#ක්‍රීඩා

ඔස්ක පිස්ටොරියස්

  • වර්නන් ගුණසේකර

ලෝක පූජිත පැරාලිම්පික් ශූරයකු වන දකුණු අප්‍රිකාවේ ඔස්ක පිස්ටොරියස් නොබෝදා හිරෙන් නිදහස් වුණේ ඔහුට නියම වූ සිරදඬුවම් කාලය අවසන් වීමට පෙර. අඛණ්ඩ ව දුම්පානය කරන්නකු වී බන්ධනාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිට ව ගියත් ඔහුට සැමදා වසන්නට සිදුවන්නේ සිය උරහිසට ඉහළින් පිටුපස බලමින් බියෙන් සැකෙන්.

සැත්කමකින් ගාත්‍රා දෙක ම කපා දැමුණු ඔලිම්පික් ඉතිහාසයේ එක ම මලල ක්‍රීඩකයා මෙන් ම උසාවියෙන් මිනීමරුවකු බවට ද තීන්දු කෙරුණු ඔස්ක පිස්ටොරියස් ඔහුගේ පොහොසත් මාමා සමග ජීවත් වන්නේ පාතාලයෙන් තිබෙන තර්ජන යටතේ.
තමාගේ මාස තුනක පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප්ට සිව් වතාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට නියම වූ වසර 13යි මාස 5ක සිරදඬුවමින් අවුරුදු 9කට ආසන්න කාලයක් ගෙවීමෙන් පසුව පිස්ටොරියස් හිරෙන් නිදහස් වුණේ හොඳ කල්ක්‍රියාවෙන් පසුවන බවට දුන් පොරොන්දුවකින්. දකුණු අප්‍රිකාවේ නීතියට අනුව නියමිත සිරදඬුවමෙන් අඩක් නිම කිරීමෙන් පසුව හොඳ කල්ක්‍රියාවෙන් සිටින බවට වාචික ප්‍රතිඥාවක් දෙමින් තාවකාලික ව නිදහස ලබා ගැනීම සෑම සිරකරුවකුට ම තිබෙන අයිතියක්. පිස්ටොරියස්ගේ සම්පූර්ණ සිරදඬුවම අවසන් වන්නේ 2029 වසරේදී. මේ ඉතිරි කාලයේ ඔහු නිදහස ලැබීමේ කොන්දේසි උල්ලංඝනය කළහොත් සිදුවන්නේ නැවත සිරගත වීමට.

මිය යන විට 30 හැවිරිදි වියේ පසුවූ රීවා ස්ටීන්කෑම්ප් නීති උපාධිධරයෙක්. සාර්ථක නිරූපිකාවක්. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. පිස්ටොරියස් තම නිවසේ නානකාමරයේ සිටි පෙම්වතිය රීවාට දොරගුළු ලා තිබූ දොර හරහා මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා මරා දැමුවේ 2013 වසරේ පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයේ. නානකාමරයේ සිටියේ රීවා බව තමා දැන නොසිටි බවත් තමා වෙඩි තැබුවේ නානකාමරයේ සැඟවී සිටින සොරෙක් යැයි සිතාගෙන බවත් පසුව ඔහු කියා සිටියා.

ඒ වන විට ඔහු කාබන් ෆයිබ තහඩුවලින් ලන්ඩන් 2012 ඔලිම්පික් උළෙලේ දුවමින් ලෝක ප්‍රසිද්ධියට පත් ව ගත වී තිබුණේ මාස 06ක පමණ කාලයක්. මේ ධාවනය නිසා ඔස්ක පිස්ටොරියස් Blade Runner ලෙසින් ජනප්‍රිය වුණා.

2024 ජනවාරි 5 දා අවසන් වතාවට තමාගේ තැඹිලි පාට බන්ධනාගාර නිල ඇඳුම නවා දමා ජොහැන්නස්බර්ග් නුවර Atteridg eville බන්ධනාගාරයෙන් 37 හැවිරිදි ඔස්ක පිස්ටොරියස් නික්ම ගිය ද ඔහු පියමං කළේ සැබෑ නිදහසකට නෙවෙයි. ඔහු ගියේ සැතපුම් 15ක් නැගෙනහිරින් පිහිටි, තමා සමග අමනාප වී සිටින පියාගේ සහෝදරයා වන, නොවරදවා පල්ලියට යන, ධනවත් ආනොල්ඩ් මාමා සමග ඔහුගේ උස් තාප්පවලින් වට වූ මුරකාවල් යෙදූ වතුයායේ ජීවත් වීමට. මේ වතුයාය පිහිටි ප්රුටෝරියා නමැති ලෝකයේ වැඩියෙන් ම අපරාධ සිදුවන නගරයක ඔස්කෝට තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයක්.

මේ අගනුවර ආනොල්ඩ් වෙසෙන Waterkloof නමැති උපනගරයේ සියලු ඉඩකඩම් ආරක්ෂා වී තිබෙන්නේ පවුම් මිලියන 10ක් පමණ වටිනා විද්‍යුත් වැටකින්. ආරක්ෂක නිලධාරීන් තණ බිම අද්දර හෝ ගේට්ටුව පිටත සිට දේපළ මුර කරනවා. එය නිශ්ශබ්ද ව භය ගන්වන ස්ථානයක්.

අනවසරයෙන් ඇතුළුවන්නන් වළකනු ලබන්නේ ADT Rapid Response- ඉක්මන් ප්‍රතිචාර – යන අනතුරු අඟවන නිල් සහ කහ පැහැති සංඥාවලින්. පාතාලයේ කුලී මිනිමරුවන්ගේ ඉලක්කයක් විය හැකි බැවින් ආරක්ෂා වන ලෙසට පිස්ටෝරියස් බන්ධනාගාරයෙන් පිටත් වන දිනට පෙර දිනයේ ඔහුට දන්වා තිබුණේ අපකීර්තිමත් පිස්ටොරියස් විසින් ඝාතනය කරනු ලැබූ රීවා ස්ටීන්කෑම්ප්ගේ පවුලට අනුකම්පාව දක්වන්නන්ගේ ඉලක්කයක් බවට ඔහු පත්වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවමින්.
පිස්ටෝරියස්ගේ නඩු විභාගය පැවති දිනෙක උසාවියට පැමිණි කුලී මිනිමරුවකු දැඩි අධිෂ්ඨානයකින් යුත් මුහුණකින් ඔහු දෙස රවා බලා සිටීමෙන් පසුව ඔහුගේ පවුලේ අය සමග වාදයකට ද පැටලී තිබුණා. පිස්ටොරියස්ට ඔහුගේ ඉතිරි ජීවිතයේ යළි කිසිම දිනෙක තමන්ගේ උරහිසට උඩින් පසුපස නොබලමින් කිසිම තැනකට යාමට නොහැකි වනු ඇත්තේ මේ තර්ජන හේතුවෙන්. තමා කළ මිනීමරු ක්‍රියාවට පිස්ටොරියස්ට ඔහුගේ ජන්ම භූමිය දක්වන්නේ එතරමට ම ප්‍රබල පිළිකුලක්. රීවා මරා දැමීමේ පළිය ගැනීමට නගරයේ මැර කල්ලි සූදානම් වෙමින් සිටින බවට ජොහැන්නස්බර්ග් පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

උපතින් ම ලද දෝෂයක් නිසා ඔස්ක පිස්ටොරියස්ගේ පාදවල දණහිසෙන් පහළ කොටස සැත්කමකින් කපා ඉවත් කර ඇත්තේ ඔහුට වයස මාස 11ක් ව තිබියදී. ඔහු ඉපදුණේ කකුල් දෙකේ ම පිට පැති දෙක හා කෙණ්ඩවල කුඩා අස්ථි දෙක නොමැති ව.

පිස්ටොරියස් ආබාධිත නොවන අය සඳහා වන කෙටි දුර තරග සහ දණහිසෙන් පහළ කොටස කපා ඉවත් කෙරුණු අය වෙනුවෙන් පැවති කෙටි දුර ධාවන තරග යන ඉසව් දෙකේ ම තරග කළා. පැරාලිම්පික් හා ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකේ ම තරග වැදුණු ලොව 10 වැනි මලල ක්‍රීඩකයා වන්නේ පිස්ටොරියස්.

පැරාලිම්පික් ශූරයකු බවට පත්වීමෙන් පසුව පිස්ටොරියස් ආබාධිත නොවන ජාත්‍යන්තර තරගවලට ඇතුළුවීමට උත්සාහ කළේ මලල ක්‍රීඩා සම්මේලනවල ජාත්‍යන්තර සංගමයේ විරුද්ධත්වය හා ඔහුගේ කෘත්‍රිම ගාත්‍රාවලින් ඔහුට අසාධාරණ වාසියක් ලබාදෙන බවට නිරතුරු ව නැගුණු තර්ක මැද. පිස්ටොරියස් මේ නීති මතභේදය ජය ගත්තා. 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු ආබාධිත නොවන ලෝක ජවන පදක්කමක් දිනා ගත් ගාත්‍රා කපා ඉවත් කරන ලද පළමු ක්‍රීඩකයා බවට පත්වුණා. 2012 ඔලිම්පික් උළෙලේදී ද්වි-පාද ඉවත් කෙරුණු පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වුණේත් පිස්ටොරියස්.
2013 පෙබරවාරි 14 දා සිය පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප් මරා දැමීමෙන් පසුව පිස්ටොරියස් අත්අඩංගුවට ගෙන මිනීමැරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරනු ලැබුවා. ඊළඟ වසරේ පැවති ඔහුගේ නඩු විභාගයේදී ඔහු මිනීමැරුමට නිවැරදිකරු වුවත් සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වරදකරු වුණා. මේ වරද වෙනුවෙන් ඔහුට පස් වසරක සිරදඬුවමක් නියම කෙරුණු අතර ඊට සමගාමී ව වෙන ම තෙවසරක අත්හිටවූ සිරදඬුවමක් ද නියම කෙරුණේ නොසැලකිමත් ලෙසින් අනතුරට භාජන කිරීමේ වරදට. මේ දඬුවම් දෙක ඔහුට නියම කෙරුණේ 2014 ඔක්තෝබරයේ.

දකුණු අප්‍රිකාවේ අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණයේ කමිටුවක් වෙත නඩුව ඉදිරිපත් කර තිබියදී පිස්ටොරියස් නිවාස අඩස්සිය මත 2015 ඔක්තෝබර් මාසයේදී තාවකාලික ව සිරෙන් නිදහස් කෙරුණු අතර ඇපැල් උසාවිය ඔහුගේ සාපරාධී මනුෂ්‍ය ඝාතන තීන්දුව ආපසු වෙනස් කරමින් ඔහු මිනීමැරුමට වරදකරු බවට තීන්දු කළා. 2016 වසරේ ජූලි මාසයේදී විනිසුරුවරයා පිස්ටොරියස්ගේ සිරදඬුවම වසර හයකට දීර්ඝ කළා. අනතුරු ව ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ සිරදඬුවමේ සම්පූර්ණ කාලය අවුරුදු 15 දක්වා වැඩි කළේ වඩාත් දීර්ඝ සිරදඬුවමක් ඉල්ලා රජය ඉදිරිපත් කළ ඇපෑලක් මත. අවසානයේ හොඳ කල්ක්‍රියාවෙන් පසුවන බවට පොරොන්දුවක් දෙමින් පිස්ටොරියස් තාවකාලික ව 2024 ජනවාරි 5 දා හිරෙන් නිදහස් වුණා.
මේ දිනය නිය ම කෙරුණේ 2023 වසරේ නොවැම්බර් 24 දා. ඒ, ඔහු පිළිබඳ ව සිරකරුවන් මුදා හැරීමේ මණ්ඩලය කරන ලද සමාලෝචනයකදී 37 හැවිරිදි පිස්ටොරියස් සමාජයට යළි එකතු කිරීමට සුදුසු බවට තහවුරු කර ගැනීමෙන් පසුව.