#දේශපාලන

අධිෂ්ඨාන දේශයේ රාජ්‍ය සංචාරය

  • චන්දන මාරසිංහ

දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වැනි සංවත්සරය (1970-2025) නිමිති කරගෙන වියට්නාම ජනාධිපති Luong Сuong ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින (මැයි 04-06) රාජ්‍ය සංචාරයක නියැළුණා. සංචාරය අතරතුර ද්වීපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන කාරණා රැසක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට ඇරයුම් ලැබීම මේ සංචාරයේ සුවිශේෂත්වයක්.

වියට්නාමයේ නෝයි බායි (Noi Bai) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Nguyen Manh Сuong ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබුවා. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති Trinh Thi Tam, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා එක් ව සිටියා. මේ සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද එක් වුණා.

වියට්නාම ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනුණේ ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද මහත්හරසරින්.
ජනාධිපති Luong Сuong, අගමැති Pham Minh Сhinh වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් To Lam සහ
ජාතික සභාවේ සභාපති Tran Thanh සමග ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. එම සාකච්ඡාවලදී දෙරටේ ප්‍රගති සමාලෝචන සහ අනාගත සහයෝගිතාව පිළිබඳ අවධානය යොමු වූ අතර දේශපාලන විශ්වාසය වැඩිදියුණු කිරීම මෙන් ම දෙරට අතර විවිධ අංශ මගින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගිතාව වර්ධනය කිරීමට මේ සාකච්ඡා ඉවහල් වීම ඉතා වැදගත්.


1970 ජූලි 21 දින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇතිවීමෙන් අනතුරු ව දෙරට අතර ශක්තිමත් සබඳතා පැවතුණා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වාර්ෂික ද්වි පාර්ශ්වික වෙළෙඳාම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. ඉදිරි වසරවලදී එය ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වර්ධනය කිරීම සැලසුම වී තිබෙනවා. දෙරට අතර ශක්තිමත් ආයෝජන ප්‍රවාහ වැඩිදියුණු කිරීමට නායකයන් එකඟ වුණා. 2025 මාර්තු 31 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 43කට වඩා වැඩි ලේඛනගත ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපෘති 33ක් සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ආයෝජන පිළිබඳ වියට්නාම පාර්ශ්වයේ ඇගයුම හිමි වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වියට්නාම සංචාරයෙදී දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වයට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අවධාරණය කළා. ඩිජිටල් පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, බලශක්ති සංක්‍රාන්තිය මෙන් ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ද මේ සංචාරයේදී අවධානය යොමු වුණා. මෙහිදී අත්සන් තැබුණේ ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04කට. දෙරටේ රේගු කටයුතු පිළිබඳ සහයෝගිතා ගිවිසුම, යන්ත්‍ර උපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, කෘෂිකර්ම සහයෝගිතා පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිත ආයතනය හා ශ්‍රී ලංකා ආපනයන
සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම ඊට අයත්. මේ ගිවිසුම්වලින් රටවල් දෙකට ම හිමිවන්නේ වරප්‍රසාද රැසක්. දෙරටේ විශේෂඥතාව බෙදා ගැනීම මෙන් ම රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන්, නිලධාරින් සහ පර්යේෂකයන් හුවමාරු කර ගැනීමත් අධ්‍යයනය හා පර්යේෂණ වැඩසටහන් පැවැත්වීමත් ඒ අතර වනවා. පුහුණුවීම්වලට අදාළ කරුණු සංවිධානය කිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමු වුණා. පුළුල් පරාසයක වෙළෙඳ ක්‍රියාකාරකම්වලට ද මේ අවබෝධතා ගිවිසුම්වලින් පහසුකම් සැලසෙනවා. වෙළෙඳපොළ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීම, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ සහයෝගිතාව ඇති කිරීම සහ ව්‍යාපාරික නියෝජිතයන් අතර සාකච්ඡා සංවිධාන කිරීම ද මෙහිදී කැපී පෙනෙනවා. ආහාර, ධීවර සහ ඇඟලු‍ම් අංශවල අවස්ථා දෙරටට ම ලබා ගැනීමටත් මේ ගිවිසුම්වලින් පහසුකම් සැලසීම ඉතා වැදගත්.
වියට්නාම ව්‍යාාපාරික ප්‍රජාව එක් ව පැවැත් වූ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග දේපළ වෙළෙඳාම් සහ සංචාරක
ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයෝජකයන්, ආකර්ෂණීය උද්‍යාන සංවර්ධනයේ ප්‍රමුඛතම ආයතන නියෝජිතයන් මෙන් ම ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමී ආයතන නියෝජිතයන් ද සහභාගි වී සිටියා.


මැයි 05 දින ජනාධිපති මන්දිරයේ හෝ චි මින් අනුස්මරණ භූමිය නැරඹීමට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෝ චි මින් සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා. අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන අතර තිබෙන බායී ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වෙමින් ආශීර්වාද ලබා ගත්තා. විහාරස්ථාන භූමියේ පිහිටි බෝධීන් වහන්සේ 2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් පූජා කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්
වහන්සේගේ ශාඛාවක්. මෙරට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා
ඉදිකරන ලද ප්‍රාකාරය ද ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා.

මැයි 6 දින වියට්නාමයේ හෝ චී මින් නගරයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයේදී ‘මානව ගරුත්වය සඳහා සහයෝගිතාව සහ ඉවසීම, ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය’ යන තේමාවෙන් එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක් වුණා. ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල ඉහළ පෙළේ නියෝජිතයන් ඇතුළු ව 2800ක පමණ පිරිසක් මේ සමුළුවට සහභාගි වී සිටියා.


“නොපසුබට උත්සාහය, අසාමාන්‍ය අධිෂ්ඨානය, නිශ්චිත කැපවීම, උපායමාර්ගික ඉලක්කය හා අද්විතීය ප්‍රතිඵල ගෙන දෙන,

වේගයෙන් සහ ආදර්ශයෙන් නැගී සිටින රටක පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටට පත් වෙමි. වසර සිය ගණනක් පුරා ඉකිබිඳිමින් හඬන්නට සිදුවන වේදනාබර අත්දැකීම් තිබියදී, ඒ සියල්ල පරදා ධෛර්යය සම්පන්න ලෙස නැගී සිටීමේ මාර්ගය සකස්කර ගත් විශ්මයජනක රට වියට්නාම් දේශයයි. ඉතිහාසයේ දරුණුතම රසායනික අවි ප්‍රහාරවලින් කුරිරු ම අසාධාරණයට ලක් වී පන්නරය ලැබූ ඔබේ රට ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. එනයින් මම ඔබේ
රට අධිෂ්ඨානයේ දේශය නමින් ද හඳුන්වා දීමට කැමැත්තෙමි.” මෙලෙසින් සිය දේශනයට ප්‍රවේශය ලබා ගත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණක් බවත් එම වේදනාව වළක්වා ගත හැක්කේ සාමය සහ හික්මීමෙන් පමණක් බවත් එහිදී පෙන්වා දුන්නා. 1999 වසරේ එක්සත් ජාතීන්ගේ මහා
මණ්ඩලයේදී වෙසක් දිනය ජාත්‍යන්තර ව පිළිගත් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර්. ඉන්පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සාමයෙන් හා හික්මීමෙන් කටයුතු කිරීමේ අගය, මීට වසර දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ අනුදැන වදාළ එහි වටිනාකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අප උකහා ගත් බවත් මාපිය දූ දරු සබඳතා, නෑ හිතවත් සබඳතා, ගුරු සිසු සබඳතා පොහොසත් ලෙස අප රටට හිමි ව තිබෙන බවත් තමන්ගේ රුධිරය තවත් කෙනකුගේ ජීවිතයක් බේරා ගැනීමට දානයක් ලෙස ලබා දෙන ලොව වෙනත් කිසිදු රටක් පිළිබඳ ව නොදන්නා බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. බුදු දහමින් පෝෂණය වූ යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක්, ආදරයෙන් පිරුණු සමාජයක් සහ කරුණාවෙන් පිරුණු ජීවිතයක් වෙනුවෙන් මෙන් ම සියලු‍ ජාතීන් සහ සියලු‍ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළ දහමේත් බෞද්ධ දර්ශනයේත් ආභාසය ලබා ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා සිය දේශනය අවසානයේදී සියලු‍ දෙනාට ආරාධනා කළා.

මේ ඔස්සේ දෙරට අතර බෞද්ධ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට අවකාශ ලැබුණු අතර වසර 55ක් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගොඩනැගුණු ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය මෙන් ම සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ බහුවිධ
සහයෝගිතාව වර්ධනය කර ගැනීමටත් මේ සංචාරයේදී හැකියාව ලැබුණා. ජාතික සංවර්ධනයේදී දෙරට අතර ඇති සමීප
මිත්‍රත්වය මෙන් ම සහයෝගය ඉදිරියේදී වඩාත් ශක්තිමත් ව පවත්වාගෙන යාමටත් මේ සම්බන්ධතා ඉවහල් වනු ඇති.