#කෘෂිකර්ම

උරුමයට උරුමය

  • රංගිකා අබේසේකර

ලෝකයේ සියලු ‍ම ශිෂ්ටාචාර ගොඩනැගී ඇත්තේ භූමිය මුල්කරගෙන. එයින් ගම්‍ය වන්නේ භූමියක උරුමයක් නොමැති ව මානව වර්ගයාගේ පැවැත්මක් නොමැති බව. අතීත මුතුන් මිත්තන්ගෙන් රජය ලබාගත් ඉඩම් ඔවුන්ගේ වර්තමාන පරම්පරාවට පූර්ණ අයිතිය සහිත ව ලබාදීම සඳහා 2024 අයවැය යෝජනා අංක 8 යටතේ අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම මෙරට භූමි පරිභෝජනයේ හැරැවුමක් ලෙසයි සැලකිය හැක්කේ. මෙරට සමස්ත භූමි ප්‍රමාණය 162,000,000ක් (හෙක්ටයාර ලක්ෂ 65,000ක්) වන අතර ඉන් 82%ක භූමිය රජයට අයත් වනවා.

‘උරුමය’ වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ 1947 රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාර ව දැනටමත් මහජනතාව භුක්ති විදින ඉඩම් කොටස් සඳහා 1982 වසරේ සිට ලබා දුන් දීමනාපත්‍ර ලක්ෂ 20 සහ බලපත්‍ර ලක්ෂ 06 වසර කීපයක් ඇතුළත නිදහස් දීමනාපත්‍ර වශයෙන් පූර්ණ ලෙස බැහැර කිරීම. මේ වැඩසටහනේ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 25ට ම බෙදී යන ලෙස නිදහස් දීමනාපත්‍ර 10,000ක් ලබාදීමට නියමිත ව තිබෙනවා. එහි සමාරම්භය පෙබරවාරි මස 05 දින ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු‍ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ කාර්යයට එක් වනවා.

රජයේ ඉඩමක පදිංචි ව සිටින්නකුට එම ඉඩමේ නිරවුල් අයිතියක් නොමැති වීම ගැටලු‍ සහගත තත්ත්වයක්. තම පරම්පරාව වෙත අයිතිය තහවුරු කිරීමට අවකාශ නොලැබීම එහිදී කැපී පෙනෙන කාරණයක්. දැනට ඇති ස්වර්ණ භූමි, ජයභූමි, බලපත්‍ර වැනි අයිතිය තහවුරු කරන කොන්දේසි සහිත ලේඛන ඊට නිදසුන්. විශේෂයෙන් 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පැවරීම් කළ නොහැකි, විකිණීමට නොහැකි, වැඩි ආදායම්ලාභියකුට මිලදී ගත නොහැකි, අඩු ආදායම්ලාභියකුට පමණක් පවරාගත හැකි, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වූ කොන්දේසි සහිත දීමනාපත්‍ර ලබා දී තිබෙනවා.

අදහස් දක්වන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දර්ශන වික්‍රමාරච්චි; ”‍ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් තිබෙන බලපත්‍ර, කොන්දේසි සහිත දීමනාපත්‍ර බවට පත් කිරීමට පරිගණක දත්ත පද්ධතිය ඔස්සේ අමාත්‍යාංශය වෙත තොරතුරු යොමු කර තිබුණා. ජනාධිපතිගේ අවසරය, උපදෙස් හා අනුමැතිය ඇති ව නීතිපතිගේ උපදෙස් සහ සහයෝගය සහිත ව එම බලපත්‍රවල නීතිමය ගැටලු‍ විසඳා කොන්දේසි විරහිත නිදහස් දීමනාපත්‍ර 10,000ක් බවට පත්කිරීමයි අපගේ කාර්යය වූයේ. ‘උරුමය’ වැඩසටහනේ අදියර 2 සහ 3 යටතේ ඉදිරියටත් බලපත්‍ර හෝ දීමනාපත්‍ර හිමි ජනතාවට ජනාධිපතිගේ ප්‍රතිරූප අත්සනින් යුතු ලක්ෂ 20ක නිදහස් දීමනාපත්‍ර ලබා දීමට සූදානම්. 2024 වසර අවසන් වීමට ප්‍රථම ඉන් ලක්ෂයක පමණ නිදහස් දීමනාපත්‍ර සකසා අවසන් කරනවා. මෙහිදී සිදුවන්නේ යම් පුද්ගලයකු සතු ව තමන්ට අනන්‍ය වූ දීමනා පත්‍රයක් තිබේ නම් ස්ව කැමැත්තෙන් ලිඛිත ව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රජය වෙත භාරදෙන කොන්දේසි සහිත දීමනාපත්‍රය වෙනුවට රජය විසින් කොන්දේසි රහිත නිදහස් දීමනාපත්‍රයක් ලබාදීමට පියවර ගැනීම.”

නීතිමය ගැටලු‍ හේතුවෙන් උසාවි දක්වා ගිය බලපත්‍ර සහ දීමනාපත්‍ර සහිත පිරිසටත් මේ නිදහස් දීමනාපත්‍ර ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. එහෙත් ඊට ප්‍රථමයෙන් පාර්ශ්ව දෙක සමථයකට පත් ව ඔවුන්ගේ එකඟතාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් කිරීමෙන් ඒ සඳහා අවස්ථාව හිමිකර ගත හැකි බවයි අතිරේක ලේකම්වරයා සඳහන් කරන්නේ.
ඉඩම් සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතිය. මුල් යුගයේ රජු භූපති, භූපාල ලෙසින් හඳුන්වා ඇත්තේ රජුට සමස්ත භූමියේ අයිතිය හිමි ව තිබූ නිසා වන්නට ඇති. විශේෂයෙන් එකල සන්නස්, තුඩපත් හා තල්පත්වලින් ජනතාවට වගා සහ නොයෙකුත් කාරණා සඳහා ඉඩම් ලබා දී තිබෙනවා. ඒ, එහි සමස්ත අයිතිය රජු සතු ව තබා ගනිමින්. පසුකාලීන ව ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග වගා සඳහා ඔවුන්ට ඉඩම් අවශ්‍ය වුණා. ඒ වන තෙක් මෙරට ජනතාව රජයේ ඉඩම් පරිහරණය කළත් භූමිය ලියාපදිංචි කළ ලේඛන තිබී නැහැ. ඉංග්‍රීසීන් ඉඩම් ලේඛනගත කිරීමට පියවර ගත්තේ ලාංකිකයන්ට අයිතිවාසිකම් කීමට නොහැකි ඉඩම් රජය සන්තක කර ගැනීමට. ඒ අනුව ඔවුන් අයිතිවාසිකම් කීමට නොහැකි සියලු‍ ඉඩම් මුඩුබිම් ආඥා පනතෙන් රජය සතු කළා.

අදහස් දක්වන අතිරේක ලේකම්වරයා; “‍1930 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවි ජනපද ආරම්භ කිරීමත් සමග රජයට අයත් ඉඩම් කොටස් කෘෂිකාර්මික හා නේවාසික බිම් ලෙස මහජනතාව වෙත ලබා දී තිබෙනවා. මුල් කාලයේ එක් පුද්ගලයකුට ලබා දී ඇති බිම් ප්‍රමාණය අක්කර 5ක්. ඒ, කෘෂිකාර්මික භූමිය අක්කර 3කින් හා නේවාසික භූමිය අක්කර 2කින් සමන්විත ව. පසුකාලීන ව ඉඩම් සීමාවීමත් ජල සම්පාදන පද්ධති ඇති කිරීමේ අපහසුතාත් හේතුවෙන් එලෙස ඉඩම් ලබාදීම සීමා කර තිබෙනවා. එහෙත් ‘උරුමය’ යටතේ ලබාදෙන නේවාසික බිම් ප්‍රමාණය පර්චස් 20ක් වන අතර කෘෂිකාර්මික බිම් ප්‍රමාණය පර්චස් 80ක්”‍.

මෙරට භූමියේ අයිතිය ලබාදෙන ප්‍රධාන ඔප්පු වර්ග 2ක් තිබෙනවා. ඒ, සින්නක්කර ඔප්පු, රජයෙන් ලබා දෙන දීමනාපත්‍ර හා බලපත්‍ර ලෙස. රජයේ ඉඩම් සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යේෂ්ඨ නීතිඥ නිරෝධා කලංසූරිය, “පෞද්ගලික සහ රජයේ ඉඩම් ලෙස වර්ග 2ක් තිබෙනවා. පෞද්ගලික ව අයිතිය තහවුරු කළ නොහැකි ඉඩම් සියල්ල අයිතිකරුවකු සිටියත් නොසිටියත් රජයේ ඉඩම් බවට පත්වනවා. වැදගත් ම කාරණය ඒවා රජයේ කාර්යයන් සඳහා යෙදවීමට අවකාශ තිබීම. ආයතනයකට විකිණීමටත් පුද්ගලයකුට විකිණීමට හෝ බදු දීමටත් පුළුවන්. මෙරට ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතිය නිසා පෞද්ගලික ඉඩමක් ඇති අයකුට නිදහසේ එය භුක්ති විඳීමට, අන්සතු කිරීමට හැකියාව පැවතුණත් රජයේ ඉඩම් සඳහා ඊට නෛතිකමය අවකාශයක් නැහැ. විශේෂයෙන් 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත සැලකූ විට රජය සන්තක ව ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් අවසර පත්‍රයකින් හෝ බලපත්‍රයකින් හෝ ජනතාවට ලබා දීමේ නෛතිකමය බලයක් තිබෙනවා. එහිදී ජනතාව කොන්දේසිවලට යටත් විය යුතුයි.”

ඇය සඳහන් කරන ආකාරයට 2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත යටතේ පෙර පැවැති දෘඪ නීතිය ලිහිල් කර තිබෙනවා. විශේෂයෙන් ඉඩම් සංවර්ධන ආඥා පනතේ අන්තර්ගත නොවන කාරණා රජයේ ඉඩම් ආඥා පනතෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව රජයේ ඉඩම් ආඥා පනතේ 2 වැනි වගන්තියට අනුව රජයේ ඉඩම් (කොන්දේසි සහිත ව) නියත වශයෙන් හෝ තාවකාලික ව ප්‍රදානය කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. එහිදී ගිවිසුම්පත්‍ර, අවසරපත්‍ර හා ප්‍රජා ඔප්පු අන්සතු කිරීමටත් අවකාශය ලබා දී තිබෙනවා. මේ ආඥා පනත් ද්විත්වයට ම වඩා ඉදිරියට යමින් කොන්දේසි සහිත ව තිබූ ඉඩම්, ‘උරුමය’ වැඩසටහන යටතේ ජනතාවට කොන්දේසි විරහිත ව ඉඩමේ පූර්ණ අයිතිය ලබා දීමයි රජයේ අරමුණ. එය වැදගත් සංකල්පයක්. ඒ අනුව ජනතාවට නිදහසේ තම ඉඩම භුක්ති විඳීමටත් දූ දරුවන්ට අයිතිය ලබා දීමටත් විවිධ ආයෝජන සිදුකිරීමටත් ඒ ඔස්සේ අවකාශ ලැබෙනු ඇති”‍.

මෙවැනි පසුබිමක විශේෂයෙන් පූර්ණ අයිතිය ලැබුණු භූමිය ව්‍යාපාර සඳහා යෙදවීමටත් ආයෝජන කාර්යයට යොදා ගැනීමටත් එහි හිමිකම් ලැබූවන්ට හැකි වීමෙන් පුද්ගලික ව ඔවුන්ගේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් ශක්තිමත් කළ හැකි පරිසරයක් ඉදිරියේදී නිර්මාණය වීම ඵලදායී කාර්යයක් වනු ඇති.

උරුමයට උරුමය

හයිකු