීමෙන්. එසේ එක් රැස් කළ මහාර්ඝ සම්පත මෙසේ ජාතික පුස්තකාලයේ සංරක්ෂණය කරන්නට ලැබීම වාසනාවක්.”
ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙසේ ස්ථාපිත කෙරුණේ මීට සිය වසකට පමණ එපිට පටන් කොග්ගල නිවසේ ‘කන්තෝරු කාමරය’ නමින් හැඳින්වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත්ගුලයි. 1990දී එහි කොටසක් ජාතික පුස්තකාලයට රැගෙන ඒමෙන් ජාතික පුස්තකාලයේ ආකර්ෂණය සහ වටිනාකම වර්ධනය වූ අතර මෙවර සිදුවූ සංරක්ෂණ සහ ප්‍රතිෂ්ථාපන කාර්යය නිසා එහි වටිනාකම මෙන්ම අන්තර්ගතය වඩාවර්ධනය වූ බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පත්මා බණ්ඩාරනායක පෙන්වා දුන්නා ය. මෙය සිය ආයතනයට ලැබුණු සුවිශේෂ බුද්ධිමය එකතුවක් වන අතර ඥාන නිධානයක් බඳු නිර්මාණ ගබඩාවක් බව ද ඇය පැවැසුවා ය.
මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අනුව එතුමාගේ කෘති පිළිබඳ ප්‍රබල විචාරාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදු වී නොමැති අඩුව පෙනී යයි. ‘මාර්ටින් වික්‍රමසිංහ නව ජන ලේඛන එකතුව සහ කෞතුකාගාරය’ විවෘත වීම ඒ අඩුව පිරවීම සඳහා ලේඛක විචාරක පාර්ශ්ව උනන්දු කරන ප්‍රබල උත්තේජකයක් වනු ඇත. තව ද මේ ලේඛන සහ අනෙකුත් උපකරණ පවත්නා තත්ත්වයෙන් තව චිරාත් කාලයක් පවත්වා ගැනීම නව භාරකරුවන්ගේ දැඩි වගකීමකි. ඒවාට සුළු හෝ හානියක් නොවන පරිදි පරිශීලනය කිරීම පාඨක සහ ශාස්ත්‍රාභිලාෂී පරිශීලක සැමගේ ප්‍රබල යුතුකමක් මෙන්ම වගකීමකි.