#ක්‍රීඩා

උණුසුමේ උණුසුම

ඇමරිකාවේ මෑතකදී අවසන් වූ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේදී (ҒIFA Club World Cup) පාපන්දු ක්‍රීඩාවට උෂ්ණත්වයෙන් එල්ල වුණේ දැඩි පීඩාවක්. මෙය ඇමරිකාව ලබන වසරේ ග්‍රීෂ්ම සෘතුවේ මෙක්සිකෝව හා කැනඩාවේ ද සම සත්කාරකත්වයෙන් පවත්වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන්ට මුහුණදීමට සිදුවිය හැකි දරන්න බැරි තරම් උණුසුමක පෙර දැක්මක්.

ලෝකයට ම බලපාන පරිදි උෂ්ණත්වය වැඩිවෙමින් තිබියදී, පාපන්දු ලෝක කුසලානය හා වෙනත් පාපන්දු තරගාවලි උතුරු අර්ධ ගෝලයේ ග්‍රීෂ්ම සෘතු කාලයේ පැවැත්වීමෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් යන දෙපාර්ශ්වය ට ම බලපාන අනතුර ඉහළ යමින් තිබෙන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා. උෂ්ණය සම්බන්ධ රෝග අවදානම අවම කිරීමට යෝග්‍ය පරිදි පාපන්දු කැලැන්ඩරය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සකස් කළ යුතු ව තිබෙන බවයි බො‌හෝ දෙනාගේ මතය වී තිබෙන්නේ.

“දශකයේ තවත් ගැඹුරට අපි යද්දී, ශීත සෘතු මාසවල සහ සිසිල් අක්ෂාංශවල ක්‍රීඩා කිරීම වැනි වඩාත් පෙරළිකාර ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් සිදුවන්නේ වඩාත් අනතුරුදායක අවදානමක් ඇති වීමයි” එංගලන්තයේ ලීඩ්ස් නුවර පිහිටි දේශගුණික අනාගතය පිළිබඳ Priestley මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය Piers Forster ප්‍රකාශ කරනවා.

“සිදුවිය හැකි ක්‍රීඩා ඛේදවාචකයක සිට අපි ඉන්නේ අධික තාපයෙන් යුත් කාලයෙන් එකකට පමණක් එහායින් නිසා ම‌ගේ කනස්සල්ල වැඩිවෙමින් තිබෙනවා. රටවල් පාලනය කරන අය දේශගුණය හා සෞඛ්‍ය විද්‍යාව ගැන අවධානය යොමු කරනු දැකීමට මම කැමතියි” ඔහු කියනවා.

පාපන්දු තරගාවලි ජූනි සහ ජූලි මාසවල පැවැත්වීමේ සම්ප්‍රදාය පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වූ 1930 වසර දක්වා ඈතට දිව යනවා. එතැන් පටන් ජුනි, ජූලි හා අගෝස්තු යන තෙමස් කාල වකවානුව ගෝලීය වශයෙන් සෙල්සියස් අංශක 1.05කින් (ෆැරන්හයිට් අංශක 1.89) උණුසුම් වී ඇතැයි ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය සඳහන් කර තිබෙනවා. මේ අතර යුරෝපීය ගිම්හානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.81කින් වැඩි වී තිබෙනවා. ලෝකය උණුසුම් වීමේ වේගය වැඩිවී තිබෙන්නේ 1990 දශකයේ සිට.

‌මේ සාධකය කෙරෙහි පාපන්දු වැනි ඉහළ තීව්‍රතාවක එළිමහනේ ක්‍රීඩා කරද්දී විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව දේශගුණික විද්‍යාඥයන් පවසනවා.

“දිනකට පැය 10ක් පාපන්දු ක්‍රීඩා කරන්න අවශ්‍යනම්, එය දවසේ උදය වරුවේ මුල් පැය කිහිපය හෝ සැඳෑ කාලයේ පසුභාගයේ පැය කිහිපය විය යුතුයි” ලන්ඩනයේ Imperial විදුහලේ දේශගුණ විද්‍යාඥ Friederike Otto පවසනවා. “තාප ආඝාතයකින් ක්‍රීඩකයන් සහ ක්‍රීඩාලෝලීන් මිය යාම ‌හෝ ඌෂ්ම අවසාදයෙන් බරපතළ ලෙස ‌රෝගාතුර වීම දකින්න අවශ්‍ය නැත්නම් මේ වෙනසට යා යුතුයි.”

කණ්ඩායම් වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වෙමින් ජූනි 14 සිට ජූලි 13 දක්වා ඇමරිකාවේ නගර 11ක පැවති පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියට අධික උෂ්ණත්වය මෙන් ම ගිගුරුම් සහිත කුණාටුවෙන් ද බලපෑමක් සිදු වුණා. තරගවලට අමතර විරාම, පිටිය පැත්තකින් සිට වතුර සැපයීම වැඩියෙන් සිදුකිරීම, විදුලි පංකා සහ හෙවණ වැඩියෙන් ලබා දීම මගින් ක්‍රීඩකයන්ගේ බංකු සිසිල් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ අධික ඌෂ්ණාධික තත්ත්වයට    හැඩගැසුණා.

එසේ තිබියදීත් චෙල්සී කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස්, අධික උණුසුම නිසා තරගය පැවැත්වෙද්දී තමාට කරකැවිල්ල හටගත් බව කියමින් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී පස්වරුවේ තරග ආරම්භ කිරීමෙන් වැළකී සිටින ලෙසට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටියා.

ඇමරිකාවේ පැවති පාපන්දු සමාජ ලෝක කුසලාන (Club World Cup) තරගාවලිය අරබයා දැඩි උෂ්ණත්වයේ අවධානය මෙසේ ඉස්මතු ව තිබියදී ලබන වසරේ එම රටේ ම පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (2026 World Cup) සඳහා ආවරණය කෙරුණු ක්‍රීඩාංගණ යොදා ගන්නා බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ පවසනවා.

“අපට එල්ල වන සෑම විවේචනයක් ම අප මීළඟට කළ යුතු දේ අධ්‍යයනය කිරීමට සහ විශ්ලේෂණය කිරීම පිණිස අපට ලැබෙන මාර්ගයක්” යනුවෙන් ගෝලීය පාපන්දුවේ ප්‍රධානියා කියනවා. “තරගය අතරතුර ක්‍රීඩකයන් සිසිල් කරවන විරාමයන් ලබා දීම ඉතා වැදගත්. අපි මේ ගැන අපට කරන්න පුළුවන් මොනවාද කියා සොයා බලනවා. නමුත් අපට වහලයක් තිබෙන ක්‍රීඩාංගණ තිබෙනවා. අපි ස්ථිර ව ම ඒ ක්‍රීඩාංගණ ලබන වසරේ තරග වෙනුවෙන් පාවිච්චි කරනවා” යැයි ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.

මේ තීරණයට පැමිණියේ ප්‍රංශයේ පැරිස් සැන්-ජමෑන් සහ එංගලන්තයේ චෙල්සී කණ්ඩායම් අතර ජූලි 13 දින නිව් ජර්සිහි මෙට්ලයි‌‌ෆ් ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු සමාජ ලෝක කුසලාන අවසාන මහා තරගයට පෙර. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 83ක් ව තිබියදීයි එම තරගය ආරම්භ වුණේ. නමුත් ආර්ද්‍රතාව නිසා ෆැරන්හයිට් අංශක 91ක උෂ්ණත්වයක් පස්වරු 3.00ට තරගය ආරම්භ වන විට දැනෙමින් තිබුණා.

ක්‍රීඩා කරන විට දරාගත අපහසු මේ උණුසුම පිළිබඳ බොහෝ ක්‍රීඩකයන් ඔවුන්ගේ කනස්සල්ල පළකර තිබුණා. “ඇත්තම කියනවානම් මේ උෂ්ණය ඇදහිය නොහැකියි. එක් තරගයක් ක්‍රීඩා කරමින් සිටියදී මට කරකැවිල්ල හැදුණා. මාව ඇත්තට ම කරකැවෙනවා වගේ දැනුණු නිසා මට ක්‍රීඩා පිටියේ වැතිරී ඉන්න සිද්ධ වුණා. මෙවැනි උෂ්ණත්වයක ක්‍රීඩා කිරීම ඉතාම භයානකයි” ෆර්නැන්ඩස් මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ගෝලීය පාපන්දු ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය වන FIFPRO, පාපන්දු සමාජ ලෝක කුසලාන තරග ආරම්භ කරන වේලාව පසුවට කල් තබන ලෙසට තරගාවලියට පෙර එම සම්මේලනයට උපදෙස් ලබා දී තිබුණ ද ලෝක පාපන්දුවේ බලධාරින් එය ගණන් ගත්තේ නැහැ. ලබන වසරේ ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත නගර 16න් හයක ම අධික උෂ්ණත්වයේ අවදානම තිබෙන බවට FIFPRO අනතුරු අඟවා තිබෙනවා. පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේදී ෆැරන්හයිට් අංශක 90ට (සෙල්සියස් අංශක 32ට) වැඩි උෂ්ණත්ව යටතේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට බල කෙරුණා.

ක්‍රීඩාලෝලීන්ට ද මේ තත්ත්වයෙන් පහසුවක් ගෙන දුන්නේ නැහැ. තරග නැරඹීමට පැමිණි ඔවුන්ගේ හිසට සෙවණක් ලබා දීමට වහලයක් තිබුණේ නැහැ

වර්නන් ගුණසේකර

උණුසුමේ උණුසුම

සතුන් ගණනය

උණුසුමේ උණුසුම

සල්ලි ගරන උගුල