#දේශපාලන

කලාපීය හවුල්කාරිත්වය

President

“අපගේ ඉතිහාසය සාක්ෂි දරන පරිදි අපගේ පුරාවෘත්ත එකිනෙකට බැඳී පවතින අතර අප ශතවර්ෂ ගණනාවක් පැරණි මිත්‍රත්වයක් බෙදා ගන්නෙමු. දශක හයකට පෙර දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමත් සමඟ එම සමීප බැඳීම් තවදුරටත් වර්ධනය විය. 1965 ජූලි 26 දින නිදහස ලැබීමෙන් පසු මාලදිවයින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිට වූ පළමු රටවල් අතර ශ්‍රී‍ ලංකාව ද විය. අප නිදහස ලබා වසර 60ක් සපිරීමත් සමඟ ම අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ස්ථිරසාර සහ කාලීන මිත්‍රත්වයට වසර 60ක් සපිරීම ද මෙසේ සමරමු.”

මෙලෙසින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමද් මුයිසු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ආමන්ත්‍රණය කෙරුණේ ඔහු 2025 ජූලි 28 සිට ජුලි 30 දක්වා මාලදිවයිනේ සිදු කළ රාජ්‍ය සංචාරය අතරතුරදී.

ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරමින් මේ සංචාරය ඇරඹුණේ වෙලානා ජාත්‍ය‍න්තර ගුවන්තොටුපොළේදී (Velana International Airport)මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා උත්තමාචාර මධ්‍යයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබීමෙන්. ඉන්පසු එම සංචාරයේ නිල උත්සවය පැවැත්වූයේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරස්‍රයේදී එරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මේ සංචාරයේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී. මේ සාකච්ඡාවලදී අවධානය යොමු ව ඇත්තේ වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව, ක්‍රීඩා, පරිසර, ධීවර කර්මාන්තය හා කෘෂිකර්මය ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ව. ආර්ථික අභියෝගවලට ලක් වූ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ව මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ප්‍රශංසාව පළ කළා.

එම සාකච්ඡාවලින් අනතුරු ව ගිවිසුම් හුවමාරු කර ගැනීමට ද දෙපාර්ශ්වය එක් වුණා. එහිදී අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුමක් මාලදිවයිනේ විදේශ සේවා ආයතනය හා බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර ඇති වුණා. දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කිරීම සහ ලේඛන හුවමාරුව ද එම ගිවිසුමට ඇතුළත්. දෙරටේ ජනාධිපතිවරුන් මාධ්‍ය වෙත සිය ප්‍රකාශ ලබා දුන්නේ ඉන් අනතුරුව. දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳ ව එහිදී විශේෂයෙන් සඳහන් වුණා. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙනුයි මේ සංචාරය සංවිධාන කර තිබුණේ. අනාගතයේදී දෙරටට වැදගත් වන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳ ව ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කළා. දෙරටේ ම ජනතාවගේ පොදු යහපත සඳහා සම්බන්ධතා ශක්තිමත් කරගත යුතු බවයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

කුරුම්බා මෝල්ඩියුස් නිවාඩු නිකේතනයේදී මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනැමූ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක් වූ අතර එහිදී අනුර කුමාර දිසානායක සඳහන් කළේ ශ්‍රී ලංකාව හා මාලදිවයින පොදු දැක්මක් හා පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමනය කරා ගමන් කරනු ඇති බව.

එසේ ම ඔහු සඳහන් කළේ “1965 වසරේදී මාලදිවයින නිදහස ලබා ගැනීම, දකුණු ආසියානු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මාලදිවයින් නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබීම ලංකාවේදී සිදු කිරීමට අවස්ථාව සලසා දීමෙන් එම ඓතිහාසික ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව අභිමානයට පත් වෙනවා. එමෙන් ම කීර්තිමත් ශ්‍රී ලාංකික ගාන්ධර්ව දිවංගත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරින් විසින් නිදහස් මාලදිවයිනේ ජාතික ගීයේ තනු නිර්මාණය කරනු ලැබීම අපගේ ආඩම්බරයට හේතු වෙනවා. අපේ හවුල්කාරිත්වය කලාපීය අසල්වැසි රාජ්‍ය අතර සහයෝගිතාවේ පිළිබිඹුවක් බව මා තරයේ විශ්වාස කරනවා. සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම හෝ නීල ආර්ථික මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම හෝ වේවා බහුපාර්ශ්වීය සංසදවල   සහයෝගයෙන් කටයුතු කිරීම හෝ වේවා ඒ කවර ආකාරයෙන් වුව ද සාමකාමී, සමෘද්ධිමත් සහ තිරසර ඉන්දියානු සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා මාලදිවයින සමඟ  සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනවා.” යනුවෙන්.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මේ සංචාරයේදී තවත් වැදගත් තීරණයකට එළඹ තිබෙනවා. ඒ, සංචාරය සඳහා මාලදිවයිනට පිටත් ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on Arrival සංචාරක වීසා බලපත්‍ර  නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කිරීම. එය 2025 ජුලි 29 දින සිට   ක්‍රියාත්මක වන අතර එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලයේ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සතු බවට සනාථ කළ යුතුයි. දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව පදනම් කරගෙනයි මේ තීරණයට මාලදිවයින් රජය එළඹුණේ. ශ්‍රී ලංකාවට මාලදිවයින දක්වන ඉහළ ප්‍රමුඛතාව ද ඉන් පැහැදිලි වනවා. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර 60 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසනායක පැළයක් ද රෝපණය කළා. ඒ, මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා මාලදිවයින් ව්‍යාපාරික කවුන්සලය එක් ව එය සංවිධාන කළ මාලදිවයින් ව්‍යාපාරික සංසදය ඇමතීමට ද (ජූලි 30) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක් වුණා. මෙහි අරමුණ වුණේ ශ්‍රී ලංකාව යනු ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තවල ආයෝජනය සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දීම. ශ්‍රී‍ ලාංකිකයන්ට මාලදිවයිනේ රැකියා ලබාදීම ගැන ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට ව්‍යාපාරිකයන්ට  ඇරයුම් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා.

එම ව්‍යපාරික ප්‍රජාව අමතමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන ඇති අතර වර්තමානයේ ආයෝජන සඳහා හිතකර තත්ත්වයක් එහි පවතින බව. 2025 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් අපේක්ෂා කරන බැවින් රටේ මේ වන විට දේශපාලන ස්ථාවරත්වයක් පවතින බවත් වංචා, දූෂණ හා අක්‍රමිකතාවලින් තොර සමාජයක් ගොඩ නැගෙමින් ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එහිදී අවධාරණය කෙරුණේ සංචාරක කර්මාන්තය, ආහාර සැකසුම්, ධීවර කර්මාන්තය, දේපළ වෙළෙඳාම හා තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳ ව. 2025 වසරේදී සංචාරකයන් මිලියන 03ක් ගෙන්වා ගැනීමයි ශ්‍රී ලංකාවේ සැලසුම. ඒ අනුව නව හෝටල් ව්‍යාපෘති වැනි අවස්ථා සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ව්‍යාපාරිකයන්ට අවස්ථාව පවතිනවා.

මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයි එම හමුව සංවිධාන කළේ. නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම මෙන් ම ආර්ථිකය නගා සිටුවීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවී ඇති බවත්  සෑම දෙනාට ම එක හා සමාන ව ක්‍රියාත්මක වන නීතියක් රටේ  සක්‍රීය කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ඔවුන්ගේ ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

මේ සංචාරයේදී එරට ජනාධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික, කලාපීය මෙන් ම ජාත්‍ය‍න්තර වශයෙන් වැදගත් වන කාරණා සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡා අනාගත සහයෝගිතාව සඳහා අවශ්‍ය පදනම සකස් කරනු ඇති. ව්‍යාපාරික හමුව වැදගත් වන්නේ මෙරට ආයෝජන සඳහා එය ඉවහල් වන බැවින්. දෙරට අතර දේශපාලනික බැඳීම වැදගත් වනු ඇත්තේ විශ්වාසය මෙන් ම ජනතාව අතර සම්බන්ධතා ඇති කිරීමට. අසල්වැසියන් සමග සමීප මිත්‍රත්වය වර්ධනය කර ගැනීමෙන් ජාත්‍යන්තරයේ ශක්තිමත් ව නැගී සිටිමේ හැකියාව පවතිනවා. එබැවින් මෙවැනි සාර්ථක විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම රටකට ඉතා වැදගත්.

චන්දන මාරසිංහ

කලාපීය හවුල්කාරිත්වය

සල්ලි ගරන උගුල