#විදේශ විත්ති

ඉන්දු-යුරෝපා වෙළෙඳ හවුල්කාරිත්වය

ඇමරිකාවේ නිතර අලු‍ත්වෙන බදු තරවටු මෙන් ම ලෝකයේ නව යුද ගැටුම් මැද ඉහළ යන භූ දේශපාලනික ආතති හා ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ ලෝකයේ දෙ වැනි හා සිව් වැනි විශාලතම ආර්ථික දෙක අතර ඓතිහාසික වැදගත්කමක් සහිත නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වූ අවසන් එකඟතාව නොබෝදා ඇතිවුණා. 2026 ජනවාරි 27 දින මේ ගිවිසුම සඳහා වන එකඟතාව ප්‍රකාශයට පත්වූයේ නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේ පැවති ඉන්දියා-යුරෝපා සංගම් සමුළුවේදී. ඒ සඳහා Narendra Modi අග්‍රාමාත්‍යවරයා මෙන් ම යුරෝපා කවුන්සිලයේ සභාපති António Costa සහ යුරෝපා සංගමයේ සභාපති Ursula von der Leyen  එක් ව සිටියා.

‘ඉන්දීය-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුම’ ලෙස හැඳින්වෙන මෙය දශක දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව, ඉන්දියානු ජනරජය සහ යුරෝපීය සංගමය (EU) අතර අත්සන් තැබීම සඳහා අවසන් එකඟතාවකට එළඹුණු පුළුල් නිදහස් වෙළෙඳ ගිවිසුමක් (FTA). විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස ලෝක ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරන්නට සමත් මේ සම්මුතිය  හටගත්තේ ඉන්දියාව සහ යුරෝපා සංගමයේ රටවල් 27ක් අතර.

ගිවිසුමේ ප්‍රමුඛ අරමුණ දෙපාර්ශ්වයේ වෙළෙඳාම සහ ආයෝජන පුළුල් බදු නිදහසකට පත් කිරීම. මේ වෙළෙඳ ගිවිසුම දෙපාර්ශ්වය වෙත ම ඉහළ යන ඇමරිකා තීරුබදුවලට එරෙහි ව ගත් ශක්තිමත් උපායමාර්ගික ආරක්ෂාවක්. එසේ ම මෙය ඉන්දියාවේ සහ යුරෝපා සංගමයේ කර්මාන්ත රැසකට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ආර්ථික මෙන් ම දේශපාලන සබඳතාවක් සඳහා වූ  නව මුලපිරීමක්.

මේ එකඟතාවෙන් නිර්මාණය වුණේ ලොව විශාලතම නිදහස් වෙළෙඳ කලාපය. එය නියෝජනය කරන්නේ ඩොලර් ට්‍රිලියන 27කට ආසන්න ඒකාබද්ධ වෙළෙඳපොළක්. ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් හෙවත් ලොව සමස්ත ජනගහනයෙන් 1/4ක් පමණ වන  බිලියන 02ක ජනතාවක් මේ වෙළෙඳපොළ නියෝජනය කරනවා. එය නිර්මාණය කිරීමේදී ඉන්දියාවට මෙන් ම එරටින් යුරෝපා සංගමයේ අදාළ රටවලට අපනයනය කරන භාණ්ඩ සේවා සඳහා 100%කට ආසන්න වාර්තාගත පුළුල් තීරු බදු අඩු කිරීමක් සිදු වනවා. ඒ, 2032 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම දෙගුණ කිරීම අරමුණු කරගනිමින්.

ගිවිසුමට විධිමත් ව අත්සන් තැබීමට පෙර දැනට එය පවතින්නේ නීතිමය පරීක්ෂාවට ලක් වෙමින් සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල නිල භාෂා 23කට පරිවර්තනය වෙමින්. නීතිමය කාර්ය සම්පූර්ණ වූ පසු ගිවිසුම අත්සන් තැබීම සහ බලාත්මක වීම 2027 වසරේ මුල්භාගය වන විට සිදු වනු ඇති බවටයි අපේක්ෂාව.

මේ සුවිශේෂ ගිවිසුමේ මූලික සාකච්ඡා ආරම්භ වූයේ 2007 වසරේදී. තීරුබදු, වෙළෙඳපොළ ප්‍රවේශය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ නියාමන ප්‍රමිති පිළිබඳ එකඟ නොවීම් හේතුවෙන් 2013 වසරේදී සාකච්ඡා වරක් ඇණ හිටි අතර 2022 ජූලි මාසයේදී සාකච්ඡා නිල වශයෙන් නැවත ආරම්භ කෙරුණා. එම සාකච්ඡාවලට ඇතුළත් ව තිබුණේ භාණ්ඩ හා සේවා වෙළෙඳාම, ආයෝජන ආරක්ෂාව, තිරසර සංවර්ධනය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, ඩිජිටල් වෙළෙඳාම සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ ඇතුළු බහු පරිච්ඡේද ගණනාවක්.

ඉන්පසු නැවත සාකච්ඡා ඇරැඹුණේ 2025 පෙබරවාරි මාසයේදී. ඒ, අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen අතර. එලෙස පැවති සාකච්ඡාවලින් පසුව 2026 ජනවාරි වන විට සාකච්ඡාවට ඇතුළත් ව තිබූ  පරිච්ඡේද 24න් 20ක් පමණ පිළිබඳ එකඟතාවකට පැමිණ තිබුණා.

එම සාකච්ඡා මධ්‍යයේ, යුරෝපීය කොමිසමේ සභාපති Ursula von derLeyen සහ ඉන්දීය වෙළෙඳ අමාත්‍ය Piyush Goyal  යන දෙදෙනා ම මේ නව ගිවිසුම ‘සියලු‍ වෙළෙඳ ගනුදෙනුවල මව’‍ ලෙස විස්තර කළා. ඒ, එතෙක් මෙතෙක් ඇති වූ ද්වීපාර්ශ්වික ගිවිසුම් අතර දෙපාර්ශ්වයට ම යහපත් වාසිදායක තත්ත්ව ඉහළ ම මට්ටමෙන් ලබාදෙන විශිෂ්ටතම ගිවිසුමක් හැටියට මේ ගිවිසුම පිළිගැනීමට ලක් ව තිබෙන නිසා. 

මේ ගනුදෙනුවේ ප්‍රධාන වෙළෙඳ අරමුණ වන්නේ 2032 වසර වන විට ද්විපාර්ශ්වික භාණ්ඩ සහ සේවා වෙළෙඳාම දෙගුණ කිරීම. පසුගිය දශකයේ ඉන්දියාව සහ යුරෝපය අතර භාණ්ඩ වෙළෙඳාම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබුණා. එය 2020 වසරේදී ඩොලර් බිලියන 74ක් පමණ වූ අතර 2024-2025 වසරවලදී ඩොලර් බිලියන 136ක් දක්වා ඉහළ අගයක් ගත්තා. දෙපාර්ශ්වය ම බලාපොරොත්තු වන්නේ 2030 වසර වන විට එය ඩොලර් බිලියන 200ක් පමණ දක්වා වැඩි කිරීමට.

ITC Trademap.org දත්ත අනුව යුරෝපීය සංගමය 2024 වසරේදී ඉන්දියාවෙන් යුරෝ බිලියන 89.8ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා. ඒ අන්දමට කාලයක් තිස්සේ යුරෝපය නැගී එන ඉන්දියා ආර්ථීකයේ විශාලතම භාණ්ඩ හා සේවා  වෙළෙඳ හවුල්කරුවා බවට පත් ව තිබෙනවා. එබැවින් මේ හවුලේ වැඩි වාසිය ඉන්දියාවට ඇති බවයි බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ.

නව ගිවිසුම යටතේ ඉන්දියාව යුරෝපා අපනයනවලින් 96.6%ක් සඳහා වටිනාකම අනුව තීරුබදු ඉවත් කරන්නට හෝ අඩු කරන්නට හෝ නියමිත වෙනවා. මේ අතර යුරෝපය ඉන්දියානු භාණ්ඩවලින් 99.5%ක් සඳහා එනම් 100%කට ආසන්න ව තීරුබදු අඩු කිරීමෙන් ප්‍රතිඋපකාර කරන්නට සුදානම්. ඒ අනුව යුරෝපීය කොමිසම වාර්ෂික තීරු බදු ඉතිරි කිරීම් වාසිය ඩොලර් බිලියන 4.7ක් වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබෙනවා.

මේ ගිවිසුම උදා කරන්නේ ඉන්දියාවේ කෘෂි නිෂ්පාදන, තාක්ෂණ සේවා සහ ඩිජිටල් වෙළෙඳාම සඳහා යුරෝපා වෙළෙඳපොළට ප්‍රවේශයක් මෙන් ම ඉන්දියානු  කාර්මික භාණ්ඩ, රෙදිපිළි, ඇඟලු‍ම්, සම්, පාවහන්, මැණික් සහ ස්වර්ණාභරණ වැනි ශ්‍රම-අධික අපනයන සඳහා ක්ෂණික ශුන්‍ය තීරු බදු ප්‍රවේශයක්. එරට දක්ෂ වෘත්තිකයන් සහ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ, වෘත්තීය සේවා සහ අධ්‍යාපනය ඇතුළු උප අංශ 144කට ආසන්න නව අවස්ථා ද යුරෝපයේ උදා වෙනවා. සමුද්‍රීය නිෂ්පාදන සඳහා 26% දක්වා සහ රසායනික ද්‍රව්‍ය සඳහා 12.8% දක්වා තීරුබදු ක්‍රමයෙන් ඉවත් කෙරෙන්නට ද නියමිතයි.

වඩාත් ම වැදගත් වන්නේ හරිත සංක්‍රාන්තිය සඳහා ලැබෙන උපකාරය. මෙහිදී කාබන් විමෝචනය අඩු වන ලෙස සිය කාර්මික කටයුතු යාවත්කාලීන කර ගැනීමට ඉන්දියාවට සිදුවනවා. ඒ සඳහා යුරෝ මිලියන 500කින් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 590ක්) උපකාර කිරීමට යුරෝපය සුදානම්. ඒ අනුව ඉන්දියානු භාණ්ඩ සඳහා එක්සත් ජනපදයෙන් පැනවෙන තීරු බදු දඬුවම් බලපෑම් මධ්‍යයේ එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ඈත් ව සිය වෙළෙඳාම     විවිධාංගීකරණය කරගැනීම සඳහා මේ ගනුදෙනුව ඉන්දියාවට සරු වෙළෙඳපොළක් සකසා  දී  තිබෙනවා.

ඉන්දියාවේ බිලියන 1.45ක ජනගහනය යුරෝපා නිෂ්පාදන සඳහා සුවිශාල සරු වෙළෙඳපොළක් ලෙසයි ක්‍රියා කරන්නේ. 2024 වසරේදී ඉන්දියාවට යුරෝපා සංගමය වෙතින් භාණ්ඩ හා සේවා  අපනයනය කිරීම දළ වශයෙන් යුරෝ බිලියන 75ක්.  දැන් ලැබෙන බදු නිදහසින් සිදුවන්නේ මේ වෙළෙඳාමේ පුළුල් වර්ධනයක්.

යුරෝපය සඳහා මෙයින් ලැබෙන වාසිදායක තත්ත්වය අතර කැපී පෙනෙන ම වාසිය උදා වන්නේ මෝටර් රථ සඳහා. යුරෝපා රථ ගෙන්වීමේදී ඉන්දියාව වාර්ෂික ව වාහන 250,000ක කෝටාවකට යටත් ව (යුරෝ 15,000ට වැඩි මිල මෝටර් රථ සඳහා) වසර පහක් තුළ මෝටර් රථ ගාස්තු 110% සිට 10% දක්වා අඩු කිරීමට නියමිත අතර මෝටර් රථ අමතර කොටස්  සඳහා තීරු බදු ශුන්‍ය වනු ඇති.

යුරෝපා ප්‍රධාන අපනයන වන වයින් සඳහා 150% සිට 20%-30% දක්වාත් ස්ප්‍රීතු සඳහා 150% සිට 40% දක්වාත් ඔලිව් තෙල් සඳහා 45% සිට 0% දක්වා තීරු බදු අඩු කෙරෙන අතර චොකලට් සහ පැස්ටා සඳහා දැඩි තීරු බදු කප්පාදුවකුත් වෙනවා. ඖෂධ අපනයනය යුරෝ බිලියන 1.1ක් වන අතර එය දැනට 11%ක පමණ තීරු බදුවලට යටත්. එය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරෙනවා. යන්ත්‍රෝපකරණ සහ විදුලි උපකරණ මේ වන විට යුරෝපා සංගමයෙන් ඉන්දියාවට අපනයනය කරන විශාලතම වෙළෙඳ භාණ්ඩ කාණ්ඩයක්. එය 2024 වසරේදී යුරෝ බිලියන 16.3ක් වටිනා ගනුදෙනුවකට මුල් ව තිබුණා. මේ නිෂ්පාදන දැනට 44% දක්වා තීරු බද්දකට යටත්. එහෙත් ගිවිසුමෙන් එය  ඉවත් කරනවා.

ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා අපනයනය පසුගිය වසරේ යුරෝ බිලියන 6.4ක්. මේ සඳහා 11% දක්වා දැනට පවතින තීරු බදු ශුන්‍ය කෙරෙනවා. ඉන්දියාව වෙත 2024 වසරේදී සිදු කළ රසායනික අපනයනයේ වටිනාකම යුරෝ බිලියන 3.2ක්. එය දැනට 22% දක්වා තීරු බදුවලට යටත්. මේ බොහෝ තීරු බදු ඉවත්  වෙනවා.

විශේෂයෙන් කුඩා සහ මධ්‍යම මට්ටමේ සමාගම්වලට වෙළෙඳ ගනුදෙනුවලින් ප්‍රතිලාභ ලබා ගැනීම මෙතෙක් වැළැක් වූ අවාසි ඉවත් කිරිමටත් වාසිදායක අවස්ථා උදාකර දීමටත් උත්සාහ දැරීමක්. ඒ සඳහා දෙපාර්ශ්වය ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධතා මධ්‍යස්ථාන හා තීරු බදු, රේගු ක්‍රියාපටිපාටි සහ වෙළෙඳපොළට ඇතුළුවීමේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි මෙන් ම යාවත්කාලීන තොරතුරු සපයන බෙදාගත් ඩිජිටල් වේදිකාවක් පිහිටුවන්නටයි නියමිත.

වෙළෙඳ එකඟතාවට සමගාමී ව දෙපාර්ශ්වය සමුද්‍රීය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීම සඳහා  ආරක්ෂක  හවුල්කාරිත්වයකට ද අත්සන් තැබීම විශේෂත්වයක්. ලොව සුවිශාල ආර්ථික කලාප දෙකෙහි වෙළෙඳ එකමුතුව නිසා වක්‍ර ව උදා වන මේ ආරක්ෂක හවුල්කාරිත්වයට හිමි වන්නේ වත්මන් ගෝලීය භූ දේශපාලනික හැලහැප්පීම් මැද ඉතා වැදගත්, ප්‍රබල, බලාත්මක  භූමිකාවක්.