මිත‍්‍රත්වයේ සුරක්ෂාව

- දීප්ත කුමාර බටගොඩ
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින්නේ දිගුකාලීන මිත‍්‍රශීලී සබඳතාවක්. එය ආර්ථික, සාමාජ, සාංස්කෘතික හා දේශපාලන කාරණා විෂයෙහි ප‍්‍රමුඛ වන අතර දෙරටේ සමානතා හා විශේෂතාහි අන්‍යෝන්‍ය බැඳියාව මත තහවුරු වී තිබෙනවා. දෙරටේ භූගෝලීය පිහිටීම ද ඒ සඳහා ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව වෙන් වන්නේ ෆෝක් සමුද්‍ර සන්ධිය නමැති කුඩා වෙරළ තීරයෙන්. දෙරට ම භූගෝලීය වශයෙන් දකුණු ආසියාවේ වැදගත් ස්ථානවල පිහිටීම නිසා ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක ආවරණයක් (Сommon Security Umbrella) නිර්මාණය කිරීමට දෙරටේ ම අවධානය යොමු ව තිබෙනවා. සංවර්ධන ක‍්‍රියාවලියේදී ද අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් යුතු ව ක‍්‍රියා කිරීමයි දෙරටේ ම අපේක්ෂාව. විශේෂයෙන් ඉන්දියාව ලෝකයේ නැගී එන එක් ආර්ථික ප‍්‍රබලයෙක්. දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට ද ඔවුන් හිමිකම් කියනවා. මේ නිසා ශ‍්‍රී ලංකාව වැනි රටකට ඉන්දියාවේ මිත‍්‍රත්වය පවත්වා ගැනීම වැදගත් වනු ඇති බවයි බොහෝ විචාරකයන්ගේ අදහස.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙවර ශ‍්‍රී ලංකා සංචාරයේ නිරත වූයේ, ‘පළමු ව අසල්වැසියා’ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ දැක්ම කෙරෙහි ඇති සිය කැපවීම නැවත තහවුරු කරන ඉන්දියාවේ ‘Act East’ සහ ‘මහාසාගර්’ යන ප‍්‍රතිපත්තිවලට අනුකූල ව. මෙය ඔහුගේ සිව් වැනි ශ‍්‍රී ලංකා සංචාරය. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පළමු වරට ශ‍්‍රී ලංකාවේ සංචාරය කර තිබුණේ 2008 වසරේදී. ඉන්පසුව 2017 සහ 2019 යන වර්ෂවලදී ඔහු ශ‍්‍රී ලංකාවේ සංචාරය කළා. 2015 වර්ෂයේ සිදු කළ ශ‍්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත‍්‍රණය කිරීම විශේෂත්වයක්.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු නිල සංචාරය සිදු වූයේ ඉන්දියාවට. එහිදී ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට ශ‍්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කර තිබුණා. ඒ අනුවයි ඉන්දීය අගමැතිවරයා 2025 අප්‍රේල් මස 04 දින ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණියේ. ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දුවාල් හා ලේකම් වික‍්‍රම් මිශ‍්‍රී ඇතුළු කණ්ඩායමක් අග‍්‍රාමාත්‍යවරයා සමග මේ සංචාරයට එක් වුණා. අප්‍රේල් මස 06 දින තෙක් කළ එම සංචාරයේදී ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් අත්සන් කෙරුණා. දෙරට අතර සංචාරක ක්ෂේත‍්‍රය, ඩිජිටල්කරණය, දේශපාලන සබඳතා, බලශක්තිය, කෘෂිකර්මාන්තය, ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජන, ප‍්‍රවාහනය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් පිළිබඳ රාජ්‍ය තාන්ත‍්‍රික මටටමින් එහිදී සාකච්ඡුා කෙරුණා. ඉන්දීය අගමැතිවරයා නිල උත්සව කිහිපයකට සහභාගි වීමත් විවෘත කිරීම් කිහිපයක් සිදු කිරීමත් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමත් ශ‍්‍රී ලාංකික ජනතාවගේ දැඩි ආදර ප‍්‍රසාදයට හේතු වූ සිදුවීම් අතර කැපී පෙනුණා.
මේ සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹ සිට සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සංකේතාත්මක ව සිදු කළා. සාම්පූර්හි ඉදිකෙරෙන සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් සංකේතාත්මක ව ආරම්භ කළ අතර එය සාම්පූර්හි අක්කර 500ක් පුරා පැතිරෙන මෙගාවොට් 50ක විදුලි බලය නිෂ්පාදනය කෙරෙන ව්‍යාපෘතියක්. දඹුල්ල උෂ්ණත්ව පාලිත ‘ප‍්‍රභාෂ්වර’ කෘෂිකර්ම ගබඩාව විවෘත කිරීම ද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් සිදු කරනු ලැබූ අතර එය පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදිකරන ලද්දක්. ශ‍්‍රී ලංකාවේ ආගමික ස්ථාන 5000කට වහල මත සවි කරන සූර්ය බල පද්ධති ඉන්දියාව විසින් ප‍්‍රදානය කරනු ලැබීම ද මෙහිදී සංකේතාත්මක ව සිදු කෙරුණා. ඇමරිකානු ඩොලර් මිලියන 17ක ප‍්‍රදානයෙන් දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ආගමික ස්ථාන 5000ක් මෙ මගින් ආවරණය කිරීමටයි නියමිත. මන්නාරම රෝහල නවීකරණය සහ මහව අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සඳහා රුපියල් කෝටි 450ක පමණ ලබා දී තිබූ ණය මුදල ප‍්‍රදානයක් බවට පත් කිරීම මේ සංචාරයේ සුවිශේෂ සිදුවීමක්. ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය යටතේ ඉන්දියානු ණය සඳහා අයකරන ලද පොලී ප‍්‍රතිශතය අඩු කිරීමටත් එම ණය සේවාකරණය සඳහා වන කාලය දීර්ඝ කිරීමටත් අර්බුද සමයේ ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ප‍්‍රදානයක් වශයෙන් සැලකීමටත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කළා.
ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුර සුවිශේෂ කතාබහට ලක් වූ කරුණක් වූයේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් අත්සන් කිරීම. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගිවිසුම්වලට එළැඹීම 1950ස් ගණන් දක්වා දිව යනවා. නේරු කොතලාවල ගිවිසුම (1954), කච්චතිව් ගිවිසුම (1974), ඉන්දු ලංකා සම්මුතිය නොහොත් සිරිමා ශාස්ත‍්‍රී ගිවිසුම (1964), ඉන්දු-ලංකා ගිවිසුම (1987) දෙරට අතර ඇතිකර ගත් සුප‍්‍රසිද්ධ ගිවිසුම් කිහිපයක්.
මෙවර ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ පැමිණීමේදී ඇති කරගත් ගිවිසුම් පිළිබඳ ව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් 2025 අපේ‍්‍රල් 08 දින පාර්ලිමේන්තුවේ විශේෂ පැහැදිලි කිරීමක් කළා. එයට අනුව මේ ගිවිසුම්ගත වීමේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ දෙරට අතර නීතිමය බැඳීමකට වඩා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ ඒ සඳහා පුළුල් බැඳියාවක් ඇති කර ගැනීම. ඕනෑ ම මොහොතක එක් රටකට මේ ගිවිසුම්වලින් ඉවත් වීමේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා මාස 03කට පෙර අනෙක් රටට දැනුම් දීම පමණක් ප‍්‍රමාණවත් බවත් ඇතැම් අවබෝධතා ගිවිසුම් වසර 03කට, වසර 05කට බලපැවැත්වෙන පරිදි අත්සන් කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ මේ ගිවිසුම් සියල්ල නීතිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් අදාළ අමාත්‍යාංශවලටත් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අත්සන් කළ බව.
ඉන්දියාව සමග ශ‍්‍රී ලංකාව ඇති කරගත් බලශක්තිය පිළිබඳ වූ ගිවිසුම් 02න් පළමුවැන්න මන්නාරම සිට ඉන්දියාවේ මදුරෙයි දක්වා විදුලි බල පද්ධතිය (Grid connection) පුළුල් කිරීම. මේ යටතේ අනාගතයේදී දෙරටට ම විදුලිය ආනයනය හා අපනයන කිරීමට හැකි වන අතර මෙරට විදුලිය බිම්ස්ටෙක් දක්වා අපනයනය කිරීමේ හැකියාව ශ‍්‍රී ලංකාවට ලැබෙනු ඇති. මේ ගිවිසුම තවමත් ප‍්‍රතිපත්තිමය එකඟතාවක් පමණක් බවත් ඉදිරියේදී තාක්ෂණික කමිටු ආදිය පිහිටුවීමෙන් ඒ සඳහා වන සැලසුම තීරණය වනු ඇති බවත් විජිත හේරත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ත‍්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ද ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙනවා ශ‍්‍රී ලංකාව, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර. මේ ගිවිසුමේ ශ‍්‍රී ලංකාවේ අපේක්ෂාව වන්නේ ඉන්ධන ආනයනය කර ගබඩා කර රට අභ්‍යන්තරයේ බෙදා හැරීම සහ නැව් සඳහා ඉන්ධන ලබා දීමේ බංකරින් සේවාව ක‍්‍රියාත්මක කිරීම. එහිදී ත‍්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි 85ක් ප‍්‍රතිංස්කරණය වනු ඇති.
ඩිජිටල් සහයෝගිතා ගිවිසුමේදී දියුණු ඩිජිටල්කරණ භාවිතයක් සහිත ඉන්දියානු තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම අපේක්ෂා කෙරෙනවා.
දෙරට අතර හමුදා නිලධාරින් හුවමාරුව, පුහුණු කිරීම, හමුදාව අතර කාර්ය මණ්ඩල සාකච්ඡුා, තොරතුරු හුවමාරුව, බුද්ධිමය දේපළ අයිතිය, ආරක්ෂක තාක්ෂණ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සහයෝගිතාව ආදිය ආරක්ෂාව පිළිබඳ ඇතිකරගත් ගිවිසුමේ අරමුණු. මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බවත් මේ ගිවිසුමේ ඇත්තේ දැනටමත් දෙපාර්ශ්වයේ ක‍්‍රියාත්මක වීම බවත් ඔහු පෙන්වා දෙනවා. ශ‍්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ද එම ගිවිසුමේ සඳහන් ව ඇති බව ඔහු ප‍්‍රකාශ කළා.
සෞඛ්‍ය හා ඖෂධ නියාමනය පිළිබඳ ගිවිසුම් ද්විත්වයෙන් දෙරට අතර සේවකයන් පුහුණු කිරීම, විවිධ පර්යේෂණවල නවීන අංග හුවමාරු කර ගැනීම සහ අඩු මිලට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ආනයනය සඳහා ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම : (Indian Pharmacopoeia Commission) ශ‍්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා එකඟතාවට එළැඹ තිබෙනවා.
බොහෝ පිරිස් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇති ව තිබූ මිත‍්‍රශීලී සබඳතාව පිළිබඳ දක්වා තිබුණේ ධනාත්මක අදහස්. ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අගමැතිවරයාට ‘මිත‍්‍ර විභූෂණ සම්මානය’ පිළිගැන්වූ අතර එය ඉන්දියානු අගමැතිවරයාගේ දැඩි ප‍්‍රීතියට හේතු වූ බවයි පෙනී ගියේ. තමන් එම සම්මානයෙන් පිදුම් ලැබීම මහත් ගෞරවයට හේතුවක් බවත් එය තමාට පමණක් නොව කෝටි 104ක්වූ ඉන්දියානු ජනතාවට ලැබුණු මිත‍්‍රත්වයේ සලකුණක් බවත් ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඉන්දියානු අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා. සත්‍ය මිතුරකු සහ ඔහුගේ මිත‍්‍රත්වයට වඩා වෙනත් සුරක්ෂාවක් නොමැති බව ඉන්දීය අගමැති ශ‍්‍රී නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ ‘තිරුවලූවර්’ නම් කවියාගේ වදනක් උපුටා දක්වමින්.