#විදේශ විත්ති

කඳු වළල්ලේ කැරැල්ල

මෑත කාලයේ ජන අරගල පැන නැගුණු අලු‍ත් ම රට නේපාලය. එහිදී ද සිදු වුණේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ හා 2025 වසරේ බංගලි දේශයේ මෙන් ජන අරගලයක් ඔස්සේ පාලකයන් බලයෙන් පහ කිරීම.

දකුණු ආසියානු රටක් වන නේපාලය, ප්‍රජාතන්ත්‍රවාදී පෙඩරල් ජනරජය ලෙස හඳුන්වනවා. 2015 වසරේදී සම්මත කරන ලද නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් නමයකට බෙදා පෙඩරල් පාර්ලිමේන්තු ක්‍රමය ඇති කළා. දකුණින්, බටහිරින් හා නැගෙනහිරින් ඉන්දියාවට මායිම් වන නේපාලය උතුරින් මායිම් වන්නේ චීනයට. පෘථිවියේ සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට උස ම ස්ථානය වන එවරස්ට් කන්ද ඇතුළු ව ලෝකයේ උස ම කඳු දහයෙන් අටක් ම පිහිටා ඇත්තේ නේපාලයේ. වර්ග කිලෝමීටර් 147,516ක විශාලත්වයක් ඇති නේපාලයේ ජනගහනය ලක්ෂ 300කට ආසන්න වෙනවා. මෙය බහු ආගමික, බහුභාෂා හා බහු සංස්කෘතික රටක් වුවත් හින්දු ආගම හා බුද්ධාගම වැඩි ජනතාවකගේ ආගම් බවට පත් ව තිබෙනවා.

නේපාල දේශය තීරණාත්මක වෙනසකට අවතීර්ණ වන්නේ 1990 දශකයේ මැද භාගයේ එරට වාමාංශික මාඕවාදී සටන්කාමීන් විසින් නේපාල රාජාණ්ඩු ක්‍රමයට එරෙහි ව සන්නද්ධ අරගලයක් දියත් කරනු ලැබීමත් සමඟ. 1996 සිට 2006 වසර දක්වා පුරා දශකයක් නේපාලයේ පැවැති මේ මාඕවාදී සන්නද්ධ අරගලය හැඳින්වුණේ නේපාල මහජන යුද්ධය ලෙස. කෙසේ වෙතත් 2006 වසරේදී නේපාලයේ ඇති වූ සාම ගිවිසුම නිසා පැවති රාජාණ්ඩු ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවීමට එරට පියවර ගත්තා.

2008 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයත් සමඟ පැවැති මැතිවරණයෙන් ලෝකයේ එක ම හින්දු රාජාණ්ඩුක්‍රමය බිඳවැටී ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත වනවා. මාඕවාදී අරගල නායක පුෂ්ප කමල් දහාල්ගේ නායකත්වයෙන් නව පාලනය ස්ථාපිත වුණා. ඉන්පසු 2025 සැප්තැම්බර් දක්වා නේපාලයේ ආණ්ඩු 13ක් ඇතිවී තිබෙනවා.

2025 සැප්තැම්බර් ජන අරගලයෙන් පසු නේපාලයේ පවතින්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. එය 14 වැනි ආණ්ඩුව. 73 හැවිරිදි හිටපු අගවිනිසුරුවරිය වූ සුසිලා කාර්කි අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිනිය ලෙස නම් කර තිබෙනවා. අගමැතිනියට අමතර ව තවත් තිදෙනෙකු  භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට අයත්. අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති වන්නේ බලයේ සිටි කොන්ග්‍රස්-කොමියුනිස්ට් (එක්සත් මාක්ස් ලෙනින්වාදී) සභාග ආණ්ඩුව ජන අරගලයකින් පළවා හැරීමෙන් පසුව.

ආණ්ඩුවට එරෙහි මේ ජන නැගිටීමට ආසන්න හේතුව වූයේ ආණ්ඩුව 2025 සැප්තැම්බර් 04 දින සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීම. මේ සමඟ රට පුරා දිනක් දෙකක් තුළ ඇවිළී ගිය අරගලය එරට සමස්ත සමාජය ම උඩුයටිකුරු කළා. පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය ඇතුළු රජයේ ගොඩනැගිලි පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණය ද ගිනිබත් කෙරුණා. දේශපාලකයන්ගේ නිවාස ද හිල්ටන් වැනි සුඛෝපභෝගී හෝටල ද ගිනිතබා විනාශ කෙරුණා. මෙහිදී ගණන් බලා ඇති සමස්ත පාඩුව නේපාල රුපියල් ටි්‍රලියන 03ක් එනම් ඩොලර් බිලියන 21.3ක් පමණ වෙනවා. කත්මණ්ඩු පෝස්ට් පත්‍රය පවසන පරිදි සිදු ව ඇති විනාශයේ වටිනාකම ආසන්න වන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හරි අඩකට.

මේ ජන අරගලයේ ගාමක බලය වූ තරුණයන් විශේෂයෙන් Gen Z නමින් හැඳින්වෙන පරම්පරාව උපත ලබන්නේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් හා සමාජ මාධ්‍ය බොහෝ පෙරළි කරන ලෝකයක. තාක්ෂණයේ නිපුණයන් වන ඔවුන් ස්මාර්ට් ‌ෆෝන් හා සමාජ මාධ්‍ය නැති ලෝකයක් නොදන්නා තරම්. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ ආර්ථිකය ද සමාජ මාධ්‍ය හා බැඳී පවතිනවා. එසේ ම නේපාල ජනගහනයෙන් 20%ක් පමණ රැකියාවල නිරත වන්නේ විදේශ රටවල. ඔවුන් තම ඥාතීන් සමග සබඳතා පවත්වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බැවින් සමාජ මාධ්‍ය තහනම් කිරීම යනු ඔවුන් මහමගට ඇද දැමීමක්.

අරගලයට ආසන්න හේතුව සමාජ මාධ්‍ය තහනම වුවත් කලක් තිස්සේ නේපාල සමාජයේ කැකෑරෙමින් පැවැති ඉහළ රැකියා වියුක්තිය, අල්ලස, දූෂණය, ඥාති සංග්‍රහය වැනි සමාජ හා ආර්ථික ප්‍රශ්න මේ විරෝධතාවලට මූලික පදනම සකසනවා. අරගලයේ කැපී පෙනෙන සටන් පාඨයක් වූයේ “සමාජ මාධ්‍ය නොව දූෂණය නවතනු” යන්න. ‘දූෂණයට එරෙහි තරුණයෝ’ යන්න එහිදී කැපී පෙනුණ බැනරයක්.

නේපාලය දකුණු ආසියාවේ දුප්පත් ම රටවලින් දෙවැනි තැන ගන්නා රට. එරට ආර්ථික වර්ධනය පවතින්නේ ඉතා අඩු මට්ටමක. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 1500කට වැඩි නැහැ. විරැකියාව ද ඉහළ අගයක් ගත්තා. ඇැති නැති පරතරය මෙන් ම දූෂණය හා ඥාති සංග්‍රහය පවතින්නේ ඉතා ඉහළ මට්ටමක.

සමාජ මාධ්‍යවලින් මේවාට එරෙහි ව බලගතු විරෝධයක් ඒල්ල වෙමින් පැවතුණා. සුර සැප විඳින දේශපාලකයන්ගේ, වරප්‍රසාද ලද්දවුන්ගේ ළමයින් (භැචද ඊ්ඉසැි) ගත කරන ජීවිත හා වරප්‍රසාද නොලද්දවුන්ගේ දරුවන්ගේ ජීවිත සමාජ මාධ්‍යවල පළ කරමින් පාලකයන්ට එරෙහි ව විශාල ජනමතයක් ගොඩ නගමින් තිබුණා. සමාජ මාධ්‍යකරුවන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් ව්‍යාජ ප්‍රවෘත්ති හා වෛරී කතා පතුරුවන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ වංචා හා වෙනත් අපරාධ සිදු කරන බවත් යන හේතු දක්වමින් සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීමට ආණ්ඩුව පෙළඹෙන්නේ මේ මෙවැනි පසුබිමක.

නේපාලයේ Gen Z පරම්පරාව විසින් මෙහෙයවන ලද අරගලය ඔවුන්ගේ අරගලයක් පමණක් නොව වැඩිහිටි කොටස් ද මේ අරගලයට සම්බන්ධ වෙනවා. එය නේපාලයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බලගතු ආර්ථික අසමානතාවට හා මුල්බැස තිබුණු දූෂණයට ආමන්ත්‍රණය සඳහා ස්ථාපිත දේශපාලන ප්‍රජාවේ අසමත්භාවයට දුන් පිළිතුරක්. එසේ ම මේ අරගලය හුදෙක් නව පරම්පරාව පෙලඹවූ ගැටුමක් පමණක් නොව දශකයකටත් අධික කාලයක් පුරා පැවති මාඕවාදී කැරල්ලට ඉන්ධන සැපයූ නොවිසඳුන පංති ආතතියේ පිළිබිඹුවක්.

2008 වසරේදී අන්ත දූෂිත, අත්තනෝමතික රාජාණ්ඩුව පෙරළා දමා නේපාලය ජනරජයක් බවට පත් වුණත් ඉන්පසු බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් නේපාලයේ මූලික වෙනසක් ඇති කිරීමට සමත් ව නැහැ. රාජාණ්ඩුව පෙරළා දැමීමෙන් පසු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සභාගයක්, එය පෙරළා දැමීමෙන් පසු නේපාල කොංග්‍රසය හා පාර්ලිමේන්තුවාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සභාගයක්, යළි මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය හා පාර්ලිමේන්තුවාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සභාගයක් ආදී වශයෙන් අස්ථාවර ආණ්ඩු රැසක් ඇති වූ අතර මේ කිසිවකට රටේ දැවෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට හැකි ව නැහැ. 2025 සැප්තැම්බර් ජන අරගලය වන විට බලයේ සිටියේ නේපාල කොංග්‍රසය හා  පාර්ලිමේන්තුවාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සභාගයක්. අගමැති වශයෙන් සිටියේ එම කොමියුනිස්ට් පක්ෂයේ නායක කේ.පී.ෂර්මා ඔලි. ඔහු සිව් වතාවක් ම අගමැති ව සිටියා. මාඕවාදී කොමියුනිස්ට් නායක පුෂ්ප කමාල් දහාල් (ප්‍රචණ්ඩා) තුන් වරක්, කොංග්‍රස් නායක ෂෙර් බහදූර් ඩියුබා දෙවරක් අගමැති ධුරය දරා ඇති අතර තවත් 5 දෙනෙකු මේ කාලය තුළ අගමැති ධුරය දරා තිබෙනවා. එහෙත් නේපාල ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට මේ කිසිවෙකු, කිසි පාලනයක් සමත් ව නැහැ.

නේපාලයේ මතුවුණු විරෝධතා අතර දේශපාලන අධිකාරියට පමණක් නොව එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ද මතුවී ඇති විරෝධය කැපී පෙනෙනවා. පාර්ලිමේන්තුව ගිනි තැබීම, දේශපාලකයන්ට පහරදීම, දේපළ ගිනි තබා විනාශ කිරීමට එහා ගොස් මරණය අත්පත් කර දීම දක්වා ම දේශපාලන අධිකාරිය වෛරයට භාජනය වී තිබෙනවා. පවතින නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ද විරෝධය එල්ල වී තිබෙන්නේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තැබීමෙන්.

ශ්‍රී ලංකාවේ හා බංගලි දේශයේ ඇතිවූ අරගලවලදී දේශපාලන අධිකාරියට ප්‍රබල විරෝධයක් මතු වුවත් නීතිමය ආයතනවලට එවැනි විරෝධයක් මතු වූයේ නැහැ. එහිදී අරගලකරුවන් අධිකරණ පද්ධති ගිනි තැබීමට කිසිවිටෙකත් පෙළඹුණේ නැහැ. එහෙත් නේපාලයේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්.

ශ්‍රී ලංකාවේ ඇති වූ අරගලයට පසුකාලීන ව විවේචන එල්ල වුණේ එය අධිරාජ්‍යවාදී වුවමනා මත සිදුවූ අරගලයක් බවට. නේපාලයේ අරගලය මතුවන විට නේපාලයේ බලයේ සිටියේ මාඕවාදීන්ගේ ද සහාය ලබන වාමාංශික ආණ්ඩුවක්. එරට විරෝධය මතු වන්නේ මෙවැනි ආණ්ඩුවකට එරෙහි ව.

ශ්‍රී ලංකාවේ හා බංගලි දේශයේ පැවතියේ ධනේශ්වර පාලන තන්ත්‍ර දෙකක්. මෙයින් එක් කරුණක් පැහැදිලි ව පෙනෙවා. ඒ, ආණ්ඩුව වාමාංශික වුවත් ධනේශ්ර වුවත් අල්ලස, දූෂණය, වංවාව, ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයට එල්ලවන බාධා තරුණ පරපුර ඉවසන්නේ නැති බව. එය ආර්ථික ප්‍රශ්නත් සමග මතු වී අරගලය වඩා තිව්‍ර කරනවා. මෙය ලෝක ප්‍රවණතාවක්. රෝස වසන්තය ලෙස උතුරු අප්‍රිකාව හා ආසියාව පුරා පැතිරී ගිය අරගලවලට ද මේ මූලික කරුණු තදින් බලපෑම් කළා. එසේ නොමැති ව අධිරාජ්‍යවාදීන්ගේ හෝ තානාපති කාර්යාලවල හෝ වුවමනා මත අරගල කැඳවා ගැනීම ලෙහෙසි කාර්යයක් නොවන අතර මතුවන අරගලවලට තානාපති කාර්යාල හෝ අධිරාජ්‍යවාදීන්ගේ හෝ මැදිහත්වීම බලාපොරොත්තු විය යුත්තක්.

කඳු වළල්ලේ කැරැල්ල

අරගල ගීතය