ක්‍රිකට් සෙල්ලමක් නොවෙයි ක්‍රීඩාවක්
- ර. මු. නිශ්ශංක
ලෝක කුසලානය 1996 වසරේදී ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝකය සැලකීමට පටන් ගත්තේ වැදගත් ආකාරයට. එහෙත් බල අරගලයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට්හි පාලන බලය වෙනස් වුණේ ද එම ජයග්‍රහණයට පසුව. එතෙක් ඉන්දියාව සහ පාකිස්තානය තම කලාපයේ හිතවතා ලෙස ශ්‍රී ලංකාවට විශාල ලෙස උදව් කළා. 1996 ලෝක කුසලානය දිනා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම වෙනුවෙන් එවකට පැවති යුද්ධය පාදක කරගෙන ශ්‍රී ලංකාවට නොපැමිණි කණ්ඩායම්වලට ලකුණු අහිමි කිරිමේ ව්‍යාපෘතිය පිටුපස දැඩි බලපෑමක් කළේ ද එම අසල්වැසි රටවල්. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ කණ්ඩායම් ඉදිරියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්නට ලෝක කුසලානය ආසන්න ව තිබියදී ප්‍රදර්ශන තරගයකට පැමිණීම ඒ මොහොතේ ලෝක කුසලානය පෙනි පෙනී ගත් අවදානම් තීරණයක්. ක්‍රීඩකයන් පැමිණීම මෙන් ම ඔවුන්ට අවසර දුන් රටවල පාලකයන් ද එම මොහොතේ කළ උපකාරය සුළුවෙන් තකන්නට බැහැ.
එහෙත් කණ්ඩායම වෙනස් කර ජයග්‍රහණයට පාර කියූ ඩේව් වට්මෝර් එම ක්‍රීඩකයන්ට අමතක වුණා. සියලු පහසුකම් නිසි කළමනාකරණයකින් ක්‍රීඩකයන් වෙත ළඟා කළ ආනා පුංචිහේවා සභාපතිවරයාට සිදු වූයේ ද ගෙදර යන්නට. ලෝක කුසලානය ගෙන ඒම සඳහා දායක වූ ඇතැම් අයට ලෝක කුසලානයත් සමග ශ්‍රී ලංකාවට විවර වූ ඩොලර් දොරටු වසා දැමීමට තැත් කළා.
එතැන් සිට මූල්‍යමය වශයෙන් පොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට බොහෝ දෙනකු ඉදිරිපත් වුණා. ක්‍රීඩකයන්, පරිපාලකයන් කෝටිපතියන් වෙමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම ප්‍රකෝටි වෙද්දී බෙදීම් ඇති වූයේ පරිපාලනයේ වගකීම් සම්බන්ධ බැඳිම් ඇති කර ගැනීමේ වුවමනාව ඇති ව. වර්තමානයේ උද්ගත ව තිබෙන තත්ත්වයේ පසුබිමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ම පවසන කාරණයකින් කියැවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායමෙන් 20%ක් ජාතික ක්‍රීඩා අරමුදලට හිමි වන්නේ නම් සමස්ත ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය ම ගොඩ නැගිය හැකි බව. ක්‍රීඩාවේ දේශපාලන බලධාරියා වන අමාත්‍යවරයාගේ විධිවිධාන යටතට ක්‍රීඩා අරමුදල අයත් බව පනතේ ම සඳහන්. මේ අරමුදල වියදම් කිරීම සම්බන්ධයෙන් දේශපාලකයන්ට ඉතිහාසයේ එල්ල වූ චෝදනා ද හිඟ නැහැ. එවැනි පසුබිමක මෙවැනි ඉල්ලීමක්, යෝජනාවක් හෝ කොන්දේසියක් පනවන්නට පාර්ලිමේන්තු ව ම එකඟ වුවත් ලෝකය ඒ දෙස බලන සැකය ඉවත් කිරීමට නොහැකි ඉතිහාස කරුණු ද තිබෙනවා.
මේ චෝදනා ඒල්ලවන පසුබිමක වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා 20%ක් ගැන පවසන විට හිටපු අමාත්‍යවරයකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන්නේ ඔහු අමාත්‍යවරයා ව සිටියදී පැවති අතුරු කමිටුව ඉවත් කර නැවත නිලවරණයට යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යනු බිලියන ගණනක පාඩුවක් පෙන් වූ ආයතනයක් බව. මේ අතුරු කමිටු සම්බන්ධයෙන් ඇති ඓතිහාසික අත්දැකීම් යහපත් නැහැ.
ශ්‍රී ලංකාව සීමිත පන්දුවාර 50 තරගාවලියක් පවත්වා අවසානයේ සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූ රටක්. එහි ප්‍රතිඵලයක් වන්නේ මෙරට ක්‍රීඩා සමාජවලට ගලා යන සම්පත් හිඟ වීම. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ෂබඑැරබ්එසදබ්ක ක්‍රසනැඑ ක්‍දමබජසක-ෂක්‍ක්* පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්. ”අපේ රටේ ක්‍රිකට් අපට ඕනෑ විදිහට” කියා සිතමින් ක්‍රියා කරන්නට බැහැ. ලෝකයේ ක්‍රීඩාවලට අදාළ සෑම මව් සංගමයක් ම ක්‍රීඩාවේ පහළ ම ස්ථරයේ සිට සිය අවධානයේ තබා ගන්නවා. ඉතිහාසය කියා දුන් පාඩම්වලින් පෙන්වා දෙන්නේ ලෝකයේ සියලු ම ක්‍රිඩා දේශපාලන බලපෑම්වලින් තොර ව පැවතිය යුතු බව. අමාත්‍යවරයාගේ ම යම් තීන්දු පදනම් කරගෙන රගර්, පාපන්දු යන ක්‍රිඩා ද තහනම් වූයේ ජාත්‍යන්තර අතපෙවීම් හැටියට ගන්නා ලද තීරණ හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩා පනතේ තමන්ට ඇති බලය අනුව ක්‍රියා කළ බව.
වැදගත් වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල නීතිමය පසුබිම පවතින තත්ත්වය සහ රටේ ක්‍රීඩා පනත අතර ඇති අසමානකම් අවම කර යාවත්කාලීන කිරීම. එසේ නොවන විට සිදුවිය හැක්කේ ක්‍රීඩා පනතේ විධිවිධාන මත ගන්නා තීන්දු ජාත්‍යන්තර ක්‍රීඩා මව් සංගම්වල ව්‍යවස්ථාවලට අනුකූල ව ප්‍රතික්ෂේප වීම. කුමන ආකාරයේ චෝදනා එල්ල කළත් ක්‍රිකට් තහනම ද පාපන්දු සහ රගර් තහනම ද සිදු වී ඇත්තේ මේ පරස්පරතා මත.
ක්‍රීඩකයන් අතර අසමගිය, ක්‍රීඩාව දේශපාලනීකරණය වීම ක්‍රීඩකයන් කෙරෙහි ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය බිඳ වැටීමට හේතු. මේ නිසා පැරදුණත් ක්‍රීඩකයන් සමග සිටි ප්‍රේක්ෂකයන් තුළ ක්‍රීඩකයා ගැන තිබුණු ගෞරවය සිඳී ගොසින්. මේ මොහොතේ උද්ගත ව තිබෙන්නේ එම පීඩනය කළමනාකරණය කර ගන්නට නොහැකි තත්ත්වයක්. සුළු කරුණකදී වුවත් ක්‍රීඩකයන්ට කරන අපහාස, රිදවීම්වල නිමක් නැහැ. ක්‍රීඩා පිටියේ පන්දු රකින මොහොතේත් තමන්ගේ රටේ ක්‍රීඩකයා පහත් කරන තරමට ප්‍රේක්ෂකයාත් විවේචනාත්මක ව පහතට වැටි අවසන්. තමන් අකමැති ක්‍රීඩකයා රටට ක්‍රීඩා කළත් ඔහුට ක්‍රිඩාංගණයේදී ම අපහාස කරන තරමට පිරිහුණු ප්‍රේක්ෂකාගාරයක නියෝජනයක් තිබෙන මොහොතකයි ශ්‍රී ලංකාවේ ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක් බලාපොරොත්තු වන්නේ.
මෙවැනි පසුබිමක ක්‍රීඩාලෝලියා හදන්නට බැහැ. එහෙත් ඔවුන් තමන් වෙත ආපසු හරවන්නට ක්‍රීඩකයන්ට පුළුවන්. ඒ, නිතර දක්ෂතා අතර සිටීමින්. ඒ සඳහා ක්‍රීඩකයන් පොළොවට පය ගසා ශක්තිමත් විය යුතු වනවා.
ක්‍රීඩකයන් කළමනාකරණය කරන්නට නිසි වෘත්තිය දැනුමක් සහ වගකීමක් තිබෙන, සද්භාවයෙන් ක්‍රියා කරන පිරිසක් ක්‍රිඩාව වටා එක් විය යුතු වනවා. ජාතික කණ්ඩායමට එක්වීම ක්‍රීඩකයකු ලබන දුර්ලභ වරමක්. ඔවුන්ට තිබිය යුතුයි වෘත්තීය වගකීම ගැන හැඟීමක්. එසේ නොමැති විට ක්‍රිකට් පුටුවේ ශක්‍රයා ඉඳගත්තත් එය හැමදාමත් උණු වෙවී තිබේවි. පරදින විට පේක්ෂකයා වේදනා විඳීවි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වූයේ ම ප්‍රායෝගිකත්වය දක්නට නොමැති බැවින්. ක්‍රීඩකයන් තරගයේදී මානසික ව සූදානම් නැති බවත් ඊට අවශ්‍ය ශික්ෂණය සහ සංයමය ඔවුන්ට නොමැති බවත් මහේල ජයවර්ධන ද මෙවර ලෝක කුසලාන පරාජය පිළිබඳ ව අදහස් දැක්වීමේදී පිළිගත්තා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වීම, තහනම, අනාගතය ගැන සිතන විට අවබෝධ කරගත යුතු වැදගත් ම කරුණ ඇත්තේ රටට ක්‍රිකට්මය නොවන ආර්ථිකමය වශයෙන් ලැබෙන්නට නියමිත විශාල ධනයක් මේ තහනමට යටවී වෙනත් රටකට ගලා යාමේ අවදානමක් පැවතීම මත. මේ තත්ත්වයට සංවේදී වීම ජාතිකමය වශයෙන් වැදගත්.
ක්‍රිඩා පනතේ සහ ක්‍රීඩාවේ ස්වභාවය වෙනස් විය යුතු වනවා. ජාතික ක්‍රීඩා සභාව පාර්ලිමේන්තුවට සම්බන්ධ කර දේශපාලනික සහ අපක්ෂපාති මුහුණුවරකින් පවත්වා ගැනීම වැදගත්. ක්‍රිකට් නොවන සියලු ක්‍රීඩා එවිට පාර්ලිමේන්තුවට සම්බන්ධ වන නිසා සෑම ක්‍රීඩාවක් ගැන ම අවධානය මහජන නියෝජිතයන් වෙත සන්නිවේදනය වනවා. නැත්නම් වන්නේ ජාතික ක්‍රීඩා සභාව යනු අමාත්‍යවරයාගේ අවශ්‍යතාව සඳහා ඔහු විසින් කරනු ලබන පත්කිරීම් වීම. එය වෙනස් කර පාර්ලිමේන්තුවට එම සභාවේ නියෝජනය සඳහා පක්ෂ විපක්ෂ කණ්ඩායමක් එකතු කර ගත හැකි නම්, පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය කැබිනෙට්ටුවට නැතත් පාර්ලිමේන්තුවට වග කියන එම කමිටුවට පැවරීමට පුළුවන්. ක්‍රිඩාවේ විශ්වසනීයත්වය ජාත්‍යන්තරය තුළ ගොඩනැගීමට එය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හැඩය පමණක් නොව සමස්ත ක්‍රීඩා පනතේ ම හැඩය ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයට සාපේක්ෂ ව සකස් කිරිමට ඉදිරිපත් වීම මහජන නියෝජිතයන්ගේ වගකීමක්. මෙහිදී ක්‍රීඩාව සම්බන්ධ සියලු පාර්ශ්වවලට ඒත්තු ගැන්විය යුත්තේ තමන් ‘ක්‍රීඩාව’ යන බරපතළ වචනය ‘සෙල්ලමක්’ යැයි සිතා සැහැල්ලුවට ගෙන ක්‍රියා කරන බව.