ආසියා සියවසේ බල සංක්‍රමණය
- චන්දන මාරසිංහ
ගෝලීය වශයෙන් මෙන් ම කලාපීය එකමුතුවෙන් ද ගොඩනැගෙන සම්මුති, එකඟතා, සන්ධාන බහුල වශයෙන් දක්නට ලැබේ. මේ ඔස්සේ තම තම රටවලට අනන්‍ය වූ ගැටලු, අභියෝග, ඉලක්ක මුල්කර ගනිමින් ඒ සඳහා සාධනීය විසඳුම් සොයා යාම අපේක්ෂිත අරමුණකි. එවැනි එකමුතුවක් වන ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානය (IORA) නොබෝදා (මාර්තු 10) තම සංවිධානයේ 27 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී සැමරුවේ එහි සාමාජික රටවල් හා සංවාද හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙනි. මෙවර දෙසතිය කවරයේ කතාබහ සිදු වන්නේ ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංගමය තම අරමුණු කොතෙක්දුරට සාධනය කරගෙන තිබේද? යන්න සහ එහි භූ දේශපාලනික පසුබිම විමසුමට ලක් කරමිනි.
ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ ආරම්භක දිනය පදනම් කර ගනිමින් සැමරෙන ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ 27 වැනි සංවත්සර දිනය (IORA day) ශ්‍රී ලංකාවේ සැමරුවේ ‘අනාගත පරම්පරාවන් සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම’ යන තේමාවට අනුව ය. 2024 මාර්තු මස 10 දින ගාලු මුවදොර පිටියේදී එම සැමරුම් දින උත්සවය සංවිධානය කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක් විය.
මෙහි ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබිණි. සාගර ජීවීන්ගේ හැඩයෙන් සමන්විත අලංකාර සරුංගල් අහසට මුදා හැරුණු අතර සිසුන්ගේ කලා නිර්මාණ 100ක් ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. සාගරයට සම්බන්ධ විවිධ ආයතනවල සාගර උපදේශන ප්‍රදර්ශන කුටි 76කින් ද ප්‍රදර්ශනය සමන්විත විය. ‘ඔබේ සාගරය දැනගන්න’ යන තේමාවෙන් පාසල් සිසුන් වෙනුවෙන් සාගර සවාරියක් ද පැවැත්විණි.
ඉන්දීය සාගරයේ අනන්‍යතාව
පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලයෙන් 20%ක් ආවරණය කරන්නේ ඉන්දීය සාගරයයි. එය උතුරින් ආසියාව, බටහිරින් අප්‍රිකාව සහ නැගෙනහිරින් ඕස්ටේ්‍රලියාවට යාවි තිබේ. ඉන්දීය සාගරය ‘නැගෙනහිර සාගරය’ ලෙස ද හඳුන්වා ඇත. එහි සාමාන්‍ය ගැඹුර මීටර 3741කි. භූ විද්‍යාවට අනුව ප්‍රධාන සාගර අතරින් ඉන්දීය සාගරය ලාබාල සාගරය ලෙස සැලකේ. ගෝලීය දේශගුණයට ද ඉන් වැඩි බලපෑමක් එල්ල කෙරේ. වඳවීමේ තර්ජනයට ලක් ව ඇති සාගර ජීවීන් රැසකගේ නිවහන වන්නේ ද ඉන්දීය සාගරයයි. සමුද්‍ර දූෂණය හා ධීවර කර්මාන්තය ද ඊට හේතු වී ඇත.
තුන්වැනි විශාලතම සාගරය ලෙස සැලකෙන ඉන්දීය සාගරය වෙළෙඳ මාර්ග සඳහා තෝතැන්නක් වී තිබේ. ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක්, තොග භාණ්ඩ ප්‍රවාහනයෙන් 1/3ක් සහ ලොව තෙල් නැව්ගත කිරීම්වලින් 2/3ක් සිදුවන්නේ ඉන්දීය සාගරය ඔස්සේ ය. ඒ අනුව ඉන්දීය සාගරය ජාත්‍යන්තර වෙළෙඳාමට සහ ප්‍රවාහනයට වැදගත් ජීවන මාර්ගයක් වී ඇත.
ඉතිහාසයේ සිට ම සාගරය ගෝලීය වෙළෙඳාම සහ වාණිජ කටයුතුවලදී ඉටු කර තිබෙන්නේ තීරණාත්මක කාර්යභාරයකි. මෙහි උපායමාර්ගික පිහිටීම හේතුවෙන් පුළුල් ආර්ථික අන්තර් ක්‍රියාකාරකම්වලට පහසුකම් සපයා ඇත. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල වසර ගණනාවක සිට වෙළෙඳාම ඇතුළු විවිධ අංශවල සම්බන්ධතා පවත්වා තිබේ. භාණ්ඩ, අදහස්, තාක්ෂණය හා සංස්කෘතික හුවමාරුව ද ඊට අයත් ය. වෙළඳාමේ ඇතිකරගත් වර්ධනය ගෝලීය ආර්ථිකයෙහි මූලිකයකු ලෙස නැගී සිටීමට හේතුවකි. ඉන්දීය සාගරයේ අතිවිශාල විභවතා හඳුනාගනිමින් විවිධ කලාපවල පවතින අවස්ථා ප්‍රයෝජනයට ගත හැකි ය.
කලාපීය එකමුතුව
ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානය ( Indian Ocean Rim Association – IORA) 1997 මාර්තු 07 දින පිහිටවූ අන්තර් රාජ්‍ය සංවිධානයකි. 1995 වසරේදී දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ඉන්දියාවේ සිදු කළ සංචාරයක් අතරතුර මෙහි දැක්ම පිළිබඳ මුල් ම අදහස නිර්මාණය විය. ඒ අනුව කලාපීය සහයෝගිතාව සඳහා වන මේ සංවිධානය ආරම්භ වූයේ ඉන් වසර දෙකකට පසුව ය. මොරිෂස් රාජ්‍යයේ මූලස්ථානය පිහිටුවා තිබෙන එහි සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 12ක් සිටින අතර සංගමයේ 27 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ එහි සභාපති ධුරය හිමි ව තිබෙන්නේ ශ්‍රී ලංකාවට ය.
ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයට අයත් රටවල බිලියන 2.7කට ආසන්න ජනතාවක් සිටින අතර භාෂා, ආගම්, සම්ප්‍රදායන් සහ කලා කටයුතුවලින් එය පොහොසත් ය. උප කලාප ගණනාවකට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානය විහිදී තිබේ. ඕස්ටේ්‍රලියාව, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, බටහිර ආසියාව, නැගෙනහිර සහ දකුණු අප්‍රිකා කලාප ඒ අතර වේ. සෑම කණ්ඩායමක ම ආසියාන් සහ සාක් සංවිධානය වැනි තවත් අමතර කලාපීය සංවිධාන දැක ගත හැකි ය.
මෙහි ඉහළ ම ආයතනය වන්නේ වාර්ෂික ව රැස්වන විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයයි. බංග්ලාදේශය 2021 නොවැම්බර් සිට 2023 නොවැම්බර් දක්වා එහි සභාපති ධුරය දැරී ය. න්‍යාය පත්‍රවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව රැස්වන්නේ වසරකට දෙවරක් වන අතර එහි ප්‍රතිපත්ති හා ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳ විමසා බැලීමට මූලිකත්වය ලබා දී ඇත.
සමුද්‍රීය ආරක්‍ෂාව මේ සංගමයේ ප්‍රමුඛ අරමුණකි. ඉන්දීය සාගර කලාපය වර්තමානය වන විට සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන අභියෝගවලට ලක් ව ඇත. මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම්, සන්නද්ධ කොල්ලකෑම්, ත්‍රස්තවාදී ක්‍රියා, මත්ද්‍රව්‍ය, ආයුධ හා මිනිස් ජාවාරම, නිති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, සාගර දූෂණය හා සාගර සම්පත් සූරා කෑම ඒ අතර කැපී පෙනේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සංගමයේ මූලික වගකීමකි.
ආර්ථික හවුල්කාරීත්වය ඉහළ නැංවීම වර්තමානයේ කාලීන අවශ්‍යතාවකි. එයින් ආර්ථික වශයෙන් බලපෑම් එල්ල වී ඇති රටවලට යම් සහනයක් ළඟා කර ගත හැකි ය. ඒ සඳහා ගිවිසුම්ගත වීමෙන් සාමාජික රටවල සහයෝගිතාව වර්ධනය කරගැනීමට එය ඉවහල් වේ. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ දැක්ම වන්නේ ඉන්දීය සාගර කලාපයේ වෙළෙඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම ඔස්සේ තිරසර ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ය. පවතින අභියෝගවලට සාර්ථක ව මුහුණදිය හැකි යාන්ත්‍රණයක් සකස් නොකිරීමෙන් වන්නේ ඊට අවශ්‍ය පසුබිම සකසා ගත නොහැකි වීම ය. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු කලාපයට ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වීම ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට තර්ජනයකි. එවැනි කරුණු පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු ය.
ඉන්දීය සාගරය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සඳහා ද විශාල දායකත්වයක් ලබා දී තිබේ. මිලියන ගණනක ජනතාවගේ පෝෂණය සඳහා ධීවර හා ඒ ආශ්‍රිත කර්මාන්ත දායක වේ. ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 13%කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ සංවිධානට අයත් සාමාජික රටවල් ය. අධික ලෙස මසුන් ඇල්ලීම හා දේශගුණ විපර්යාසවලින් සිදුවන බලපෑම් ගැන ද සංවිධානය සැලකිලිමත් විය යුතු වේ. නිසි කළමනාකරණයක් නොතිබීම ගැටලුවලට හේතුවකි. ඒ අනුව හවුල්කාරී සාමාජිකයන් එකිනෙකා සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතු අතර ඒ ඔස්සේ වගකීම් සහිත ව සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමට ද මැදිහත් විය හැකි ය.
ආපදා අවදානම් කළමනාකරණයට ද සංවිධානය මූලිකත්වය ලබා දී ඇත. හදිසි අවස්ථාවලින් එල්ල වන බලපෑම් අවම කිරීම සඳහා එය වැදගත් ය. ඉන්දීය සාගර කලාපයේ ආපදා අවදානම අවම කිරීමේ වැඩපිළිවෙළ ‘2015-2030 ආපදා අවදානම අවම කිරීම සඳහා වන සෙන්ඩායි (Sendai) රාමුවේ’ මූලධර්ම සමග සමපාත ව පවතී. සෙන්ඩායි රාමුව ලෙස සැලකෙන්නේ 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එක් වී සම්මත කළ ගෝලීය ගිවිසුමකි. එයින් අවධානය යොමු වන්නේ අපදා අවදානම අවම කිරීම, නව අවදානම් වැළැක්වීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙන් ම ආපදා සූදානම සහ ප්‍රතිචාරය වැඩිදියුණු කිරීම වැනි කරුණු පිළිබඳ ව ය.
ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයට අයත් රටවල සංස්කෘතික විවිධත්වය ද ඉහළ මට්ටමක පවතී. ඒවා හුවමාරු කර ගැනීම ද වැදගත් ය. ප්‍රජාව පාදක සංචාරක ව්‍යාපාරය සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ආදිය එයින් පෝෂණය කළ හැකි ය. ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද ඉන් පහසුකම් පවතී. සාමාජික රටවල් අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමෙන් වාසි අත්පත් කරගත හැකි වුවත් එය කොතෙක්දුරට ඉටුවී ඇති ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඉන්දීය සාගර කලාපය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබේ. විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයේ ද සැලකිය යුතු වර්ධනයක් පවතී. සාමාජික රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම හා පහසුකම් සැපයීමෙන් එකිනෙකාට ආවේණික වූ ප්‍රගතියක් අත්කර ගත හැකි ය. එය සාමුහික ප්‍රයත්නයක් වන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. 2022-2026 සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මෙන් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගත හැකි ය. ඊට උපායමාර්ගික ඉලක්ක ඉටු කර ගැනීම මූලික අවශ්‍යතාවකි. මේ සියලු කාර්යයන් සඳහා ඉන්දියාවට ද වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි ය. ඔවුන් වර්තමානයේ සංවිධානයේ උපසභාපති ධුරය දරන අතර 2025 වසරේදී සභාපති ධුරයට පත්වීමට නියමිත ය.
සාගර සම්පත් ආරක්ෂා කරමින් තිරසර සමාජ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමෙන් රටවල විවිධ ගැටලුවලට විසඳුම් සෙවීය හැකි වේ. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල නිල් ආර්ථිකය දියුණු කිරීම එහි ප්‍රධාන අවශ්‍යතාවකි. 2014 වසරේ සිට සාමාජික රටවල් ඒ පිළිබඳ අවධානය යොමු කර තිබේ. එහි ප්‍රගතිය පිළිබඳ ව ද විමසා බැලිය යුතු ය. කාන්තා ආර්ථිකය සවිබල ඉගැන්වීම ද මූලික කාර්යයකි. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංගමය ද එවැනි තීරණාත්මක කාර්යභාරයක් පිළිගෙන තිබේ. 2013 වසරේ සිට එම ඉලක්කය ළඟා කර ගැනීමට පියවර ගෙන ඇතත් බොහෝ රටවල් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේදී දැකගත හැකි වන්නේ මන්දගාමී ස්වභාවයකි. ඒ සඳහා ස්වාධීන මෙන් ම කලාපීය කාර්යභාරය ද ඉටු විය යුතු ය. 2022-2027 ක්‍රියාකාරී සැලැස්ම හඳුන්වා දී තිබෙන්නේ එම අරමුණ වෙනුවෙනි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ සවිබල ගැන්වීම්, කාන්තා අයිතීන් ආරක්ෂා කිරීම, කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයක ම හිංසන තුරන් කිරීම ආදිය ද ඊට අයත් ය. එහෙත් මේ තත්ත්ව ප්‍රායෝගික ව අත්පත් කර ගැනීම පිළිබඳ තවමත් පවතින්නේ ගැටලුකාරී ස්වභාවයකි.
කලාපීය සහ ජාත්‍යන්තර සාමය සුරැකීමේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබේ. 1971දී ඉන්දීය සාගර කලාපය සහ එහි ගුවන් කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට මුල් වීම එහිදී කැපී පෙනේ. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානය් ආරම්භක සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව ඊට එක් වූයේ 1997 වසරේදී ය. සංවිධානයේ ප්‍රඥප්තියට අනුව එහි මූලික අරමුණ වන්නේ ඉන්දීය සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම
සංවිධානයේ සාමාජික රටවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම 2023 ඔක්තෝබර් 09-10 දිනවල කොළඹදී පැවැත්විණි. එහි ප්‍රධානත්වය දැරුවේ විදේශ ලේකම් අරුණි විජයවර්ධනයි. සාමාජික රටවල් 23 ම ඊට සහභාගි වූ අතර සංවාද හවුල්කරුවන් සමග අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද එහි පැවැත්විණි. එහි අරමුණ වූයේ අනාගත සැලසුම් සමාලෝචනය කිරීම ය. මේ සංවිධානය ප්‍රබල ස්ථානයකට ගෙන ඒම සඳහා සාමාජිකයන් ගන්නා උත්සාහයට විදේශ ලේකම්වරිය සිය ස්තූතිය පළ කළ අතර 2003-2004 දක්වා මීට පෙර සභාපති ධුරය දැරූ ශ්‍රී ලංකාව යළිත් මෙවර එය භාර ගනිමින් ඉන්දීය සාගරය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන බව ද ඇය ප්‍රකාශ කළා ය.
23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ඉන් අනතුරු ව ය. ශ්‍රී ලංකාවට එහිදී සංවිධානයේ සභාපති ධුරය හිමි වූ අතර එහි මුලසුන දැරුවේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර ය. සංවිධානයේ ඉහළ ම තීරණ ගැනීමේ කමිටුව වන්නේ මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමයි. ඉන්දීය සාගර කලාපය ආශ්‍රිත රටවල සංවිධානයේ අලුත් ම සංවාද පාර්ශ්වකරුවා වූ සෞදි අරාබිය පළමු වරට මේ රැස්වීමට සහභාගි විය. සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සහ විසඳුම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සංවිධානයට නායකත්වය ලබාදෙන බව රැස්වීමේදී විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අභියෝගවලට මුහුණ දීම සඳහා සාමුහික උත්සාහයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළ කාරණයකි. රැස්වීම අවසානයේදී කොළඹ ප්‍රකාශය ප්‍රතිඵල ලේඛනය සම්මත කිරීම ද සිදුවිය. 2030 වසර දක්වා සහ ඉන් ඔබ්බට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳ ආවර්ජනය කිරීම සඳහා 2024 වසරේ නායක සමුළුවක් පැවැත්වීමට එහිදී අවධානය යොමු විය.
ගෝලීය අවධානය
ඉන්දීය සාගරයේ පවතින වැදගත්කම හේතුවෙන් ලෝක බලවතුන්ගේ විශේෂ අවධානය ඊට යොමු වී තිබේ. ඇමරිකාව සහ චීනය අතර පවතින බල අරගලය සමග සාමකාමී ඉන්දීය සාගර කලාපය ද ඔවුන්ගේ උපායමාර්ගික තරගවල හා බල දේශපාලනයේ වැදගත් කලාපයක් බවට පත් ව තිබේ. සීතල යුද සමයේදී ඇමරිකාවේ ව්‍යාප්තියට එරෙහි ව සෝවියට් සංගමයේ ක්‍රියාකාරකම් වර්ධනය විය. ඉන්පසුව චීනය ඇතුළු කලාපීය බලවතුන් සිය බලය වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදවලට එළඹ තිබේ. ඉන්දියාව ද කලාපීය බලවතාගේ භූමිකාවට පත් ව ඇත. තෙල් සංචිතවලින් 16.8%ක්, වායු සංචිතවලින් 27.9%ක් ඉන්දීය සාගරය ආශ්‍රිත ව පවතී. ගෝලීය යකඩ නිෂ්පාදනයෙන් 35.5%ක් අයත් වන්නේ ද මේ කලාපයට ය. මැද පෙරදිග, අප්‍රිකාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ ඇමරිකාව සම්බන්ධ කරන ප්‍රධාන මුහුදු මාර්ගවල නිවහන වන්නේ ද ඉන්දීය සාගරයයි. මේ අත්‍යාවශ්‍ය මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර වෙළෙඳාමට පහසුකම් සපයා තිබේ. සිංගප්පූරුව සහ ඩුබායිවල ප්‍රමුඛ වරාය බහාලුුම් ගමන් සඳහා පහසුකම් සපයා ඇත. ශ්‍රී ලංකාවේ වරායට ද මේ ගමන් ඔස්සේ සැලකිය යුතු වර්ධනයක් ලබාගත හැකි ය. එයින් උපයා ගන්නා විදේශ විනිමය ඉහළ නැංවීමේ හැකියාව ද පවතී.
ඉන්දීය සාගර කලාපයේ වඩාත් වැදගත් වෙළෙඳ හවුල්කරු බවට පත් ව සිටින්නේ චීනයයි. ඇමරිකාව සහ ජපානය වැනි රටවල් ද ඒ සඳහා ප්‍රවේශ වී ඇත. ආර්ථික හා දේශපාලන තරගය උත්සන්න වීමට එය ද හේතුවකි. මහා බලවතුන් අතර තරගය මෙන් ම ආරක්ෂක තර්ජන මතුවීම ද කලාපයට ගැටලු වී තිබේ. සාගර සම්පත් තිරසර නොවන ලෙස භාවිත කිරීම ද තර්ජනයකි. ප්‍රධාන ආර්ථික සහිත රටවල් පවතින සම්පත් උපරිම ලෙස ලබා ගැනීමට තරගයක නිරත වීම ගැටලුවකි. දකුණු චීන මුහුදේ මතු ව ඇති බල අරගලය වැනි සිදුවීම් උත්සන්න වුවහොත් කලාපයේ මුහුදු ගමන්වලට ද හානි සිදුවිය හැකි ය. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ද තර්ජනයක් විය හැකි ය. ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ අවධානය මෙවැනි කරුණු සඳහා ද යොමු විය යුතු ය.
බලවතුන්ගේ අරගල හේතුවෙන් කුඩා රාජ්‍යවලට එල්ල වන බලපෑම් අවම කිරීම වර්තමානයේ මූලික අවශ්‍යතාවකි. ආර්ථික සහ භූ දේශපාලනික වශයෙන් ඉන්දීය සාගර කලාපයේ ඇති වැදගත්කම හේතුවෙන් අනාගතයේ ද ලෝක අවධානය ඒ සඳහා යොමුවීමේ හැකියාව පවතී. භූගෝලීය ව්‍යුහය ද ඒ සඳහා බලපා ඇත. ඉන්දියාව, චීනය හා ඇමරිකාව වැනි රටවල ඔවුන්ගේ සමුද්‍ර උපායමාර්ගික කටයුතුවලදී ඉන්දීය සාගරය ගැන විශේෂ අවධානිය යොමු කර තිබේ. කලාපයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට ද මේ බලවතුන් කැපවී ඇත. නේටෝ සංවිධානයට අයත් රටවල් ද සිය ගමන් මාර්ග සඳහා ඉන්දීය සාගරය තෝරාගෙන ඇත. ශක්තිමත් මුහුදු බලයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය භූ දේශපාලනික උපාය මාර්ගයකි.
එංගලන්තය වැනි රටවල අතීත ක්‍රියාමාර්ගවලින් එය පැහැදිලි කරගත හැකි ය. මේ දේශපාලනික රටා තීරණය කළ හැකි වන්නේ ආර්ථික හා තාක්ෂණික හැකියාව, ජාත්‍යන්තර මහජන මතය, ජාත්‍යන්තර නීතිය, කලාපීය හා ගෝලීය බල තුලනය අතර සම්බන්ධතා ඇති කර ගැනීමෙනි. චීනය සිය වෙළෙඳ කටයුතු ඉන්දීය සාගරය මත සිදුකරන අතර ඇමරිකාවට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ හා තෙල් මත තීරණාත්මක යැපීමක් සිදුකිරීමේ කලාපයක් ලෙස ද ඉන්දීය සාගරයට අවධානය යොමු කර තිබේ. ඉන්දියාව වඩාත් වාසිදායක ලෙස ඉන්දීය සාගරය සිය භාවිතය සඳහා යොදා ගනිමින් සිටින ආකාරය දැක ගත හැකි ය.
මේ සියලු පාර්ශ්ව ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ සාමාජිකයන් මෙන් ම සංවාද පාර්ශ්වකරුවන් ලෙස සිටීම විශේෂත්වයකි. වෙනස් වන ආරක්ෂක හා ආර්ථික උපායමාර්ග හමුවේ අනෙකුත් සාමාජිකයන්ට බලපෑම් එල්ල නොවී පවත්වා ගැනීම මූලික අවශ්‍යතාවකි. ජාතික ආරක්ෂාව ඉටු කර ගැනීමේදී ඉන්දීය සාගර සම්පත් ඉහළ මට්ටමින් දායක කරගත හැකි ය. කලාපීය සංවිධානයක් ලෙස ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ විශේෂ අවධානය ඒ සඳහා යොමු විය යුතු ය. එසේ වන්නේ ඒකාබද්ධ වැඩපිළිවෙළකින් සිය ජයග්‍රහණ අත්පත් කර ගැනීම පහසු වන බැවිනි.