අස්වැසුමෙන් අස්වැසුම


හිරුනි කළුආරච්චි
සහකාර කොමසාරිස් (සමාජ ආරක්ෂණ)
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය අතීතයේ සිට ම ක්‍රියාත්මක වන්නේ මූලික අවශ්‍යතා සහ ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා. ඒ, ජාතික ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කරමින් ආර්ථික හා සමාජීය වශයෙන් අවදානම් සහගත ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරමින් ඔවුන් බලගැන්වීමට.
පත් වන විවිධ ආණ්ඩු සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා නව අංග සහ වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා. එයින් සහතික කෙරෙන්නේ ජන ජීවිතයට පෝෂණය, ආරක්ෂාව සහ විශ්වාසය. 2023 වසරේ සිට සමාජ ආරක්ෂණයට නව මුහුණුවරක් හඳුන්වා දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සමගාමී ව ලෝක බැංකු ආධාර සහ මාර්ගෝපදේශ යටතේ ඩිජිටල්කරණය වූ දත්ත පද්ධතියක් (ඒකාබද්ධ සුබසාධක කළමනාකරණ පද්ධතිය) සහිත ව ‘අස්වැසුම’ වැඩසටහන ඇරඹෙනවා. මෙය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාර ව පිහිටුවන ලද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ මැදිහත්වීමෙන්.
ලාංකික ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම මෙහි අපේක්ෂාවක්. එනම්, බැංකු ගිණුම් වෙත ප්‍රතිලාභී මුදල් මුදා හැරීමෙන් නෝට්ටු භාවිතයෙන් ඔබ්බට ගිය විනිවිදභාවයෙන් යුතු බැංකු පද්ධතිය හා බැඳුණු ආර්ථික සංවර්ධනයක් උදෙසා වන පිළිවෙතක් එහිදී අනුගමනය කරන්නට පුළුවන්. එමෙන් ම පාරදෘශ්‍ය පද්ධතියක් ඔස්සේ මුදල් හුවමාරු වීමෙන් අනිසි දේශපාලනික බලපෑම් සහ අනෙකුත් බාධා කිරීමවලින් තොර ව සමාජ ආරක්ෂණය වඩාත් ම අවැසි, සුදුසු පුද්ගලයා වෙත ලබා දිය හැකි වීම මෙහි විශේෂත්වයක්.
සමාජ ආරක්ෂණය යනු දරිද්‍රතාවේ මූල හේතු විසඳීමට, අවදානමට ලක්විය හැකි ප්‍රජාව සවිබල ගැන්වීමට සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට පරිවර්තනීය යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන මූල්‍ය ආධාර ඉක්මවා යන අත්‍යවශ්‍ය මෙවලමක්. ‘අස්වැසුම’ වැඩසටහනින් මේ පුළුල් දැක්ම නිදර්ශනය කරන්නේ ආර්ථික වශයෙන් අවාසි සහගත පවුල් සඳහා ඉලක්කගත සහය ලබාදෙමින් සමාජ ප්‍රවේශ සහ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම. එමගින් දරිද්‍රතා චක්‍රයෙන් මිදීමට ඔවුන්ට උපකාර කරමින්, වඩාත් ම ආන්තික කණ්ඩායම්වලට සම්පත් සහ අවස්ථා වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමෙන් සමාජයේ ව්‍යුහාත්මක අසමානතා ආමන්ත්‍රණය කරනවා. එසේ ම ‘අස්වැසුම’ ප්‍රජාව, ප්‍රාදේශීය ආයතන සහ රජය අතර විශ්වාසය සහ සහයෝගිතාව ගොඩනඟා ගනිමින් සාමුහික ක්‍රියාකාරකම් සහ අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීමෙන් ශක්තිමත් කරන්නේ සමාජ ප්‍රාග්ධනය. ‘අස්වැසුම’ කෙටිකාලීන සහනවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලාංකික සමාජයේ දිගුකාලීන යහපැවැත්මට සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවට දායක වනවා.
‘අස්වැසුම’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය යටතේ දියත් කරන ලද සුවිශේෂ මුලපිරීමක්. මෙහි ප්‍රතිලාභ බෙදා හැරීම සිදු වන්නේ ඉතා සූක්ෂ්ම ලෙස ඩිජිටල්කරණය වූ පද්ධතියක් හරහා. පවුල් ඒකකවල නිශ්චිත තොරතුරු පදනම් කරගනිමින් සකස් කර ඇති මේ වැඩසටහනේ දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සහ ග්‍රාමීය වසම් මට්ටමේ දායකත්වය ලබා ගැනෙනවා. මෙහි දත්ත රැස් කෙරෙන්නේ සංගණන ඔස්සේ. දත්ත යාවත්කාලීන කිරීම, අභියාචනා සහ විරෝධතා භාර ගැනීම, අවධානයට යොමු කිරීම සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමෙන් මේ වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කෙරෙනවා.
මෙහි ඉලක්ක කරන ප්‍රජාව මෙලෙස අවදානම්සහගත ප්‍රජාවක් බවට පත් වීමට බලපෑ හේතු තිබෙන්නේ ගණනාවක්.
ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සමාන ලෙස ජනතාව අතර ගලා නොයාම, විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් ඇති විය හැකි ආදායම් විෂමතාවේ බලපෑම, මෑතකාලීන ව සිදු වූ ආර්ථික අර්බුදය වැඩි වශයෙන් බලපෑ සමාජ කාණ්ඩ පුළුල් වීම ඊට හේතු.
මෙහි පළමු අදියර වන්නේ 2022 වසරේදී සිදු කළ වැඩසටහනේ ආරම්භය. මේ අදියරේදී රටේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආර්ථික සහය අවශ්‍ය පවුල් තක්සේරු කර හඳුනා ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත් කැඳවූ අතර ජංගම මෘදුකාංගයක් භාවිතයෙන් සිදු කළ සංගණනයෙන් පසුව ආර්ථික හා සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි පවුල් ක්‍රමානුකූල ව වර්ගීකරණයක් සිදු කෙරුණා. එය සිදු කරන ලද්දේ 2022 අංක 2302/23 දරන ගැසට් පත්‍රයෙන් දක්වා ඇති මාන 6 සහ දර්ශක 22 පදනම් කරගෙන රැස් කරගත් දත්ත අනුව ලකුණු ලබා දීමේ ක්‍රමවේදයකින්. එහිදී ඩිජිටල් පද්ධතිය ඔස්සේ ස්වයංක්‍රීය ව දරිද්‍රතා ලකුණු ගණනය වීම සිදුවෙනවා. එමඟින් ප්‍රතිලාභ සඳහා තේරී පත් වන අයදුම්කරුවන් බෙදා වෙන් කෙරෙන්නේ කාණ්ඩ 4කට. ඒ, අන්ත දුප්පත්, දුප්පත්, සංක්‍රාන්තික සහ අවදානම්සහගත යනාදී වශයෙන්. ඉන්පසු ඒ ඒ කාණ්ඩයට අදාළ ප්‍රතිලාභය ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් යවනු ලබනවා.
දෙවැනි අදියරේදී ද ඉහත ක්‍රමයට ම අයදුම්පත් කැඳවා සංගණය සඳහා මේ වන විට අප සූදානම්. එහිදී නව රජය යටතේ ප්‍රතිලාභී දීමනාව වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයට ප්‍රතිලාභය සඳහා පවුල් එකතු කරගනිමින් අවදානමට ලක් වූ සියලු ම පවුල් අවරණය කරගන්නා සේ ම පවතින දත්ත යාවත්කාලීන කරමින් යම් ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගත් පවුල් මෙයින් ඉවත් කිරීම සඳහා දත්ත නැවත තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ද පළමු හා දෙවැනි අදියරවලදී සිදුවනවා. ඒ ඔස්සේ සමාජ ආරක්ෂණයේ මූලික සිද්ධාන්ත වන සමානාත්මතාව සහ සාධාරණත්වය ආරක්ෂා කරමින් ප්‍රජාවට අවැසි සමාජ රැකවරණය ලබා දෙන්නට පුළුවන්.
‘අස්වැසුම’ වැඩසටහනේ යම් යම් අභියෝග මතු වීමට බලපෑ මූලික ම කාරණය වන්නේ මේ ක්‍රමවේදය ලංකාවට නව අත්දැකීමක් වීම. එයට සරිලන ආකාරයට බිම් මට්ටමේ සහ රාජ්‍ය අංශයේ කාර්ය සුදුනම් වී නොතිබීම, වැඩසටහන පිළිබඳ දැනුවත්භාවයේ අඩුපාඩුකම්, පුද්ගල ආකල්ප එයට අනුගත නොවීම ආදී කාරණා ද මීට බලපෑවා. ඩිජිටල්කරණය වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳ පවතින නොදැනුවත්කම සහ එය පිළිගැනීමට බිම් මට්ටමේ තිබූ උදාසීන බව මතු වූ විවිධ ගැටලුවලට හේතු වුණා. එහෙත් ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාවලිය ඔස්සේ හඳුනාගත් අඩුපාඩු නිවැරදි කරමින් වඩා ඵලදායී මාර්ගයක මේ වැඩසටහන ගමන් කරමින් තිබෙනවා.

ප්‍රතිලාභ ලබන මෙවැනි සමාජ කාණ්ඩවලට අයත් අවදානමට ලක් වූ ජනකොටස් සඳහා අඛණ්ඩ ව ප්‍රතිලාභ ලබා දීම වෙනුවට ඔවුන් යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමෙන් ශක්තිමත් ප්‍රජාවක් ඇති කිරීමයි රජයේ අරමුණ. ඒ සඳහා සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හා ඒ යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවට වගකීම පවරා තිබෙනවා. එහිදී අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කරන්නේ ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇති ව දේශීය අරමුදල් ද යොදා ගනිමින්.
එම වැඩසටහන්වල සාර්ථකත්වය මත ඉදිරියේදී සහනාධාර ලැබිය යුතු පවුල් සංඛ්‍යාව හෝ පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වනු ඇති අතර සත්‍ය වශයෙන් ම සමාජය රැකබලාගත යුතු දැඩි අවදානමකට ලක්වූ ආබාධිත, නිදන්ගත රෝගවලින් පෙළෙන සහ වයෝවෘද්ධ වැනි ප්‍රජාව සඳහා පමණක් සුබසාධක වැඩසටහන් ව්‍යාප්ත වනු ඇති. එවිට ඉඩප්‍රස්ථාව සැලසෙනු ඇත්තේ ඉතිරි වන අරමුදල් යොදාගෙන රටේ සංවර්ධනය සඳහා රාජ්‍ය ආදායම වැඩි වශයෙන් වැය කිරීමට.
මේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරලීම රටෙහි සමාජ ආරක්ෂණයේ නව පිම්මක් වනු ඇති. ඒ, එය ගෝලීය ආර්ථිකය හා සබැඳි ඩිජිටල්කරණය මුසුවු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් වන හෙයින්.