මාධ්‍යකරුවා සිනෙ ඇසින්

- තුසිත ජයසුන්දර
මේ චිලී දේශයේ කුප‍්‍රකට හමුදා කුමන්ත‍්‍රණය ජය ගත් 1973 වසරයි. පොදුජන මනාපයෙන් 1970 වසරේදී බලයට පත්වූ සැල්වදෝර් ඇලන්ඬේගේ නායකත්වයෙන් යුතු සමාජවාදී ලකුණු සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නැඹුරු පාලනය නොඉවසූ දෙස් විදෙස් බලවේග නව නායක ඔගස්ටෝ පිනෝචෙට් වෙත සිය සහය හා අනුග‍්‍රහය දක්වන්නට වූයේ රට පුරා පැතිරෙන්නට වූ ප‍්‍රචණ්ඩත්වය මධ්‍යයේ. ඇලන්ඬේ වෙත හා ඔහුගේ දැක්ම වෙත සහය පළ කරන චිලී පුරවැසියන් වැඩි දෙනකුට සිදුවූයේ සියල්ල අහිමි කර ගන්නට. දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද මෙතැන සිටියා.
ලෝ ප‍්‍රකට සිනමාකරු කොස්තා ගව්රාස් සිය අට වැනි වෘත්තාන්ත සිනමාපටය වන ‘මිසිං’ සඳහා මෙසමය පාදකකොට ගන්නේ ලොව පුරා මාධ්‍යවේදින් මුහුණදෙමින් සිටින අනතුරු පිළිබඳ කතිකාව පොහොසත් කරලීමේ අරමුණ ද සහිත ව. චිලී දේශයේ වෙසෙමින් සිය වගකීම අකුරට ම ඉටු කරමින් සිටි තරුණ ඇමරිකානු මාධ්‍යවේදියකු වූ චාලි හොර්මන් මෙසමයේදී අතුරුදන් වන්නේ චිලීහි නව පාලනයට සහය දක්වමින් සිටි ඇමරිකානු බලධාරින් ද අපහසුතාවට පත් කරමින්. නව පාලනය විසින් මුදා හරින ලද ඝාතක කණ්ඩායමකට හසුව ඔහු ව මරා දැමෙන බවයි සිනමාපටය පවසන්නේ.
චාලිගේ සැබෑ ඉරණම දැක ගැනීම පිණිස පියා එඞ් හොර්මන් චිලී දේශය බලා පැමිණෙන්නේ සිනමාකරු ගව්රාස්ගේ පිවිසුම වඩා නිරවුල් කරලන සාධක සහිත ව. ඔහු හා චාලිගේ බිරිඳ-බෙත් අත්දකින ප‍්‍රචණ්ඩත්වය ඔස්සේ චිලී නව පාලනයට අකමැති අයවලූන්ගේ දිවි සුරැකුම පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීම ඇරඹෙනවා. චාලි, සිනමාපටයේ ප‍්‍රමුඛ චරිතය වනුයේ අදිසි මිනිසකු ලෙසින්. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරෙන හැම විටෙකදී ම මෙවැනි සිනමා චරිත අමතක කරන්නට බැහැ. චාලි යනු ජනමාධ්‍යවේදින්ගේ වගකීම් සහගත අසීරු වෘත්තිය වෙත ඉහළ වටිනාකමක් සිනමාව වෙතින් ලබා දෙන්නකු ය යන්න පැහැදිලි වන කරුණක්.
‘මිසිං’ මුල්වරට ප‍්‍රදර්ශිත සමයේදී ම සිරිලක සිනමාශාලා කරා ද පැමිණියා. එනමුදු ‘මිසිං’ රසික ප‍්‍රතිචාර ඉහළින් ම ලබන්නට සමත් වූයේ නැහැ. ඊට එක් හේතුවක් විය හැක්කේ ඒ වන විට සිරිලක කලාපයේ මාධ්‍යවේදින් එබඳු අත්දැකීම් ලබන පසුබිමක් දක්නට නොලැබුණු නිසා. කීර්තිමත් මුල් පෙළේ මාධ්‍යවේදින් ඇතුළු මාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස් ඝාතනයට, වධ හිංසා පැමිණවීමට හා බිය ගැන්වීමට ලක් වන්නේ 1980 දශකයේ අගභාගයට පැමිණීමත් සමග. එහි පුරෝගාමී අවස්ථාවක් වනුයේ රිචඞ් ද සොයිසාගේ ඝාතනය. අශෝක හඳගම සිය නවතම සිනමාපටය වන ‘රාණි’ ඔස්සේ රිචඞ් පිළිබඳ පශ්චාත් කියැවීමකට ලබා දෙන ඉඩ හසර අතිශයින් ම වැදගත්.
රිචඞ් තරුණ ඡුායාරූප මාධ්‍යවේදියකුගේ චරිතය නිරූපණය කළ ‘සත්‍යග‍්‍රහණය’ සිනමාපටය ද මෙතැනදී සිහිපත් වනවා. ඞී.බී. වර්ණසිරි නිමවූ ‘සත්‍යග‍්‍රහණය’ට පාදකකොට ගැනුණේ පුවත්පත් බලය මැඩ පැවැත්වීම සඳහා දේශපාලන අධිකාරිය 1970 දශකයේදී ගත් අත්තනෝමතික පියවර සමුච්චය.

මේ හැරුණු විට නොයෙකුත් උපද්‍රව ආදියට ලක්වන මාධ්‍යවේදින් පළමු වැනි පෙළ හා දෙවැනි පෙළ චරිත සේ සනිටුහන් කළ සිනමාපට ගණනාවක් ම සිරිලක සිනමා ඉතිහාසය පිරික්සීමේදී හමුවනවා. එනමුදු සිනමා අනු ශානරයක් බවට මේ සිනමාපට පත් නොවූ බව සඳහන් කළ යුත්තක්.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදී මතයක නැෙඟන කොලොම්බියානු මාධ්‍යවේදි Guillermo Cano Isaza ඉසාසා එක් අතෙකින් ගව්රාස්ගේ ‘මිසිං’හි එන මාධ්‍යවේදී චාලිගේ ම පිළිබිඹුවක්. 1986 වසරේ දෙසැම්බර් මස 16 දින තමා සේවය කළ බොගෝටාහි එල් එස්පෙක්ටඩර් පුවත්පත් කාර්යාලයෙන් නික්ම යන අතරතුර cano ඝාතනයට ලක් වන්නේ මාධ්‍ය ලොව ම තැති ගන්වමින්. කානෝ දිගින් දිගට ම කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ගැඹුරු හා සහේතුක හෙළිදරව් කිරීම් සිදු කරමින් මාධ්‍යවේදියකුගේ සමාජ වගකීමට ප‍්‍රශස්ත වටිනාකමක් ලබා දුන් බව සැබෑවක්. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් ජ්බදගේ ඝාතනයේ වගකිවයුත්තා ලෙසිනුයි සැලකෙන්නේ.
Guillermo Cano Isazaහා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය කෙරෙහි සිරිලක කලාපය සැලකිය යුතු අවධානයක් යොමු කරලීමේ වර්ධනීය අවස්ථාවක් සලකුණු කරන්නේ ගවේෂණාත්මක මාධ්‍යකරණයට නව වටිනාකමක් සපයා දෙමින් සිටියදී ඝාතනයට ලක්වන ලසන්ත වික‍්‍රමතුංග නිසා. වසර 2017දී යුනෙස්කෝව විසින් Guillermo Cano Isaza ලෝක මාධ්‍ය නිදහස් ත්‍යාගය පිරිනමන්නේ ලසන්ත වික‍්‍රමතුංග වෙත. සැබැවින් ම මේ ත්‍යාගය ඔහුට පමණක් ම අයත් නොවන බව සඳහන් කරලීම වැදගත්. සමකාලීන ව ඝාතනයට, අතුරුදන් කිරීමට හා වධහිංසා පැමිණවීමට ලක්වූ සෙසු මාධ්‍යවේදින් ද මෙහි උරුමකරුවන් වනවා.
සිනමාව පොහොසත් කරලීම සඳහා සමාජ, දේශපාලන කියැවීම් භාවිතයට ගැනෙන්නේ කලක පටන්. මෙහිලා මාධ්‍යවේදින්ගේ අත්දැකීම් අතිශය වැදගත් තෝරා ගැනීමක්. සිරිලක සිනමාකරුවන් හෝ සිනමා නිපැයුම්කරුවන් නා නා විධ අත්දැකීම් ලබන මාධ්‍යවේදින්ගේ චරිත පෙරටු කර ගත් සිනමාපට නිර්මාණය සඳහා දක්වන්නේ තරමක අඩු උනන්දුවක්.
ලෝක සිනමාව මාධ්‍යවේදින්ගේ බිහිසුණු අත්දැකීම් නිරූපණය කෙරෙහි අවධානය යොමු කළ අවස්ථා නොඇගැයූ සිනමා සම්මාන උළෙලක් නොමැති තරම්. විචාරක හා විද්වත් රසික පාර්ශ්ව මෙතැනදී සිදු කළ මැදහත්වීම් අවතක්සේරු කරන්නට බැහැ. වැදගත් වන්නේ කාලානුරූප ව හා අවස්ථාවෝචිත ව මේ ප‍්‍රවණතාව සවිබල ගැන්වීම. තවදුරටත් මාධ්‍ය මර්දනය යන්න ලෝක පරිමාණ යථාර්ථයක්. මෙය ද මේ සිනමා මාදිලියේ පැවැත්ම සුරකින සාධකයක් වනවා.
1970 දශකයේ කාම්බෝජ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය වාර්තා කරන්නට පැමිණි ඇමරිකානු හා කාම්බෝජ මාධ්‍යවේදින් දෙදෙනකුගේ සැබෑ අත්දැකීම් අළලා බි‍්‍රතාන්‍ය සිනමාකරු රෝලන්ඞ් ජොෆෙ විසින් නිර්මාණය කරන ලද ‘ද කිලිං ෆීල්ඞ්ස්’, විදෙස් සිනමාපට ප‍්‍රිය කරන සිරිලක සිනමා රසිකයන්ගේ වැඩි ප‍්‍රතිචාර ලද බව ද මෙහිලා සඳහන් කළ යුත්තක්. සිරිලක සිනමාශාලා ප‍්‍රදර්ශනයට ‘ද කිලිං ෆීල්ඞ්ස්’ එක් කළේ උතුරුකරයේ යුද වාතාවරණය උත්සන්න වෙමින් පැවති පසුබිමක. දෙස් විදෙස් මාධ්‍යවේදින් එය වාර්තා කරන්නට උත්සුක වන පසුබිමක. සිනමාපටය ලද රසික ප‍්‍රතිචාර කෙරෙහි මෙය බලපාන්නට ඇතැයි හැඟී යනවා.
ලොව මෙතෙක් නිර්මිත විශිෂ්ටතම සිනමාපටයක් සේ සැලකෙන ඕර්සන් වේල්ස්ගේ ‘සිටිසන් කේන්’, ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ‘ද පෝස්ට්’ ඇතුළු සිනමාපට ගණනාවක් ද මේ සිනමාපට මාදිලිය පොහොසත් කරලන බවයි විචාරක අදහස වන්නේ. මේ හැම සිනමාපටයක් ම සිනමාශාලාවකදී හෝ විකල්ප මං ඔස්සේ නැරඹීම රසික ප‍්‍රජාවට පහසු නැහැ. කෙසේ වෙතත් විචක්ෂණශීලී දැක්මකින් යුතු ව ලොව පුරා පැතිරුණු සිනමා කලාප ඇසුරු කරන රසිකයකුට අන් මාදිලි යටතට ගැනෙන සිනමාපට සේ ම මේ මාදිලියේ සිනමාපට ද මූලික වශයෙන් හෝ දැක ගත හැකි වනවා.
සිනමාව මතු නොව සියලූ නිර්මාණ කාර්ය සඳහා සැබෑ ලොව හා සැබෑ දිවිය කවර ආකාරයකින් හෝ විෂය වන බව නොරහසක්. මෙය සැබෑ ලොව හා සැබෑ දිවිය විෂයානුබද්ධ ව හා විෂයාසක්ත ව ප‍්‍රතිනිර්මාණයක් ද වනවා. මාධ්‍යවේදින්ගේ අත්දැකීම් ද සිනමාව විෂයෙහි ගොනු වන්නේ මෙසේමයි. කෙසේ වෙතත් අතිශයෝක්තියෙන් හා ආධානග‍්‍රාහී ව කරුණු දක්වන අවස්ථා මෙහිලා හඳුනා ගැනීම අපහසු නැහැ.
ලොව මාධ්‍යවේදින් මුහුණදෙන බිහිසුණු අනතුරු පසුපස ඇති දේශපාලනය විවාදාත්මක කියැවීමකට අනගි නිමිත්තක්. මෙය ඍජු ව ම බලපාන්නේ විද්වත් රසික පාර්ශ්වය වෙත. ඊට තුඩුදෙන නිශ්චිත හේතුවක් වන්නේ මෙබඳු සිනමාපට සරල රසාලිප්ත ලකණු රහිත ව හෝ ඒවා අවම කරමින් නිර්මාණය කිරීම. සැබැවින් ම දේශපාලනික ෂානර යටතට ගැනෙන බොහෝ සිනමාපට පළ කරන්නේ ම මේ පිළිවෙතය යන්නයි නිරතුරු ව ම කියැවෙන්නේ.
මාධ්‍යවේදින්ගේ දිවි සුරැකුම, අනන්‍යතාව හා වෘත්තීය ගරුත්වය වෙනුවෙන් සිනමාව යම් පමණකින් හෝ පෙනී සිටිය ද ඉන් විපුල ඵල ඒ ඒ පාර්ශ්ව විසින් නෙළා ගනු ලබන්නේ ද යන්න ප‍්‍රශ්නයක්. සිනමාව සත්තකින් ම ලොව වඩාත් ම බලපෑම් සහගත මාධ්‍යය වන බවයි නිතර සඳහන් කෙරෙන්නේ. කෙසේ වෙතත් මේ වෙසෙසින් දත හැකි ක්ෂේත‍්‍ර සමුච්චයකට අදාළ ව පමණයි. මාධ්‍යකරණයේ සක‍්‍රිය පෙදෙස් නිරූපිත වෘත්තාන්ත සිනමාපට නව වටයකින් ප‍්‍රතිවිමසුමකට ලක් කිරීමේ අවශ්‍යතාවයි මෙයින් කියැවෙන්නේ