#ක්‍රීඩා

ඔලිම්පික් සිහිනය

  • වර්නන් ගුණසේකර

වසර 10-15කට පමණ පසුව ශ්‍රී ලංකාවට උදාවූ හොඳම මලල ක්‍රීඩා වසර වූයේ ගෙවුණු 2023 වසර ය. ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයේ වැඩියෙන් දස්කම් දැක්වූයේත් වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා පදක්කම් දිනා ගත්තේත් ඒ වසරේදී ය.

මේ සාර්ථකත්වය පන්නරයක් කරගෙන මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිණිස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට දිවයිනේ මලල ක්‍රීඩාවේ බලධාරීන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මේ දිනවල වෙහෙසෙයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුස්සන් බවට පත්වීමට නම් ඔවුන් ජාත්‍යන්තර තරගවලට සහභාගි වී අවශ්‍ය ලකුණු හා ශ්‍රේණි ලබා ගත යුතු ව තිබෙන අතර ඒ වෙනුවෙන් 2023 ජූලි 01 සිට 2024 ජූනි 30 දක්වා කාලයක් ලබා දී තිබේ.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගැනීම පිණිස අවස්ථාව සලසන ලෙසට විදෙස් තරගාවලි ගණනාවකින් ඉල්ලීමක් කර තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු පවසයි. මේ අනුව, පසුගිය වසරේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වූ අරුණ දර්ශන, පබසර නිකු, ආර්. එම්. රාජකරුණා හා කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම බහමාස්හි අප්‍රේල් මාසයේ පැවැත්වෙන ලෝක සහය දිවීමේ තරගාවලියට සහභාගි කරවීමට මලල ක්‍රීඩා ආයතනය බලාපොරොත්තු වේ. ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගත් මේ කණ්ඩායම ඊට පෙර තායිලන්තයේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගත්තේ නව ආසියානු ශූරතා වාර්තාවක් ද පිහිටුවමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චෙක් ජනරජය, පෝලන්තය, කටාර් හා ජපානය යන රටවල පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට සැලසුම් කර ඇති බව පාලිත ප්‍රනාන්දු පවසයි. මේ සඳහා තෝරා ගෙන ඇත්තේ තරුෂි කරුණාරත්න (මීටර් 800), ගංගා අබේරත්න (මීටර් 800), නදීෂා රාමනායක (මීටර් 400) සහ නදීශා ඩිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) යන ක්‍රීඩිකාවන් හා අරුණ දර්ශන (මීටර් 400) හා කාලිංග කුමාරගේ (මීටර් 400) යන ක්‍රීඩකයන් ය. මේ හය දෙනා සහභාගි කරවීමට සැලසුම් කර තිබෙන්නේ මැයි මාසයේදී චෙක් සමූහාණ්ඩුවේ පැවැත්වෙන 63 වැනි Ostrava Spike (CZE) හා පෝලන්තයේ පැවැත්වෙන Czeslaw Cybulski Memorial Pozna (POL) තරගාවලි සඳහා ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන Athletics Grand Prix Dubai තරගාවලියට තරුෂි කරුණාරත්න, ගංගා අබේරත්න හා නදීෂා රාමනායක සහභාගි කරවන අතර ඩෝහා කටාර්හි පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගි කරවන්නේ තරුෂි කරුණාරත්න පමණයි.

අප්‍රේල් මාසයේ සිට වසර පුරා ම ජපානයේ පැවැත්වෙන 2024 Continental Tour Meetings තරගවලට ද සහභාගි වී ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර මේ තරගවලින් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙන්නේ මැයි 12 වැනිදා ඔසාකා නුවර පැවැත්වෙන Kinami Memorial හා මැයි 19 ටෝකියෝහි පැවැත්වෙන SEIKO GGPයන තරගාවලි දෙක පමණයි.

“පහුගිය අවුරුදු 10-15 දෙස හැරී බලන විට 2023 වසරයි අපේ හොඳම වසර. ඒ වසරේදී අප සියලු ම ආසියානු තරගාවලිවලටත් පොදුරාජ්‍ය මණ්ඩල යෞවන ක්‍රීඩා උළෙලටත් සහභාගි වී මේ සියල්ලේ ම සාර්ථකත්වයක් ලැබුවා. මේ තරගවලදී පදක්කම් දිනා ගැනීමට අප සමත් වුණා. විශේෂයෙන් අවුරුදු 17කට පසු ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා පදක්කම් 04ක් (රන් 1, රිදී 1, ලෝකඩ 2) දිනා ගත්තා” ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපතිවරයා සඳහන් කරයි.

චීනයේ හැංෂු නුවර පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනා ගත්තේ තරුෂි කරුණාරත්න ය. ඒ, මීටර් 800 ඉසව්වෙනි. නදීශා ඩිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 400 සහාය දිවීම පිරිමි හා කාන්තා කණ්ඩායම් ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වුහ. කාන්තා කණ්ඩායම සමන්විත ව තිබුණේ නදීශා රාමනායක, එම්. එච්. උත්තරා, සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා තරුෂි කරුණාරත්න යන ක්‍රීඩිකාවන්ගෙනි.

මෙය ශ්‍රී ලංකාව 2023 වසරේ සහභාගි වූ අවසන් මලල ක්‍රීඩා තරගාවලියයි. ඊට පෙර, උස්බෙකිස්තානයේ පැවති 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී හා ලෝකඩ පදක්කම් දෙක බැගින් ශ්‍රී ලංකාව දිනා ගත්තේ ය. රිදී පදක්කම් දිනුවේ තුෂේන් එම්. සිල්වා (රිටි පැනීම) හා නිලු‍පුල් පැහැසර තේනුජා (උස පැනීම) ය. අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු‍ පැනීම ඉසව්වෙනුත් කසුනි නිර්මාලි වික්‍රමසිංහ මීටර් 800 තරගයෙනුත් ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.

දකුණු කොරියාවේදී පැවති 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ තරගාවලියේදී සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් තරුෂි කරුණාරත්න ලක්මෑණියගේ ගෙල සැරසුවේ රනින් හා රිදියෙනි. මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම හිමිකර ගත් ඇය මීටර් 400 ඉසව්ව දෙවැනියට නිම කරමින් රිදී පදක්කම දිනා ගත්තා ය. මීට අමතර ව තරුෂි ද ඇතුළත් වූ මීටර් 400 සහාය දිවීම මිශ්‍ර කණ්ඩායම මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ අනෙක් රන් පදක්කම දිනා ගත් අතර එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වුණේ එම්. එච්. උත්තරා, ෂෙහාන් ඩිල්රංග හා විනෝද් ආරියවංශ ය. රට වෙනුවෙන් ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ මීටර් 400 ඉසව්වේන් එම්. එස්. උත්තරා සහ තුන්පිම්ම ඉසව්වෙන් මලිත් යසිරු ය.

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩාවෙන් තවත් සුවිශේෂ තරගයක් දිස්වුණේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය. එහිදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. රන් පදක්කම් දිනා ගත්තේ නදීෂා රාමනායක (මීටර් 400), තරුෂි කරුණාරත්න (මීටර් 800) හා මීටර් 400 සහාය දිවීම පිරිමි කණ්ඩායමයි. තරුෂි කරුණාරත්නගෙන් සටහන් වූ මිනිත්තු 2යි තත්පර 00.66 ද මේ ක්‍රීඩා උළෙලේ බිහිවූ නව ආසියානු ශූරතා වාර්තාවක් ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු පවසන්නේ අප්‍රේල් මස අග ඩුබායිහි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ලෙසට ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බවත් මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකු හා නිලධාරීන් තිදෙනකු යැවීමට බලාපොරොත්තු වන බවත් ය. ඩුබායි තරග බිමේදී මීටර් 100 පිරිමි, මීටර් 400 පිරිමි, මීටර් 800 කාන්තා, දුර පැනීම හා තුන්පිම්ම කාන්තා, මීටර් 100 සහාය දිවීම පිරිමි, මීටර් 400 සහාය දිවීම පිරිමි, කාන්තා හා මිශ්‍ර යන ඉසව්වලට සහභාගි වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී.