#කලා

අඩසියවසක රූපණ පෙළහර

  • තුසිත ජයසුන්දර

සිය දශක හතහමාරක දිවි සැරියෙන් දශක පහමාරක් පමණ සිරිලක කලාව පොහොසත් කරනු පිණිස රූපණයෙන් දායක වූ සුමින්ද සිරිසේන නොබෝදා (2023 දෙසැම්බර් 04) ගැඹුරු නිහඬතාවක ගිලී යන්නේ ජීවිතය හා කලාව පිළිබඳ සංවේදී හා හැඟීම්බර සංකථනයකට අවකාශ සලසමින්. එහෙයින් ම මේ සටහන ඔහුගේ අභාවය අළලා කෙරෙන වේදනාබර ප්‍රකාශයක් සේ ලඝු නොකිරීමට උත්සුක විය යුතු වනවා. ඔහු සිරිලක කලාවේ කවර තැනක රැඳී සිටිය යුතු ද යන පැනයට ඉන් ලැබෙන්නේ වඩා තාර්කික පිළිතුරක්.


ජව සම්පන්න ව හා නොපැකිළ ව රූපණ කාර්යයෙහි නිමග්න ව සිටි සුමින්ද 64 වැනි වියේදී රෝගාතුර වන්නේ අනපේක්ෂිත ව. අනතුරු ව තවත් රෝග පීඩාදිය ඔහු සොයා එන්නට වුණා. ප්‍රතිඵලය වූයේ ඔහු කලාවෙන් සේ ම එදිනෙදා ජීවන රටාවෙන් ද දුරස්වීම. වඩාත් ඛේදජනක කාරණය වන්නේ සුමින්ද මෙසේ රෝගාතුර වන්නේ තමන්ගේ පරිණතම අවදියේදී වීම. එකිනෙකට නොපරදින තෙයාකාර මාධ්‍ය සහභාගිත්වයකින් රූපණයේ සමත්කම් විදහාපාන්නට ඇරියුම් ලැබෙන සමයේදී වීම. එවැනි ඇරයුම් ලැබීම සෑම රූපණවේදියකුට ම නොලැබෙන අවස්ථාවක්. ඉන් කියැවෙන්නේ සුමින්ද සිය ප්‍රතිභාවට අමතර ව නම්‍යශීලි චර්යාවක් ද ප්‍රගුණ කර ඇති බව.


සුමින්ද කලාවට අත්පොත් තබන්නේ පාසල් වියේදී ම බවයි සඳහන් වන්නේ. ඒ, කෑගල්ලේ තෝලංගමුව විදුහලේදී. ඔහු උපන්නේ ද කෑගල්ලේ බොස්සැල්ල නමැති ගම්පියසේ වන අතර මූලික අධ්‍යාපනය ලැබුවේ බොස්සැල්ල විද්‍යාලයේදී බව සඳහන්. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේදී පාසල් නාට්‍ය කිහිපයකට ම ඔහු රූපණයෙන් දායක වන්නේ සිය රූපණ අනාගතය පිළිබඳ මුල් ම අවස්ථා පිළිබිඹු කරමින්. පැවසෙන්නේ ඒවා සමකාලීන පාසල් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ වර්ධනීය අවස්ථා සනිටුහන් කළ බව. ඉන් එක් නාට්‍යයක් ‘ගිරිකූට’ මැයෙන් කාශ්‍යප රජ සමය පාදක කොටගෙන රචනා කරන්නේ පසුකාලීන ව සිරිලක කලාවේ දැවැන්තයකු වූ ආරියවංශ රණවීර. ඔහු එවක එහි ගුරුවරයෙක්. රූපණයේ බොහෝ දුරක් ගිය දයා අල්විස් ද සුමින්දගේ ගුරුවරයෙක්. පාසලේ ආචාර්ය මණ්ඩලයේ සිටි ජයසුමන දිසානායකගේ ‘සාක්කිකාරයෝ’ නාට්‍යය ද සුමින්දගේ රූපණ සමත්කම් අනාවරණය කළ අවස්ථාවක්. සුමින්ද සිරිසේන යනු අහම්බයක් නොවන බව මේ පසුබිම පවසන්නේ කිසිදු විවාදයකින් තොර ව.


විශිෂ්ට හා කැපී පෙනෙන රූපණවේදියකු සේ සුමින්ද ප්‍රාදේශීය සීමා අභිභවමින් පෙරට එන්නේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ. මෙහිලා සිරිලක වේදිකා නාට්‍යයේ ප්‍රශස්තම හා සම්මානනීය වේදිකා නාට්‍ය කිහිපයක් ම හඳුනා ගන්නට පුළුවන්. ‘මනමේ’, ‘සිංහබාහු’, ‘මහාසාර’, ‘බවකඩතුරාව’ යන නාට්‍ය සමග ඔහු මහැදුරු එදිරිවීර සරච්ච්න්ද්‍ර ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකයකු බවට පත්වන්නේ ප්‍රකට හා ප්‍රවීණ රූපණවේදීන් සමග කරට කර තරග වැදෙමින්. වේදිකා නාට්‍යයේදී සරච්චන්ද්‍ර ඇසුර හා ඉන් ලැබෙන අත්දැකීම් කවර රූපණවේදියකුට හෝ අත්‍යන්තයෙන් ම වැදගත් වන බවට සුමින්ද හොඳ ම උදාහරණයක්.


සුමින්ද වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට රූපණවේදියකු බවට පත් වන්නේ ධම්ම ජාගොඩගේ ‘මූදු පුත්තු’ හා ‘වෙස්මුහුණු’, නාමෙල් විරමුණිගේ ‘වංසක්කාරයෝ’, රන්ජිත් ධර්මකිර්තිගේ ‘හස්තිරාජ මහත්තයා’ හා ‘හිරු නැති ලොව’, දයානන්ද ගුණවර්ධනගේ ‘ආනන්ද ජවනිකා’ වැනි නාට්‍ය සමග. ජයලත් මනෝරත්නගේ ‘අන්දරේලා’ හා ‘ගුරුතරුව’, සෝමරත්න දිසානායකගේ ‘මී පුර වැසියෝ’ යන නාට්‍ය ද ඔහුගේ රූපණ සමත්කම කුළු ගැන්වූ අවස්ථා සේ සඳහන් කරන්නට පුළුවන්.
ධම්ම ජාගොඩගේ ‘රංග ශිල්ප ශාලිකාව’ සුමින්දගේ රූපණ සමත්කම් නිසි පරිදි හැඩ ගැන්වීමට ලබා දුන් පිටිවහල සුළුකොට තකන්නට බැහැ. එසමයේ මෙබඳු අවස්ථා ගණනාවක් ම විවර වී තිබූ බවත් සිරිලක කලාව පොහොසත් කරලීමට ඉන් අපමණ සහයක් ලැබුණු බවත් සඳහන් කළ යුත්තක්.


රූපණවේදියකු ලෙස සුමින්දගේ කාර්යභාරය කුළු ගැන්වෙන්නේ රූපණ සමත්කම් නිසා පමණක් ම නොව ඒ ඒ මාධ්‍ය සතු අනන්‍යතා නිවැරදි ව හඳුනා ගැනීම ද නිසා. මෙයින් ගම්‍ය වන්නේ වේදිකාවේ රැඳී සිටිය ද එය සිය නිත්‍ය පදිංචි ස්ථානය සේ තීන්දු කරන්නට ඔහු කිසිසේත් ම අදහස් නොකළ බව. ඒ අනුවයි දිගු කලක් රූපණ කාර්යයෙහි නිරත වන්නට ඇවැසි පසුබිම ඔහු විසින් නිර්මාණය කර ගනු ලබන්නේ. ඔහු වේදිකා නාට්‍යයේදී, රූපවාහිනියේදී හා සිනමාවේදී සම්මත තරුවක් වන්නට වෑයම් නොකළ රූපණවේදියකු ද වනවා.


සිනමාවේ දිගු ගමනක නිරත වන්නට සුමින්ද වෙත එපමණ ඉඩක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහු එක්වන්නේ ම විචාරක පැසසුම් ලද සිනමාපට සමග වීම වෙසෙසින් සඳහන් කළ යුත්තක්. මෙහි මුල් ම අවස්ථාව වන්නේ විජය ධර්ම ශ්‍රී ගේ ‘දුහුළු මලක්’. ඉනික්බිති ව ඔහුගේ ම ‘දඬු මොනර’ හා ‘ගුරුගෙදර’ යන සිනමාපට විෂයෙහි ද සුමින්ද රූපණයෙන් දායක වනවා. එච්.ඩී.ප්‍රේමරත්නගේ ‘සප්ත කන්‍යා’, සරත් ධර්මසිරිගේ ‘ගිනි කිරිල්ලී’, සරත් වීරසේකරගේ ‘ගාමණී’ සුමින්දගේ රූපණයෙන් පොහොසත් වූ සිනමාපට කිහිපයක්. ‘සමනල තටු’, ‘උප්පලවන්නා’, ‘යකඩ පිහාටු’, ‘ඉර හඳ යට’ ඇතුළු සිනමාපට කිහිපයකදී ද ඔහුගේ රූපණ දායකත්වය දැක ගන්නට පුළුවන්. සිනමා රූපණයේදී ඔහු දැක්වූ සමත්කම් පෙරට නොආවේ ප්‍රධාන චරිත නොලැබීම ද නිසා. එහෙත් අදාළ සිනමාපටයේ සමස්තය සම්බන්ධයෙන් තමාට ඇති අවබෝධය සනිටුහන් කරන්නට ඔහු සූදානම් වූ වග නොරහසක්.


සිරිලක ටෙලි නාට්‍යයට නව අරුතක් ද නව වටිනාකමක් ද නව ප්‍රමිතියක් ද ගෙන දුන් ටෙලි නාට්‍ය 40ක් පමණ සුමින්දගේ රූපණයෙන් සමන්විත වුණා. ‘චරිත තුනක්’, ‘බෝගල සවුන්දිරිස්’, ‘සඳ අමාවකයි’, ‘රම්‍ය සුරම්‍ය’, ‘රන්සිරිගේ සංග්‍රාමය’, ‘ඉසිවර අසපුව’, ‘පුංචිරාළ’ මෙතැනදී සිහිපත් කළ හැකි ප්‍රමුඛතම ටෙලි නාට්‍ය.
සුමින්ද ටෙලි නාට්‍ය රූපණයට එක් වන්නේ සිරිලක ටෙලි නාට්‍යයේ ගුණාත්මක ලක්ෂණ අවම සමයක. ඊට ප්‍රතිපක්ෂ ව හරවත් ටෙලි නාට්‍ය භාවිතයක් වෙනුවෙන් ප්‍රතිභාසම්පන්න ටෙලි නාට්‍යකරුවන් අනවරත අරගලයක නිරත වූ සමයක. මෙය පසුකාලීන ව නා නා විධ ජයග්‍රහණ පෙන්නුම් කළ බව දැක ගන්නට පුළුවන්. ඒ හා රූපණයෙන් එක්වූ ප්‍රමුඛයකු ලෙසින් ද සුමින්ද නම් කෙරෙනවා.


තමාට ලැබෙන චරිතයේ මනෝභාව සියුම් ව හසු කරගෙන, ඒවා රැf​ඳන හා සැරිසරන වපසරියේ ප්‍රමාණය පිළිබඳ නිසි වැටහීමක් ලබාගෙන, වරෙක සදය උපහාසය ද තවත් වරෙක දරා ගත නොහැකි ශෝකය ද අප්‍රකාශිත සංතෘෂ්ටිය ද එක ම මොහොතක හා එක ම තලයක නිරූපණය කිරීමේ විශිෂ්ට හැකියාවක් සුමින්ද සතු ව පැවති බව නොපවසන්නකු නොමැති තරම්. මෙහි වර්ධනීය අවස්ථා තවදුරටත් ප්‍රකාශයට පත් කරලීමේ ඉඩක් ඔහු වෙත නොලැබීම දෙස උපේක්ෂා සහගත ව බලන්නටයි වත්මන් රසික ප්‍රජාවට සිදු ව ඇත්තේ.


සුමින්ද සිරිසේන යනු ඇගැයීම් නොඅඩුව ලද රූපණවේදියෙක්. කලා කීර්ති සම්මානයෙන් ද කලා භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබන්නේ රූපණයෙන් දුරස් වූ සමයේ. ඊට ප්‍රථම රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල, රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මාන උළෙල, සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙල, සිග්නිස් සම්මාන උළෙල, රයිගම් ටෙලි සම්මාන උළෙල විෂයෙහි ඔහු සම්මානනීය වුණා. ඔහු විචාරක පැසසුම් නොඅඩුව ලද රූපණවේදියකු සේ හඳුනා ගැනීමට ද පසුබට විය යුතු නැහැ.