ප්‍රතිපත්තිකරණය විද්‍යාත්මක විය යුතුයි

- දීප්ත කුමාර බටගොඩ
ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයකදී ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳ විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාව හමුවට ගෙනෙනු දැකිය හැකි ය. ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශ දේශපාලන වේදිකාවේ පොරොන්දු ලෙස ඉදිරිපත් වේ. මහජනතාව ද පොරොන්දු ඉටු කරගනු වස් තමන් සතු බලය ඔවුන්ට ලබා දෙති. යම් වර්ධනයක් අත්පත් කරගත්ත ද ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ නිසා මෑතකාලීන ව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදුන් ශ්‍රී ලංකාවට දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතු වේ. මේ, ඒ පිළිබඳ විද්වත් අදහස් දැක්වීමකි.

ප්‍රියංග දුනුසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ප්‍රශ්නය
රටකට දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි? එවැනි ප්‍රතිපත්තියක වැදගත්කම කුමක් ද?
පිළිතුර
ඕනෑ ම රටකට සංවර්ධන අරමුණු නැතහොත් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවශ්‍යතා රාශියක් තිබෙනවා. මේ අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ඒ සඳහා ධනාත්මක අයුරින් බලපාන ශක්තීන් (Strength) සහ අවස්ථා (Opportunities) මෙන් ම එයට ඍණාත්මක ව බලපාන දුර්වලතා (Weaknesses) සහ තර්ජන (Threats) පවතිනවා. ආර්ථික සැලසුමක් සම්පාදනය වන්නේ මේ සිව් කාරණා පිළිබඳ විශ්ලේෂණයකින් පසුවයි. මෙහිදී දුර්වලතා සහ තර්ජන අවම කරගනිමින්, ශක්තීන් හා අවස්ථා උපරිම වශයෙන් උපාය මාර්ගික ව ප්‍රයෝජනයට ගැනීම සිදු වනවා. එවැනි සැලසුම්සහගත ගමන් මගක අරමුණු ඉටු කර ගැනීමට පවතින්නේ වැඩි ඉඩක්. මේ නිසයි රටකට සංවර්ධන සැලසුමක් අවශ්‍ය වන්නේ. සංවර්ධන සැලසුමක් තීබීම ම ප්‍රමාණවත් නැහැ. එය දිගුකාලීන සංවර්ධන සැලසුමක් ද විය යුතුයි. විටින් විට වෙනස්වන තාවකාලික සංවර්ධන සැලසුම් හෝ දිගුකාලීන වුවත් දැඩි අනම්‍ය සංවර්ධන සැලසුමක් ද රටකට අහිතකර වන්නට පුළුවන්. ඒ නිසා එය ලෝක වෙනස්වීම්වලට නම්‍යශීලි වූ දිගුකාලීන සංවර්ධන රාමුවක් වීම ද අවශ්‍යයි.
සංවර්ධිත රටවල් එවැනි සංවර්ධිත තත්ත්වයක් ළඟා කරගෙන තිබෙන්නේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක ක්‍රියා කිරීමෙන් බව එම රටවල සංවර්ධන ඉතිහාසය විශ්ලේෂණය කිරීමෙන් තහවුරු කර ගන්නට පුළුවන්. දිගුකාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක රටක ප්‍රමුඛ අංශ හඳුනා ගැනෙනවා. මේ නිසා ආර්ථිකය ප්‍රවර්ධනය කළ යුත්තේ කුමන අංශ ප්‍රමුඛ කරගෙන ද යන්න කල්තියා දැන ගැනීමට හැකියාව ලැබෙනවා. දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්තියක මැදිකාලීන හා ආංශික සංවර්ධන සැලසුම් ඇති වීමෙන් රටේ සමස්ත සංවර්ධනය සමග ම විවිධ අංශවල මෙන් ම භූගෝලීය වශයෙන් ද තුලනාත්මක සංවර්ධනයක් ඇතිවන පරිදි ක්‍රියා කළ හැකියි. රටේ විදේශ ප්‍රතිපත්තිය, ආයෝජන ප්‍රතිපත්තිය හා වෙළෙඳ ප්‍රතිපත්තිය රටේ සංවර්ධන අරමුණු සමග ගැළපෙන ආකාරයෙන් මෙහෙයවීමේ හැකියාව ද ලැබෙනවා.
දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් රජයක් පවත්වාගෙන යාමෙන් පෞද්ගලික අංශයට (ආයෝජකයන්, නිෂ්පාදකයන්), රාජ්‍ය නොවන සංවිධානවලට සහ මහජනතාවට රටේ ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ව දැනීමක් හා විශ්වාසයක් ඇතිවීමෙන් ඔවුන්ට ද තමන්ගේ පෞද්ගලික සැලසුම් ඒ අනුව විශ්වාසයකින් යුතු ව ක්‍රියාවට නැංවීමේ හැකියාව ලැබීමත් විශේෂ කරුණක්. මේ සියල්ලේ ම අවසන් ප්‍රතිපලය වන්නේ මහජනතාවගේ අවශ්‍යතා එසේත් නැතහොත් රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමත් එය ස්ථාවර ව පවත්වාගෙන යාමේ හැකියාව ලැබීමත්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්‍යාත්මක ප්‍රතිපත්ති රාමුවක් විය යුතු අතර ම එය පටු දේශපාලන අරමුණු සඳහා සකස් කරන ලද්දක් නොවීමත් වැදගත්.
ප්‍රශ්නය
දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ ඔබේ කියවීම කුමක් ද?
පිළිතුර
සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම් සම්පාදනය මුල් කාලයේ දැකිය හැකි වූයේ සමාජවාදී රටවල. එහෙත් පසුකාලීන ව (1970 ගණන්වල) ධනවාදී රටවල ද මෙය භාවිතයට ගැනුණා. එය සමාජවාදී රටවල සංවර්ධන සැලසුම්වලට වඩා වෙනස් ස්වරූපයක් ගත්තා. මෙහිදී රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය, මහජනතාව ඍජු ව සහභාගි වීමෙනුයි සංවර්ධන සැලසුම් සම්පාදනය වන්නේ. විශේෂයෙන් නිදහසින් පසු කාලයේ නැගෙනහිර ආසියානු කලාපයේ රටවල්, අග්නිදිග ආසියානු කලාපයේ රටවල්, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දිගුකාලීන සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් මෙවැනි දිගුකාලීන ප්‍රතිපත්ති රාමුවකයි ආර්ථිකය සංවර්ධනය කිරීමට පියවර ගත්තේ. ඔවුන් දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක සිටිමින් ලෝක ආර්ථික ප්‍රවණතාවලට ද නම්‍යශීලි වන අයුරින් ක්‍රියා කළා. මෙවැනි දිගුකාලීන ප්‍රතිපත්තියක මැදිකාලීන ප්‍රතිපත්ති රාමුවක් ද ඇතුළත්. නිදසුනක් ලෙස ඉන්දියාව 13 වැනි පස් අවුරුදු සැලසුම, බංග්ලාදේශය 7 වැනි අවුරුදු සැලසුම අනුවත් ක්‍රියා කරමින් සිටිනවා. ඉන්දුනිසියාව 2045 වසර දක්වා වන සැලසුමක් මත සහ වියට්නාමය 2035 වසර දක්වාත් බංග්ලාදේශය 2041 වසර දක්වාත් වන සැලසුමක් අනුවයි ක්‍රියා කරමින් සිටින්නේ. මේ ආකාරයට ලෝකයේ සෑම රටක් ම පාහේ හඳුනාගෙන තිබෙනවා දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක ඇති වැදගත්කම.
ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ කලින් කලට මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ මැතිවරණ කාලවලදී එළිදක්වා තිබෙනවා. එම බොහෝ ප්‍රතිපත්ති දිගුකාලීන ව ක්‍රියාත්මක වුයේ නැහැ. මේ සඳහා හේතු වූ කරුණු මොනවා ද?
පිළිතුර
නිදහසින් පසුව 1970 ගණන් වන තුරු ශ්‍රී ලංකාව පස් අවුරුදු සැලසුම්වල ක්‍රියාත්මක වුණා. 1977දී ආර්ථික ලිහිල්කරණයත් සමග සැලසුම් සම්පාදනය සම්පූර්ණයෙන් ම පාහේ අත්හැර දැමුණා. ඒ වෙනුවට මැතිවරණ කාලයකදී මහජනතාවට දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන මැතිවරණ පොරොන්දු පත්‍රය දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තිය බවට සලකන්නට පටන් ගත්තා. එම ප්‍රතිපත්තිය බොහෝ විට ගොඩ නැගෙන්නේ තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදියට නොවෙයි. මැතිවරණ සමයේදී තම පක්ෂයට සහයෝගය දක්වන විද්වතුන් හා ඒ හා සමාන පිරිස්වල අදහස් අනුව ගොඩනැගෙන ප්‍රතිපත්ති රාමුවකුයි මෙහි ඇත්තේ. ඒ අනුව අයවැය ද සකස් කෙරෙනවා. කලින් කලට බලයට පත්වන ආණ්ඩුවල මේ පොරොන්දු පත්‍රිකාව එකිනෙක වෙනස්. මේ නිසා සිදු වුණේ ශ්‍රී ලංකාවට විද්‍යාත්මක පදනමක් මත බිහිවුණු දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් මත ක්‍රියා කිරීමට ඇති අවස්ථාව අහිමිවීම. රටේ සමස්ත සංවර්ධනයට ආර්ථිකයේ විවිධ අංශවල දායකත්වය නිසියාකාරයෙන් ලැබුණේ නැහැ වගේ ම එම අංශ අතර පරස්පරතා ද හට ගත්තා. මේ නිසයි අද වන විට ශ්‍රී ලාංකිකයන්ට විදේශ රැකියා වෙළෙඳපොළ වෙත වැඩි වශයෙන් පිවිසීමට සිදු ව ඇත්තේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීමෙන් යැයි මා විශ්වාස කරනවා. එවැන්නක් තිබුණානම් ආර්ථිකයේ මතු විය හැකි ගැටලු පිළිබඳ පූර්ව දැනුමක් ලබා ගැනීමටත් මතු වන ගැටලු සඳහා යම් ආකාරයක පූර්ව සූදානමක් සහ විසඳුම් සෙවීමක් ද කළ හැකි ව තිබුණා. සැලසුමක් නොමැති ආර්ථිකයක ගමන් මාර්ගයේ අවසන් පලය අර්බුදකාරී තත්ත්වයක් ඇති වීම මිස අන් කවරක් ද?
ප්‍රශ්නය
දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්තියක් සම්පාදනයේදී විද්‍යාත්මක ක්‍රමයකට අනුව එය සිදු විය යුතු බව ඔබ පවසනවා. ඔබ පවසන විද්‍යාත්මක ක්‍රමවේදයේ පදනම කුමක් ද?
පිළිතුර
රටක සංවර්ධන ප්‍රතිපත්තියේ රටේ අවශ්‍යතා, මහජනතාවගේ අවශ්‍යතා අන්තර්ගත වීම වරදක් නොවෙයි. විය යුතු වන්නේ ද එයයි. එහෙත් එම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පදනම් කරගන්නේ කුමන කරුණු ද යන්න කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. මූලික ව නිවැරදි දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයටත් එම ප්‍රතිපත්ති දිගුකාලීන ව ක්‍රියාත්මක කිරීමටත් ක්‍රියා කළ යුතු වනවා. දිගුකාලීන ප්‍රතිපත්තියක ආර්ථිකයේ විවිධ අංශ කෙරෙහි වන සැලසුම් සහ ඒ සඳහා වූ මැදිකාලීන සැලසුම් ද අන්තර්ගත විය යුතුයි. එවැනි දිගුකාලීන සැලසුමකදී ආර්ථිකයක කුඩා ම ඒකකය ද ඒ අනුව තමන්ගේ සැලසුම් පූර්ව විශ්වසනීයත්වකින් යුතු ව ක්‍රියාත්මක කරනු දැකිය හැකියි. එය රටේ සමස්ත ආර්ථිකයේ සංවර්ධනයට අවශ්‍ය පදනම සපයනු ඇති.
ප්‍රතිපත්තිකරණයේ පදනම විය යුතු වන්නේ නිවැරදි තොරතුරුයි. ඒ සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හෝ මහබැංකුවේ හෝ තොරතුරු මත පමණක් පදනම් ව ක්‍රියා කිරීමට වඩා පුළුල් පරාසයක නිවැරදි තොරතුරුවල අවශ්‍යතාවක් තිබෙනවා. එහිදී මූලික වශයෙන් පවතින්නේ ශදුඅත විශ්ලේෂණයකට (SWOT Analysis) අවශ්‍ය තොරතුරු අවශ්‍යතාවක්. ඒ ඔස්සේ ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගත හැකියි. මූලික ව මේ සඳහා සාර්ව මට්ටමේ පවතින දත්ත භාවිත කරන්නට පුළුවන්. ඉන්පසුව සියලු ම පාර්ශ්ව සම්බන්ධ වන ආකාරයෙන් ඊට වැඩි තොරතුරු ලබා ගන්නට පුළුවන්.
ප්‍රශ්නය
ඔබ පවසන විද්‍යාත්මක ප්‍රතිපත්ති සම්පාදනය සිදු කළ යුත්තේ කවුරුන් ද? ඒ සඳහා ශ්‍රී ලංකාවේ නීති රාමුව සහ ආයතනික පද්ධතිය ප්‍රමාණවත් ද?
පිළිතුර
ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ ඒ සඳහා රටක ස්ථාපිත කර තිබෙන විධිමත් ආයතනයක්. පවතින ආයතනික ව්‍යුහය සහ සංවිධාන ව්‍යුහය ඒ සඳහා ප්‍රමාණවත්. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ විට ක්‍රියාත්මක වීමේදී මේවායේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව පෙනී යනවා. බොහෝ විට ඇතැම් සැලසුම් අදාළ ආයතනය ම සිදු කරන්නේ නැහැ. අදාළ ආයතනයෙන් පරිබාහිර පිරිසක් ඒ සඳහා පත්කරනවා. එයින් මා අදහස් කළේ දේශපාලන අධිකාරිය හෝ විශේෂඥ පිරිස් මේ සඳහා මැදිහත් නොවිය යුතු ය යන්න නොවේ. දේශපාලන අධිකාරියෙන් විය යුත්තේ රටේ සංවර්ධන අවශ්‍යතා අනුව ඒ සඳහා වූ ආයතනික ව්‍යුහය නිවැරදි දිශානතියට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම. ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම හා අධීක්ෂණ ක්‍රියාවලිය අදාළ ආයතනය සිදු කළ යුතුයි. ඒ සඳහා ස්වාධීන ව ක්‍රියා කිරීමට අවශ්‍ය පහසුකම් එම ආයතනවලට ලබාදිය යුතුයි. අසල්වැසි ඉන්දියාවේ NITI (National Institute Transforming of India) නමින් පිහිටුවා තිබෙන ආයතනය සිදු කරන්නේ මෙවැනි කාර්යයක්. මුල්කාලීන ව එම ආයතනය හැඳින්වූයේ National Planning Commission ලෙසයි. එම ආයතනය සඳහා අවශ්‍ය විශේෂඥ දැනුමින් යුතු දක්ෂ නිලධාරීන් පත් කර, එය ස්වාධීන ආයතනයක් බවට පත් කළා. ශ්‍රී ලංකාවේ ද ජාතික ප්‍රතිපත්තිකරණ කාර්යය ඒ සඳහා පිහිටුවා ඇති ආයතනවලට නීත්‍යානුකූල ව ලබා දිය යුතු අතර ස්වාධීන ව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය ද සකස් කළ යුතුයි. ප්‍රතිපත්තිකරණය දේශපාලන යාන්ත්‍රණයෙන් ඉවත් කර, ඒ සඳහා පුහුණුවක් සහිත විශේෂඥයන් අතට පත් කිරීමයි කළ යුතු වන්නේ.