ක්ලෝඩියාගේ අභියෝගය
- ඩබිලිව්. එම් ශාන්තප්‍රිය
මෙක්සිකෝවේ නව ජනාධිපතිවරයා ලෙස Claudia Sheinbaum (ක්ලෝඩියා ෂයින්බොම්) තේරී පත්වී සිටි. එරට ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඇය මෙක්සිකෝ ඉතිහාසයට එක්වන්නේ 60%කට ආසන්න වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි. මෙය මෙක්සිකෝ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයකු ලබාගත් ඉහළ ම ඡන්ද ප්‍රතිශතය ලෙස සැලකේ. මෙවර ජනාධිපතිවරණයේදී ඇයගේ ආසන්නම ප්‍රතිවාදියා වූ National Action පක්ෂයේ අපේක්ෂිකාව වන Xochitl Galvez ලබාගැනීමට හැකිවූයේ 27%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
එරට දුප්පත් ජනතාව අතර ඇය ලබා තිබෙන ඉහළ ජනප්‍රියත්වයත් කලක් මෙක්සිකෝසිටි ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස මහජන ප්‍රසාදයට පත් ව සිටීමත් මේ ජයග්‍රහණයට හේතු වී තිබේ. වසර 200ක ඉතිහාසයේ මෙක්සිකෝවේ කාන්තාවක් එරට නායකත්වයට පත් වීම කාන්තාවක් ලැබූ ඉහළ ජයග්‍රහණයක් බව ජයග්රහණයෙන් පසු ඇය මාධ්‍යයට ප්‍රකාශ කළා ය. මෙක්සිකෝ ව්‍යවස්ථාව අනුව එරට රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ ප්‍රධානියා මෙන් ම සන්නද්ධ සේවාවල ප්‍රධානියා වන්නේ ද ජනාධිපතිවරයායි. වත්මන් ජනාධිපති Andres Manuelගේ ධුරකාලය 2024 ඔක්තෝම්බර් 01 දිනෙන් අවසන් වන අතර එදින Claudia Sheinbaum මෙක්සිකෝවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.
මෙක්සිකෝව ප්‍රාන්ත (States) 31කින් සමන්විත ෆෙඩරල් රාජ්‍යයකි. මෙක්සිකෝ ව්‍යවස්ථාදායකය ඉහළ මන්ත්‍රී මණ්ඩලය හා පහළ මන්ත්‍රී මණ්ඩලය යන කොටස් දෙකකින් යුක්ත ය. ව්‍යවස්ථාදායකය සඳහා පැවැත්වූ මෙවර මැතිවරණයෙන් Claudia නියෝජනය කරන Morena (මොරෙනා) පක්ෂයට තුනෙන් දෙකක බලයක් හිමි විය. මෙක්සිකෝවේ විශාලතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන වාමාංශික ජනතාවාදී පක්ෂය 2014 වර්ෂයේදී ආරම්භ කරන්නේ වත්මන් ජනාධිපති Andres Manuel ය.
මෙක්සිකෝවේ වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන මොරෙනා පක්ෂය 2018 වසරේ සිට මෙක්සිකෝවේ පාලන බලය හොබවයි. ලතින් ඇමරිකාව හරහා ගිය දෙවැනි රෝස රැල්ල නම් අරගලයට මෙක්සිකෝවට ද මුහුණදීමට සිදු විය. වත්මන් ජනාධිපති Andres Manuel ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ මේ තත්ත්වය යටතේ ය.
මොරෙනා පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියේ විශේෂත්වය වන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ ආර්ථික ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමයි. වත්මන් ජනාධිපති Andres Manuelගේ පත්වීමත් සමග එරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිසියම් ආකාරයකට කනගාටුවට පත්වුණු බව වාර්තා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ එළිපත්තේ පිහිටි මෙක්සිකෝවට තම ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යමින් කිසියම් ස්වාධීනත්වයක් සහිත ව ඉදිරියට ක්‍රියා කිරීම අභියෝගයකි.
ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීම, එරට වෙළාගෙන ඇති නීතිවිරෝධී ඝාතන, වද හිංසා පැමිණවීම, අතුරුදහන් කිරීම්, අපරාධ කණ්ඩායම්වල ඉහළ මට්ටමේ ප්රචණ්ඩත්වය යන බරපතළ මානව හිමිකම් ප්‍රශ්නවලට මුහුණදීමට නව නායකත්වයට සිදු වේ.
වර්ග කිලෝමීටර් 1,972,550ක විශාලත්වයකින් යුත් මෙක්සිකෝව විශාලත්වය අනුව ලොව 13 වැනි ස්ථානයේ පසු වෙයි. මිලියන 130කට ආසන්න ජනතාවක් වාසය කරන එරට ජනගහනය අනුව පසු වන්නේ ලොව 10 වැනි ස්ථානයේ ය. එහි ජනතාවගෙන් 90%ක් ස්පාඤ්ඤ භාෂාව කථා කරන අතර 80%කට ආසන්න පිරිසකගේ ආගම රෝමානු කතෝලික වේ.
ඉතාමත් දියුණු සංස්කෘතියක් ඇති පුරාණ නටබුන්වලින් ගහන විස්මිත වෙරළ තීරයක් ඇති උතුරු ඇමරිකානු රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුළන මෙක්සිකෝව ලෝකයේ තෙල් සම්පත්වලින් 17 වැනි ස්ථානයේ පසුවන්නේ ඔපෙක් සංවිධානයේ සාමාජිකයකු වශයෙනි. ශක්තිමත් ආර්ථික විවිධාංගීකරණයක් ඇති එහි ඛනිජ තෙල්, කෘෂිකර්මාන්තය, සංචාරක, පතල් කැණීම් හා කාර්මික ක්‍රියාකාරකම් ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ය.
ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වන මෙක්සිකෝව 2050 වසර වන විට විශාලතම පස්වැනි හෝ හත්වැනි ආර්ථිකය බවට පත්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය හා ආර්ථික සංවිධාන පුරෝකථනය කරයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් ලොව 15 වැනි ස්ථානයේ පසුවන එරට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ටි්රලියන 1.15ක දළ දේශීය නිෂ්පාදිතයක් පවතී. එහෙත් අද වන විට මෙක්සිකෝවේ ආර්ථික වර්ධන වේගය 2.1%කට මදක් වැඩි වන අතර එය සංවර්ධිත රටවල ආර්ථික වර්ධන වේගයට වඩා බෙහෙවින් අඩු මට්ටමකි.
ඇමරිකා එක්සත් ජනපදයට ආසන්නයේ පවතින රටක් ලෙස අතීතයේ සිට ම ඔවුන් සමග මෙක්සිකෝවේ යම් ප්‍රශ්න පැන නැගී ඇත. 19 වැනි සියවසේ දෙරට අතර යුද ගැටුමක් ද සිදු වී තිබේ. 1845 වසරේදී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශය ඈඳා ගැනීමත් මෙක්සිකෝව ඊට එරෙහිවීමත් එම යුද ගැටුමට හේතු වී ඇති අතර එය අවසන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජයග්‍රහණය හිමිකර ගනිමිනි. වර්තමානයේ ද මත්ද්‍රව්‍ය ජාවාරම්, සංක්‍රමණ ගැටලු ආදිය අරභයා ද එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර විවිධ ගැටලු මතුවී තිබේ.
මේ කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙක්සිකෝවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙක්සිකෝ ආර්ථිකය සඳහා ඔවුන්ගේ විශාල දායකත්වයක් පවති. 2022 වසරේ මෙක්සිකෝවට කළ ඇමරිකා ජනපද භාණ්ඩ හා සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් බිලියන 362.5කි. එය ඇමරිකාවේ මුළු අපනයනවලින් 13%ක් වන අතර එය මෙක්සිකෝවේ සමස්ත ආනයනවලින් 43%කි. මෙයින් පෙනී යන්නේ මෙක්සිකෝ ආර්ථිකයට ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වැදගත්කමයි.
මේ තත්ත්ව යටතේ වුවත් මෙක්සිකෝව ස්වාධීන රටක් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ දරන බවක් පෙනේ. එරට විදේශ ප්‍රතිපත්තිය අනුව ජාත්‍යන්තර නීතියට ගරු කිරීම, රාජ්‍යයන්ගේ නෛතික සමානත්වය හා වෙනත් රටවල ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට ගරු කිරීම, වෙනත් රටවලට මැදිහත් නොවීම හා සාමකාමී ව ගැටුම් විසඳීම යන මූලධර්ම මත පදනම් ව ඔවුන් ක්‍රියා කිරිමෙන් මේ බව මොනවට පැහැදිලි වෙමින් තිබේ.