ආර්ථිකයේ නව දිශානතිය
- දීප්ත කුමාර බටගොඩ
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( International Monetary Fund -IMF) සහයෝගය ලබා ගත්තේ ඇති වූ ආර්ථීක අර්බුදයත් සමග ඊට විකල්ප විසඳුමක් නොමැති වූ අවස්ථාවකයි. ශ්‍රී ලංකාව ඔවුන් සමග ඇතිකර ගත් එකඟතාව අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත විය. ඒ, අත්පත් කරගන්නා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව වාරික හතරකින් එම මුදල ලබා දීමේ පොරොන්දුව මතයි. එහි තුන් වැනි වාරිකය වන ඩොලර් මිලියන 336ක මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොබෝදා ක්‍රියා කළේ ශ්‍රී ලංකාව එලෙස කිසියම් ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටින බව ප්‍රකාශ කරමිනුයි. මෙවර දෙසතිය කවරයේ කතාව සැකසෙන්නේ ඒ පිළිබඳ විමසුමට ලක් කරමිනි.
ශ්‍රී ලංකාව පසුගිය කාලවකවානුවේ මුහුණදුන්නේ ඉතිහාසයේ අන් කවරදාකවත් නොවූ විරූ අර්බුදකාරී තත්ත්වයකටයි. 2022 වර්ෂයේදී එහි උච්චතම අවස්ථාවට ළඟා විය. ශ්‍රී ලංකා දේශපාලනයේත් ආර්ථිකයේත් සමාජයේත් විශාල බිඳ වැටීමක් එකවර සිදු වූ පළමු අවස්ථාව ද මෙය විය හැකියි. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් උත්තේජනය වූ ආර්ථික අර්බුදය නිසා නිෂ්පාදනය සහ ආනයනය ඇන හිටි අතර රටේ විශාල භාණ්ඩ හිගයක් නිර්මාණය විය. මේ නිසා භාණ්ඩ ලබා ගැනීම සඳහා විශාල පෝලිම් මෙන් ම එමගින් විවිධ සමාජ ගැටලු ද ඇති වෙමින් තිබුණි. කළුකඩ වෙළෙඳපොළ (Black Market) හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට සිදු වූයේ ඉහළ මිල ගණන්වලට ය. සියලු කාරණාවල ප්‍රතිඵලය වූයේ ජනතාව පැවති පාලන තන්ත්‍රයට විරෝධය දැක්වීමයි. මේ නිසා හටගත් දේශපාලන අර්බුදයෙන් එවක ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු විය.
අර්බුදයට හේතු දක්වන බොහෝ විද්වතුන්ගේ අදහස් විමර්ශනය කරන විට, ඔවුන් බොහෝදුරට එක හා සමාන අදහස් දරන බව පෙනී යයි. ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථීක උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග පවසන ආකාරයට දිගු කාලයක් තිස්සේ පැවති රාජ්‍ය අයවැය හිඟයත් ගෙවුම් ශේෂ හිඟයත් ආර්ථිකයේ පැවති ව්‍යුහාත්මක දුර්වලතාවනුත් මේ සඳහා හේතු වී තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ රටේ රාජ්‍ය මූල්‍ය විනයක් නොතිබීමත් ඒ සඳහා උචිත නීති සම්පාදනය නොවීම හා සම්පාදනය වූ නීති ක්‍රියාත්මක වීමේදී තිබූ දුර්වලතා ආර්ථික අර්බුදය නිර්මාණය වීම සඳහා හේතුපාදක වූ බව ය. රටේ රාජ්‍ය මූල්‍ය විනයක් නොපැවතීම අර්බුදයට එක් හේතුවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙයි. දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් හා ආයතන වාර්තා අනුව ද පෙනී යන්නේ දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පැවති අභ්‍යන්තර හා බාහිර අසමතුලිතතාත් ඒ සඳහා රුකුල් දෙන ව්‍යුහාත්මක සාධකත් අර්බුදයට හේතු වී තිබෙන බවයි.
අර්බුදයට හේතුව ගැටලු ත්‍රිත්වයක්
විශ්ලේෂණාත්මක ව බලන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ගැටලු තුනක් පවතින බව පෙනී යයි. පළමු වැන්න දිගුකාලීන ව පවතින රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න දිගුකාලීන ව පවතින ගෙවුම් ශේෂ හිඟය වන අතර තුන් වැන්න මේ තත්ත්වය හේතුවෙන් රජය අඛණ්ඩ ව ණය ගැනීම නිසා ඇති ව තිබෙන ණය සේවාකරණ ගැටලුවයි. ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය නමැති ගොඩනැගිල්ල ඉදි වී තිබෙන්නේ මේ තුන් ආකාර ගැටලු නමැති කුලුනු ත්‍රිත්වය මතයි. ඒ අනුව අර්බුදයෙන් ගොඩ ඒමටනම්ල එසේත් නැතහොත් අර්බුදය නමැති ගොඩනැගිල්ල විනාශ කර දැමීමටනම් ගැටලු නැමති මේ කුලුනු කඩා බිඳ දැමිය යුතුයි. ඒ සඳහා තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අතර එම ප්‍රතිපත්තිමය තීරණ උපාය මාර්ගික සැලසුමක් අනුව ක්‍රියාත්මක කළ යුතු වේ. එසේ ම නිරන්තර ඇගයීමට ලක් කිරීමෙන් සැඟ වී තිබෙන ගැටලු කල්තියා හඳුනාගෙන කම්පනවලට ඔරොත්තු දෙන තරමේ ආර්ථික පරිසරයක් ඇති කළ හැකි වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම ක්‍රියාත්මක විය යුත්තේ ඒ සඳහායි.
දිගුකාලීන අයවැය හිඟය
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බොහෝ විට දක්නට ලැබුණේ සුභ සාධන ආර්ථික පිළිවෙතකි. මේ නිසා රාජ්‍ය අදායම අභිභවා රාජ්‍ය වියදම් ඉහළ යාමෙන් දිගින් දිගට ම දක්නට ලැබුණේ විශාල අයවැය පරතරයකි. සාමාන්‍යයෙන් එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් පමණ විය. මෙහි ප්‍රතිඵලය වූයේ අයවැය හිගය පියවා ගැනීම සඳහා ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි. ණය මත පෙළඹීම හා මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම මෙහිදී සිදු කෙරිණි. ආර්ථිකයේ නව මුදල් තොගයක් සංසරණය වීම සහ දේශීය හා විදේශීය භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යාමත් සමග එයට අනුගාමී ව නිෂ්පාදනය ඉහළ නොයාමේ අනිවාර්ය ප්‍රතිඵලය උද්ධමනයයි. උද්ධමනයට අමතර ව, දේශීය ඉල්ලුම ආනයනික භාණ්ඩ මත පෙළඹීමෙන් ගෙවුම් ශේෂයට ද අමතර බරක් පැටවීමට හැකියාව තිබේ. 2022 වසර වන විට ජාත්‍යන්තර ණය ශ්‍රේණීගත කිරීම් ආයතන විසින් ශ්‍රී ලංකාව පහළ ස්ථරයකට පත් කිරීම නිසා රජයට ණය ගැනීමේ හැකියාව ද අවම වූ අතර එහි ප්‍රතිඵලය වූයේ අයවැය පියවා ගැනීමේ එකම මාර්ගය මුදල් මුද්‍රණය කිරීමයි. 2019න් පසුව සිදු කළ බදු ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ශ්‍රී ලංකාව ලෝකයේ පහළම බදු ආදායම සහිත රට බවට පත් වූ අතර, එමගින් සමස්ත රාජ්‍ය අදායම ද පහළ ගියේ ය.
දිගුකාලීන වෙළෙඳ ශේෂයේ හිඟය
1977න් පසු අනුමගනය කරන්නට යෙදුණු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාමට එක් වූ අතර ප්‍රධාන වශයෙන් ආනයන අපනයන ආර්ථිකයක් මත යැපෙන රටක් බවට ද පත් විය. මේ නිසා රටේ අවශ්‍යතා සඳහා ඇති ඉල්ලුම දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටම දක්වා පුළුල් වී තිබේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 20ක් පමණ වේ. මෙය පියවා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙනි. එයින් අදහස් වන්නේ අවම වශයෙන් ඩොලර් බිලියන 20කවත් අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට තිබිය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික අපනයන ආදායම වන්නේ ඩොලර් බිලියන 12ක් තරම් අඩු අගයකි. මේ නිසා වෙළෙඳ ශේෂයේ දැකිය හැකි වූයේ හිඟයකි. මේ හිඟය පියවා ගැනීම සඳහා ණය මත පෙළඹීම හැර අන් දෙයක් නැත. මේ තත්ත්වය අඛණ්ඩ ව සිදු වීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රටට අනවශ්‍ය ණය බරක් ඇති වීමයි. ආනයනය කරන්නේ ආයෝජන භාණ්ඩ පමණක්නම් ඉදිරි කාලයකදී රටේ නිෂ්පාදනය ඉහළ ගොස් ජාතික ආදාමේ ඉහළ යාමෙන් එම තත්ත්වය සමනය වේයැයි උපකල්පනය කළ හැකි වුවත් අන්තර් භාණ්ඩ මෙන් ම විශාල වශයෙන් පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීමෙන් ඉපයීමකින් තොර ව පරිභෝජනය කිරීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව පත් ව තිබේ. 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ සමජීවිකතා පිළිවෙත (ආදායමට සරිලන වියදමක්) පවත්වාගෙන නොයාම නිසා ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදයකට මුහුණ දී ඇති බවයි. ඒ නිසා අදායමට සරිලන වියදමක් ඇති කර ගැනීම හා වියදම් කළමනාකරණයෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම අනිවාර්ය සාධකයක් බව ඔහු පෙන්වා දී තිබේ.
රාජ්‍ය ණය බර ඉහළ යාම
දිගුකාලීන අයවැය හිඟය සහ වෙළෙඳ හිඟය පියවා ගැනීමටත් අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහාත් ශ්‍රී ලංකාව දිගින් දිගට ම ණය මත පෙළඹීම දක්නට ලැබේ. අඩු ආදායම්ලාභී රටක් වශයෙන් පවතින කාලවකවානුවේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහනදායි ණය ලබා ගැනීමේ යම් හැකියාවක් තිබුණත් මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වීමත් සමඟ එම වාසිය අත්විඳීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මේ නිසා වෙළෙඳපොළ ණය මත පෙළඹීමට සිදු වූ අතර මෙහිදී ඉහළ පොලී අනුපාතිකයක් යටතේ ණය ගැනීම සිදු විය. විදේශීය ණය ගෙවීම සඳහා අපනයන ආදායම ණය ගැනීමට අනුගාමී ව ඉහළ යායුතු වුවත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ එවැනි වර්ධනයක් සිදු වූයේ නැත. කොවිඩ් 19 වසංගතයත් සමග දළ නිල සංචිතය ද ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමට සිදු වීමයි. එපමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ වැටී ගොස් තිබූ නිසා ණයවර ලිපි නිකුත් කිරීම පවා කළ නොහැකි විය.
IMF සහයෝගය
ශ්‍රී ලංකා ආර්ථිකයේ දෘශ්‍යමාන වූ ගැටලුවලින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූයේ රජයේ ණය සේවාකරණ ගැටලුවයි. අපනයන ආදායම පහළ යාමත් විදේශ සංචිත විශාල වශයෙන් හිඟ වීමත් නිසා විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට 2022 වසර වන විට ශ්‍රී ලංකාව පත් වී තිබුණි. මේ නිසා 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සිදු විය. ඒ සමග ම පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම දෙසට ශ්‍රී ලංකාව තල්ලු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින මූලික ගැටලු සඳහා විසඳුම් සහ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමටත් එය යථාවත් කර ගැනීම සඳහාත් ශ්‍රී ලංකාව විසින් ප්‍රධාන එකඟතා කිහිපයකට යොමුවන ලදි. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා රජයේ බදු ආදායම ඉහළ දැමීම, අත්‍යාවශ්‍ය හා නාස්තිකාර රාජ්‍ය වියදම් කපා හැරීම, රජයේ දූෂණ හා වංචා අවම කිරීමට පියවර ගැනීම, අවදානම් පිරිස්වල සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි කාරණා එම කාලයේ සමාජයේ දැඩි කතාබහට ද ලක් විය. විශේෂයෙන් රජයේ නව බදු ප්‍රතිපත්තිය විශාල වශයෙන් කතාබහට ලක් වූ අතර ඒ සඳහා විරෝධතා ද එල්ල වුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා එකඟතාවක් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවට තිබූ ප්‍රධානම අභියෝගය වශයෙන් දැක්විය හැකි ය. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යම් යම් ගැටලු පැන නැගී තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකය යථාවත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කොන්දේසි සමග එකඟවෙමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහුසකමක් අනුමත කරගෙන තිබුණි. එම ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවල ප්‍රගතිය අනුව වාරික කිහිපයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. ඒ අනුව මේ වන විට වාරික දෙකක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර එහි තුන් වැනි වාරිකය පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඡැඑැර ඊරුමැර; “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්, මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ සිව්වැනි උපදේශනය සහ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළා. ඒ අනුව ඩොලර් මිලියන 336ක ක්ෂණික ප්‍රවේශයක් සඳහා ශ්‍රී ලංකාව විවෘත වී තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රමාණාත්මක ඉලක්කවලින් එක් ඉලක්කයක් හැර අනෙකුත් සියලු ම ඉලක්ක සම්පූර්ණ කර තිබෙනවා. බොහොමයක් වෙනස්කම් අවම වශයෙන් ප්‍රමාදයකින් පසුව හෝ ඉටු කරගෙන තිබෙනවා. එය ශක්තිමත් කාර්යසාධනයක්. එසේ වුවත් ආර්ථිකය තවදුරටත් අවදානම් සහගත තත්ත්වයකයි පසු වන්නේ. ණය තිරසරබව ඇති කරගැනීම සඳහා යන මාවත තියුණු පිහිතලයක් මත ගමන් කිරීමක් වැනියි. ඒ අනුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අඛණ්ඩ ව ලබා දෙනවා.”
IMF සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
2022 අප්‍රේල් 12 දින ණය ගෙවීමේ නොහැකියාව පිළිබඳ ශ්‍රී ලංකාව නිල වශයෙන් ලෝකයට ප්‍රකාශ කිරීමත් සමග පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටියේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනයත් සමග ඒ සඳහා වූ ක්‍රියාපිළිවෙත වඩාත් ඉක්මන් වූ අතර මාස 07ක් වැනි කාලයකදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ක්‍රියාපිළිවෙත පිළිබඳ කොන්දේසී කිහිපයකට එකඟවීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම, රාජ්‍ය ආදායම පුළුල් කිරීම හා බදු ප්‍රතිසංස්කරණ ඇති කිරීම, වංචා හා දූෂණ විරෝධී නීති සම්පාදනය, අවදානම් පිරිස් සුරක්ෂිත කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතනවල මිල ගණන්, පිරිවැය පිළිබිඹු වන පරිදි තීරණය වීමට ඉඩ හැරීම සහ වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇතිකරගත් ගිවිසුම සමග ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදලක් සඳහා එකඟතාව ඇති කරගෙන තිබූ අතර මෙහි වාසිය ඇත්තේ ලැබෙන මුදල් ප්‍රමාණය මත නොව එමගින් ලැබෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ඇති වීම මතයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පැහැදිලි හා ස්ථාවර ගමන් මාර්ගයක යන බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති වන විශ්වාසය හේතුවෙන් ජාත්‍යන්තරය සමග වූ ගනුදෙනු පෙර මෙන් ම විශ්වාසයකින් යුතු ව පවත්වාගෙන යා හැකි වනු ඇත. එය අන්‍යෝන්‍ය වශයෙන් ඇති වන සබඳතාවකි. IMF වැඩපිළිවෙළ නිසා ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාස ඇති වීමෙන් ගනුදෙනු පහසු වන අතර ම එම විශ්වාසය නිසා ම IMF වැඩපිළිවෙළ ද සාර්ථක වීමට රුකුලක් වනු ඇත. ඇතිකරගත් එකඟතා ඒ ආකාරයෙන් ම ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ඇති එක ම මාර්ගය වී තිබේ.
ඒ අනුව IMF වැඩසටහනට අවශ්‍ය නීති සම්පාදනය, බදු ප්‍රතිංස්කරණ ඇති කිරීම, දූෂණ විරෝධී නීති සම්පාදනය, පිරිවැය දෘශ්‍ය මිල ක්‍රමයට ඉඩ දීම, අවදානම් පිරිස් (අඩු ආදායම්ලාභීන්) සඳහා සමාජ ආරක්ෂණ ක්‍රම හඳුන්වා දීම, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ස්වාධීන ව සිදු කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීම හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ක්‍රියා කිරීම යනාදි පියවර ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරමින් සිටී.
වත්මන් ප්‍රතිඵල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා අනුව සැකසූ ආර්ථික වැඩපිළිවෙළෙහි බොහෝ විට ඇත්තේ කෙටිකාලීන ව ඉතාමත් වේදනාකාරී අත්දැකීම් ලබාදෙන ප්‍රතිසංස්කරණ බව අපි අත්දැකීමෙන් ම දනිමු. ඒවා අතර මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීම සහ අනුගමනය කරන ලද දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිසංස්කරණ නිසා වෙනදා බදු නොගෙවූ පිරිස්වලට පවා බදු ගෙවීමට සිදු වීම, පිරිවැය දෘශ්‍ය මිල ක්‍රමය නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ වන විදුලිය, ජලය, ඉන්ධන මිල ඉහළ යාමෙන් ජීවන වියදම දැරිය නොහැකි මට්ටමින් ඉහළ යාම ආදී තත්ත්ව රටේ සියලු ජනතාව අත්විඳි කටුක අත්දැකීම් අතර ස්මරණය කළ හැකි අත්දැකීම් වේ. එහෙත් අද වන විට එම කටුක වේදනා පූර්ණ වශයෙන් ඉවත් වීමක් සිදු නොවුණ ද යම් ආකාරයක සහනයක් ඇති ව තිබෙන බවක් පෙනී යයි. භාණ්ඩ හා සේවා මිල ගණන්වල ඉහළ යාම (උද්ධමනය) තනි ඉලක්කමක් දක්වා පහළ ගොස් තිබේ. භාණ්ඩ හා සේවා පෝලිමකින් තොර ව ලබා ගැනීමේ හැකියාව තිබේ. අඩු ආදායම්ලාභී පිරිස් සඳහා යම්තාක්දුරකට හෝ සහනයක් වීමට වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබේ. සමස්තයක් වශයෙන් ගතහොත් ආර්ථිකය මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කර ගත හැකි පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් ව ඇති බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත්වීම තවම සිදු නොවූවත් ඒ සඳහා වන ගමන් මාර්ගයට පිවිස ඇති බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යයි. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ (දළ දේශීය නිෂ්පාදනය) සියයට 7.8ක සංකෝචනයක් ඇති වුණේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි බාහිර කම්පනවලට ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු නොදෙන තත්ත්වයක පැවති නිසා බව විද්වතුන්ගේ මතය වී තිබේ. ඒ සඳහා හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ දිගු කාලයක් පැවති දුර්වල ආර්ථික කළමනාකරණයයි. 1970 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඍණ වර්ධනයක් (-0.4) වාර්තා වීමෙන් පසුව මුල්වරට ඍණ වර්ධනයක් පෙන්නුම් කළේ 2001 වර්ෂයේදීයි. එය සියයට ඍණ 1.5කි. ඉන්පසුව නැවතත් 2019 වර්ෂයේදී සහ 2022 වර්ෂයේදී ඍණ වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. එසේ වුවත් 2023 වර්සයේ අවසන් කාර්තුවේදී සහ 2024 වර්ෂයේ පළමු කාර්තුවේදී නැවත ආර්ථිකයේ ධන වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා හේතු වූ ප්‍රධානතම කරුණ ලෙසින් ඔවුන් දක්වා ඇත්තේ 2023 වර්ෂයේ මුල් කාර්තුවට සාපෙක්ෂ ව 2024 මුල් කාර්තුවේ වඩාත් හිතකර ආර්ථික පරිසරයක් ඇති වීමයි. 2023 වර්ෂයේ පැවති ඉහළ උද්ධමනය පහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය අවම වීම, පොලී අනුපාතිකය පහළ යාම, විදේශ මුදල් වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව ඉහළ යාම, ආනයනික භාණ්ඩ කෙරෙහි පනවා තිබූ නීති ලිහිල් වීම වැනි කරුණු වඩාත් හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කර තිබේ. සංචාරක කර්මාන්තයේ සිදු වූ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් එහි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සලකා බලන ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනේ ම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබීම ද රජය විසින් මෙතක් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා කළමනාකරණ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසින් සැලකීම වරදක් නොවේ.
මේ ආකාරයට ම 2022 වර්ෂයේ අගභාගයේ සියයට 70කට ආසන්න වූ උද්ධමනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් 2023 මැද භාගය වන විට තනි ඉලක්කමක් දක්වා අඩු විය. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට තම මුදල් ප්‍රතිපත්ති යම්දුරකට ලිහිල් කිරීමට හැකියාව ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාතිකය ද සැලකිය යුතු ලෙසින් පහළ ගොස් තිබේ.
2022 වසරේදී රුපියල සියයට 45කින් පමණ අවප්‍රමාණය විය. එම නිසා විනිමය අනුපාතිකයේ හැසිරීම ආර්ථිකයේ තවත් ගැටලු රාශියක් නිර්මාණය කරමින් තිබුණි. විදේශ සංචිත හිඟවීමෙන් සහ බැංකු පද්ධතියෙහි විදේශ විනිමය හිඟ වීම නිසාත් ආර්ථික ගැටලු පමණක් නොව සමාජ සංස්ථාවේ ද ගැටලු රාශියක් නිර්මාණය කර තිබුණි. අද වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ දමා ගැනීමට සමත් ව තිබෙන අතර විදේශ ප්‍රේෂණ ද සැලකිය යුතු ලෙසින් ඉහළ යාමක් පෙන්නුම් කරයි. පාස්කු ප්‍රහාරයත් සමග අර්බුදයට ලක්වෙමින් තිබූ සංචාරක කර්මාන්තය ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යන්ගේ හැසිරීම කිසියම් ආකාරයක හිතකර මට්ටමක් කරා ළඟා වෙමින් පවතී.
අර්බුදයට හේතු වූ ප්‍රධාන ගැටලු ත්‍රිත්වය ආමන්ත්‍රණය කිරීම පිළිබඳ සලකා බැලුවහොත් රාජ්‍ය අයැවැය හිඟය අවම කර ගැනීම සහ වෙළෙඳ ශේෂයේ හිඟය අවම කර ගැනීම දෙසට ආමන්ත්‍රණය කර තිබුණත් ආමන්ත්‍රණය කළ යුතු නිවැරදි ම ස්ථාන සඳහා රජයේ අවධානය යොමු වීම තවමත් සිදු වී නොමැති බව පෙනී යයි. රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීම සිදු කළ ද බදු අය කළ යුතු සහ අය කළ හැකි සෑම පුද්ගලයකුගෙන් ම බදු අය කිරීමට තරම් බදු ක්‍රමය සූක්ෂ්ම ව ක්‍රියාත්මක වනවා ද යන්න ගැටලුවක් ව පවතී. වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයකු සඳහා බදු ලිපි ගොනුවක් විවෘත කිරීම පිළිබඳ කතාබහ කළත් තවමත් එය සිදු ව නැත. වෙළෙඳ ශේෂ හිඟය අවම කර ගැනීම සඳහා ආනයන පාලනයට වඩා අපනයන පුළුල් කිරීම ඔස්සේ අපනයන ආදායම ඉහළ දැමීමට රජයේ අවධානය මෙයට වඩා යොමු විය යුතු වේ. අනාගතයේ දිනක ණය සේවාකරණය නැවතත් ආරම්භ කිරීමට සිදු වනු ඇත. ඒ සඳහා සූදානම් වීමටනම් අපනයන ආදායම පවතින තත්ත්වයට වඩා ඉහළ දමා ගැනීමට ක්‍රියා කිරීම අනිවාර්ය වේ. මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ; “මෑතකාලීන ව අපනයන ආදායම විශාල ලෙසින් ඉහළ නොගියත් රජය ඒ සඳහා අවධානය යොමු කර නොමැත යන්න ඉන් පැවසෙන්නේ නැහැ. නව ආර්ථික පරිවර්තන පනතේ ඒ සඳහා වන යෝජනා රාශියක් තිබෙනවා. අවශ්‍ය වන්නේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමයි.”
ශ්‍රී ලංකා ආර්ථිකයේ දෘශ්‍යමාන තත්ත්වයේ යම් සන්සුන් බවක් හා සහනශීලී බවක් මේ වන විට පෙනී යන බව වසන් කළ නොහැකි සත්‍යයකි. එසේ වුවත් අවදානම තවමත් පහ ව ගොස් නැති බව ද අප අවබෝධ කර ගත යුතු ය. එය, පහර දීමට සුදුසු අවස්ථාවක් බලමින් සිටින සතුරකු සේ සැඟ ව සිටින බව යටිපෙළ විශ්ලේෂණයකදී පෙනී යනු ඇත. සතුරාට පහර දීමට දුර්වල අවස්ථාවක් ලබා නොදීම සැමගේ වගකීමයි.