කතිරයේ බලය
- චන්දන මාරසිංහ
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයට එක් වන නව වැනි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිත ව ඇත්තේ ලෝක දේශපාලනයේ මැතිවරණ වසරක් ලෙස 2024 වසර නම් කර තිබෙන පසුබිමක ය. මෙතෙක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩි ම ඡන්ද අපේක්ෂකයන් සංඛ්‍යාව එනම් ඡන්ද අපේක්ෂකයන් 39ක් තරග කරන ජනාධිපතිවරණය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත. මෙවර කවරයේ කතාවෙන් කතාබහට ලක් වන්නේ ජනාධිපතිවරණයක වැදගත්කම, එහි සුවිශේෂ සන්ධිස්ථාන සහ නව වැනි ජනාධිපතිවරණය පිළිබඳ ව ය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක පාලකයන් තෝරා ගැනීම සඳහා කිසිදු භේදයකින් තොර ව ඡන්දය භාවිත කිරීමට ජනතාවට හැකි වී තිබෙන්නේ සර්වජන ඡන්ද බලය හේතුවෙනි. එයින් රටේ පාලනයට සුදුසු බවට සැලකෙන පුද්ගලයා හෝ කණ්ඩායම තෝරාගැනීමට ජනතාවට හැකියාව තිබේ. මහජනතාව රටක අයිතිකරුවන් ය. ඔවුන්ගේ ඡන්දයෙන් පත් වන ජනතා නියෝජිතයන් වරින් වර පාලනයට පැමිණෙන්නේ භාරකරුවන්ගේ භූමිකාව ඉටුකිරීමට ය. මහජන කැමැත්ත හෝ අකැමැත්ත මත පාලකයන් පත්කර ගැනීමටත් ඉවත් කිරීමටත් ඡන්ද අයිතිය උපයෝගි කර ගත හැකි ය. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනරජයේ පරමාධිපත්‍යය බලය ජනතාව සතු ය. ජනතාව සතු ඡන්ද බලය ද පරමාධිපත්‍යයේ කොටසකි. ඒ අනුව ඡන්ද බලය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි.
ජනාධිපතිවරණ ඉතිහාසය
සෝල්බරි ආණ්ඩුක්‍රමය අනුව ක්‍රියාත්මක වූ අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධුරයක් හඳුන්වා දුන්නේ ය. අග්‍රාණ්ඩුකාරවරයා පෙනී සිටියේ බි්‍රතාන්‍ය රැජිණගේ නියෝජිතවරයා ලෙස ය. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ පත් වූ ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ නායකයෙකි. අගමැතිවරයා විසින් පත් කළ යුතු එම ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතු ය. එතෙක් අග්‍රාණ්ඩුකාරවරයාට හිමි වූ බලතල රැසක් ජනාධිපතිවරයාට ද හිමි වීම විශේෂත්වයකි. එම බලතල ක්‍රියාත්මක කළ යුතු වූයේ අගමැතිගේ උපදෙස් අනුව ය. ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හතරකි. ඒ අනුව එවකට අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ විලියම් ගොපල්ලව මහතා මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස පත්විය. ඒ, 1972 මැයි 22 දින ය. නාමමාත්‍රික ජනාධිපතිවරයකු වූ ඔහුගේ සේවා කාලය 1976 මැයි 22 දින අවසන් වීමට නියමිත ව තිබුණ ද ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබීම නිසා සේවා කාලය තවත් වසර 4කින් දීර්ඝ කර තිබේ. 1977 මැතිවරණයෙන් බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස වැඩ භාර ගත් අතර 1977 මහා මැතිවරණයෙන් ඇති කළ විධායක ජනාධිපති ධුරයෙන් අනතුරු ව විලියම් ගොපල්ලව මහතා එම තනතුරින් ඉවත් විය.
1978 පෙබරවාරි 04 දින සිට බලාත්මක වූ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය ස්ථාපනය කෙරිණි. ඒ අනුව මෙරට පළමු විධායක ජනාධිපතිවරයා මුලින් ම පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකිනි. ජේ ආර්. ජයවර්ධන මහතා එම තනතුරට පත් වූ අතර 1989 ජනවාරි මාසය තෙක් ඔහු එම තනතුර හොබවා තිබේ. ඒ, මෙරට පැවැත් වූ පළමු වැනි ජනාධිපතිවරණයෙන් ලබාගත් ජන වරමත් සමගිනි.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ පූර්ණ විධායක බලය සහිත ජනාධිපති ධුරය හඳුන්වා දීම ය. මෙම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා යනු රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා මෙන් ම සන්නද්ධ සේනාවල සේනාධි නායකයා ද විය. ජනාධිපතිවරයා සෘජු මහජන ඡන්දයෙන් තෝරා ගන්නා අතර ඒ සඳහා වෙන ම ජනාධිපතිවරණයක් පැවැත්වේ. මුලින් ම ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් වූ අතර 19 වැනි සංශෝධනයෙන් එය වසර 05 දක්වා අඩු කර තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු නොවුව ද පාර්ලිමේන්තුව සම්බන්ධ ව ද බලතල රාශියක් ඔහුට තිබිණි. ඒ අතර පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම, විසුරුවා හැරීම සහ මංගල සැසිවල මුලසුන දැරීම ද වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ව ප්‍රධානතම නීති සංග්‍රහය වන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත ය. එම පනතට අනුව බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස 02කට වැඩි නොවන කාලයක ඡන්ද විමසීම පැවැත්විය යුතු ය. ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම සහ ඡන්ද විමසීමේ දිනය නියම කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව ය. මෙම තත්ත්වය පැවතිය ද තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදාළ කාලයට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ බලතල ජනාධිපතිවරයාට හිමි වේ.
පළමු ධුර කාලයේ වසර 04ක් ගතවීමෙන් පසු ජනවරමක් ලබා දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට මුහුණදීමට නීතිමය ප්‍රතිපාදන පවතින බැවින් ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 අගෝස්තු 27 දින ජනාධිපතිවරණය සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කර තිබේ. කොළඹ මහනගර සභා ශාලාවේදී සැප්තැම්බර් 10 දින ඒ සඳහා නාම යෝජනා භාර ගැනිණි. එහිදී ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ නියෝජනය කළ එච්. එස්. ආර්. බී කොබ්බෑකඩුව, ජේ. ආර්. ජයවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර, ජී. ජී. පොන්නම්බලම් සහ රෝහණ විජේවීර යන මහත්වරු නාම යෝජනා බාර දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982 ඔක්තෝබර් 20 දින ය. වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 3,050,881ක් ලබා ගනිමින් එහිදී ජේ. ආර්. ජයවර්ධන මහතා ජයග්‍රහණය කළ අතර ලැබූ ඡන්ද ප්‍රතිශතය 52.9%කි. 1982 වර්ෂය සඳහා වූ මැතිවරණ කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ දැක්වෙන ආකාරයට තනි ඡන්ද පත්‍රිකාවක 01, 02, 03 ලෙස මනාප යෙදීමේ ක්‍රමය පිළිබඳ ඡන්ද දායකයා පළමුවරට අත්දැකීමක් ලබා ගත්තේ මෙම මැතිවරණයෙනි
1988 දෙසැම්බර් මස 19 දින පැවති මෙරට දෙවැනි ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ රටේ අර්බුදකාරී වාතාවරණයක් පැවති සමයකදී ය. එල්.ටී.ටී.ඊ සංවිධානය යුද වාතාවරණයක් නිර්මාණය කර තිබීමත් ඊට හේතුවකි. ඡන්ද විමසීමට අදාළ නීති සංශෝධනය කිරීමට ද මෙම තත්ත්වය ඉවහල් විය. ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතට නව වගන්ති ඇතුළත් විය. ඡන්ද විමසීමේදී සිදුවිය හැකි බාධා කිරීම්වලට අදාළ විසඳුම් සෙවීම ඒවායේ අරමුණ විය. ජනාධිපතිවරයකුගේ පූර්ණ ධුර කාලය අවසන් වීමෙන් පසු පැවැත් වූ පළමු ජනාධිපතිවරණය වන්නේ ද මෙම මැතිවරණයයි. අබේසේකර ඔස්ටින් මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ ආර්. ප්‍රේමදාස මහතා යන නියෝජිතයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. එහිදී වලංගු ඡන්දවලින් 50.4%ක් ලබාගත් ආර්. ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මෙම ජනාධිපතිවරණයේදී පළමු වරට ඡන්ද නිරීක්‍ෂකයන්ගේ සහභාගිත්වය ලැබී ඇත. ඒ, නිදහස් පක්ෂ අපේක්ෂිකාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ඉල්ලීම අනුව ය. එවකට මැතිවරණ කොමසාරිස්වරයාගේ ආරාධනාව මත ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා පාකිස්තානය යන රටවල නියෝජිතයන් මැතිවරණ නිරීක්ෂණය සඳහා පැමිණ ඇත. ආර් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර කාලය 1989 ජනවාරි 02 සිට 1993 මැයි 01 දින දක්වා පැවැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කරයි. ආචාර්ය එස්. අයි. ගමගේ සිය ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය’ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එරෙහි ව සිනමාවෝ බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට පෙත්සමත් ඉදිරිපත් කළ බව ය.
ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා 1993 මැයි 01 දින බෝම්බ ප්‍රහාරයකින් මිය යාම හේතුවෙන් එවකට අගමැති ධුරය දැරූ ඩී. බී. විජේතුංග මහතා වැඩ බලන ජනාධිපති ලෙස පත් විය. ඒ, 1993 මැයි මස 07 දින තෙක් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය යටතේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වැඩ බලන ජනාධිපතිවරයාගේ නම යෝජනා කිරීමෙන් අනතුරු ව ඒකමතික ව ඩී. බී විජේතුංග මහතා එම ධුරයට පත් විය. ඒ අනුව 1993 මැයි 07 දින සිට 1994 නොවැම්බර් 12 දින දක්වා ඔහු තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස සිය ධුරයේ ක්‍රියා කළේ ය.
මෙරට තුන් වැනි ජනාධිපතිවරණය පැවැත්වූයේ 1994 වසරේදී ය එම වසරේ ඔක්තෝබර් 07 දින ඒ සඳහා නාමයෝජනා කැඳවිණි. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, ගාමිණී දිසානායක මහතා සහ හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු පිරිසක් නාම යෝජනා භාර දී තිබේ. ඡන්ද විමසීම පැවැත්වීමට 1994 නොවැම්බර් මස 09 දින නියම කෙරිණි. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් මිය යාම නිසා ඔහු වෙනුවට වෙනත් අපේක්ෂකයකු දින 03ක් ඇතුළත නම් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රීමති දිසානායක මහත්මියගේ නම ඊට ආදේශ කෙරුණු අතර මෙම ඡන්ද විමසීමේදී ඡන්ද 4,709,205ක් ලබා ගනිමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජයගත් අතර එය ප්‍රතිශතාත්මක ව 62.27%ක් විය. මෙම ජනාධිපතිවරණය පවත්වා තිබෙන්නේ මහ මැතිවරණය අවසන් වී මාස 03ක් වැනි කාලයකදී ය.
යළිත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත ව තිබුණේ 2000 වසරේ නොවැම්බර් මස 09 දින ය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය නියමිත දිනට වසරකට පෙර මැතිවරණය පැවැත්වීමේ අභිලාෂය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එවකට වැඩ බලන මැතිවරණ කොමසාරිස් වූ එම්. සී. අරුන්තවචෙල්වම් මහතා ඡන්ද විමසීම පැවැත්වීමේ දිනය ලෙස 1999 දෙසැම්බර් 21 දින ප්‍රකාශයට පත් කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ සිව් වැනි ජනාධිපතිවරණයයි. අපේක්ෂකයන් 13 දෙනකු ඒ සඳහා නාම යෝජනා භාර දී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, නන්දන ගුණතිලක, වාසුදේව නානායක්කාර, හරිශ්චන්ද්‍ර විජයතුංග යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ. එවර ද ඡන්ද 4,312,157ක් හෙවත් 51.1%ක් ලබාගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිව් වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූවා ය. ඒ අනුව ඇය 1994 නොවැම්බර් 12 දින සිට 2005 නොවැම්බර් 19 දින දක්වා එම ධුරය දැරූ බව පාර්ලිමේන්තු වාර්තා අනාවරණය කරයි.
මෙම ජනාධිපතිවරණයේ අවසන් රැළි පැවැත්වූයේ 1999 දෙසැම්බර් 18 දින ය. එදින ජනාධිපතිවරියගේ අවසන් රැළිය කොළඹ නගර සභා පිටියේදී පැවැත්විණි. එහිදී ඇය වේදිකාවෙන් බැස නිල රථයට පැමිණීමට සූදානම් වන විට එල්.ටී.ටී.ඊ බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් එල්ල විය. ඒ හේතුවෙන් ඇයගේ ඇසකට තුවාල සිදුවිය. ඇයගේ දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීම 2000 වසරේ නොවැම්බර් 09 දින සිදු කළ හැකි ව තිබුණ ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ලෙස 1999 දෙසැම්බර් 22 දින අග විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ පස් වැනි ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීමේ දිනය ලෙස මැතිවරණ කොමසාරිස්වරයා 2005 නොවැම්බර් 17 දින ප්‍රකාශයට පත් කළේ ය. පිළිගත් දේශපාලන පක්ෂ 14ක් අපේක්ෂකයන් සඳහා ඇප තැන්පත් කළ ද නාම යෝජනා භාර දී ඇත්තේ 13 දෙනකු පමණි. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, වික්ටර් හෙට්ටිගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ අතර වූහ. මේ ඡන්ද විමසීමෙන් ඡන්ද 4,887,152ක්, එනම් 50.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූයේ ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ය.
මෙම ජනාධිපතිවරණයේදී මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වැනි පංතියේ නිලධාරියකු වූ අශෝක පීරිස් මහතා පත් කළ බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශනයක් වන ‘කතිරයේ බලය’ ප්‍රකාශනයේ සඳහන් වේ. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය සමග ගිවිසුම්ගත වූ බව ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.
පළමු ධුර කාලය අවසන් වීමට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාගේ අභිලාෂය 2009 නොවැම්බර් මස 23 දින ප්‍රකාශයට පත් කෙරුණු හෙයින් එම ශ්‍රී ලංකාවේ හය වැනි ජනාධිපතිවරණය ලෙස එය පැවැත්වුණේ 2010 ජනවාරි මස 20 දින ය. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 66ක් අතුරෙන් පක්ෂ 18කින් හා ස්වාධීන අපේක්ෂකයන් 05 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි. එක් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අපේක්ෂකයන් 22ක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. ඒ අතර මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, එම්.කේ ශිවාජිලින්ගම් යන මහත්වරු සහ බත්තරමුල්ලේ සීල රතන හිමියෝ ද වූහ. මෙම ඡන්ද විමසීමේදී ඡන්ද 6,015,934ක් ලබා, එනම් ඡන්ද 57.8%ක ප්‍රතිශතයක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් විධායක ජනාධිපතිවරයා ලෙස යළි එම ධුරයට පත් විය. මෙම මැතිවරණයේ විශේෂිත ලක්ෂණය වූයේ සේනාධිනායක ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන ප්‍රතිවාදින් දෙදෙනා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයට අනුව ධුර කාලයෙන් වසර 04ක් ගත වූ පසුව යළිත් ජනවරමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට අභිලාෂය ප්‍රකාශ කිරීමේ හැකියාව තිබිණ. ඒ අනුව තුන් වැනි වරටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේ ය. එම අභිලාෂය ඔහු 2014 නොවැම්බර් මස 20 දින ප්‍රකාශයට පත් කළ අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙරට හත් වැනි ජනාධිපතිවරණය සඳහා 2015 ජනවාර් 08 දින නියම කරනු ලැබී ය. අපේක්ෂකයන් 19 දෙනකු එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද නාගමුව, බත්තර මුල්ලේ සීලරතන හිමි ඇතුළු පිරිස ඊට අයත් වූහ. මෙහිදී ඡන්ද 6,217,162ක් ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වුණේ 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. ඒ, ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා වශයෙනි. මෙහිදී අපේක්ෂකයන් 17 දෙනකුගේ ඇප මුදල් රාජසන්තක වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ප්‍රතිවාදීන් ලෙස තරග කිරීම මෙම ජනාධිපතිවරණයේ විශේෂත්වයකි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය වූයේ 2015 ජනවාරි 09 සිට 2019 නොවැම්බර් 16 දක්වා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ධුර කාලය වසර පහකට සීමා කර තිබීම එයට හේතුවයි.
ඡන්ද අපේක්ෂකයන් 35 දෙනකු නාමයෝජනා භාර දුන් ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරණය පැවැත්වුණේ 2019 නොවැම්බර් 16 දින ය. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු ඒ අතර සිටියහ. මෙහිදී ඡන්ද 6,924,225ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් විය. ප්‍රතිශතාත්මක ව ඔහුට ඡන්ද 52.25%ක් හිමි විය. එහෙත් රටේ මතු වූ විවිධ අස්ථාවර තත්ත්ව හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදු වූයේ සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර ඉල්ලා අස්වීමට ය. ඔහු සිය ධුරයේ සිටියේ 2019 නොවැම්බර් මස 17 දින සිට 2022 ජූලි මස 14 දින දක්වා පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2022 ජුලි මස 20 දින දක්වා ය. එදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන මත පාර්ලිමේන්තුව විසින් ඔහු ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කරගන්නා ලද අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වුණේ මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ය. මේ සඳහා අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සමග ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු ඉදිරිපත් වූහ. මෙහිදී පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් හිමි විය.
නව වැනි ජනාධිපතිවරණය
මෙරට නව වැනි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ ඇතුළු අපේක්ෂකයන් 39 දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ඒ සඳහා නාම යෝජනා භාර දී තිබේ. එහෙත් ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් ව සිටි මොහොඩ් ඉල්ලියාස් මහතා අගෝස්තු 22 දින හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඡන්ද අපේක්ෂක සංඛ්‍යාව 38ක් බවට පත් ව ඇත. ඔහු වෙනුවට වෙනත් ආදේශකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට හැකි බවත් ඡන්ද පත්‍රිකාවේ මොහොඩ් ඉල්ලියාස් මහතාගේ ඡන්ද සලකුණ සහ නම මුද්‍රණය කර ඇති බැවින් එය වෙනස් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය පිරික්සන විට පෙනී යන්නේ ජනතා ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරු මෙන් ම අනුප්‍රාප්තික ජනාධිපතිවරු ද සිට ඇති බවයි. තම කතිරයේ බලය යොදමින් පවතින සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්ව මත රට නිවැරදි දිශාවකට යොමු කළ හැකි නායකයකු තොරා ගැනීමට ජනතාව වරින් වර ක්‍රියා කර තිබේ. කෙසේ වෙතත් තව නොබෝ දිනකින් ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙනු ඇත්තේ ද තම කතිරයේ බලයෙන් රටේ අනාගත දැක්ම තීරණය කිරීමට ය.