#ආර්ථික

අර්බුදය මතින් ඉදිරි ගමන

දීප්ත කුමාර බටගොඩ

(ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ 2023.12.15 දින ‘ආර්ථික අර්බුදය මතින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන’ මැයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේදී පවත්වන ලද දේශනය ඇසුරින්)

ආචාර්ය නන්දලාල් වීරසිංහ
අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

පහළ ආදායම් තත්ත්වයේ සිට ශ්‍රී ලංකාව මැදි ආදායම් කලාපයේ රටක් බවට පත් වීමෙන් සහන පොලියට ණය ලබා ගැනීමේ හැකියාව ද අවම වුණා. 2005-06 කාලයේදී සහනදායී ණය 95%ක් වන විට සහනදායී නොවන ණය (වාණිජ ණය) පැවතියේ 5%ක් පමණ. 2014-15 වන විට වාණිජ පදනම මත වූ ණය 50%ක් තරම් ඉහළ ගියා. ණය ලබා ගැනීම රටක් නොකළ යුත්තක් නොවූවත් ඒම ණය ආයෝජනය කිරීමෙන් විනිමය ඉපයීමක් සිදු විය යුතු වනවා. එවිට ණය සේවාකරණය පිළිබඳ ගැටලු ඇතිවන්නේ නැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයේ සහ ගෙවුම් ශේෂ ලේඛනයේ පැවති ද්විත්ව හිඟතාව නිසා එවැන්නක් සිදු වූයේ නැහැ.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ අසමතුලිත තත්ත්වයක් සහ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබුණා 1970 ගණන්වල සිට. රාජ්‍ය ආදායමට වඩා වියදම විශාල වූ නිසා විශාල අයවැය හිගයක් ද පැවතුණා. මේ හිගය පියවා ගැනීම සිදු වුණේ ණය ලබා ගැනීමෙන් නිසා රාජ්‍ය ණය බර ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. ගෙවුම් ශේෂයේ හිගයක් ඇතිවූයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන්. මේ නිසා විදේශ විනිමය අර්බුදයකට මුහුණපෑමටත් ශ්‍රී ලංකාවට සිදු වුණා. ශ්‍රී ලංකාව ද්විත්ව හිඟතාව (Twin Deficit Hypothesis) තත්ත්වයට මුහුණදෙමින් සිටින රටක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙය පර්යේෂණාත්මක ව ද තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණදෙමින් තිබූ තත්ත්වයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගට ම පාඩු ලැබීම. මෙය රාජ්‍ය අයවැය මත හෝ බැංකු පද්ධතිය මත පීඩනයක් ඇති කිරීමට හේතු වනවා.

2019-20 කාලය වන විට කොවිඩ් වසංගත‌යේ බලපෑම, බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා රාජ්‍ය ආදායම අවම වීම, පැවති ආර්ථික තත්ත්වය නිසා විදේශ ණය ලබා ගැනීමේ අපහසුතාව වැනි හේතු නිසා රජය දේශීය වශයෙන් ණය ලබා ගැනීමට පෙළඹුණා. මේ කාලයේ ශ්‍රී ලංකාවට රටේ විදේශ සංචිත පවත්වාගෙන යාමේ අසීරු තත්ත්වයකට මුහුණපෑමටත් සිදු වුණා. මේ නිසා 2020 වන විට කාලයක් පැවති අර්බුදය කොවිඩ් තත්ත්වයත් යම් යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසාත් පුපුරා යාමකට ලක් වුණා. ඒ සමග ම ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථිකමය හා සමාජීය වශයෙන් ගැටලු රාශියක් ඇති වුණා. විදේශ විනිමය හිඟතාව නිසා බැංකුවලට ණයවර ලිපි නිකුත් කිරීමේ හැකියාව අවම වී තිබුණා. ඇතැම් බැංකු ඊක්ජන ඛසිඑ කර තිබුණා. ණයවර ලිපි නිකුත් කිරීමේ නොහැකියාව නිසා ඉන්ධන නැව් ඉන්ධන සැපයීම සිදු කළේ නැහැ. භාණ්ඩ හිඟ වුණා. ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. මේ තත්ත්වය නිසා ක්ෂණික ව විනිමය අනුපාතිකය පාවෙන්නට ඉඩ හැර තිබුණා. මෙවැනි පසුබිමක එවකට ශ්‍රී ලංකා ජනධිපතිවරයා ජාත්‍යන්තර අරමුදලෙන් කිසියම් සහනයක් ඉල්ලා තිබුණත් එය ලැබුණේ නැහැ.

මා මහබැංකු අධිපතිවරයා වශයෙන් පත් වුණේ මෙවැනි මොහොතක. සියලු‍ තත්ත්ව සලකා බැලීමෙන් පසුවයි අසීරු වුවත් යම් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට අප එළැඹියේ. පළමුවෙන් ම කළේ 7%ක් ව තිබූ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 14%කට ඉහළ දැමීම. ඉන්පසුව රජයත් සමග සාකච්ඡා කර තාවකාලික ව ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවීමට තීරණය කළා. ඒ, ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි නිල විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 25ක් පමණ නිසා. එහෙත් ඉදිරි මාස 12ක කාලයේ ඩොලර් බිලියන 6ක ණය ගෙවිය යුතු ව තිබුණා. සැබවින් ම කෙටිකාලීණ ණය පවා ගෙවීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට එවකට තිබුණේ නැහැ. මෙය එම අවස්ථාවේ ගතයුතු ව තිබූ හොඳම තීරණය කියා මා විශ්වාස කරනවා.

ණය ගෙවීම තාවකාලික ව අත්හිටුවීමෙන් පසුව යම්කිසි කාලයකදී නැවත එම ණය ගෙවිය යුතු වනවා. ණය හිමිකරුවන් සමග සාකච්ඡා කරමින් ඒ සඳහා යම්කිසි සහනයක් ලබා ගැනීමයි මේ කාල පරිච්ඡේදයේදී සිදු වන්නේ. ඉදිරියේදී නැවත ණය ගෙවීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවට ණයහිමිකරුවන්ට යම්කිසි තහවුරු කිරීමක් ද අවශ්‍ය වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ මේ නිසා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් පිළිබඳ ව සමාජයේ යම්කිසි වාදයක් ඇති ව තිබෙනවා. සිදුකරන ලද වෙනස්කම් නිසා ඇති ව තිබෙන ප්‍රතිඵල දෘශ්‍යමාන වුවත් එය සිදු නොකළා නම් ඇති විය හැකි ප්‍රතිඵල දෘශ්‍යමාන වන්නේ නැහැ (Counter Factual). ඒ සඳහා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතනවල වගකීම වන්නේ මේ තත්ත්ව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා ඉතා අහිතකර ප්‍රතිඵල පවතින බව මා පිළිගන්නවා. උද්ධමනය 70%ක් වුණා. ආර්ථිකය සංකෝචනය වුණා. විනිමය අනුපාතිකය ඉහළ ගියා. රැකියා අවස්ථා අහිමි වුණා. ජීවන වියදම ඉහළ ගියා. එහෙත් එසේ නොකළා නම් ඊට වඩා භයානක ප්‍රතිඵල අත්විඳින්න තිබුණා. මේ වන විට ආර්ථිකය ඉහළට ගමන් කිරීමේ ගමන ආරම්භ කිරීමට අවශ්‍ය තත්ත්වය සැකසී තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වයේ සිටිනවා යන්නෙන් ණයහිමිකරුවන් වෙත ලබා දෙන සහතිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලට වඩා, ශ්‍රී ලංකාවට වැදගත්. විදේශීය ණය ප්‍රතිව්‍යුගතරකණයේදී චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා ඒකඟතාව පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වයේ ශ්‍රී ලංකාව සිටින නිසා. ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් වසර 10 ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 17ක පමණ සහනයක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. එය අප වැනි රටකට විශාල සහනයක්. සාමාන්‍ය පරිදි ණය ගෙවීමට සිදු වූවා නම් රට ආගාධයටයි ගමන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව මේ නිසා පෙනී යනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සහතිකය (පළමු ණය වාරිකය) 2023 මාර්තු මාසයේදීත් දෙවැනි සහතිකය දෙසැම්බර් 12 දිනත් ලබාගෙන තිබෙනවා.

මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වසර හතරක කාලයක්. මෙය අතරමග නවතාලන්නට බැහැ. ණය සහනය ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාව එකඟ වී තිබෙන වැඩසටහන අඛණ්ඩ ව ක්‍රියාත්මක කළහොත් පමණයි. එම එකඟතාව බිඳ දැමුවහොත් ණය හිමියන්ට සහ ජාත්‍යන්තර අරමුදලට හැකියාව තිබෙනවා ණය සහනය ලබා නොදී නැවත සාමාන්‍ය පරිදි ණය ගෙවීම සිදු කරන ලෙස ප්‍රකාශ කරන්න. එහෙත් සාමාන්‍ය පරිදි ණය ගෙවීමට රට සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතු වනවා. ඒ සඳහා ගත වන්නේ යම් කාලයක්.

මේ නිසා ජනතාවට වේදනාකාරී ප්‍රතිපත්ති හා තීරණ කිහිපයක් ම ගන්නට සිදු ව තිබෙනවා. ඒ, බදු ඉහළ දැමීම, රාජ්‍ය වියදම් අඩු කිරීම, භාණ්ඩ සඳහා ලබාදෙන සහනාධාර (ඉන්ධන, විදුලිය) කපා දැමීම හා ඒවා වෙළෙඳපොළ මිලට නිකුත් කිරීම, ආනයන සීමා කිරීම ආදියෙන්. මේවා ඉතාමත් වේදනාකාරී ප්‍රතිපත්ති වුවත් එවැනි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නොගත්තා නම් ප්‍රතිපලය වෙනස් වන්නට තිබුණා.

ලෝක බැංකුව පුරෝකථනය කළේ 9.2%කින් ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසර මුලදී සංකෝචනය වන බවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 8.7%කින් සංකෝචනය විය හැකි බව ප්‍රකාශ කළා. එහෙත් 8%ට වඩා අඩු මට්ටමක සංකෝචනය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ උද්ධමනය තනි ඉලක්කමට පැමිණීමට 2024 වන තෙක් බලා සිටිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබුණා. එහෙත් 2023 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට රැගෙන ඒමට හැකි වුණා. මේ ආකාරයට ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වුවත් ස්වාධීන ආයතනවල පුරෝකථනයන් පවා තිබුණේ කිසියම් ආකාරයක ඍණාත්මක නැඹුරුවකට. එහෙත් ප්‍රතිසංස්කරණවලින් කෙටි කාලයක් තුළ පුරෝකථනවලට සාපේක්ෂ ව කිසියම් ආකාරයක ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. එයට ප්‍රධානම හේතුව වූයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසියම් විශ්වාසයකින් යුතු ව මහජනතාව ඉවසීමෙන් ක්‍රියා කිරීම.
තවමත් ප්‍රමාණවත් නොවුණත් අප නිල සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තිබෙනවා. උද්ධමනය පහළ අගයකට රැගෙනවිත් තිබෙනවා. අයවැය හිගයේ යම් පාලනයක් ඇති කරගෙන තිබෙනවා. බැංකු පද්ධතියේ විදේශ විනිමය හිගයක් නැහැ. සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදේශ ප්‍රේෂණවල ඉහළ යාම, බැංකු පද්ධතිය ස්ථාවර ව පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. එය තවදුරටත් ශක්තිමත් කළ යුත්තක්. පොලී අනුපාතිකය නැවත පහළ යාමෙන් ණය ගැනීමේ හැකියාව මෙන් ම ණය ලබාගත් පුද්ගලයන්ට ඒවා ගෙවීම සඳහා යම් සහනයක් ලැබෙමින් පවතිනවා. මෙවැනි අවස්ථාවක ඉහළ ම පීඩනයට ලක් ව තිබෙන අඩු ආදායම්ලාභීන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. ඉහළ ආදායම්ලාභීන්ගේ බදු මුදලිනුයි මෙවැන්නක් කළ හැකි වන්නේ. ඒ සඳහා බදු ආදායම ඉහළ දැමිය යුතු වුවත් එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් ආවරණය විය යුත්තක්. ආර්ථීක විද්‍යාඥයකු ලෙසින් මා දකින්නේ පුද්ගලයකු දැරිය යුතු බදු බර අවම කර ගැනීමට පවතින හොඳම ක්‍රමය නම් බදු බර සියලු‍ දෙනා අතර බෙදා ගැනීම. ඒ හැර බදු බර අඩු කර ගැනීමට වෙනත් ක්‍රමයක් නැහැ.
ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළ යුතු මාර්ගය පිළිබඳ ව ඇතුළත් අපේ ඉදිරි වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙන්නේ වසර හතරකට. මෙහිදී ආණ්ඩුකරණ අක්‍රමිකතාව වළක්වා ගත යුතු වනවා. මේ නිසයි රාජ්‍ය බදු දැලෙන් පැන යාමට හැකියාව තිබෙන්නේ. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම, මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවර ව පවත්වා ගැනීම, බැංකු පද්ධතියේ ස්ථායිතාව, සමාජ ආරක්ෂණය පවත්වා ගැනීම (අඩු ආදායම්ලාභීන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම), ආණ්ඩුකරණ අක්‍රමිකතා අවම කිරීම ඉදිරි වැඩපිළිවෙළට අයත්.


2024 වර්ෂයේදී වාණිජ ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසුව ශ්‍රී ලංකාවට තිබෙන්නේ නැවතත් ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන ආදායම් තත්ත්වය ඉහළ දමා ගැනීමෙන් ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ළඟා කර ගැනීමේ ක්‍රියාවලියට එළැඹීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රටේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ සැලසුමක් නැහැ. එය සත්‍යයක්. ආර්ථිකයේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කර ගැනීම කළ යුත්තේ ශ්‍රී ලංකාව විසින් ම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සිදු කරන්නේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට අප ඉදිරිපත් කරන යෝජනාවලිය අනුමත කිරීම පමණයි. එයින් ජාත්‍යන්තරයට යම් සහතිකයක් සහ සුබදායි ඉඟියක් ලබා දෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා වන වැඩපිළිවෙළෙහි ඇත්තේ රටේ සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කර ගන්නා ආකාරය පිළිබඳවත් ණය තිරසරභාවය ඇති කර ගැනීම පිළිබඳවත් වන කාරණා.

ශ්‍රී ලංකාව 16 වතාවේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගත්තේ ගෙවුම් ශේෂයේ ඇති වූ යම් අර්බුදකාරී තත්ත්ව සමනය කර ගැනීමට. ඒ සෑම අවස්ථාවක ම ගෙවුම් ශේෂ අර්බුයෙන් සහනයක් ලැබූ විගස එම වැඩපිළිවෙළ අඛණ්ඩ ව ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ නිසයි මෙවැනි තත්ත්වයකට රට පත් ව තිබෙන්නේ. මෙවර ගෙවුම් ශේෂ අර්බුදය සමග ම ණය අර්බුදයක් ද ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙනවා. මේ නිසා ඉදිරි වසර 10 කාලයේ හෝ ණය තිරසරභාවය ද පවත්වා ගත යුතු ව තිබෙනවා. පෙර අත්දැකීම් පාඩමක් ලෙස ගෙන මේ වැඩපිළිවෙළ අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි මෙයින් පෙනී යන්නේ.

අර්බුදය මතින් ඉදිරි ගමන

මාවතට මාවතක්