අනුරපුර සිරි නරඹමු
- සුමිත් මායාදුන්නේ
ක්‍රි. පූ. 4 වැනි සියවසේ සිට ක්‍රිි. ව. 11 වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් රාජධානිය මෙන් ම අගනුවර වූයේ අනුරාධපුරය. මහා දාගැබ්, විහාර, සංඝවාස, රජමාලිගා, ප්‍රාසාද අදියෙන් සමන්විත පෞරාණික හා ඓතිහාසික වටිනාකමකින් යුත් අනුරාධපුරයට දිය පොකුණු, සාගරය බඳු වැව්, අමුණු, කෙත්වතු ආදිය එක්කරන්නේ සුන්දරත්වයක්. මේ ඓතිහාසිකත්වය නිසා ම යුනෙස්කෝව ලෝක උරුම නගරයක් ලෙස අනුරාධපුරය නම් කර තිබෙනවා. පෞරාණිකත්වයෙන්, සුන්දරත්වයෙන් ආධ්‍යාත්මික පරිසරයෙන් සමන්විත වුවත් අනුරාධපුරය විදේශීය සංචාරකයන්ගේ පූර්ණ අවධානයට ලක් වී නැහැ.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් අනුරාධපුරය වෙත පැමිණෙන්නේ 3%ක් වැනි සුළු ප්‍රතිශතයක් බව පෙන්වා දෙන උතුරු මැද පළාතේ ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර: “අනුරාධපුර පැරණි රාජධානියේ සංචාරක ආකර්ෂණ ස්ථාන රාශියක් තිබෙනවා. විදේශිකයන් පමණක් නොව ස්වදේශිකයන් ද සංචාරය කිරීමට යොමු වී ඇත්තේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය, සමාධි පිළිමය වැනි ස්ථානවලට පමණයි. වෙස්සගිරිය, අශෝකාරාමය, මිහින්තලේ ඇත්වෙහෙර, මහාකනදරා වැව, මල්වතු ඔය ගල්පාලම, රන්මසු උයන කැටයම් සහිත නාන පොකුණු, කළුදිය පොකුණ ආදී වශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය මෙන් ම අධ්‍යයන කාර්ය සඳහා වැදගත් ස්ථාන රාශියක් තිබෙනවා.”
එහෙත් මෙවැනි ස්ථාන සංචාරකයන්ගේ අවධානෙන් ගිළිහි ඇත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුත්තක්. මෙහි පවතින ඓතිහාසිකත්වය හා ආධ්‍යාත්මික ස්ථාන පිළිබඳ පුඵල් ප්‍රචාරයක් මෙන් ම විදේශිකයන් වෙත තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. සංචාරක ප්‍රවර්ධන කාර්යයෙහි නිරත වන වගකිව යුතු ආයතන හා සංචාරක නියෝජිතයන්ගේ එක් ප්‍රධාන කාර්යයක් විය යුත්තේ මෙවැනි ස්ථාන පිළිබඳ හා එහි වැදගත්කම පිළිබඳ විදේශිකයන් දැනුවත් කිරීම. එහෙත් එය නිසි ලෙස ඉටු නොවන බවයි නිරික්ෂණය කළ හැක්කේ. මේ පිළිබඳ අදහස් දක්වන උතුරු මැද පළාතේ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංචාරක හා සැලසුම්) ක්‍රිෂාන්ත බෝපගේ: “පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක් අන්තර්ජාතික මට්ටමෙන් අත්‍යවශ්‍යයි. වර්තමානයේ විදේශිකයන් යොමු වී සිටින්නේ සීගිරිය, දඹුල්ල දැක බලා මහනුවර දළදා මාලිගාව, නුවරඑළිය, හික්කඩුව, පාසිකුඩා වැනි සංචාරක කලාප වෙත යොමු වීම. සෑම විට ම මේ පිළිබඳ ප්‍රවර්ධනය සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ස්ථානවලට පමණයි. පළාත් මට්ටමින් සංචාරක ස්ථාන පිළිබඳ විධිමත් ප්‍රවර්ධන හා ප්‍රචාරක අවධානය යොමු කරන්නේ නැහැ. උදාහරණ ලෙස උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු යන ඓතිහාසික රාජධානී පිළිබඳ විදේශිකයන් දැනුවත් කරන්නට පුළුවන්. අපගේ උත්සාහය අඩු ම තරමින් රාත්‍රි දෙකක්වත් අනුරාධපුරයේ, පොළොන්නරුවේ රඳවා තබාගැනීම. මේ සඳහා සංචාරක ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට උතුරු මැද පළාත් සංචාරක අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.”
ආසියාවේ වෙනත් රටවල කුඩා සංචාරක ස්ථාන ඇත්නම් ඒවා විදේශිකයන්ට ප්‍රදර්ශනය කොට මුදල් උපයා ගන්නවා. තායිලන්තය ඊට කදිම නිදසුනක්. සංචාරක ක්‍රියාකාරකම් රාශියක් ඔවුන් හඳුන්වාදී තිබෙන්නේ විදේශ විනිමය මනාව උපයමින්. දෙසතිය අමතන ක්‍රිෂාන්ත බෝපගේ:“පළාත් මට්ටමේ සංචාරක ආකර්ෂණ ස්ථාන අපේ රටේ පැවැතියත් ඒවා පිළිබඳ ප්‍රචාරය කිරීමට දැනුම තිබෙන්නේ එම පළාත්වල නිලධාරීන්ට. විදේශීය ව පවත්වන සංචාරක ප්‍රදර්ශන හා උත්සව සඳහා ශ්‍රි ලංකාවෙන් ද නිලධාරීන් ඇතුළු පිරිස් සහභාගි වෙනවා. එහෙත් පළාත්වල එවැනි දැනුමැති නිලධාරීන්ට ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ නැහැ. මෙය විශාල අඩුවක්.”
උතුරු මැද පළාතට අදාළ ව ජාතික වනෝද්‍යාන 06ක් පිහිටුවා තිබෙනවා. ඒ, විල්පත්තුව, කලාවැව, ගල්ඔය, මින්නේරිය, කවුඩුල්ල යන ජාතික උද්‍යාන හා හුරුලු පාරිසරික උද්්‍යානය Hurulu Eco Park වශයෙන්. මේ පරිසර කලාප සඳහා ප්‍රවර්ධන වැඩපිළිවෙළක් විදේශවල ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක්. අදහස් දක්වන ක්‍රිෂාන්ත බෝපගේ: “ලෝකයේ අලි රංචු ගැවසීම බහුල ව නැරඹීමට හැකි වන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන්. මේවාට විදේශිකයන් ආකර්ෂණය කර ගත හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙලෙස ම කෘෂිකාර්මික හා සිංහල වෙදකම පදනම් කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. පැරණි වෙද පරම්පරාවලට අයත් දක්ෂ සිංහල වෙද මහතුන් අනුරාධපුරය ආශ්‍රිත ව සිටිනවා. හොරිවිල, මරදන් කඩවල වෙද පරම්පරා හා ගුණවර්ධන වෙද මහතා අපට ජිවමාන සාධක. ඔවුන්ගේ දේශීය ප්‍රතිකාර විදේශිකයන් සඳහා විවෘත කිරීමට පුළුවන්. ඊට අවශ්‍ය වන්නේ අන්තර්ජාතික ප්‍රචාරය. විදේශීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලදී එය නිසි ලෙස නොවීම කනගාටුවට කරුණක්.”
මල්වතු ඔය, මහකනදරා වැව, නාච්චදූව වැව ආශ්‍රිත ග්‍රාමීය ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උතුරු මැද සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. මල්වතු ඔය ආශ්‍රිත ව සංචාරක බෝට්ටු සවාරිය ඉන් එක් පියවරක්. වන ලැහැබ මැදින් ගලා යන මල්වතු ඔයේ බෝට්ටු සවාරිය සුන්දර සංචාරක අත්දැකීමක්. තුරුලතා අතුරින් මතුවන පක්ෂීන් ගඟට බර වුණු මල්ගොමු ආදියෙන් පමණක් නොව කිඹුලන් පිහිනා යන ආකාරය ද දැකගැනීමට හැකි වීම සංචාරකයන්ට නැවුම් අත්දැකීමක්. මෙවැනි පරිසරයක අත්දැකීම් විඳින්නට සංචාරකයන් අකමැති වන්නේ නැහැ. ඊට අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම.
මල්වතු ඔයේ බෝට්ටු සවාරියේ අත්දැකීම එලෙස වන විට සාගරයක් බඳු මහාකනදරා වැවේ බෝට්ටු සවාරිය ඊට වෙනස් අත්දැකීමක්. මේ සඳහා ගම අශ්‍රිත ව බෝට්ටු සවාරියට පහසුකම් ලබාදීමට අපේක්ෂා කරනවා.
දේවානම්පියතිස්ස රජ සමයේ මෙරටට ඉන්දියාවේ සිට සංඝමිත්තා රහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවෙන් හටගත් බෝ පැළය ගෙන මහමුහුදෙන් ගොඩ බැස්සේ උතුරේ දඹකොළ පටුනට. එතැන් සිට අනුරාධපුර රාජධානිය දක්වා පෙරහැරින් රැගෙන ආ මාවතේ මල්වතු ඔය තරණය කළේ එවකට ගල්කුලුනුවලින් සැදු ගල් පාලම මතින්. මේ ස්ථානය නැරඹීමට විදේශිකයන් පැමිණෙන අතර එය ඡායාරූපගත හා වීඩියෝගත කරන අයුරු මේ මාධ්‍ය චාරිකාවේදී අප දුටුවා. ඉන් පෙනෙන්නේ මේ ඓතිහාසික ස්ථානය පිළිබඳ ව නිසි ප්‍රචාරයක් ලබා දෙනවා නම් විදේශිකයන් එය නැරඹිමට උනන්දු වන බව. පැරණි ගල්පාලමට මදක් ඔබ්බෙන් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ ඉදි කළ පාලම දැකගැනීමට පුළුවන්. ගල් කුලුනු මත ඉදි වී ඇති ගල්පාලමේ කුලුනු මල්වතු ඔයට වැටී තිබීම ඛේදනීය තත්ත්වයක්. තවත් නොබෝ කලකින් ඉතිරි වී තිබෙන ගල් කුලුනු කිහිපයක් මල්වතු ඔයට බිලි වීමේ ඉඩකඩ පවතිනවා. මෙවැනි වැදගත් ස්ථානයක් සංරක්ෂණය කිරීම වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වීම අත්‍යවශ්‍ය කරුණක්.
මෙලෙස සංචාරකයන්ට රුචි වන පරිදි විවිධ ක්‍රියාකාරකම් සඳහා උතුරු මැද කලාපය තෝතැන්නක්. එහෙත් නිසි ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් සාම්ප්‍රදායික සංචාරක ස්ථාන පමණක් නොව උතුරු මැද වැනි පළාත්වල ආකර්ෂණීය ස්ථාන කරා සංචාරකයන් ගෙන්වාගැනීමට හැකි වනු ඇති. රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ නිසි ඵල ලැබිය හැක්කේ එවිට.
(අනුරාධපුරයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැවති මාධ්‍ය චාරිකාවක් ඇසුරෙන්)