#ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් අභිමානය

  • අනිල් වීරසිංහ

2025 වසරේ අගෝස්තු මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 13 වැනි කාන්තා සීමිත ඕවර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් අත්කර ගැනීමේ වටයට සහභාගීවීමෙන් තොර ව සුදුසුකම් ලබාගත් රටවල් 06 අතරට ශ්‍රී ලංකාව එක්වීම සුවිශේෂත්වයක්.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළේ 2023-24 පිරිමි ලෝක කුසලාන ඕවර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා අනුගමනය කළ ක්‍රමවේදයට සමාන ක්‍රියාවලියක්. මෙය කාන්තා ජගත් කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අලු‍ත් දෙයක් නොවුණේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා හඳුන්වා දී තිබුණේ පිරිමි ලෝක කුසලාන ඕවර 50 ක්‍රිකට් තරගාවලියට පෙර වීමෙන්. මිට පෙර පැවති 2017 හා 2021 කාන්තා ඕවර 50 ක්‍රිකට් තරගාවලි සඳහා ද කණ්ඩායම් තෝරා ගැනීමට මේ ක්‍රමය හඳුන්වා දී තිබූ අතර අයි.සි.සි. කාන්තා ශුරතාව ලෙස මෙය හැඳින්වෙනවා.

මෙවර ජගත් කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වූ අයි.සි.සි. කාන්තා ශුරතා තරගාවලිය 2022 සිට 2025 කාලය අතරතුරයි පැවැත්වෙන්නේ.

මේ සඳහා ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 10ක් මෙයට ඇතුළත් කෙරු‍ණේ ඒ වනවිට ඒ ඒ කණ්ඩායම් ජගත් ක්‍රිකට් පිටියේ අත්කරගෙන සිටි ශ්‍රේණි අනුව.

තරගාවලියේ ව්‍යුහයට අනුව මේ සෑම කණ්ඩායමක් ම තරග තුනකින් සමන්විත පන්දු ඕවර 50 එක්දින තරගමාලා අටකට සහභාගිවීමට නියමිත වූයේ ඉන් හතරක් තම මව් රටවල මෙන් ම තරගමාලා හතරක් විදෙස් රටවල ද වශයෙන්. මේ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගාවලියෙන් මේ තරගාවලිය ආරම්භ වූයේ 2022 ජුනි මස 01 දින.

තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය දෙස බලන විට ඕස්ට්‍රේලියාව සමග පමණක් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදු වූයේ නැහැ. ශ්‍රී ලංකාවේ පැවති තරගාවලි හතරේ ප්‍රතිඵල ගත් විට බංග්ලාදේශයට එරෙහි ව 1-0 ලෙස ජය, ඉන්දියාවට එරෙහි ව 1-2 ලෙස පරාජය, නවසීලන්තයට එරෙහි ව 2-1 ලෙස ජය, කොදෙව් කණ්ඩායමට එරෙහි ව 3-0 ලෙස ජය වාර්තා වුණා. විදෙස් රටවල සහභාගී වූ තරගවලදී පාකිස්තානයට එරෙහි ව 1-2 ලෙස පරාජය, එංගලන්තයට එරෙහි ව 0-2 ලෙස පරාජය (මේ තරගාවලියේ එක් තරගයක් තීරණයකින් තොර ව අවසන් වුණා), අයර්ලන්තයට එරෙහි ව 1-2 ලෙස පරාජය, දකුණු අප්‍රිකාවට එරෙහි ව 1-1 ලෙස ජය පරාජයෙන් තොර ව අවසන් වීම දක්නට ලැබුණු අතර එක් තරගයක තීරණය විසඳුණේ නැහැ.

අවසානයේ ඕස්ට්‍රේලියාව මේ තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තේ මිට පෙර අවස්ථා දෙකකදී ජයග්‍රහණයට හිමිකම් තිබියදී. 2025 ජගත් ශුරතාවට ඔවුන්ගේ සහභාගිත්වය ස්ථාවර වූ අතර දෙවැනි ස්ථානය දිනු ඉන්දියාවට සත්කාරක රට ලෙස මේ අවස්ථාව අනිවාර්යයෙන් හිමි වුණා. සුදුසුකම් ලැබූ අනෙක් රටවල් වන්නේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තයග මුල් කණ්ඩායම් හය අතරට ඒමට අසමත් බංගදේශය, කොදෙව්, පාකිස්තානය සහ අයර්ලන්තයට සිදු වන්නේ 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි ස්ථාන දෙක සඳහා ජගත් ක්‍රිකට් සමුළු ශ්‍රේණිගතයට අනුව මිළඟ ස්ථාන දෙකෙහි පසුවන ස්කොට්ලන්තය සහ තායිලන්තය සමග තෝරාගැනීමේ වටයට මුහුණ දීම.

ශ්‍රී ලංකා පිල අයි.සි.සි. කාන්තා ශුරතා තරගාවලියෙන් ඉදිරියට ඒමට දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතුරින් කණ්ඩායම මෙහෙය වූ චමරි අතපත්තු තරගාවලියේ වැඩි ම ලකුණු ලබාගත් පිතිකාරිනියන් අතර තුන් වැනි ස්ථානය අත්කර ගත්තේ තරග 23කදී ඉනිම් 23ක් පන්දුවට පහර දී සමස්ත ලකුණු 1088ක් ලබමින්.

මේ සඳහා ඇය ශතක හතරක් හා අර්ධ ශතක තුනක් වාර්තා කළා. ඇය ශතක ලබා ඇති ආකාරය විමසීමේදී පාකිස්තානයට එරෙහි ව එරට කරච්චිහිදී ලකුණු 101ක්, නවසීලන්තයට එරෙහි ව ගාල්ලේ පැවති පළමු තරගයේදී ලකුණු 108ක් (නොදැවී), එම නවසිලන්ත තරගාවලියේ ම තෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140ක්, දකුණු අප්‍රිකාවට එරෙහි ව එරට පොර්චේස්ට්‍රූම්හි (ඡදඑජයැfිඑරදදප) පැවති තෙවැනි තරගයේදී නොදැවී ලකුණු 195ක් වශයෙන් ශතක වාර්තා කර තිබුණා. මේ අතරින් ඉනිම් තුනක ම ඇය නොදැවී සිටින්නට සමත් වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි ව වාර්තා වූ ලකුණු 195 මේ තරගාවලියේ ක්‍රීඩිකාවක් එක් ඉනිමක ලැබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණා. සමස්ත කාන්තා එක්දින ජගත් තරගයක එක් ඉනිමක පිතිකාරිනියක වාර්තා කර ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව අතර තුන්වැනි ස්ථානයට පත් ව ඇති අතර මෙහිදී ඇයට ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ඒ.සි. කෙර් (්ජ ණැරර* සහ ඕස්ටේ්‍රලියාවේ බෙලින්ඩා ක්ලාර්ක් (ඊැකසබා් ජක්රන) යන ක්‍රීඩිකාවන් දෙදෙනා. එමෙන් ම දකුණු අප්‍රිකා තරගයෙන් කාන්තා එක්දින තරග වාර්තා දෙකක් තමන් සතු කර ගැනීමට මෙරට ක්‍රීඩිකාවන් සමත් වීමත් අමතක කළ නොහැක්කක්. ඒ, කාන්තා එක්දින ජාත්‍යාන්තර තරගයක මුල් වරට කණ්ඩායමක් ලකුණු 300 ඉක්මවා හඹා ගොස් ජය අත්කර ගත් අවස්ථාව මෙන් ම මේ දක්වා මෙවැනි තරගයක එක් කණ්ඩායමක් හඹා ගොස් ජය වාර්තා කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ද වීමෙන්.


ජගත් කාන්තා ලෝක කුසලාන ඉතිහාසය දෙස බලන විට මෙය ආරම්භ වූයේ 1973 වසරේ. ඒ, පිරිමි ලෝක කුසලාන තරගාවලියට වසර දෙකකට පෙර. 1978 මුල් ම තරගාවලියේ සිට 2005 තරගාවලිය දක්වා මෙහි සංවිධායකත්වය අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් කවුන්සිලය දැරුවා. ඉන්පසු ජගත් ක්‍රිකට් කවුන්සිලය හා ඒකාබද්ධ වීමෙන් පසු 2009 තරගාවලියෙහි සිට ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙය සංවිධානය කරනවා. මුලින් ම 1973 මේ තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ. එවර ශුරතාව අත්කර ගනු ලැබුවේ ද එංගලන්ත කණ්ඩායම. එතැන් සිට වැඩි ම අවස්ථා ගණනක් මෙය ජයගෙන ඇත්තේ ඕස්ටේ්‍රලියාව. ඒ, හත් වරක් ජයගෙනග එංගලන්තය සිව් වරක් සහ නවසීලන්තය එක් වරක් ද මෙහි ශුරතාව ජයගෙන තිබෙනවා. මුල් අවස්ථාවල කණ්ඩායම් තෝරා ගැනීම සඳහා මෙන් ම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් නිසි සැලැස්මක් තිබී නැහැ. ඒ ඒ රටවලට ආරාධනා කර තරගාවලියට ඇතුළත් කර ගත් අවස්ථා ද තිබුණා. මුලින් ම මේ සඳහා තෝරා ගැනීමේ තරගාවලියක් පැවැත්වීම ආරම්භ වූයේ 2003 වසරේ 2005 තරගාවලිය වෙනුවෙන්. තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වීම ආරම්භ වූයේ ද 2005 තරගාවලියේ සිට.


ශ්‍රී ලංකාව මේ තරගාවලියට මුල් ම සහභාගිත්වය ලබා දෙන්නේ 1997 තරගාවලියෙන්. එතැන් සිට 2000, 2005, 2009, 2013, 2017 තරගාවලි සඳහා අඛණ්ඩ ව සභාගිවීමේ අවස්ථාව හිමි කරගත් ශ්‍රී ලංකාවට 2022 තරගාවලිය සඳහා සුදුකම් ලැබීමේ වරම් අහිමි වුණා.


පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් පිටියේ දක්වා ඇති දස්කම් අනුව මෙවර ශුරතාවේ අවම වශයෙන් අවසන් කණ්ඩායම් අතරට පැමිණීමේ අවස්ථාව මෙරට ක්‍රීඩිකාවන්ට හිමිවනු ඇතැයි අපේක්ෂා කරනවා.. විශේෂයෙන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමෙන් දේශගුණික මෙන් ම ක්‍රීඩාපිටි තත්ත්වය ද ශ්‍රී ලංකාවට සමාන වීමත් ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති.