නිහඬ විප්ලවවාදියා

- කුමාර ලියනගේ
ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වූ, එක් කාල සමයක මෙරට විසූ එවක තරුණ පරපුරේ නිර්මාණවේදියෙක් චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න. සාහිත්‍යකරුවකු සහ ජනමාධ්‍යවේදියකු මෙන් ම අප‍්‍රමාණ මානව හිතවාදියකු ද වූ සමාජ ක‍්‍රියාධරයකු ලෙසින් ද ඔහු ප‍්‍රකට ව සිටියා.
දිවයින ඉරිදා සංග‍්‍රහයේ ‘කව්මුතු තීරයේ’ මෙන් ම සති මැද දිවයින පුවත්පත්වල ‘8 වැනි පිටුව’ සහ ‘නිකේතනය’ වැනි විශේෂාංගවල ද ‘නවලිය’ පුවත්පතේ ‘කවි කවුළුව’ තීරයේ ද ප‍්‍රගතිශීලී නිර්මාණ පළකරන්නකු වශයෙන් නාම කායෙන් දැන හඳුනා ගැනීමට ලැබුණු චන්ද්‍රකුමාර, වරක් මට ‘දිවයින‘ පුවත්පත් කාර්යාලයේදී හමුවුණා. ඒ, චන්‍ද්‍රකුමාර මට හමු වූ මුල් ම දිනයත් අවසන් දිනයත්. ඊට ටික කලකට පසු චන්ද්‍රකුමාර පැහැරගෙන ගොස් අමානුෂික වධබන්ධනවලට ලක් කර ඝාතනය කරන ලද බවට ආරංචියක් ලැබුණා. ඒ මොහොතේ හදවතේ ඇති වූ තුවාලය අදටත් සුවපත් වී නැහැ.
ස්වකීය ජීවිතය උතුම් අරමුණක් වෙත කැප කරමින් ද මෙහෙයවමින් ද සිටි චන්ද්‍රකුමාර පිළිබඳ හද සසල කරන පුවත් ඔහු ලියූ ලිපිලේඛනවල සඳහන්.
එකල අපගේ සමකාලීන නිර්මාණකරුවකු ව සිටි චන්ද්‍රකුමාරගේ අනන්‍ය සමාජ දේශපාලනික දෘෂ්ටියෙන් යුක්ත ගද්‍ය පද්‍ය රචනා ද දිගින් දිගට දිවයින පුවත්පත් සමූහයේ අඛණ්ඩ ව පළවෙමින් තිබුණා. එ්, පොදුවේ අපගේ පරපුරට ම පූර්වාදර්ශයක්, උත්තේජනයක් සහ මාර්ගෝපදේශනයක් ද සපයමින්. වර්තමානය දක්වා ශේෂ වී තිබෙන චන්ද්‍රකුමාරගේ කාව්‍ය නිර්මාණ විමර්ශනය කිරීමෙන් ඔහු ජීවත් ව සිටි ශ‍්‍රී ලාංකික සමාජ පරිසරය පසුබිම්කොට ගත් පවුල් පරිසරය කවර දුක්ඛිත මෙන් ම බිහිසුණු, පිරිහුණු සාධකවලින් පිරී තිබුණු අවකාශයක්දැයි අවබෝධ කර ගැනීම අපහසු නැහැ.
චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න කාව්‍ය නිර්මාණ ‘භූගත කවිසිත’ යනුවෙන් නාමකරණයෙන් යුක්ත ව සමාජවාදී කලා සංගමය විසින් සංස්කරණය කරනු ලැබූ 2009 වර්ෂයේදී එළිදැක්වුණු නිර්මාණ සංග‍්‍රහයේ සංස්කාරකගේ සටහනට අනුව.
”පුරෝගාමීයකු වීම පහසු නැත. එය දුෂ්කර ය. ඔහු වෙනස් මගක් ගත්තේ කලාව ධනෝපායන මාර්ගයක් බවට පත් වූ යුගයේදී ය. කලාව මිනිසුන් සිහින ලෝකවල තනි කරන, ජීවිතයෙන් විගලිත කරවන මත්ද්‍රව්‍යයක් බවට පත් කරගත් යුගයේදී ය. කලාව මිනිස් සංහතියේ ජයග‍්‍රහණ වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට පල් වළ ඉහගෙන කෑමේ ව්‍යාපෘතියක් බවට පත් වූ යුගයේදී ය. ඔහු වෙනස් මගක් ගත්තේ මානව දයාව වෙනුවට මිනිස් මනසට කුණුකන්දල් පිරවීමේ මෙවලමක් බවට පත් වූ යුගයේදී ය. ඒ මහා කසළ ප‍්‍රවාහය ඉදිරියේ දණ නොනැමූ චන්ද්‍රකුමාර සමාජමය අරමුණු කරා සිය පන්හිඳ මෙහෙය වූයේ ය.”
” ඕනෑම කලාකෘතියක මානවවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත තොරතුරු සංරක්ෂණයක් ද විශද වන්නේ ය” යනුවෙන් විෂයානුබද්ධ ව ප‍්‍රකාශ කරන ලද්දේ මෑතකදී මියගිය අපගේ සන්මිත‍්‍ර සුමින්ද කිත්සිරි ගුණරත්න. ඊට කදිම නිදර්ශන රැසක් චන්ද්‍රකුමාර වික‍්‍රමරත්නගේ ‘භූගත කවිසිත’ කාව්‍ය සංග‍්‍රහයේ තිබෙනවා.
”බත් උයලා දෙන්ට
ඔරලෝසු කණුව පාමුල බිම් ගේක
දම් පල් උයනේ පඳුරු යට
පොලිස් තනිකඩ බැරැක්කේ
ගබඩා කාමරේ නොනිදා උන්නේ
රැයක් ද..? දෙකක් ද..?
ලේවලින් හැදූ බත් උයාලා කවාලා
උස මහත් කළ කලට
ඇයි ද නුඹලා
මගේ දරුවන් මරන්නේ..?
කොග්ගල වැල්ලේ
දඩල්ලේ සොහොනේ
මහමෝදර පාර අයිනේ
හිනිදුම කැලෑවේ
දරුවන් පුළුස්සා දමන්නේ
(භූගත කවිසිත, සංස්කාරක සටහන, xxii)
අහංගංකන්ද වැල්ලේ සුදු වෙරළේ
පෙඳපාසි බැඳුණු හිරිගල් තලේ
බෙල්ලන් ද සිප්පිකටු අහුලමින්
රැල්ලේ පෙඟි පෙඟි සිනාසී දැඟලූවෙමු
මේ කියන කාල ආසන්නයේ
හරියට ම ඒ දවස්වලමයි
පුංචි මාළුන් රඟන ගල්පරේ
දිය පිරුණු හිරිගල් බෙන කුහර ඇතුළට
ඈත මූදෙන් ආපු වාලක්කඩින් රංචුවක්
සෝකයෙන් භීතියෙන් අපි බලා හිඳිද්දිම
එහි පුංචි මාළුවන් ගොදුරු ලෙස ගිල්ලේ
හරියට ම ඒ දවස්වලමයි
නිවාඩු ලැබී අපේ හෝඩියට
ඇඳිරි නීතිය දහවලේ වැටුණේ
ජීප්වල නැගුණු භීතිය ඔබ මොබ දිව්වේ
(භූගත කවිසිත, පළමු පාඩම, පිටුව 3)
එකල භීෂණ යුගයේ මරණයේ බියකරු සෙවණැලි ජන ජීවිත පුරා වැටී තිබුණු ආකාරය කවියාගේ ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් චිත‍්‍රණය කොට තිබුණේ සජීවී භාෂා ප‍්‍රකරණ ඔස්සේ. මේ එක් නිදර්ශනයක්.
අපේ ගේ ඉදිරිපිට මහපාර පාළු වී
කඩමණ්ඩිය වැසී
අවි දැරූ බොහෝ සෙබළුන් රංචු
අපේ ගමටත් කඩා පැන්නේ
නිශ්චල වුණා මහ සමුදුරත්
පෙරළි කෙරුවේ නෑ දිය රැලිත්
එරබදු මුදුන්වල මල්පෙතිත්
ඔක්කොම පරවෙවී වැටුණා
දවල් දෙකේ වෙඩි පිපිරුණා
කොවුලන් ද බියෙන් දෝ ඈතට ම ඉගිලූණා
අපේ ගේ තිබුණේ කන්ද උඩ
බිත්ති පුපුරා වහල දිරලා
අනතුරුදායකයි වාසයට නුසුදුසුයි
එ්ත් අපි එහිම ලැග උන්නා
එ් වගේ බොහෝ පැල් ගමේ තව තිබුණා
(භූගත කවිසිත, පළමු පාඩම, පිටුව 4)
පොළොව මතුපිට සරන මිතුරනේ
සැරිසරන විටදි ඔබ මගතොටේ
දෑස පෙනෙන සියක් මළකඳන් ඇති මාවතේ
මගේ මුහුණත් තිබේදැයි බලන් රහසේ
අඳුරු වධකාගාර ඇතුළෙන් මිදී
නිදැල්ලේ ඉගිල යන කෙඳිරියක
මගේ හඬත් තිබේදැයි අසන්නට
සවන්පත් යොමන් මා මිතුරේ
(භූගත කවිසිත, සංස්කාරක සටහන, xxiv)

මෙබඳු කවි රචනාවලට පාදක වී තිබෙන චන්ද්‍රකුමාරගේ හෘදය සාක්ෂ්‍යය විසින් මතුකරන ලද ඒ වරදකාරී හැඟීම කවර ආකාරයේ මනෝභාවයක් විය හැකි ද.? ඒ අනෙකක් නොව තිරශ්චීන ජනඝාතක, දුර්දාන්ත සමාජ ක‍්‍රමයක ජීවත්වන සමයක මානව පේ‍්‍රමියකු ලෙස ප‍්‍රගතිශීලී ආකල්පයෙන් සාමුහික අරමුණක් සාක්ෂාත් කර ගැනිමට කාලය සහ ශ‍්‍රමය කැප කිරීම විනා අන් කිසිවක් නොවෙයි.
සමාජයක් වශයෙන් සාමුහික ව සිතද්දී වුව, වර්තමානයේ අපට හැඟෙන ඛේදවාචකය වන්නේ මරණය පෙනි පෙනී ඊට එරෙහි ව අභීත ව නැගී සිටිමින්, කලා සංස්කෘතික නිර්මාණ ව්‍යාපාර ඔස්සේ පොදු ජනතාවට යථාර්ථය අවබෝධ කර දීමට වැර වෑයම් කළ චන්ද්‍රකුමාරලා වැනි ජාති හිතෛෂීන් රටට අහිමි වන්නට පෙර මෙරට මිනිසුන්ට ඒ බව නිවැරැදි ව ග‍්‍රහණය කර ගැනීමට නොහැකි වීම. කෙසේ හෝ චන්ද්‍රකුමාර වැන්නන් ගොඩනැගීමට අපේක්ෂා කළ පොදුජන හිතවාදි මානව ප‍්‍රගතිකාරක සමාජ ක‍්‍රමය ස්ථාපිත කළ හැකි දේශපාලනික බලවේගයට රටේ නිලපාලන බලය විශිෂ්ට මැතිවරණ ජයග‍්‍රහණයකින් අත්පත් කර ගැනීමට හැකි වූ බව යථාර්ථයක්. එහෙත් සියල්ල යහපත් වන විට පොදුවේ රටට සිදු වූ අයහපත් සමාජ ක‍්‍රියාදාමවල බලපෑම ද සුළුපටු නැහැ. සැබැවින් ම 2024 වර්ෂයේදී තීරණාත්මක සමාජ බලවේගයක් ලෙස අවදිවෙමින් සිදු වූ ඒ ප‍්‍රසාදජනක ප‍්‍රබල සමාජ පරිවර්තනය මෙයට වසර 50කට පමණ ඉහතදී සිදුවීමට තිබුණු සමාජ සංස්කෘතික විප්ලවයක්. එසේ වූයේනම් අද සුපහන් සිතකින් නිර්මාණ කරන චන්ද්‍රකුමාර කෙනකු අපේ සමාජයේදී අපට හමුවන්නට ද ඉඩ තිබුණා.