ලංකාවේ ගෝර්කි

- අනුර දහනායක
1978 වසරේ දිනක ගාලු පුරහල් භූමියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. පාසල් ගොස්, ගෙදර නොගොස් පොත් මිටියත් රැගෙන එයට සහභාගි වූ මා වේදිකාවේ යට සිටි කුඩා කොලු ගැටයෙක් අතට පොත් ටික දුන්නේ ඔහු වේදිකාව යට සිටින ආරක්ෂකයා බවට හඳුන්වා දුන් නිසා. ආරක්ෂකයෙක් පරීක්ෂා කරන්නේ ආරක්ෂාවට අහිතකර දෙයක් තිබේදැයි බැලීමට. එහෙත් මේ කොලු ගැටයා පරීක්ෂා කළේ සුවඳ. පොත් පිටු පෙරළද්දී එන සියුම් සුළං පොද හා ඒ ආශ්‍රිත සුවඳ. එය කළේ ද දෙනෙත් වසාගෙන නහයට එන සුවඳ හදවතට ගනිමින්. මෙය මට පුදුමයක්. එම ක්‍රියාවට මා දැක්වූ ප්‍රතිචාරය වූයේ ඔහු වැළඳ ගැනීම. ඔහු නමින් ශ්‍රියන්ත රූපචන්ද්‍රකුමාර වික්‍රමරත්න.
සමාජවාදී සමාජ විප්ලවය අද හැකිනම් අද ම සිදුකිරීමේ පිපාසාවෙන් සිටි චන්ද්‍රකුමාර මැතිවරණවලදී ක්‍රියා කළේ ඉතා හැඟුම්බර ලෙස. ඔහු තර්ක විතර්ක කරන්නේ ඉතා පැසුණු බුද්ධියකින්.

අම්බලන්ගොඩ ඥාතීන් වරෙක ඔහු පැවිදි කළා. පන්සලේදී ඔහුට ඇස ගැසුණේ පතපොත. තරුණ වාමාංශික අදහස් ඇති භික්ෂූන්ගේ ඇසුර සමග සෝවියට් සංගමයේ මුද්‍රාපිත පරිවර්තන ග්‍රන්ථ කියවීමේ ලෝලියකු බවට ඔහු පත් වුණා. චන්ද්‍රකුමාර වික්‍රමරත්නට මැක්සිම් ගෝර්කි ආරූඪ වීමට පටන් ගත්තේ ඉන්පසුව. විලේගොඩ අරියදේව හාමුදුරුවන් ‘උල්පත’ නමින් කවි කොළයක් පටන් ගත්තේ ද මේ වකවානුවේ. ‘උල්පත’ට කවියක් දෙකක් ලියා ලිවීම ආරම්භ කරන වකවානුවේ ‘කොම්රේඩ්’ මේක හොඳ ද කියල බලන්න කියා මා අතට පත් කළ අවස්ථා ද තිබුණා.
ඔහු ‘ඇලෙක්සි පෙෂ්කෝව්’ හෙවත් පසුව හැඳින් වූ ‘මැක්සිම් ගෝර්කි’ අධ්‍යයනය කිරීමේදී ලබා ගත් සුවිශේෂ දෙය නම්, තම පීඩිත ජීවිතයට නිදහස්, නිවහල්, සැපවත්, සාමකාමී, ජීවිතයක් ලබාදීමේ පරමාර්ථය පෙරදැරී ව ක්‍රියා කිරීම. එසේ කිරීමට චන්ද්‍රකුමාර තෝරා ගත්තේ වාමාංශික අරගලකාරී දේශපාලනය හා සාහිත්‍ය කලාව අරගලයේ මාධ්‍යයක් බවට පත්කිරීම යන මාවත්. මෙහිදී වාමාංශික අරගලකාරී දේශපාලන ගමනේ යාමට ඔහුට බාධාවක් වුණේ ඉක්මනට ජනතාව දිනා ගැනීමේ පිපාසාව නිසා හට ගැනෙන අහිතකර ගැටුම්කාරී තත්ත්වයත් කුඩා වයසේදී ම ළමා ශ්‍රමිකයෙක් ලෙස ක්‍රියා කිරීමේදී අත්විඳි පුරුදුත්.
ඔහුට සිටි එක ම පවුල තම දේශපාලන පක්ෂය. මාපිය රැකවරණය අහිමි ව ලොව තනි වූ මේ බාල වයස්කාරයාට ‘සහෝදරයා’ යැයි කටපුරා අමතනු ලබන විසල් පවුලක් අතහැරිය හැකි ද? ළමා ශ්‍රමික අවදියේදී කොලුවා, පරයා, ගැටයා, හාදයා යැයි අමතමින් වැඩගත් සමාජයක ලෙන්ගතු ව ඇතිකර ගත් සහෝදරත්වයේ බැම්ම ඔහුගේ කෙටි ජීවිත කාලය පුරාවට ම බැඳී විසල් පවුරක් වුණා.

එවිට ඔහුට ඉතිරි ව තිබුණේ සිය විප්ලවීය අදහස් අසිපත ලෙස අතැති පෑනෙන් අතට අසුවන කඩදාසි කැබැල්ලක කිසිවක් කුරුටු ගෑමට. වචන ගැළපීමට. ඔහුට එන එම වචන පීඩිතත්ත්වයේ ගැඹුරින් ම එන්නක්. එය අව්‍යාජ වූවක්. ඒ සඳහා ඔහු කිසිදු වචනයකට මුදල් පැතුවේ නැහැ. තම අව්‍යාජ අභිමථාර්ථය පෙරදැරි ව එය මුදුන්පත් කිරීමේ අරමුණෙන් ජීවිතයේ දෙවැනි පියවර තබන්නට ඔහුට සිදුවූයේ 1983 වසරේ තම පක්ෂය තහනම් කිරීමත් සමග.
ඔහු ලියන ලිපි පුවත්පත්වල පළ වුණා. එහිදී හඳුනා ගත් අය අතර සුනිල් මාධව ප්‍රේමතිලක, ජයන්ත චන්ද්‍රසිරි වැන්නන් ද සිටියා. ජයන්තගේ ‘අත්’ නාට්‍ය සඳහා ඔහු එකතු වන්නේ මේ වකවානුවේ. සුදර්ශියේ නාට්‍ය පුහුණුවීම් සිදු කර එහි ම රාත්‍රියේ නවාතැන්ගෙන කලාව වෙනුවෙන් කැප වී ජීවිතය ගත කළ කාලයක් ද ඔහුට තිබුණා. ශ්‍රී ලංකාවේ මහා වේදිකාවට පුංචි ම පුංචි චන්ද්‍රකුමාර රිංගා ගත්තේ එලෙසින්.
1991 වෙසක් දින හෝ ඊට ආසන්න දිනක් වන තෙක් සහෘදයන්ට ඔහු ව මුණ ගැසී තිබුණා. පසුව ඔහුගේ හඬ හා රුව නොපෙනී ගියා. නොඇසී ගියා. ඔහුගේ නිර්මාණ සහ සහෝදරත්වයේ මතක සටහන් පමණක් ඉතුරු වුණා.