#දේශපාලන

අසල්වැසියාගේ මිත්‍රත්වය

  • චන්දන මාරසිංහ

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව අනුර කුමාර දිසානායකගේ පළමු වැනි විදෙස් සංචාරය සිදුවුණේ ඉන්දියාවට. ඒ, ඉන්දීය ජනාධිපති දෞපදි මුරුමුගේ (Droupadi Murmu)  ආරාධනයකට අනුව. 2024 දෙසැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 17 දින දක්වා සිදු කළ එම සංචාරයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනුණේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට ළඟා වුණේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. එහිදී ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස් මුර්ගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් ඔහු මහත් හරසරින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදී. ඉන්දීය ජනාධිපතිවරිය සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට එක් ව සිටියා. ආචාර වෙඩිමුර 21ක් පවත්වා එම පිළිගැනීම සිදු වුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව. පළමු විදෙස් නිල සංචාරය සිහිපත්වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජ්ගාර්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළා.

රාජ්‍යතාත්ත්‍රික සාකච්ඡා ආරම්භ වුණේ ඉන්පසුව. මේ සංචාරය අතරතුර ජනාධිපතිවරිය මෙන් ම අගමැති නරේන්ද්‍ර මෝදි, උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දත්තාර් (Shri Jagdeep Dhankhar), ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් (Dr. S. Jayashankar), ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නන්ද (J.P. Nanda) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් (Shri Ajith Doval & ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසනායක සාකච්ඡා සඳහා එක්වුණා.

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම මෙන් ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා පැවැත්වුණේ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් අතර. ඉන්දීය සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවත් එහිදී අවධානය යොමු වුණා. විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් සමග පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දීය වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව සලකා බැලුණා. මෙරට සංචාරක, ආයෝජන සහ බලශක්ති යන අංශවලට සහය වීමට ඉන්දීය රජය එකඟත්වය පළ කරන බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව සිදුකෙරුණේ ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් සමග.

අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පැවැත්වුණා. ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු වුණේ දෙරට රාජ්‍ය නායකයන් ඉදිරියේ. ඉන් අනතුරු ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වුණා. ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි ව ඇති බව තමන් හොඳින් දන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති අනුර කුමාර දිසනායක සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම ගැන සතුටු වන බව අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළා. අනාගතවාදී දැක්මකින් දෙරට අතර සම්බන්ධතාවලට නව මුහුණුවරක් ලබාදීම ගැන ද එහිදී අවධානය යොමු වීම සුවිශේෂත්වයක්. භෞතික, ඩිජිටල් සහ බලශක්තිය යන අංශ තුන ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දැක්වීමටත් දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාව සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධවත් එහි සාකච්ඡා කර තිබෙනවා.

පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමෙනු ඇති. ඉදිරි වසර 5හේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 1500කට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමටත් අගමැතිවරයා කැමැත්ත පළ කර තිබෙනවා. ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානිවන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සාකච්ඡාවලදී ප්‍රකාශ කළේ.
ඉන්දීය ජනාධිපතිවරිය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට භෝජන සංග්‍රහයක් ද පිරිනමා තිබෙනවා. එම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර සඳහන් කළේ දෙරට අතර පැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව. ඉන්දියාව

සමග ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ව ද ජනාධිපතිවරයා අදහස් පළ කළා. ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දත්තාර් සමග පැවති සාකච්ඡාවේදී ආර්ථික සහයෝගිතාව, කෘෂිකර්මය හා ඩිජිටල්කරණය ඇතුළු විෂය පිළිබඳ අවධානය යොමු වුණා. ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමග ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරත වුණා. ඉන්දීය කර්මාන්ත සම්මේලනයයි එය සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති හිතකර පරිසරය ගැන ජනාධිපතිවරයා එහිදී කරුණු පැහැදිලි කළා. ඉන්දීය ව්‍යාපාරිකයන් මෙරට ආයෝජනවලට යොමුවීමට කැමැත්ත පළ කිරීම එම සාකච්ඡාවල ප්‍රතිඵලයක්. ඩිජිටල්, ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණය ඇතුළු අංශ පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වුණා. එරට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ශ්‍රී ලංකාව එකඟත්වය පළ කළා.

ජනාධිපති අනුර කුමාර දිසනායකගේ ඉන්දීය සංචාරය පිළිබඳ Voice of America, AP news, The hindu, Ғrance 24, ABС News, NDTV, Business Standard, Economy next, Yahoo News Сanada සහ MSN ආයතන වැනි ජාත්‍යන්තර මාධ්‍යල ප්‍රවෘත්ති ආයතන හා වෙබ් අඩවි රැසක් යොමු කර තිබුණේ විශේෂ අවධානය. එරට විදේශ ලේකම් වික්‍රම් මිස්රි විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානය යොමු වුණේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සිදු වූ සාකච්ඡා පිළිබඳ ව.


ඉන්දීය නිල සංචාරය අවසන් වුණේ රාජ්‍ය තාන්ත්‍රික පිරිස බුද්ධගයාව වැඳ පුදා ගැනීමෙන් ද අනතුරු ව. එහි පිහිටා ඇති මහා විහාරයත් ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් එක්වුණා. සංචාරය සාර්ථක ව නිම කරමින් යළි රාජ්‍ය තාන්ත්‍රික පිරිස දිවයිනට පැමිණියේ දෙසැම්බර් 17 දින. විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය විජිත හේරත්ල කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද ඊට එක් ව සිටියා.

සංචාරයෙන් පසු මෙරට පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ දෙරට අතර පවතින ගිවිසුම් හා එකඟතා සම්බන්ධයෙන් මේ සංචාරයේදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ බව. එහිදී දෙපාර්ශ්ව එක් ව ඒකාබද්ධ ප්‍රකාශනයක් ද නිකුත් කර තිබෙනවා. මෙරට උතුරේ ධීවරයන් සහ දකුණු ඉන්දියාවේ ධීවරයන් මුහුණ දී ඇති ප්‍රශ්නය ගැන දීර්ඝ ව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණිය යුතු බවට පැවති සාකච්ඡාවලදී දෙරට එකඟතාවට පැමිණ තිබෙනවා. මහව-ඕමන්තේ දුම්රිය මාර්ගය ඉදි කිරීමට අදාළ සංඥා පද්ධතියට ලබාදෙන ඉන්දියානු ණය ආධාර, ප්‍රදානයක් බවට පත් කිරීමත් කරෙයි නගර් බෝට්ටු අංගනය ඉදි කිරීමට ඉන්දියානු රජය යටතේ ප්‍රදානයක් ලබා දීමත් මේ සාකච්ඡාවල ප්‍රතිඵල. සිදු කරගෙන යන නිවාස ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට තවදුරටත් සහයෝගය පළ කිරීමත් ඉන්දියානු මහා බෝධි සමාගමට ලැබෙන විදේශ ආධාර සම්බන්ධ නීතිමය බාධා ඉවත් කිරීම සහ අන්තර් මහද්වීපික මුහුදු සීමාව නීර්ණය තර ගැනීමට එකඟතාව පළ වීමත් එම සාකච්ඡාවලදී සිදු ව තිබෙනවා.

කලාපයේ බලවතා සහ සමීප අසල්වැසියා වශයෙන් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින්නේ දීර්ඝකාලීන බැඳීමක්. ආර්ථික වශයෙන් මෙන් ම ආරක්ෂක සහයෝගිතාව ඇතුළු අංශවලින් දෙරට අතර සම්බන්ධතා තවත් වර්ධනය කර ගැනීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත්. ජනාධිපතිවරයාගේ මේ නිල සංචාරය එය මනාව තහවුරු කර තිබෙනවා.

අසල්වැසියාගේ මිත්‍රත්වය

ලංකාවේ ගෝර්කි