කම්කරු පන්තියේ පරිණාමය පුළුල් ව අධ්‍යයනයට ලක්වී නැහැ
- චන්දන මාරසිංහ
‘ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය’ සඳහා පුළුල් වශයෙන් ‘මැයි දිනය’ භාවිත වනවා. මෙවැනි දිනයක් නම් කෙරුණේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය බිඳ වැටී නූතන සමාජයේ බිහිවීම ආරම්භ වීම නිසා. එය මූලික ලෙස යුරෝපය කේන්ද්‍ර කරගෙන සිදු වූවක්. ජනගහනය වර්ධනය වීම මෙන් ම කාර්මික විප්ලවය, යුරෝපා රටවල සමාජ විප්ලව ඇතිවීමත් සමග අලුත් පන්තියක් කරළියට පැමිණියා. ඔවුන් හැඳින්වූයේ නාගරිකයා නැතහොත් නගරයේ ජීවත්වන්නා යන අර්ථය සහිත ව. නාගරික වෙළෙඳ පන්තිය ලෙස හැඳින් වූ ඔවුන් පසුකාලීන ව ධනේශ්වර සමාජය ලෙස සැලකුණා.
ධනවාදී සමාජය සීඝ්රයෙන් වර්ධනය වූ අවධියේදී වැඩි වශයෙන් මිනිස් ශ්‍රමය අවශ්‍ය වුණා. එකල ජනතාව ගෘහස්ථ හා හස්ත කර්මාන්තවල නිරත වී තිබෙනවා. නාගරික ව විශාල වශයෙන් කර්මාන්ත ශාලා බිහි වීමත් සමග ඒ සඳහා ශ්‍රමය ලබා ගැනීමට සිදුවූයේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවි ජනතාවගෙන්. කෘෂිකාර්මික හා ගොවිතැන්වල නිරත වූ ඔවුන් ඉන්පසුව කර්මාන්තශාලාවල සේවයට පැමිණ තිබෙනවා. මේ පිරිස නෙරපා හැරීමත් සමග ගොවියන් වෙන ම පන්තියක් බවට පත්වුණා. ඔවුන්ට ඉඩම් හෝ නිෂ්පාදන මාධ්‍යයක් තිබුණේ නැහැ. එම පිරිසයි කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වා තිබෙන්නේ. ධනවාදයේ වර්ධනයට සමගාමී ව බිහි වූ අලුත් ම පන්තිය එයයි. මේ කාලයේ මිනිස් ශ්‍රමය නොහොත් වැඩ දිනය පැය 10, 12, 14, 16, 16, 18 වශයෙන් පැවතුණා. කාන්තාවන් හා ළමා ශ්‍රමය ද වූයේ පැය 12ක්. ධනවාදයේ වර්ධනය සමග අවශ්‍ය වුණේ ද දැවැන්ත ශ්‍රමයක්.
වර්ෂ 1886දී පැය 08ක වැඩ කාලය මුල්කරගෙන හාම්පුතාලාට විරුද්ධ ව ප්‍රායෝගික ව උද්ඝෝෂණ සහ වැඩවර්ජන ආරම්භ කෙරුණා. කම්කරු දිනය න්‍යායික ව නිර්මාණය වුණේ ඒ සමග. සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස හැඳින්වෙන රොබට් ඕවන් වර්ෂ 1810දී වැඩ කරන පැය ගණන 10 දක්වා අඩු කිරීමට පියවර ගත්තා. ඔහු තමන්ගේ කර්මාන්තශාලාවලට පැය 10ක කාලය හඳුන්වා දුන් අතර ම එය සූත්‍රයක් ලෙසටත් ඉදිරිපත් වුණා. ඒ, දවසට පැය 08ක් වැඩ කිරීමට, පැය 08ක් නිදා ගැනීමට සහ පැය 08ක් විනෝදයට ආදී ලෙස. එය මුල්වරට යුරෝපයේ පිළිගැනීමට ලක් වුණා. කම්කරු සංවිධාන ඔස්සේ වෘත්තීය සංගම් වර්ධනය වීමත් ඉන් අනතුරු ව සිදුවුණා. 18 වැනි ශතවර්ෂය මැද භාගයේ සිට වෘත්තිය සමිති සමාජ දේශපාලන ජීවිතයට එකතු වූ අතර 19 වැනි ශතවර්ෂය වන විට කම්කරු පන්ති ව්‍යාපාරය ලොව ව්‍යාප්ත වුණා
කම්කරු පන්තිය පිළිබඳ අදහසක් පැරණි සමාජයේ ද පැවතුණා. ප්ලේටෝ පවා සමාජය පන්තිවලට බෙදා තිබුණා.. ඒ, පාලකයන් හා ශ්‍රමිකයන් ආදී ලෙස. සමාජය පන්තිවලට බෙදීමේදී කාල් මාක්ස් පිළිබඳ අවධානය යොමු වුවත් ඊට පෙර සිට ම පන්ති ගැන විවිධ අදහස් මතු ව තිබුණා. කාල් මාක්ස්ගේ වැදගත්කම වන්නේ පන්තිය මානව සමාජ සංවර්ධනයේ යම් අවධියකට සම්බන්ධ කිරීම. ‘පන්ති බිහිවීමේ කොන්දේසි නැති වූ විට පන්ති නැති වී යයි’ යන අදහස ද ඔහු ලබා දුන්නා.
පන්තිය පිළිබඳ නිශ්චිත නිර්වචනයක් තිබුණේ නැහැ. එහෙත් දේශපාලනික දාර්ශනිකයකු වන වී. අයි. ලෙනින් පන්තිය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කළා. පන්තියක් යනු නිශ්චිත ඓතිහාසික සමාජ නිෂ්පාදන පද්ධතියක් ලෙස ඔවුන් දරන ස්ථානය කුමක්ද? නිෂ්පාදන මාධ්‍යයට ඔවුන්ගේ සම්බන්ධතාව කුමක්ද? සමාජ ශ්‍රම සංවිධානවල ඔවුන් දරන භූමිකාව කුමක්ද? ජාතික වශයෙන් ඔවුන් අත්පත් කරගන්නා ප්‍රමාණය හා ආකාරය ආදී වශයෙන්. මේ ලක්ෂණ හතර අනුව පන්තියක් නිර්වචනය කළා.
වර්තමාන සමාජය ගත් විට මෙය සංකීර්ණ වී තිබෙනවා. ඇමරිකාවේ ධනවාදී කණ්ඩායම 1%ක් වන අතර අනෙක් පිරිස සිටින්නේ ඉහළ මධ්‍යම පාන්තිකයන් 15%ක්, පහළ මධ්‍යම පාන්තිකයන් 30%ක්, කම්කරු ප්‍රජාව 30%ක්, දිළිඳු කම්කරු පාන්තිකයන් 13%ක් හා පහළ ම පිරිස 12%ක් වශයෙන්.
මාක්ස්ට අනුව කම්කරු පන්තිය යනු තමන්ට ජීවිතය පවත්වාගෙන යාම සඳහා වෙනත් කිසිදු මාර්ගයක් නැති තමන්ගේ ශ්‍රමය පමණක් තිබෙන මිනිස් කොට්ඨාසයයි. මේ ශ්‍රමය ධනපතීන් මිලදීගෙන ඔවුන්ට යම් වැටුපක් ගෙවන අතර එම වැටුපෙන් කම්කරු ප්‍රජාව ජීවනෝපාය සකසා ගන්නවා. ධනවාදී සමාජයේ මාක්ස් අර්ථකථනය පැවතුණේ එවැනි තත්ත්වයක. එම කාලයේ කායික ශ්‍රමය වැඩි වශයෙන් තිබුණත් අද වන විට කායික ශ්‍රමය පමණක් භාවිත වන්නේ නැහැ. 18 වැනි ශතවර්ෂය වන විට ධනවාදයට විශාල ශ්‍රමයක් අවශ්‍ය වුණේ නැහැ. යන්ත්‍ර සූත්‍ර වර්ධනය වීම, වෙළෙඳ නිෂ්පාදන ස්වයංක්‍රීය වීමට පටන් ගැනීම ආදිය මත කම්කරුවන්ගේ ශ්‍රමය ආදියේ අවශ්‍යතාව නැතිවුණා. කම්කරුවාගේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා.
පොදුවේ මාක්ස් නිර්වචනයට අනුව නිෂ්පාදන මාධ්‍යයක් සඳහා ශ්‍රමය අලෙවි කරන පිරිස් ලෝකයේ සිටිනවා. කෝටි 800ක් පමණ වන වත්මන් ජනගහනයෙන් කෝටි 400ක් පමණ කම්කරු ජනතාව. කම්කරු පරිණාමයේදී අතීත කම්කරුවා එලෙස ම වර්තමානයේ දැක ගන්නට බැහැ. මාක්ස් දුටුවේ කාර්මික අවධියේ කම්කරුවා. එහි විශේෂත්වය වුණේ කාර්මික යුගයේ කම්කරු පන්තිය වර්ධනය වීම මෙන් ම කායික ශ්රමයට ප්‍රමුඛත්වය හිමි වීම. වැඩ දිනය දීර්ඝ දිනයක් වුණා. කම්කරු පන්තිය එදා අනිත් පන්තිවලින් කැපී පෙනුණා.
වර්තමානයේ සිව් වැනි කාර්මික විප්ලවය සිදුවෙමින් තිබෙනවා. සමාජ ව්‍යුහය වෙනස් වීම, පන්තිවල සමාජ භූමිකා වෙනස් වීම, ඒ අනුව ධනපති පන්ති භූමිකාව වෙනස් වීම දක්නට පුළුවන්. කම්කරු පන්ති විකාශයේ ද කායික කම්කරුවා වෙනුවට ලෝකයේ යම් ප්‍රවණතාවක් මතු වී තිබෙනවා. එනම් ඒකීය අඛණ්ඩ කම්කරු පන්තියක් වෙනුවට ඛණ්ඩනය වූ කම්කරු පන්තියක් දැක ගත හැකියි. මේ වන විට බිහි වී තිබෙන්නේ විවිධ ක්ෂේත්රවල විවිධ අනන්‍යතා සමග වැඩ කරන ජනතාව සිටින යුගයක්. ඥානය පදනම් කරගත් ශ්‍රමිකයන් බිහිවී තිබෙනවා. ඔවුන් ජීවත්වන්නේ මානසික ශ්‍රමයෙන්. ලොව වර්ධනය වන ඩිජිටල් තාක්ෂණය නිසා සංඛ්‍යාංක නාමික ලෙස හඳුන්වන කම්කරු විශේෂයක් බිහි වී තිබෙනවා. එවැනි පිරිස් වර්ධනය වී තිබෙන්නේ අන්තර්ජාලයේ විවිධ වේදිකා පදනම් කරගෙන. නිදහස් මාධ්‍යවේදීන් වැනි නිදහස් සේවකයන් දස ලක්ෂ 160ක් පමණ ලොව සිටිනවා. ඔවුන් වෙනත් ගති ලක්ෂණ ඇති පිරිසක්. ඒ අනුව මාක්ස් හඳුන්වා දුන් කම්කරුවන් වර්තමානයේ සිටිනවා මෙන් ම එවැනි කම්කරුවන් වර්තමානයේ නොමැත යන අදහස ලබා දිය හැකියි.
වත්මන් කම්කරුවා ක්‍රියා කරන්නේ කායික, මානසික හා බුද්ධිමය වශයෙන්. කොවිඩ් ව්‍යසනය පැවති කාලයේ ලෝක කම්කරු ජනගහනයෙන් සිට 80%ක් පමණ සිටියේ නිවාසවල. ඔවුන් බොහෝ විට වැඩ කළේ නිවසේ සිට. ඩිජිටල් යුගයේ කම්කරුවාගේ ශ්‍රමය කාර්මික යුගයේ පැවති කායික මට්ටමේ සිට දුරස්ථ බුද්ධිමය ජාලගත මාදලියකට ගමන් කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධියෙන් ද එවැනි වෙනසක් කර තිබෙනවා. ගෝලීය ධනේශ්වර පන්ති බිහිවීම ආදිය ගැන අධ්‍යයනය සිදු වී ඇතත් මෙලෙස ශ්‍රමික භූමිකාව වෙනස් වීම හා කම්කරු පන්තියේ පරිණාමය පුළුල් ව අධ්‍යයනයට ලක්වී නැහැ.
මාක්ස්ගේ ධනේශ්වර පන්ති ගති ලක්ෂණ ඉක්මවා ගොස් ලොව දැවැන්ත වෙනස්කම් රැසක් සිදු ව ඇති පසුබිමක කම්කරු පන්තියේ භූමිකාව හා වැදගත්කම, සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියට ඔවුන් ලබා දුන් දායකත්වය වෙනස් වී තිබෙනවා. තාක්ෂණික හා විද්‍යාත්මක වර්ධනය නිසා විද්‍යාව හා තාක්ෂණය පත් ව තිබෙන්නේ නිෂ්පාදන බලවේගයක් බවට. ඒ නිසා මෙතෙක් නිෂ්පාදන බලවේගය තුළ ක්‍රියා කළ කම්කරුවාගේ කායික හා මානසික ශ්‍රමය ඉන් විතැන් වී තිබෙනවා. ස්වයංක්‍රීයකරණය, නිෂ්පාදන ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය එක්වීම ආදිය එහිදී දැක ගන්නට පුළුවන්. මේ හේතුවෙන් කම්කරු පන්තියේ දැවැන්ත බලය විසිරී ගොස් අසංවිධානාත්මක තත්ත්වයකට එය පත් ව තිබෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය ද ඒ ආකාරයෙන් ම වෙනස් වී ඇති ආකාරය දැකගත හැකියි.
ශ්‍රී ලංකාවේ ද පවතින්නේ වෘත්තීය සංගම් අතර එකිනෙකට පරස්පර වන තත්ත්වයක්. කම්කරුවා ක්‍රියා කරන්නේ ද විවිධ දේශපාලන සංවිධාන සමග එක් ව. ආරම්භ යුගයේ කම්කරු දිනයේ තිබූ අයිතීන්, සම කොන්දේසි ලිහිල් කිරීම්, සුභ සාධනය ආදියට වඩා වර්තමානයේ දේශපාලන පක්ෂවල පටු දේශපාලනික වූ මතවලට එම දිනය අනුගත වීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ මැයි දිනයත් වර්ෂ 1978න් පමණ පසුව ප්රාරම්භක අර්ථය වෙනස් වී, ජාතික සංස්කෘතික මංගල්‍යයක් බවට පරිවර්තනය වී තිබෙනවා. එය දේශපාලන බලය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාවලියක් බවට පත් ව තිබෙනවා.
සංඛ්‍යාත්මක ව ධනපති පන්තිය සීමිත වී තිබෙනවා මෙන් ම වර්තමානයේ නිෂ්පාදනයට වඩා වැදගත් වී තිබෙන්නේ පරිභෝජනය. එවිට කම්කරුවන් අවශ්‍ය වන්නේ නැහැ. යුරෝපීය රටවල කම්කරු පන්තිය පැහැදිලි ව අඩු වෙමින් පවතිනවා. ඊට හේතුව වන්නේ මේ දශකය වන විට යුරෝපයේ බොහෝ රටවල කර්මාන්ත සංවර්ධනය වෙමින් පවතින රටවල ස්ථානගත වීම. චීනය, ඉන්දියාව වැනි රටවලට ඔවුන් පැමිණ තිබෙනවා. එවිට චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල කම්කරු පන්තිය සංඛ්‍යාත්මක ව වැඩිවනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල කම්කරු පන්තිය වර්ධනය වී තිබෙන්නේ 80%කින්. මෙලෙස එම රටවල කම්කරුවන්ගේ පිරිස ඉහළ යාම නිසා සංවර්ධිත රටවල නිෂ්පාදනය අඩුවනවා. දෙවැනි ලෝක යුද්ධය වන විට ඇමරිකාව ලෝක නිෂ්පාදනයෙන් 49%ක් නිෂ්පාදනය කළා. එය අද අඩුවී තිබෙන්නේ 14% දක්වා. චීනය, වර්තමානයේ ඇමරිකාවේ ප්‍රමාණයට නිෂ්පාදන සිදු කරනවා.
මෙලෙස නිෂ්පාදන සමාජයක සිට බටහිර රටවල් පරිභෝජනීය සමාජයකට පැමිණ තිබෙන විට කම්කරු පන්තියේ විකාශය ද වෙනස් වී තිබෙනවා. සමස්ත සමාජ ක්‍රියාවලියට කම්කරු පන්තිය කළ බලපෑම අද වන විට අඩුවී තිබෙන අතර ම නිෂ්පාදන සමාජ හා දේශපාලන ක්‍රියාවලියෙන් බැහැර ව පරිභෝජන සමාජයක කොටසක් බවටයි ඔවුන් පත් ව තිබෙන්නේ.