#අධ්‍යාපන

එතෙරින් ආ ආදිවාසී නෑකම

  • නිශාන්ත පීරිස්

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනාවාසකරණය වසර 48000ටත් වඩා ඇතට දිව යන බව පුරාවිද්‍යාවෙන් තහවුරු කර ඇත. විශේෂයෙන් පාහියංගල බලංගොඩ අවට ස්ථාන ආදිය ඒ සඳහා කදිම සාක්ෂ්‍ය සපයයි. ආදී මානව පරපුරට අයත් මෙරට ආදිවාසී ජනතාව ද ස්වකීය ඓතිහාසික ජන උරුමය ලොවට කියාපාන නූතන සජීවී නිදර්ශන වේ. ඔවුන් පිළිබඳ ව මෑතකදී වඩාත් අවධානයට ලක් වූ කරුණක් වූයේ 19 වැනි සියවස මැද භාගයේදී පර්යේෂණ කාර්යයක් සඳහා මෙරටින් ස්විට්සර්ලන්තයට ගෙන ගොස් තිබූ ආදිවාසී මානව හිස්කබල් අස්ථි හා එම උරුමය කියාපාන තවත් සංස්කෘතික කෞතුක භාණ්ඩ සමූහයක් යළි මෙරටට රැගෙන ඒමේ සිද්ධියයි.

වත්මන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සේ ම ඔහුගේ පියා වූ තිසාහාමි ඇතුළු වැදිජන සංස්කෘතිය පුමුඛ කර ගත් මෙරට ආදිවාසී ජනතාව වසර දහස් ගණනක අතීතයක සිට පැවත එන පිරිසක් බව විද්‍යාත්මක ව ද සනාථ කොට ඇත. ඔවුන් තමන්ට ම අනන්‍යවූ සුවිශේෂ මානව විද්‍යා හා සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන ජන සමුහයකි.

ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේදී මෙරට ජන සංස්කෘතිය, අදිවාසී ජනතාව ආදිය පිළිබඳ තොරතුරු සොයා බැලීමට යුරෝපයේ සිට විවිධ පර්යේෂකයන් මානව විද්‍යාඥයන් මෙහි පැමිණි බව පැහැදිලි ය. 19 වැනි සියවසේ මැද භාගයේදී මෙහි පැමිණි පී. සැරසින් හා එෆ්. සැරසින් යන සහෝදරයන් දෙපළ ද ආදිවාසී ජන උරුමය සොයා මෙරට විවිධ ස්ථානවල පර්යේෂණාත්මක තොරතුරු රැස් කර තිබේ. විශේෂයෙන් ගල්ඔය නිම්නය, දඹාන, නිල්ගල, හෙන්නානිගල වැනි ප්‍රදේශවලින් ආදිවාසී ජන සංස්කෘතියට අදාළ බොහෝ තොරතුරු හා සාධක ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වී ඇත. මානව හිස් කබල්, අස්ථි කොටස්, භාවිත කළ මෙවලම්, සංස්කෘතිකමය සාධක ආදීය ඒ අතර ප්‍රධාන ය.

සැරසින් සහෝදරයන් ඒවා මෙරටින් රැගෙන ගියේ ස්විට්සර්ලන්තයට ය. එරට ප්‍රකට රයින් නදිය අසළ පිහිටි බැසල්ස් ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ සහ බැසල්ස් සංස්කෘතික කෞතුකාගාරයේ ඒවා වෙන් වශයෙන් තැන්පත් කෙරිණි. මෑතකාලීන ව මේ සිදුවීම් මාලාව පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් එලෙස ගෙන යන ලද මානව අස්ථි කොටස් සහ සංස්කෘතිකමය කෞතුක මෙවලම් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ ක්‍රියාවලිය පණ ගැන්විණි.
එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඔෂාන් වෙදගේ, ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් මානව විද්‍යා ආයතනයේ ආචාර්ය පැටි්‍රක් රොබට්ස්, ස්විට්සර්ලන්තයේ බැසල්ස් ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ආචාර්ය ගේහාඩ් සහ බැසල්ස් සංස්කෘතික කෞතුකාගාරයේ පර්යේෂක බැසිල් විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකින් පළමු ව එම කෞතුකාගාරවල තැන්පත් කර තිබූ මානව අස්ථි සහ සංස්කෘතික කෞතුකාගාර භාණ්ඩ මෙරට ආදිවාසි ජන කොටස්වල උරුම බව තහවුරු කර ගැනිණි.

මෙහිදී සිදු කළ පර්යේෂණ, ප්‍රදර්ශන සහ ඩිජිටල් මාධ්‍ය අනුසාරයෙන් කරන ලද තහවුරු කිරීම්වලින් පසු වර්තමානයේ දකුණු ආසියා කලාපයේ සිටින ඉතා වැදගත් ආදිවාසී ජන කණ්ඩායම ලංකාවේ වැදි පරපුර බව සහ ඔවුන් මේ වන විටත් ජීවමාන ආදිවාසී පරපුරක් ලෙස ඔවුන්ගේ අභිචාර විධි, මළවුන් වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත් සහ ඔවුන්ගේ සංස්කෘතික උරුම ඉදිරියට පවත්වාගෙන යාමේදී මේ මානව අස්ථි සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ වෙනත් රටක කෞතුකාගාරවල තැන්පත් කර තිබීම ගැටලුවක් බව අවධාරණය කෙරිණි. එයින් සිදුවන සංස්කෘතික බලපෑම ස්විට්සර්ලන්ත රජය විසින් පිළිගනු ලැබීමෙන් පසුව සියලු‍ මානව අස්ථි සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ එම ආදිවාසීන් වෙත දෙරට අතර සංහිදියාවේ ව්‍යාපෘතියක් ලෙස භාර දීමට එම රජය තීරණය කළේ ය.

අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඔෂාන් වෙදගේ; “විශේෂයෙන් මෙරට ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන මළවුන් පිදීමේ සිරිත ඔවුන් මේ දක්වා ම ගෞරවාන්විත ව සිදු කරන්නක් නිසා එම අභිචාරය පැවැත්වීමට මේ හිස් කබල් සහ අස්ථි කොටස් එම වැදි ජනතාවට ම ලබා දීමේ වැදගත්කම ස්විට්සර්ලන්ත රජයට අවධාරණය කෙරුණා. ඒ සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසුව බැසල්ස් කෞතුකාගාර අධිකාරිය හා එරට ප්‍රාදේශීය රජය එම ඉල්ලීම පිළිගෙන ඒවා ආදිවාසී ජනතාවට ම ලබා දීම යුක්ති සහගත යැයි තිරණය කිරීම අතිශය වැදගත්. ආදිවාසී නායක උැරුවරිගේ වන්නිල ඇත්තන් හා ඔහුගේ පුත්‍රයකු වූ කළුබන්ඩියා ද ස්විට්සර්ලන්තයට ගොස් එම කෞතුක වස්තු සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරු ව 2024 මැයි 28 දින ස්විට්සර්ලන්ත රජය විසින් ඒවා නිල වශයෙන් ශ්‍රි ලංකාව වෙත භාර දුන්නා.” ආදිවාසී මානව හිස් කබල් 30ක් හා මානව ඇසැකිලි 12ක් ද ඔවුන් විසින් භාවිත කරන ලදැයි සැලකෙන දුනු, ඊතල, කෙටේරි ආදී ආම්පන්න සහ වෙනත් දෑ ද මේ කෞතුක වස්තු අතර විය.

මේ මානව අස්ථි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ජාන විද්‍යාත්මක පර්යේෂණවලට ලක් කිරීමට නියමිත ය. ඒ අනුව හිස් කබල් සහ අස්ථි කොටස් සියල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංගි යසවර්ධන භාරයට පර්යේෂණ සඳහා යොමු කොට ඇත. සංස්කෘතිකමය කෞතුක භාණ්ඩ එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශාධිපති පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අධීක්ෂණයට ද පත් කොට තිබේ. එමගින් ලංකාවේ ආදිවාසින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට සැලසුම් කර ඇත. මානව අස්ථී සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ කෞතුකාගාර ප්‍රමිතිවලට අනුකූල ව කෙරෙන ප්‍රතිසංස්කරණයකින් අනතුරු ව, ඉදිරියේදී ඒවා දඹාන වරිග මහගෙදර ජන උරුම කෞතුකාගාරයේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ. එහෙත් ඒ සියල්ල සිදු වන්නේ ආදිවාසී ශරීර හිස් කබල් සහ අස්ථි කොටස්වලින් යම් කොටසක් වැදි ජනතාවගේ චාරිත්‍රානුකූල භූමිදානය කිරීමේ අභිචාරයෙන් පසුව බව ද අවධාරණය කෙරේ.

ඉදිරියටත් මේ පර්යේෂණ කාර්යයට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ස්ව්ට්සර්ලන්තයේ බැසල්ස් ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය හා සංස්කෘතික කෞතුකාගාරය, ජර්මනියේ මානව විද්‍යා පර්යේෂණ ආයතනය සහ දඹාන ආදිවාසී වරිග මහගෙදර යන පාර්ශව ඒකාබද්ධ ව සම්බන්ධ වේ. ආදිවාසී ජනතාවගේ ජන උරුමය සේ ම සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ යහ පැවැත්ම උදෙසා ජාතියක් වශයෙන් අප ක්‍රියා කළ යුතු ව ඇත. ලොව දහස් සංඛ්‍යාත රටවල් අතුරින් මෙවැනි ආදිවාසී ජන සංස්කෘතියක් තමවත් සුජීවත් වන රටවල් සංඛ්‍යාව අතළොස්සකි. එය ප්‍රත්‍යක්ෂයෙන් දැකීම ඉතා කාලෝචිත වේ.