කඳුකරයේ සතුට
ජන හා නිවාස සංගණනය – 2024ට අනුව 21,781,800ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 74.1%ක් සිංහල ජන වර්ගයට අයත්. 12.3%ක් ශ්‍රී ලංකා දෙමළ, 10.5%ක් ශ්‍රී ලංකා යෝනක/මුස්ලිම්, 2.7%ක් ඉන්දියානු දෙමළ/මලෛයහ දෙමළ සහ 3.0%ක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා චෙට්ටි, භාරත, වැදි යන ජනවර්ගවලට අයත්.
ශ්‍රී ලංකාවේ ’මලෛයගම් ප්‍රජාවගේ සතුට‘ තේමා කරගනිමින් වතුකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ සිව් වැනි අදියරේ ආරම්භය සිදු වුණේ (ඔක්තෝබර් 12) බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගණයේදී. වසර 202කට පසු එම ප්‍රජාවගේ ජීවන තත්ත්වය වෙනස් වීම සංකේතවත් කරමින් වැලිමඩ වතුයාය, පූනාගල වතුයාය සහ හපුගල වතුයායේ 2056 දෙනෙකු සඳහා නොබෝදා (ඔක්තෝම්බර් 12) නිවාස හිමිකම්පත් පිරිනැමුණේ මේ වැඩසටහන යටතේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ මලෛයගම් ප්‍රජාවට වඩාත් සුරක්ෂිත හා සුවපහසු නිවහනක් ලබාදීමේ අරමුණින් ඉන්දියානු රජය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා ඒකාබද්ධ ව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන්. මේ සඳහා අධීක්ෂණය සහ උපදේශකත්වය සපයන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව.
මලෛයගම් ප්‍රජාව ලෙස සැලකෙන්නේ වතුකරයේ වෙසෙන දෙමළ ජනතාව. ඔවුන්ගෙන් 1,000,000කට ආසන්න පිරිසක් වාසය කරන්නේ කඳුකරයේ තේ වතු ආශ්‍රිත ව. වසරකට ඩොලර් බිලියන 1.5කට ආසන්න ව මෙරට ජාතික ආර්ථිකයට පණ දෙන්නේ ඉතිහාසයේ සිට විදේශ විනිමය ඉපැයීමේ කාර්යයට දායක වන ඔවුන්. එම ප්‍රජාව මෙරටට පැමිණ වසර 202ක් ගත ව ඇතත් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව හිමි වී නැහැ. ඔවුන්ගෙන් බහුතරයකට වැඩි පිරිසක් භාවිත කරන්නේ පොදු වැසිකිළි පද්ධති. ජීවත් වන්නේ ලැයිම් කාමරවල. ඔවුන්ට ම වෙන් වූ ඉඩමක්, නිවසක්, ලිපිනයක් නොමැතිකම හේතුවෙන් එම ප්‍රජාව විවිධ දුෂ්කරතාවලට පත්වන අයුරු දක්නට පුළුවන්.
මෙවැනි පසුබිමක මෙරට මලෛයගම් ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සාධනීය තත්ත්වයක්. මෙහි පළමු අදියර නිවාස 1,300කින් සමන්විත ව 2024 වසරේ ආරම්භ කළා. ඒ අනුව ඉතිහාසයේ වැඩි ම නිවාස සංඛ්‍යාවක් එක ම අවුරුද්දක ආරම්භ කරන්නේ 2025 වසරේදී.
අදහස් දක්වන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති; ”වතුකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නිවාස 10,000ක් සහිත ව සම්පූර්ණ කිරීමටයි නියමිත. ඉඩම සමඟ නිවාස 10,000ක් ලබාදීම 2027 වර්ෂයේදී සම්පූර්ණ කළ යුතු වෙනවා. එහි පළමු අදියර නිවාස 1,300කින් සමන්විත ව 2024 වසරේ ආරම්භ කළා. ඉතිරි නිවාස 8,700න්, නිවාස 4,700ක කටයුතු මේ වර්ෂයේදී ආරම්භ කරනවා. නිවාස 4,700න් අධි අවදානම් කලාපවල සිටින, නායාම්වලට ගොදුරු විය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිර්දේශ ලබාදී තිබෙන 2,000ක පිරිසකටයි සිව් වැනි අදියර යටතේ නිවාසයක හා ඉඩමක හිමිකම් ලැබෙන්නේ. මේ සඳහා ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 3,000ක් වෙන්කර තිබෙනවා. නිවාස ආශ්‍රිත ව යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500ක් ශ්‍රී ලංකා රජයෙන් වෙන් කර තිබෙනවා. 2026 වසර සඳහා වෙන් කර තිබෙන්නේ නිවාස 4,000ක මූලික කටයුතු ආරම්භ කිරීමට රුපියල් මිලියන 3,540ක් සහ එහි යටිතල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 750ක්.” ඉන්දියානු රජයෙන් ක්‍රියාත්මක කරන සියලු නිවාස ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 1,835ක ආධාර.
මේ ව්‍යාපෘතියේදී නිවාස හිමිකම සඳහා තෝරා ගැනීමට මූලික නිර්ණායක කිහිපයක් සලකා බැලෙනවා. නාය යාම් අවදානමක් සහිත ව ජීවත් වන පවුලක් වීම, වැවිලි කර්මාන්තයේ නියැළී සිටින කම්කරු පවුලක් වීම, වසර 5කට වඩා ලැයිම් කාමරවල ජීවත් වීම, මීට ඉහතදී කිසි ම අවස්ථාවක නිවසක් නොලැබීම යන කාරණායි මෙහිදී සැලකිල්ලට ගැනෙන්නේ. ඒ අනුව සිව් වැනි අදියරේදී පුද්ගලයන් 2056ක් නිවාස ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.
නිවාස ව්‍යාපෘතිවලට අමතර ව වතුකර ප්‍රදේශවල අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමෙහිලා ඉන්දීය රජය මැදිහත් වී තිබෙනවා. අදහස් දක්වන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල නියෝජිත ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ; “ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රදේශවල ජීවත්වන ඉන්දීය දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ සංවර්ධනයට ඉදිරියටත් අප සහයෝගය දෙනවා. රටේ ජනතාවගේ අවශ්‍යතා සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා ඔස්සේ මෙහෙයවන සෑම සංවර්ධන මුලපිරීමකට ම සහාය දැක්වීම ඉන්දියාවේ තිර අභිප්‍රායක්. මේ නිවාස ව්‍යාපෘතියත් එවැනි අවස්ථාවක්.”
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසන්නේ මලෛයගම් ප්‍රජාව ලෙස හඳුන්වන වතු ආශ්‍රිත ව ජීවත්වන ද්‍රවිඩ ජනතාව පැහැදිලි ව ම ජීවත් වන්නේ ආන්තික ජන කොටසක් ලෙස බව. අදහස් දක්වන මහාචාර්යවරයා; “දෙමළ වතු කම්කරු ජනතාව විවිධ දේශපාලන අරමුණ උදෙසා භාවිත කිරීම ඉතිහාසයේ සිට දැකගත හැකියි. විශේෂයෙන් ඡන්ද අරමුණු කරගනිමින් ඔවුන් භාවිත වුණා. බොහෝ විට තේ වතු ආශ්‍රිත කාන්තා කම්කරුවන් ලිංගික වහල් සේවයට පවා යොදාගත් අවස්ථා ඉතිහාසයේ දක්නට ලැබුණා. මේ ජනතාව ජීවත් වන්නේ ඉතා අවම පහසුකම් සහිත ලැයිම් කාමර හෙවත් පේළි නිවාසවල. මේවායේ ඇත්තේ වෙනස් ම වූ සංස්කෘතියක්. එය සමාජ විද්‍යාවේදී සහ මානව විද්‍යාවේදී හඳුන්වන්නේ දුගීකමේ සංස්කෘතිය ලෙස. ලැයිමෙන් පිටත සමාජයට යාමට නොහැකිවීම එම ප්‍රජාවට ඇති ප්‍රබල අභියෝගයක්. කිසිවෙකුට අවශ්‍ය වුණේ නැහැ මේ සංස්කෘතික පසුබිමෙන් ඔවුන් මුදා ගැනීමට. විශේෂයෙන් වතුකර කම්කරු දෙමළ ජනතාවගේ සමාජ ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ ඊට පරිබාහිර ආයතන පර්යේෂණ පත්‍රිකා හා පර්යේෂණ සිදුකර තිබෙනවා. එහෙත් ඒවායෙහි තිබූ කිසිදු කාරණාවක් මේ දක්වා ම ක්‍රියාත්මක වී නැහැ.”
පසුගිය කාලයේ තේ දලු නෙළමින් අඩු පහසුකම් යටතේ දුක්ඛිත ජීවන තත්ත්වයක් ගතකරන මේ ජනතාවගෙන් පහත වැටී තිබුණු ආර්ථිකය ගොඩනැගීමට ලැබුණේ ඉහළ දායකත්වයක්. එවැනි දායකත්වයක් සපයන ප්‍රජාවක් මහා සම්ප්‍රදායට අන්තර්ග්‍රහණය කර ගැනීමට අවකාශය තිබෙන බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් අවධාරණය කරන්නේ. නිවසක් යනු මූලික මානව අවශ්‍යතාවක්. නිවසක් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ හිසට සෙවණක් ලබාදීම පමණක් ම නොව ඒ තුළ ගොඩනැගෙන සංස්කෘතියක්. දෙමාපිය දූ දරු සම්බන්ධතා, ඥාති සම්බන්ධතා සහ අසල්වාසී සම්බන්ධතා ඔස්සේ තෘප්තිමත් ජීවිතයක් ඔවුන්ට හිමිවනු ඇති. ඔවුන්ගේ ජීවිතවල විශාල පරිවර්තනයක් සිදු වනු ඇති. මේ ඔස්සේ එම ප්‍රජාවගේ ආර්ථික ක්‍රියාවලියෙහි පවා පරිවර්තනයක් සිදුවීමට පුළුවන්. මේ නිසා වතුවල වැඩ කර ලබාගන්නා වැටුපට අමතර ව තමාට ම ආවේණික ඉපැයීම් ක්‍රමයක් ඇති කර ගැනීමට ද පෙළඹෙනු ඇති බවත් මහාචාර්යවරයා පවසනවා.
ආර්ථිකයත් සමාජ ජීවිතයත් නගා සිටුවීමට ඉන්දියානු රජය දක්වන සහායට කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමඟ ගැටෙමින් නිෂ්පාදන සඳහා තම දායකත්වය ලබා දෙමින් සුවිශේෂ මෙහෙයක් ඉටු කරන ඔවුන් වෙනුවෙන් රජයට විශාල වගකීමක් පැවරෙන බව. එබැවින් ඉතා පහත් මට්ටමක තිබෙන මලෛයගම් ප්‍රජාවගේ ගරුත්වය සහ සංස්කෘතික අයිතිවාසිකම්වල හිමිකම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සෑම ප්‍රජාවකගේ ම සංස්කෘතිකමය අයිතිවාසිකම්වල ගෞරවය, අනන්‍යතාව හා වටිනාකම් රැකෙන සමාජයක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දුන්නා.
ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක්. එහිදී එකිනෙකාට අනන්‍ය වූ සංස්කෘතියට ගරු කරමින් එකිනෙකාට සහයෝගය දැක්වීම කළ යුත්තක්. රුපියල් ශතවලින් පමණක් ම ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්‘ නිර්මාණය කිරීම කළ නොහැක්කක්. මනුෂ්‍යත්වයෙන් සපිරි පොහොසත් රටක සෑම පුද්ගලයෙකු ම සතුටින් සිටීමයි වැදගත්.






