#ක්‍රීඩා

යොවුන් ක්‍රීඩා ශුරයෝ

  • අනිල් වීරසිංහ

නොබෝදා (අප්‍රේල් 15 සිට 18 දක්වා) සෞදි අරාබියේදී අවසන් වූ 2025 ආසියානු වයස 18න් පහළ මලල ක‍්‍රීඩා ශුරතා තරගාවලියේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත් වුණා. මේ අනුව පදක්කම් දිනූ රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට හිමි වූයේ 09 වැනි ස්ථානය. මෙය ආසියානු යොවුන් ශූරතා තරගාවලි ඉතිහාසයේ ශ‍්‍රී ලංකාව වැඩි ම පදක්කම් ගණනක් ජයගත් අවස්ථාව ලෙස ද හඳුන්වන්නට පුළුවන්. ශ‍්‍රී ලංකාව මෙහි 09 වැනි ස්ථානය දිනා ගන්නා විට ප‍්‍රබල ඉන්දියාවට අත්වුණේ 08 වැනි ස්ථානය. මීට පෙර 2015 ආසියානු යොවුන් ශූරතා තරගාවලියේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් සමග පදක්කම් හතරක් දිනා තිබූ අතර 2022 තරගාවලියේදී රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් සමග පදක්කම් පහක් ජයගෙන තිබුණා.

මුලදී ආසියාතික යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලිය ලෙස හැඳින්වූ මේ තරගාවලිය වර්තමානයේ ආසියා වයස 18න් පහළ මලල ක‍්‍රීඩා ශුරතාව ලෙස හැඳින්වෙන අතර මෙහි ආරම්භය 2015 වසර දක්වා දිව යනවා. මෙහි මුල් ම තරගාවලිය පැවැත්වූයේ කටාර්හිදී. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙය මීට පෙර පැවැත්වුණේ 2015, 2017, 2019, 2022 හා 2023 වසරවල. වැඩි ම අවස්ථා ගණනක් චීන ආධිපත්‍යයට යටවී ඇති තරගාවලියක් ලෙස හැඳින්විය හැකි මෙය තරගාවලියේ පළමු ස්ථානය අවස්ථා පහකදී ම ජයගැනීමට චීනය සමත් වී ඇති අතර 2022 තරගාවලිය පමණක් ඉන්දියාව මුල් ස්ථානය දිනා ඇත්තේ එවර චීනය සහභාගි නොවීම හේතුවෙන්.

හය වැනි වරට පැවැත් වූ මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර 800 බාලිකා ඉසව්වට සහභාගි වූ තරුෂි අභිෂේකා. ඇය මේ ජයග‍්‍රහණය අත්කර ගත්තේ ප‍්‍රබල චීන ක‍්‍රීඩිකා මෙයිලින්යි දෙවැනි ස්ථානයට ඇද දමමින් වීම අමතක කළ නොහැක්කක්. කාන්තා මෙඞ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගි වී ධනංජනා ප‍්‍රනාන්දු, තරුෂි අභිෂේකා, හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා මෙහි රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දීමට සමත් වීම ද කැපී පෙනෙනවා. එහි රන් පදක්කම දිනා ගත්තේ චීනය. දිල්කි නිහාරා බාලිකා තුන් පිම්ම ඉසව්වට සහභාගි වී එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ධනංජනා ප‍්‍රනාන්දු කාන්තා මීටර් 100, ජනිත් ලක්ෂාන් තුන්පිම්ම පිරිමි රිදී පදක්කම් ජයගත් සෙසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වුණා. මීටර් 1,500 බාලක ඉසව්වට සහභාගි වූ ළහිරු අචිත්ත, මීටර් 800 බාලක ඉසව්ව සඳහා සහභාගි වූ සවිඳු අවිශ්ක, උස පැනීම පිරිමි ඉසව්ව සඳහා පවන් නිත්‍ය ලෝකඩ පදක්කම්ලාභී සෙසු ක‍්‍රීඩකයන්.

තරුෂි අභිෂේකා දිනූ රන් පදක්කම මේ තරගමාලා ඉතිහාසයේ ශ‍්‍රී ලංකාව දිනූ දෙවැනි රන් පදක්කම වනවා. මීට පෙර 2015 කාන්තා මීටර් 400 බාධක දිවීමේ ඉසව්වෙන් යමානි දුලාංජලී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

17 හැවිරිදි තරුෂි අභිෂේකා මලල ක‍්‍රීඩාවට දැක්වූ දස්කම් හේතුවෙන් දඹුල්ල ජාතික පාසලේ සිට ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසලට ඇතුළත්වීමට අවස්ථාව උදාකර ගත්තා. මීටර් 800 ඉසව්වට අමතර ව මීටර් 400 හා 1500 ඉසව් ද නියෝජනය කරන ඇය 2024 වසරේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව වෙනුවෙන් විශේෂ වාර්තාවක් පිහිටුවමින් දස්කම් දැක්වූයේ මෙරට සිටි තවත් දක්ෂතම ක‍්‍රීඩිකාවක වූ ධම්මිකා මැණිකේ 1985 වසරේ පිහිටුවා තිබූ වසර 39ක් පැරණි වාර්තාවක් යළි අලූ‍ත් කරමින්.

තමාගේ ඉදිරි බලාපොරොත්තුව එළඹෙන ආසියා යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීම බව තරුෂි මාධ්‍යයට පවසා තිබුණා. තරගාවලි ඉතිහාසයේ ශ‍්‍රී ලංකාව වැඩි ම පදක්කම් ගණනක් ජයගත් මේ අවස්ථාව ගැන අදහස් දක්වන මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන; ”2015 වසරේ ආරම්භ වන ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා උලෙළේ ශ‍්‍රී ලංකාව වැඩි ම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් අවස්ථාව ලෙස මෙවර තරගාවලිය නම් කරන්නට පුළුවන්, අවුරුදු 10කට පසු මෙවර අපේ ක‍්‍රීඩිකාවක් රන් පදක්කමක් ජයග‍්‍රහණය කළා. සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාවේ එකතුව ගත් විට අප සිටින්නේ සිව්වැනි ස්ථානයේ. එනම් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ජපානයටත් වඩා ඉදිරියෙන්, ඔවුන් රන් පදක්කම් තුනක් ජයගෙන සවුදි අරාබිය සමග වැඩි ම රන් පදක්කම් ජයගත් දෙවැනි රට බවට පත් වුණත් දිනාගෙන ඇති සම්පූර්ණ පදක්කම් ගණන හතයි. ස්ථාන තෝරන විට රන් පදක්කම් සංඛ්‍යාවට මූලිකත්වය ලැබීම නිසයි ඔවුන් දෙවැනි ස්ථානයට පත්වුණේ. සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව ගත්විට චීනය පදක්කම් 36 (රන් 19, රිදී 12, ලෝකඩ 05)ක්, උස්බෙකිස්තානය පදක්කම් 12 (රන් 03, රිදී 05, ලෝකඩ 04)ක්, ඉන්දියාව පදක්කම් 11 (රන් 01, රිදී 05, ලෝකඩ 05)ක්, ශ‍්‍රී ලංකාව පදක්කම් 08 (රන් 01, රිදී 03, ලෝකඩ 04)ක් දිනා ගත්තා.”

ඔහු පවසන ආකාරයට තරගාවලිය පැවති සවුදී අරාබියේ කාලගුණික තත්ත්වය, අධික දුවිලි ස්වභාවය, සුළං තත්ත්වය, අධික උෂ්ණත්වය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අභියෝගයක් වී තිබෙනවා. මිට පෙර ආසියාතික මට්ටමේ තරගාවලියක් එම රටේ පැවත් වී නොතිබීම නිසා තාක්ෂණික වශයෙන් සිදුවූ නොයෙකුත් අඩු පාඩු මධ්‍යයේයි ඔවුන්ට තරග වදින්නට සිදු ව තිබුණේ.

මේ තරගාවලියෙන් අනතුරු ව ආසියාතික මලල ක‍්‍රීඩා ශුරතාව මැයි මාසයේ කොරියාවේදී, ආසියාතික ක‍්‍රීඩා උලෙළ 2026 වසරේ ජපානයේදී, දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙල 2026 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති. මේ තරගමාලා සඳහා ද ශ‍්‍රී ලංකාව සහභාගි වීමට නියමිත අතර මේ වනවිට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 65 දෙනකුගෙන් සමන්විත සංචිත දෙකක් නම් කර අවසන්.