උසට නොසරි තර බර
- රංගිකා අබේසේකර
ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ස්ථූලතා සම්මේලනය සහ එහි ගෝලීය සාමාජිකයන් එක් ව 2015 වසරේ සිට ලෝක ස්ථූලතා දිනය සෑම වසරක ම මාර්තු මස 4 දින සමරයි. ”තරබාරුකම ගැන කතා කරමු” යන්න තේමාව කර ගනිමින් 2024 වසරේ එම දිනය සැමරුවේ තරබාරුකමට සටන් කිරීමට ක්‍රම සොයා ගැනීම සඳහා තාරුණ්‍යයේ අවධානය යොමු කිරීමේ අරමුණෙනි.
සෞඛ්‍ය ගැටලුවක් ලෙස ස්ථූලතාව පිළිබඳ පවතින චක්‍රය බිඳ දමමින් නව ප්‍රවේශයක් ලබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණක් වේ. ස්ථූලතාව යනු ආහාර, ජීවන රටාව, ජානමය සාධක, මනෝවිද්‍යාත්මක සාධක, සමාජ, සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික සාධකවල සම්මිශ්‍රණයකි.
2019 වසරේදී ශරීර ස්කන්ධ දර්ශකයේ පැවතිය යුතු අගයට වඩා වැඩි අගයක් පැවතීම හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ, නිදන්ගත ස්වසන රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ වැනි බෝ නොවන රෝගවලින් ලෝකයේ පුද්ගලයන් මිලියන 5ක් මියගොස් තිබේ.
ලෝක ජනගහනයෙන් 33%ක් ස්ථූලතාවෙන් පෙළෙන බවත් වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1.9කට වැඩි අධි බර සහිත පුද්ගලයන්ගෙන් මිලියන 650ක් ස්ථූලතාවෙන් පෙළෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත තහවුරු කරයි. අවුරුදු 15-19 කාණ්ඩයේ මිලියන 390ක් ස්ථූලතා මට්ටමේ සිටින තරුණ අය වෙති. 2022 වසරේදී ලෝකයේ මිනිසුන් 08 දෙනකුගෙන් එක් අයකු ස්ථූලතාවෙන් පෙළුණේ ය. ලෝකයේ වැඩිහිටි තරබාරුකම 1990 සිට දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර නව යොවුන්වියේ තරබාරුකම සිවු ගුණයකින් වැඩි වී ඇත. 2022 වසරේ ම වයස අවුරුදු 5ට අඩු ළමයින් බිලියන 37ක් අධික බරින් යුක්ත විය. එලෙස වාර්තා වන දරුවන්ගෙන් අඩක් පමණ වාර්තා වී ඇත්තේ ආසියාවෙන් ය.
මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ද පවතින්නේ අහිතකර මට්ටමක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ දත්තවලින් අනාවරණය වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක් ව සෑම වසර 5කට වරක් ම බෝ නොවන රෝග අවදානම් සාධක හඳුනාගැනීමේ සමීක්ෂණයක් සිදු කරයි. ආසන්නතම සමීක්ෂණ සිදු කළේ 2015 සහ 2021 වසරවලදී ය. එයට අනුව 2015 වසරේදී 7%ක් ව පැවති දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය 2021 වසරේ 14.6%ක් ලෙසත් 2015 වසරේ 25%ක් ව පැවති අධිරුධිර පීඩනය රෝගීන්ගේ ප්‍රතිශතය 54%ක් ලෙසත් ඉහළ ගොස් ඇත. 2015 වසරේදී පුරුෂයන්ගේ ස්ථූලතාව වයස අවුරුදු 18-69 අතර 22%ක් හා 2021 වසරේ එය 30%ක් ලෙසත් කාන්තාවන්ගේ ස්ථූලතාව වයස අවුරුදු 18-69 අතර 34%ක් හා 2021 වසරේදී එය 47.7%ක් ලෙසත් වර්ධනය වී තිබීමෙන් ඒ බව තහවුරු වේ. එයට හේතුව දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඉහළ යාමට ස්ථූලතාව බලපා තිබීමයි. වර්තමානයේ 9%-10% අතර ප්‍රතිශතයක් පාසල් දරුවන් අතරින් බර වැඩි සහ තරබාරු ගණයට අයත් වන බවත් ඒ තත්ත්වය වර්තමාන දරුවන්ගේ ජීවන පැවැත්මට අහිතකර ලෙස බලපාන බවත් ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන ප්‍රකාශ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දළ විශ්ලේෂණයට අනුව අධික බර යනු අධික මේද තැන්පත්වීමේ තත්ත්වයකි. තරබාරුකම අස්ථිවලට සෘජු ව බලපෑම් ඇති කළ හැකි ය. මිනිසුන්ගේ බර සහ උස මැනීමෙන් ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරයි. ශරීර ස්කන්ධ දර්ශකය තරබාරුකමේ ආදේශක සලකුණක් වන අතර ඉණවට ප්‍රමාණය වැනි අමතර මිනුම් තරබාරුකම හඳුනාගැනීමට උපකාර වේ. ළදරුවන්, ළමයින් සහ නවයොවුන් වයස, ස්ත්‍රී පුරුෂභාවය මත තරබාරුකම වෙනස් වෙයි. වැඩිහිටියන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තරබාරුකම ලෙස අර්ථ දක්වන්නේ ශරීර ස්කන්ධ දර්ශක අගය 25ට වැඩි වීම ය. උදරීය ස්ථූලතාව පුරුෂයකු සෙ. මී. 88ක හා කාන්තාවක සෙ. මී. 80ක පවත්වාගත යුතු වේ.
අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන; “මෙරට පුද්ගලයන්ගේ ස්ථූලතා ප්‍රතිශතය වැඩිවීමෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි වී තිබෙනවා. නිරතුරු දක්නට ලැබෙන දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා, මානසික ආතති තත්ත්ව, පෞරුෂ වෙනස් වීම්, තරුණියන්ගේ ප්‍රජනන පද්ධතියේ වෙනස්වීම් සහ සිරෝසිස් රෝගය සඳහා ද ප්‍රබල හේතුවක් වී ඇත්තේ ස්ථූලතාවයි.”
ශරීර ස්කන්ධය යහපත් මට්ටමින් පවත්වා ගැනීමට නොහැකි වන අවස්ථාවලදී ශරීර අභ්‍යන්තරයේ ඇති වන්නේ ගැටලුකාරී ස්වභාවයකි. ජීවන රටාව යහපත් ව පවත්වා ගැනීම, නිවැරදි ආහාර රටාව මේ සඳහා ප්‍රබල ව බලපෑම් කරයි. ස්වාභාවික ආහාරවලින් තොර ක්ෂණික ආහාර භාවිතයට හුරු වීම, ක්‍රියාකාරකම් අඩුවීමෙන් ක්‍රියාශීලිබව හීන වීම, තිර කාලයට (Screen Time) වැඩි අවධානයක් ලබාදීම, දෛනික ව්‍යායාමවල නිරත නොවීම, මත්පැන් භාවිතය වැනි කාරණා හේතුවෙන් ශරීරයට ඇතුළු වන පිෂ්ඨය සහ මේදය තැන්පත් වීමෙන් ස්ථූලතාව ඇති වේ. දෛනික ව පුද්ගලයකුට ලුණු භාවිතය තේ හැඳි 1ක් සහ සීනි තේ හැඳි 6කට වඩා අඩු ප්‍රමාණයක් භාවිත කිරීම, අවම වශයෙන් සතියකට දින 3ක් ව්‍යායාමවල නිරතවීම, ප්‍රමාණාත්මක ව ජලය පානය කිරීම, අවමය පැය 6කට වඩා නින්දක් ලබා ගැනීම, විශේෂයෙන් කුඩා කල සිට දරුවන් ක්ෂණික ආහාරවලට යොමු නොකිරීම, ආහාරවල සමබරතාව පවත්වා ගැනීම හා ක්‍රියාශීලිවීමෙන් තරබාරුබව අවම කළ හැකි වන බවත් එසේ නොමැති වුවහොත් වයස අවුරුදු 19-20 යෞවන අවදියේ ම ශරීරයේ සියලු පද්ධති ව්‍යාකූල වී බෝ නොවන රෝග වැළදීම සිදු විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන ප්‍රකාශ කරයි.
ස්ථූලතාව අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන සුවදිවි මධ්‍යස්ථාන තිබේ. එම මධ්‍යස්ථානවලින් රුධිරයේ සීනි පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල්, උසට සරිලන බර, අධිරුධිර පීඩනය පරීක්ෂා කිරීම් නොමිලේ සිදු කර ගැනීමට ජනතාවට අවකාශ ඇත. බෝ නොවන රෝග හඳුනාගැනීමත් පාලනය කිරීම සඳහා උපදෙස් ලබා දීමත් එහිදී සිදු වේ. මේ සේවා ලබා ගත හැක්කේ වයස අවුරුදු 35ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට මෙන් ම පවුල් ඉතිහාසයේ සෞඛ්‍ය තත්ත්වය සලකා වයස අවුරුදු 20ත් 34ත් අතර පුද්ගලයන්ට ය.
ළමා වියේ සහ නව යොවුන්වියේ තරබාරුවීම දරුවන්ගේ සෞඛ්‍යයට නිරතුරු බලපායි. මේ හේතුවෙන් ඇති වන සමාජයේ වෙනස්කොට සැලකීම වැනි කාරණා නිසා එය දරුවන්ගේ පාසල් කාර්යසාධනයට ද ප්‍රබල ව බලපායි. වර්තමානයේ බොහෝ දරුවන්ගේ පෝෂණය ප්‍රමාණවත් නොවීමත් අවධානය යොමු කළ යුතු කරුණක් වේ.
මෙවැනි පසුබිමක සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ප්‍රවර්ධනය කිරීමේදී ආහාර කර්මාන්තයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ය. සැකසූ ආහාරවල මේදය, සීනි සහ ලුණු අන්තර්ගතය අඩු කිරීම, සෞඛ්‍යසම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර පරිභෝජනයට සුදුසු බවට සහතික කිරීම, පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍යසම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර ලබාදීම සහ ළමයින් හා යෞවනයන් ඉලක්ක කරගත් පෝෂණයෙන් තොර ආහාර අලෙවි කිරීම සීමා කිරීම එහිදී සුදුසු වේ. වෛද්‍යවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් මේ සඳහා උපදෙස් සහ නීතිමය පියවර ගැනීම වඩා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එහිදී සීනි සහ ලුණු අධික ආහාරපාන දරුවන්ට අලෙවි කිරීම සීමා කිරීම, පැණි සහිත බීම සඳහා බදු පැනවීම, සෞඛ්‍යසම්පන්න ආහාර සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම අවශ්‍ය බව අවධාරණය කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුගත දත්ත අනුව 2030 වසර වන විට වැඩි බර සහ තරබාරුකම සඳහා වන ගෝලීය පිරිවැය වසරකට ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 3ක් සහ 2060 වසර වන විට ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 18කට වඩා වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත. එයින් පෙනී යන්නේ ස්ථූලතාව යනු අනාගතයේදී ද ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වනු ඇති බව ය. එහෙත් යහපත් ජීවන පුරුදු මත මේ තත්ත්වය පාලනය කළ හැකි බව අවධානයට ගත යුතු වේ.