ඔපන්හයිමර්
- තුසිත ජයසුන්දර
ගෙවුණු සියවසේ සිදු වූ බිහිසුණු ම මිනිස් ක්‍රියාකාරකම කුමක්දැයි යන පැනයට ලැබෙන සුලබ ම පිළිතුරක් වන්නේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගර ද්විත්වය ඉලක්ක කරගෙන ඇමරිකානු ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයයි. කුප්‍රකට දෙවන ලෝක සංග්‍රාමයට තිත තැබීම සංකේතවත් කෙරෙන මේ අමිහිරි සිදුවීම වාර්තා වන්නේ අදින් වසර 79කට පෙරාතුව ය. 1945 වසරේ අගෝස්තු මස 06 දා හිරෝෂිමා නගරයටත් ඉන් තෙදිනකට පසු නාගසාකි නගරයත් එල්ල කළ මේ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ජපානවාසීන් සංඛ්‍යාව 129,000-226,000ත් අතර වන බව වාර්තා වේ. දේපළ විනාශය ද අතිමහත් බව අදාළ ඡායාරූප වාර්තා වෙතින් සනාථ කර ගත හැකියි. අවාසනාවන්ත ම ප්‍රතිඵලය වන්නේ වසර බොහෝ ගණනක් ගත වන තුරු ම මෙහි අනිටු ඵල සෞඛ්‍ය ගැටලු සේ ඉස්මතු වීම ය. මේ මතකය වත්මන් ලෝකය ද සලිත කරන වග නොරහසකි.
ජපාන දේශය කරා පමණක් නොව සමස්ත ලොව කරා ම යළි නොඑළැඹිය යුතු මෙබඳු සිදුවීම් සිනමාව ඔස්සේ නිරූපණයට පියවර ගන්නා අවස්ථා බොහෝ ය. මෙහි නවතම අවස්ථාව වනුයේ කෘතහස්ත අමරිකානු සිනමාකරු ක්‍රිස්ටෝපර් නොලාන්ගේ ‘ඔපන්හයිමර්’ සිනමාපටයයි. පසුගිය වසරේ ජූලි මසදී මහජන ප්‍රදර්ශනයට එක් කළ ‘ඔපන්හයිමර්’ මේ වන විට අමරිකානු ඩොලර් මිලියන 970කට අධික ආදායමක් උපයා ඇති බව අන්තර්ජාල තොරතුරු කියා සිටී. සිනමාපටයේ නිෂ්පාදන වියදම සේ දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100කි.
නොබෝදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි ඩොල්බි ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ 96 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී ‘ඔපන්හයිමර්’ හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම ප්‍රධාන නළුවා, හොඳම සහාය නළුවා ඇතුළු පළමු පෙළ සම්මාන 07කින් ම පිදුම් ලබන්නේ එය උක්ත බිහිසුණු අත්දැකීම දෙස සුලබ ඇසකින් නොබලන සිනමාපටයක් ය යන කියැවීම ද සමගිනි. මේ තවත් මුල් පෙළේ සිනමා සම්මාන උළෙල ගණනාවකදී ම ලද සම්මාන ආදියට අමතර ව ය.
‘ඔපන්හයිමර්’ මෙසේ හිමි කරගත් සම්මාන හේතුවෙන් එහි දැක්ම හා අරමුණ විෂය කර ගත් කතිකා සඳහා ලැබී ඇති අවකාශය සුළුපටු නොවේ. 2023 වසරේදී සිරිලක සිනමාශාලා ගණනාවක ම ‘ඔපන්හයිමර්’ ප්‍රදර්ශනය වූයේ සැලකිය යුතු ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිත ව ය. ‘ඔපන්හයිමර්’ ධාවන කාලය හෝරා 03කි. උද්වේගකර යුද ගැටුම් සහිත ත්‍රාසය හා භීතිය ජනනය කරන ප්‍රවේගවත් රූප රචනයකින් ‘ඔපන්හයිමර්’ සමන්විත නොවේ. මෙහි එන මන්දගාමී ගලා යාම නිරනුමාන ව ම වෙහෙසකර වූවකි. මෙය නිමා කරන්නේ කෙසේදැයි කියා නොදන්නා ප්‍රේක්ෂකයකු නොමැති තරම් ය. එහෙත් පෙර සඳහන් කළ පරිදි ම ‘ඔපන්හයිමර්’ සිරිලක සේ ම ලොව ආකර්ෂණීය සිනමාපටයක් වන්නේ පොදු ප්‍රේක්ෂක රසවින්දනයේ දිග පළල පිළිබඳ සාකච්ඡාවකට ද ඉඩ හසර පාදා දෙමිනි.
මෙහිලා ගෙන එන්නේ ‘ඔපන්හයිමර්’ අරභයා වන පශ්චාත් විමසුමක් ම නොවේ. ලොව බිහිසුණු අවි ගැටුම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ම සිදුවන වපසරියක එබන්දක ශෝචනීය බව සේ ම තාර්කික බව කියැවෙන මෙබඳු සිනමාපට පිළිබඳ විමසුම අද මෙන් ම හෙටට ද වලංගු වෙයි.
ක්‍රිස්ටෝපර් නොලාන් ‘ඔපන්හයිමර්’ නිර්මාණය කරන්නේ චරිතාපදාන මාදිලියේ සිනමාපටයක් ලෙසිනි. මෙවැනි විටෙක සත්‍ය කරුණු ද ඒවා නිෂේධනය නොවන විග්‍රහයක ද ඇති වැදගත්කම ලඝු නොකිරීමට ඔහු පියවර ගෙන තිබේ. සිනමාව විෂයෙහි ඔහු සතු වැටහීම අන්තර්ජාතික වශයෙන් ගෙන හැර පෑ අවස්ථා ගණනාවකි.
‘ඔපන්හයිමර්’හි එන ඇමරිකානු භෞතික විද්‍යාඥ ජේ.රොබට් ඕපන්හයිමර් හඳුනා ගත හැක්කේ අතිශය විවාදාත්මක අයකු සේ ය. පළමු ව ඔහු ව හඳුනා ගැනෙන්නේ හිරෝෂිමා හා නාගසාකි නගර සුන්නද්දූලි කළ පරමාණු බෝම්බයේ මහමොළකරු වශයෙනි. මේ නිසා ම ඔහු ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් වැනි ජන නාශක භූමිකාවක් ලෙස හඳුන්වාදීමට ද පුළුවන. ජපාන යුද තර්ජනය නවතාලීමේ අටියෙන් ඔහු කළ මේ කාර්යය දෙස හුදු එක පාර්ශ්වීය පිළිවෙතකින් ම කරුණු සංග්‍රහ කිරීම නිරවද්‍ය නොවන බව කිව යුතු ය. මෙයින් අදහස් කෙරෙන්නේ රොබට් ඔපන්හයිමර් සාකල්‍යයෙන් ම මානව විරෝධීන්ගේ ලැයිස්තුවට එක් කළ යුතු අයකු සේ හඳුන්වාදීම විවාදාත්මක වන්නේ ය යන්න ය. බෝම්බ ප්‍රහාරයෙන් ජපානය පාලනය නොකෙළේ නම් ලෝකයේ හැඩය වෙනස් වී මෙයට වඩා භයංකර වන්නට ද ඉඩ තිබිණි. එහෙත් හිරෝෂිමා හා නාගසාකි පන්නයේ සමූලඝාතන කිසිවිටෙකත් අනුමත කළ හැකි නොවේ.
සිනමාකරු නොලාන් දිගින් දිගට ම වෙහෙස වන්නේ ඔපන්හයිමර් නැමැති විවාදාත්මක භුමිකාවේ ඇතුළාන්තය සිනමානුරූපී ව හසුකර ගන්නටයි. මේ ඔස්සේ දෘශ්‍යමාන අදමිටුවකුගේ අඳුරු හා සැඟවුණු පෙදෙස් පිළිබඳ විවරණයක හරවත් බව පෙන්වා දෙන්නටයි. එසේ ම ඔහු කිසිදු විටෙක ඔපන්හයිමර් වියුක්ත විශිෂ්ටයකු සේ උත්කර්ෂයට නංවනු පිණිස වැර නොදැරූ වග ද සඳහන් කළ යුතු ම ය.
රොබට් ඔපන්හයිමර්ගේ භූමිකාව විනිශ්චයේදී සිනමාකරු සිව් ආකාරයකින් ක්‍රියා කරන අන්දම පෙනී යයි. ඒ, පළමු ව කෘතහස්ත භෞතික විද්‍යාඥයකු බවට පත්වනු පිණිස ඔපන්හයිමර් දක්වන කැපවීම හා උනන්දුව විදහා දැක්වීමෙනි. දෙවැනි ව හිරෝෂිමා හා නාගසාකි ප්‍රහාර ද්විත්වයෙන් අනතුරු ව ඔහු ප්‍රකට කරන ප්‍රතිචාර පෙන්වා දීමෙනි. මේ ප්‍රතිචාර සංකීර්ණ අවස්ථා ගම්‍ය කරන බව ද ඔහු කියා සිටී. තෙවැනි ව ඔහුගේ විවාහය හා ස්ත්‍රී සබඳතා නිරූපණයෙනි. සිව් වැනි ව ඔහුගේ දේශපාලන චර්යා පිළිබඳ කරුණු සටහන් කිරීමෙනි.
ඔපන්හයිමර් සිය අධ්‍යයන කාර්යය සඳහා ජර්මානු දේශය බලා ද යයි. පරමාණු බෝම්බය නිපදවීමට අදාළ ජර්මානු වෑයම් ගැන යමක් සඳහන් කරන්නට මෙයට සමගාමී ව සිනමාකරු නොලාන් පසුබට නොවන සෙයකි. දැඩි වෙහෙස නිසා ඔපන්හයිමර් රෝගී වන බව ද කියැවේ. කීර්තිමත් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් සමග ද ඔහු සාකච්ඡා කරයි.
බෝම්බ ප්‍රහාරයෙන් අනතුරු ව දත හැකි වූ විනාශය දෙස විකල්ප ඇසකින් බලන්නට ඔහු සූදානම් නොවූවා ම නොවේ. එහෙත් ඊට බාධා පමුණුවන රාජ්‍ය හා ජන බලපෑම් සම්බන්ධයෙන් සිනමාකරු නොලාන් සිටියේ සවිඥානක ව ය. එක්තරා සමයක රොබට් ඔපන්හයිමර් ඇමරිකානු වීරයෙකි. ජපානයට අදමිටුවෙකි.
ඔහුගේ නිල බිරිය හා නොනිල බිරිය සිනමාපටය වෙත සැලකිය යුතු බලපෑමක් කරන බව පෙනේ. ඔවුන් දෙදෙනාට ම කොමියුනිස්ට් දේශපාලන සබඳතා තිබිණි. සිනමාකරු මෙකරුණ සනිටුහන් කරන්නේ සැබැවින් ම ඔපන්හයිමර් භූමිකාව ගැඹුරෙන් කියවනු සඳහා ම ය.
ඔපන්හයිමර් ව ප්‍රශ්න කරන්නට ඇමරිකානු බලධාරීන් විටෙක තීන්දු කරන්නේත් දේශපාලන හේතු ද සමගිනි. සිනමාකරු නොලාන්ගේ මේ දැවැන්ත සිනමාපටයේ බර දරා සිටින පළමුවැන්නකු වන්නේ ඔපෙන්හයිමර්ගේ සංකීර්ණ හා විවාදාත්මක භූමිකාව සිනමානුරූපී විලාසයකින් ප්‍රතිනිර්මාණය කළ සිලියන් මර්පි ය. නොලාන් තරමට ම ඔහු ද ලොව සිනමා ප්‍රේක්ෂක කණ්ඩායම්වල ඇගැයීමට හා ගෞරවයට පාත්‍ර වූ බව සඳහන් කළ යුත්තකි.