අරගල ගීතය
‘අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ’ යන ග්‍රන්ථය ලෝකයේ පුරවැසි සමාජ දේශපාලන අරගල පදනම් ව භාවිත වූ ගීත සම්බන්ධ අධ්‍යයනයක්. මාධ්‍යවේදී කපිල එම් ගමගේ විසින් රචනා කරන ලද මේ ග්‍රන්ථයෙන් ලෝකයේ පුරවැසි අරගලවල ව්‍යාප්තිය, ජීවගුණය හා අනුප්‍රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදු කළා ද යන්න සියුම් ව සොයා බලනවා.
මෙය ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රකට මහජන අරගලයක් වන 2022 ගෝල්ෆෙස් අරගලය කේන්ද්‍රකරගෙන සම්පාදනය කළ ග්රන්ථයක්. පුරවැසි දේශපාලන අරගල යනු කුමක්ද?, ලෝකයේ චිර ප්‍රසිද්ධ සමාජ දේශපාලන අරගල සඳහා පාදක වූ ගීත, එම අරගල ගීතයන්හි ධනාත්මක සමාජ දේශපාලන බලපෑම සහ ඒවායේ සෘණාත්මක සමාජ දේශපාලන බලපෑම මෙහිදී සාකච්ඡා වෙනවා.
පුරවැසි දේශපාලන අරගලයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නොඑසේනම් සමාජ හෝ දේශපාලන හෝ වෙනසක් සඳහා වැඩ කරන්නට පුරවැසියන් ගන්නා උත්සාහයක්. මෙවැනි අවස්ථාවල මහජන නැගිටීම සිදුවන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක්, සාමුහික ව රජයට හෝ යම් අධිකාරියකට හෝ එරෙහි ව තමන්ගේ ආතතිය, අතෘප්තිය, පීඩනය, දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමෙන්.
මෙහිදී කතුවරයා විශේෂයෙන් 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ ආරම්භ වූ ‘අරාබි වසන්තය’ අරගලය පිළිබඳ ව විශ්ලේෂණය කරමින් ඒ ඔස්සේ ගෝල්ෆේස් අරගලයට පිවිසෙනවා. එහිදී මේ අරගල පිටාව තුළ ගීතය යන සන්නිවේදන මාධ්‍යය කොතරම්දුරට මහජන පෙලඹවීමට, මහජන අදහස් සමාජගත කිරීමට බලපෑම් කර තිබේ ද? යන්න විමසීමට ලක් කරනවා.
පුරවැසි දේශපාලන අරගලයේ ස්වභාවය හා එහිදී භාවිත විධික්රම මෙන් ම දේශපාලන හා සමාජය සන්දර්භය සහ ඊට සම්බන්ධිත විශේෂ ගැටලු පුද්ගල කණ්ඩායම්වල අරමුණු මත සාකච්ඡා කිරීමක් ද මෙහි දක්නට පුළුවන්. එය ධනාත්මක ස්වරූපයක්. විශේෂයෙන් දේශපාලන භූ දර්ශනය හැඩ ගැසීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට පුරවැසියන් ක්‍රියාකාරී වීම ප්රජාතන්ත්රවාදී සමාජයේ මූලික අංගයක්. පුරවැසි අරගල යනු එහි ප්‍රකාශිත ස්වරූපයක්. එම ප්‍රකාශිත ස්වරූපය තුළ ගීතය යන කලා මාධ්‍යයේ සන්නිවේදන ලක්ෂණ විමසීම බෙහෙවින් ම කාලෝචිත වූවක්. එමෙන් ම මෙතෙක් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකික සාහිත්‍යයේ සාකච්ඡාවට බඳුන් නොවූ ඉසව්වක් පිළිබඳ මෙවැනි ග්රන්ථයක් ලිවීම ද පැසසිය යුත්තක්.
ගීතය යනු මිනිස් හැඟීම් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් වන අතර ම ඒ ඔස්සේ විවිධ සමාජ ප්‍රශ්න ස්පර්ශ කිරීමට ද හැකියාව තිබෙනවා. විශේෂයෙන් සමාජ වෙනසක් සඳහා වන අරගල හෝ එවැනි ව්‍යාපාරවලදී හෝ ගීත භාවිතයේ පවතින වැදගත් අරමුණු මෙහිදී එකින් එක විස්තර කර තිබීමත් මිනිසුන්ගේ හදවත් සමග ගැඹුරින් අනුනාද වන සංගීතයට සමාජයේ හිමි වන විශේෂ ස්ථානය ප්‍රකාශ කිරීමට එහි පවතින සුවිශේෂ ගුණාංග ඉදිරිපත් කිරීමත් අගය කළ යුත්තක්. සංගීතය යනු ප්‍රබල චිත්තවේගී හැඟීම් ඇති කිරීමට සහ ගැඹුරු චිත්තවේගීය සම්බන්ධතාවක් ඇති කිරීමට හැකියාවක් ඇති කලා මාධ්‍යයක්. එහිදී අත්දැකීම් බෙදා ගැනීම; සහවේදනය, දයාව, බලාපොරොත්තුව, ඔරොත්තු දීමේ හැකියාව, විසම්මුතිය ප්‍රකාශ කිරීම; සංකේත භාෂාව සහ මතක තබා ගැනීමේ හැකියාව; සංස්කෘතික අනන්‍යතාව ඉදිරිපත් කරමින් විශේෂයෙන් ගායනා කිරීම යන ප්‍රාසංගික ක්‍රියාවට සහභාගි වීමෙන් අරගලයක නියුක්ත පුද්ගලයන් අතර සම මූර්ත බවක් ඇති කිරීම සඳහා ගීතයේ පවතින රිද්මය, තනු නිර්මාණය, සාමුහික චිත්තවේගීය අත්දැකීම දායක වන ආකාරය මෙහිදී කතුවරයා මනාව පෙළගස්වා තිබෙනවා.
අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ කෘතියේ තෙවැනි පරිච්ඡේදය වෙන් වන්නේ ලෝකයේ චිරප්රසිද්ධ සමාජ දේශපාලන අරගල පාදක ගීත පිළිබඳ විමසීමට. ඇත්තෙන් ම මෙය පූර්වගාමී පූර්ව පර්යේෂණ කියවීමක්. යුද විරෝධී අරගලයක් සඳහා ගීතය කොතරම්දුරට ක්‍රියාත්මක වූවා ද යන්න විමසා බලමින් වාර්ගික අසාධාරණය හා පද්ධතිමය පීඩනයට ගීතයේ ඇති බලපෑම ඉදිරිපත් කිරීමට ඒ ඒ රටවල සංස්කෘතික අනන්‍යතාව විදහාපාන ගීතයේ ප්‍රධාන ගුණාංග ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ ව මනා විශ්ලේෂණයක් ගෙන ඒම මෙහිදී අගය කළ යුත්තක්.
අනතුරු ව කතුවරයාගේ අවධානය යොමු වන්නේ අරගල ගීතයන්හි ධනාත්මක සමාජ දේශපාලන බලපෑම කෙරෙහි. ගීතයේ ධනාත්මක ප්‍රවේශය විමසීමේදී දක්නට ලැබෙන්නේ සමගිය හා සහයෝගිතාව ගොඩනැංවීම සඳහා පොදු අනන්‍යතාවක් ඇති කරමින් අයත් වීමේ හැඟීම ගොඩනැගීමට විවිධ කණ්ඩායම් බළමුළු ගන්වමින් සාමුහික අරමුණක් ස්ථාපිත කිරීමට, විපත්ති සහ අපහසුතාවලදී ඔරොත්තු දීමේ හැකියාව ගොඩනංවමින් අන්‍යෝන්‍ය සහයෝගය දිරිමත් කිරීමට ගීතය ගත් උත්සාහය. එසේ ම ප්‍රජාවගේ සංස්කෘතික උරුමය සංරක්ෂණයට අතීතය හා වර්තමානය සම්බන්ධ කරගනිමින් පොදු අත්දැකීම් අවකාශයක් තුළ ඉදිරිපත් කරමින් ප්රකාශනය සඳහා වාහකයක් ලෙස භාෂාව, සංස්කෘතික සමගිය සහ විවිධත්වය, සංස්කෘතික අභිමානය සහ අනන්‍යතාව, කලාත්මක නිර්මාණශීලීත්වය සමාජගත කිරීමට කතුවරයා මෙහිදී උත්සාහ ගෙන තිබෙනවා.
සමාජ ගැටලු පිළිබඳ දැනුවත් කරමින්, ඒ සම්බන්ධ ඓතිහාසික ප්‍රවේශය විස්තර කරමින් අරගලය මානුෂීකරණය කර ඇති මෙහි සියලු මහා ප්‍රේක්ෂකයන් සඳහා ප්‍රවේශ විය හැකි මාධ්‍යයක් ලෙස ගීතයේ ඇති ශක්‍යතාව ඉදිරිපත් කරමින් ඒ ඔස්සේ ජනතා විඥානය ඉහළ නංවමින්, සංස්කෘතික දැනුම සම්ප්‍රේෂණය කරමින් විවේචනාත්මක චින්තනය දිරි ගැන්වීම සඳහා බළමුළු ගැන්වීමට ගීතයේ ඇති ප්‍රබල හැකියාව මෙහිදී විද්යාමානකොට තිබෙනවා.
අරගල ගීතයන්හි සෘණාත්මක සමාජ දේශපාලන බලපෑම විමසීම ද මෙහිදී අගය කළ යුත්තක්. ඕනෑ ම ක්‍රියාවකින් සාධනීය හා නිශේධනීය ප්‍රවේශ විමසමින් එහි සන්නිවේදනාර්ථ ඉදිරිපත් කිරීමට ගත් ප්‍රශංසනීය වෑයමක් ලෙස මෙම කෘතිය හඳුන්වා දිය හැකියි. අරගල ගීතවල නිශ්චිත අන්තර්ගතය ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භය, එම භාවිතය පිටුපස ඇති අභිප්‍රාය මත එම ගීතවල බලපෑම වෙනස් විය හැකි බව, ප්‍රජාව බළමුළු ගැන්වීමට භාවිත කරන ක්‍රමවේදයේ සියුම් අවබෝධයක් සහතික කිරීමෙන් ඇතිවන සෘණාත්මක ප්‍රතිවිපාක මෙහිදී ඉදිරිපත්කොට තිබෙන්නේ විවේචනාත්මක ව. එමෙන් ම ඇතැම් අරගල ගීතවල ගැටලු විසඳීමේ දුෂ්කරතා, සමාජ ඛණ්ඩනය, ප්රචණ්ඩත්වය ප්‍රවර්ධනය, ආක්‍රමණශීලී හෝ ප්රචණ්ඩ හෝ භාෂාවක් අඩංගු වීමේ දුර්වලතා ද පවතින බව කතුවරයා පවසනවා.
මේ කෘතියේ හය වැනි පරිච්ඡේදය වෙන් වන්නේ ගීතයේ සන්නිවේදනය සහ එහි ප්රබලත්වයට. ඉන් අනතුරු ව කතුවරයාගේ අවධානය යොමු වන්නේ අරගල ගීතවල සන්නිවේදන බලපෑම කෙරෙහි. විරෝධතා ගීත, විමුක්ති ගීත ලෙසින් ද හඳුන්වන අරගල ගීත විවිධ සමාජ දේශපාලන ව්‍යාපාරවල අනිවාර්ය අංගයක් බවට පත් ව තිබෙනවා. මේ ගීත බොහෝ විට මතුවන්නේ දේශපාලන හෝ සමාජ විපර්යාසයක්, සමාජ පීඩනයකට එරෙහි ප්රතිවිරෝධයක් ඇති කාලවල. මෙය කිහිප ආකාරයකින් මෙහිදී නිරීක්ෂණය වෙනවා.
ශ්‍රී ලාංකික අරගල සන්දර්භය සුවිශේෂ ව ඉදිරිපත්කොට ඇත්තේ මෙහි අට වැනි පරිච්ඡේදයේ. විශේෂයෙන් යටත්විජිත යුගයේ පැවති දේශපාලන අරගල, මහජන නැගිටීම් පිළිබඳ සැලකිල්ලක් දක්වමින් එහි පවතින දේශපාලන සමාජ ස්වරූපය මෙන් ම සංස්කෘතික නැමියාව ද කතුවරයා මෙහිදී විමසීමට ලක් කරනවා.
ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේද දෙකෙන් සුවිශේෂ බර තැබීමක් සිදුකොට ඇත්තේ ගෝල්ෆෙස් මහජන අරගලේදී භාවිත සන්නිවේදන ක්‍රම තුළ. අරගලයේදී ගීතය හා ගී ප්‍රසංග තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ සන්නිවේදන ක්‍රමයක් ලෙස ඒවායේ ස්ථානීය සන්නිවේදනය සහ ගීත පෙළ උදාහරණයට දක්වමින් විචාරශීලී ප්රවේශයකින් ඉදිරිපත් කර තිබීම ද සුවිශේෂ කාරණාවක්.
2022 මහජන අරගල භූමියේ ක්‍රියාකාරී වූ එවැනි අරගල ගීත පද රචකයන්, තනු නිර්මාපකයන් හා ගායක ගායිකාවන් සම්මුඛ සාකච්ඡාවලට ලක්කරමින් ඔවුන්ගේ අදහස් ද ඉදිරිපත් කරමින් අරගල ගීතයන්හි සන්නිවේදන අර්ථ ශ්‍රී ලාංකික සන්දර්භය තුළ විශ්ලේෂණය කිරීමටයි කතුවරයා මෙහිදී උත්සාහ ගන්නේ. එසේ ම මෙතෙක් අරගලවලදී ශ්‍රී ලාංකික සන්දර්භය තුළ පැවති විරෝධාකල්ප ගීත මෙන් ම 2022 අරගලය වෙනුවෙන් ම නිර්මාණය වූ ගීත ද ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ විචාරශීලී ප්‍රවේශයක එහි සන්නිවේදනාර්ථක විමසීමට ගත් උත්සාහයක් ලෙසත් මේ ග්‍රන්ථය අගය කළ යුතුයි.
ගොල්ෆේස් අරගලයේ මෙවැනි විරෝධාකල්ප ගීත සමාජගත වීමට ප්‍රබල හේතුකාරක වූ සමාජ මාධ්‍යයේ සුවිශේෂ ශක්‍යතා ඉදිරිපත් කරමින් එහි ධනාත්මක ස්වරූපය මතුකරලීමට ද කතුවරයා උත්සාහ දරා තිබෙනවා. විශේෂයෙන් ගීතය වැනි කලා මාධ්‍යයක් අරගලයේ ඇතුළත කවය හා බාහිර කවය වෙත මනා සන්නිවේදනයක් පවත්වාගෙන ගිය වපසරියක ශ්‍රී ලාංකික දේශපාලනය තමන්ගේ වගකීම ඉටු කළා ද? නැද්ද? යන්න පාඨකයන්ට භාර කරමිනුයි කතුවරයා තම පර්යේෂණාත්මක ග්‍රන්ථයේ නිමාව සනිටුහන් කරන්නේ.
මේ අනුව පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලක්ෂණ මෙන් ම සාමාන්‍ය පාඨකයාට පාඨනය කළ හැකි සරල භාෂා විලාසයක් භාවිත කර තිබීමත් ඕනෑ ම අයෙකුට පාඨනය කරමින් ඓතිහාසික ප්රවේශයේ සිට න්‍යායාත්මක සංකල්පීය ප්‍රවේශය දක්වා වූ ශාස්ත්‍රීය කියවීමකට ද මේ ග්‍රන්ථය මහඟු පිටිවහලක් වනු ඇති.






