#දේශපාලන

අහිමි විප්ලවයක මතක

  • වසන්ත දිසානායක

1971 තරුණ කැරැල්ලට වසර 54ක්. අඩසියවසකට අධික කාලයක් ඉකුත් ව තිබුණත් ‘ලාංකේය දේශපාලනයේ අදටත් එය විමර්ශනයට ලක් කළ යුතු සංසිද්ධියක් ය’ යන්න බැහැර කරන්නට බැහැ.

ඇතැමුන් පවසන පරිදි 71 කැරැල්ල යනු හුදෙක් ඊට නායකත්වය දුන් ජවිපෙහි නායකයා වූ රෝහණ විජේවීර නමැති පුද්ගලයාගේ නිර්මාණයක් ම යයි කිව නොහැකියි. එහිලා ඊට දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය බලය වූ ජවිපෙට නායකත්වය දුන් රෝහණ විජේවීරගේ සුවිශේෂ චින්තන ධාරාව තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කළ බව සත්‍ය කරුණක්. එනම් සිය චින්තනයට අනුව කියවාගත් හා අවබෝධකර ගත් මාක්ස්වාදය, අධිරාජ්‍ය විරෝධය, දේශප්‍රේමය, ඉන්දියානු ව්‍යාප්තවාද විරෝධය, කඳු රට දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු ව්‍යාප්තවාදී ප්‍රතිවිප්ලවීය හස්තයක් ලෙස ගත් දේශප්‍රේමී ප්‍රවේශය, ඉක්මනින් දේශපාලන බලය අත්පත් කර ගැනීමේ සුළු ධනේශ්වර ආවේශය යනාදිය නිර්මාණය කර ගත් විජේවීර චින්තනය ද අන් බොහෝ එවැනි නායකයන්ට වඩා විජේවීර සතු වූ ඇතැම් නායකත්ව හැකියාව ඇතුළු වෙනත් පුද්ගල බද්ධ හැකියා ද මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. විජේවීරගේ මේ සුවිශේෂ චින්තනය කැටිකොට ඉදිරිපත් කෙරුණේ ඔහු විසින් නිර්මාණය කරන ලද ‘ආර්ථික අර්බුදය’, ‘නිදහස’, ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’, ‘ලංකාවේ වාමාංශික ව්‍යාපාරය’, ‘ලාංකීය විප්ලවය ගත යුතු මග’ නම් වූ එකල ඒවාට සවන් දුන් බොහෝදෙනා කිසියම් අන්දමකින් මෝහනයට පත් කළ සුප්‍රසිද්ධ පංති පහෙන්. එසේ වුවත් එම චින්තනය මෙරට සිංහල තරුණ ජනයාගෙන් සැලකිය යුතු තරම් කොටසක්, එනම් විසි තිස් දහසක් පමණ තරුණ බලවේගයක් ආකර්ෂණය කර ගනිමින් හා බලමුළු ගන්වාලමින් දේශපාලන බලය සඳහා අවි ගෙන සටන් වැදීමට සූදානම් ද්‍රව්‍යමය බලයක් බවට පත් කිරීමට හැකි වූයේ දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පැවති මනෝබද්ධ හා විෂයබද්ධ තත්ත්ව සමූහයක් ද හේතු කොටගෙන.


ජවිපෙ බිහි වූ වකවානුව ලොව විප්ලවීය වඩදිය රැල්ලක් මෝදුවෙමින් පැවති වකවානුවක්. එය ඉන්දු චීනයේ (වියට්නාමය, කාම්බෝජය හා ලාඕසය ඇතුළත් කලාපයේ), ලතින් ඇමරිකා කලාපයේ, අප්‍රිකාවේ හා මැද පෙරදිග කලාපයේ ජනතාව අධිරාජ්‍යවාදයට හා අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහි ව කරගෙන යමින් තිබූ විප්ලවීය අරගල උච්චස්ථානයකට නැගෙමින් තිබූ වකවානුවක්. විශේෂයෙන් කියුබානු විප්ලවය, බොලීවියාව ඇතුළු ලතින් ඇමරිකාව පුරා නැගෙමින් තිබූ විප්ලවීය අරගල, චේ ගුවේරාගේ ඝාතනය, වියට්නාම් ජනතාව ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට හා එහි ගැති පාලකයන්ට එරෙහි ව ගෙන යමින් තිබූ විප්ලවීය අරගලය, පලස්තීන ජනතාව ආක්‍රමණික යුදෙව්වාදයට එරෙහි ව ගෙන ගිය විප්ලවීය අරගලය, චීනයේ සංස්කෘතික විප්ලවය, ඉන්දියාවේ නක්සල්බාරයෙන් ඇරඹී පැතිර යමින් තිබූ විප්ලවීය ක්‍රියාදාමය, 1968 ප්‍රංශයේ සටන්කාමී ශිෂ්‍ය අරගලය, පාලක පංති සාමකාමී ක්‍රම වෙනසකට ඉඩ නොදෙන බවට වූ ඉන්දුනීසියාවේ හා චිලියේ අත්දැකීම් වැනි සිදුවීම් දාමය පෙන්නුම් කළේ මේ වකවානුවේ ලොව විප්ලවීය මනෝභාවයක් ගොඩ නැගෙමින් තිබූ අයුරු. මේ විප්ලවීය මනෝභාවය ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ වර්ධනය වී තිබූ ප්‍රතිසංස්කරණවාදී රැල්ලට එරෙහි ව පැන නැගුණක් වූ අතර එය නිරායාස ව ම මෙරටට ද ගලා එමින් විශේෂයෙන් තරුණ ක්‍රියාකාරීන් ආකර්ෂණය කරමින් ප්‍රකාශයට පත් වන්නට වුණා.
මේ අනුව මෙරට මුල් වාමාංශික ව්‍යාපාරය තුළ පැන නැගුණු ධනේශ්වර පක්ෂ සමග සන්ධානගත වීමේ සභාගවාදී දේශපාලන අපගමනයට එරෙහි ව වමේ ව්‍යාපාරය තුළ සටන්කාමී වාම ප්‍රවණතා මතුවන්නට වුණා. මේ ප්‍රවණතා සමත් වුණේ අප රටේ තරුණ ජනයාගේ, විශේෂයෙන් සරසවි සිසුන් ඇතුළු උගත් තරුණ ජනයාගේ සැලකිය යුතු ස්ථරයක් ආකර්ෂණය කිරීමට. මෙහිදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමාජවාදී ශිෂ්‍ය සංගමය කැපී පෙනෙන භූමිකාවක් නියෝජනය කළ අතර නව විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට පවා මුලපිරූ අයුරු නිරීක්ෂණය කරන්නට පුළුවන්. විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ජයවර්ධනපුර) හා කොළඹ යන විශ්වවිද්‍යාල තුළ ද මෙවැනි ප්‍රවණතා පැන නැගෙමින් තිබුණා.
මේ සියල්ල පෙළ ගැසෙන්නට වූයේ පළමු ව දෘෂ්ටිමය ප්‍රවණතා වශයෙන්. ඒවා භෞතික බලයක් බවට පත් විය හැකි ව තිබුණේ අදාළ විෂයබද්ධ සාධකවල වැඩීමක් සමග අතිනතගෙන. මේ සාධකවල වැඩීමක් මේ වකවානුවේ ලොව පුරා දෘශ්‍යමාන වුණා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ඒවා දළ වශයෙන් මෙසේ සංක්ෂිප්ත කරන්නට පුළුවන්.


විශේෂයෙන් 1965 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරු ව රටේ එතෙක් පැවති ආර්ථිකයේ අර්බුදය වඩාත් තීව්‍ර වන්නට පටන් ගත්තා. මේ කාලයේ ජනතාවට එතෙක් ලැබුණු සහල් සහනාධාරය කප්පාදු කිරීම, රුපියල අවප්‍රමාණ කිරීම ඇතුළු පියවර ගණනාවක් නිසා භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීම, වැඩි වන ජීවන වියදම් හා ජනයාගේ මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි සේ ජනයාගේ ආදායම් අඩු වීම හා ආදායම් උපයන පහළ පාංතිකයන්ගේ මූර්ත ආදායම් හා වැටුප් පහළ වැටීම, ජනයා පෙළන විශේෂයෙන් ගොවි ජනයා පෙළන ණය බර තීව්‍ර වීම, ආදායම් විෂමතාවත් දිළිඳු බවත් සමාජ අසාධාරණයත් වැඩී යාම, රැකියා විරහිතභාවය නැගී වර්ධනය වීම දක්නට ලැබුණා.


රැකියා විරහිතභාවය වර්ධනය වීම විශේෂයෙන් ඍජු ව ම තරුණ ජනයා කෙරෙහි ඇති කළේ තියුණු අවිනිශ්චිත හා බලාපොරොත්තු බිඳ දමන ලද තත්ත්වයක්. මේ කාලයේ උද්ගත වුණේ උපාධිධාරීන්ට පවා රැකියා නැති වන තත්ත්වයක්. මේ තත්ත්වය විශ්වවිද්‍යාල සිසුන් හා උසස් පෙළ සිසුන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළා.


අධිරාජ්‍ය ගැති ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තිය පණ ගැන්වීම, ඒකාධිපති දේශපාලන බලාධිපත්‍යයක් ස්ථාපිත කිරීමේ නැඹුරුවක් පෙන්නුම් කිරීම, 1948 බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් රටට යම් නිදහසක් ලැබුණත් එය සැබෑ නිදහසක් නොවන බවත් යටත්විජිත පාලනයක් වෙනුවට නව යටත්විජිත පාලනයක් මේ නිදහස යටතේ ක්‍රියාත්මක ව තිබෙන බවත් දක්නට ලැබීම ආදී වශයෙන් වූ විෂයබද්ධ හේතු සමුදායක් ද ජවිපෙට දෘෂ්ටිමය පමණක් නොව භෞතිකමය බලයක් බවට පත්වෙමින් පාලකයන්ට එරෙහි ව කැරලි ගසා නැගී සිටීමට අවශ්‍ය භෞතිකමය පෙළඹුම ලබා දුන්නා.


මේ වන විට කැරලි ගසා නැගී සිටීමේ වුවමනාවෙන් සන්නද්ධ අරගලයක් සඳහා ක්‍රියාකාරී වූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් ම නොවෙයි. පෙරදිග සුළඟ, ගිනි පුපුර වැනි තවත් කණ්ඩායම් කිහිපයක් ද ඒ සඳහා ක්‍රියාකාරී වෙමින් සිටියා. ඔවුන් සූදානම් වෙමින් සිටියේ ජවිපෙ මෙන් හදිසි නැගී සිටීමකින් නොව දිග්ගැස්සුණ මහජන යුද්ධයකින් (චීනයේ මෙන්) රාජ්‍ය බලය අල්ලා ගැනීමට. එහෙත් තරුණ ජනයාගෙන් සාපේක්ෂ වැඩි පිරිසක් ආකර්ෂණය කර ගත හැකි වූයේ හදිසි කැරලි ගසා නැගිටීමකින් දේශපාලන බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් ගත් ජවිපෙට. මෙහිලා රෝහණ විජේවීර විසින් නිර්මාණය කරන ලද ‘ලාංකීය විප්ලවය ගත යුතු මග’ නම් පංතියෙන් කැටි කර ඉදිරිපත් කරන ලද උපාය මාර්ගික ප්‍රවේශය කඩිනම් අපේක්ෂා සහිත තරුණ ජනයා වඩාත් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ බව පවසන්නට පුළුවන්. ඒ අනුව 1971 කැරල්ල යනු විජේවීර චින්තනය සහ එදා පැවති දේශීය හා ජාත්‍යන්තර සමාජ ආර්ථික දේශපාලන තත්ත්ව සමූහයක් එකට කැටි වීමක නිශ්චිත ප්‍රකාශනයක් මෙන් ම එය මෙරට සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයේ ම ඵලයක් ද ලෙස හඳුන්වන්නට පුළුවන්.